අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 10, 2016

මේ අඩවිය කියවන අය නම් දැනටමත් දන්න දෙයක් තමයි ඇමෙරිකාව බහුතරයගේ මතයට ඉඩදෙන ප්‍රජාතන්ත්‍රවාදයක් නොවන බව. රටේ ව්‍යවස්ථාවෙන් සහ අයිතීන්ගේ පනත (Bill of Rights) වලින් බහුතරයකට බලය ලැබීම පමණින් රටේ නීතිය වෙනස් කළ නොහැකි අන්දමින් හැදීමෙන් ජනතාව විසින් ජනතාව පාලනය කරන ක්‍රමය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය එක්ක ජනරජ හෙවත් රිපබ්ලික් ක්‍රමයත් ආරක්ෂා කරගැනුණ.

එහෙම කළේ, බහුතරයකට වැඩි බලයකින් සුලුතරයේ කැමැත්ත යටපත් කිරීමට ඉඩ නොදෙන්නයි. මුල් ඇමෙරිකාවේ ප්‍රාන්ත අතර පැවතුනේ හරියට රටවල් කිහිපයක් අතර දකින්නට හැකිතරම් වූ වෙනස්කම්. කෘෂිකර්මය දකුණු ප්‍රාන්තවල වැඩියෙන් ද, කර්මාන්ත උතුරු ප්‍රාන්තවල වැඩියෙන් ද තිබුණ. දකුණේ වහල් ක්‍රමය පැවතෙද්දී උතුරු ප්‍රාන්ත එයින් අයින් වී හිටිය. රටේ මැද්දේ අලුතින් හැදිච්ච ප්‍රාන්ත බලා ගිය පුරෝගාමීන් අත්වින්ඳේ එතෙක් ස්ථාපිත ප්‍රාන්තවල වැසියන් මුහුණ නොපෑ ගැටළු වලට. ස්පාඤ්ඤ සහ මෙක්සිකන් අධිරාජ්‍යයන් වලින් එල්ල වූ තර්ජන වලට හසූ වූයේ ෆ්ලොරීඩා සිට ටෙක්සාස් දක්වා විසූ ජනතාව.

ඇමෙරිකාව නමින් රට බිහිවෙන්නත් කළින් පංදිචි වී සිටි පෙදෙස්වල පාරවල්, පාලම්, පාසැල් යනාදිය ගොඩනැඟී තියෙද්දී, ඒ අයට නියැළෙන්නට හැකි ආදායම් මාර්ග තිබිය දී, ඒ අය අතරින් සමහර පුරවැසියන් නොදන්නා නොහඳුනන ප්‍රදේශයන්ට ඇදී ගියේ ස්වකීය වෙහෙසෙන් පවතින තත්වයට වඩා වෙනස් හොඳ තත්වයක් ගැන ඇහෙද්දී. දැනට ඇති තත්වයට වඩා ඒ වැඩියෙන් හොඳ තත්වය ලබාගැනීමේ පරමාර්ථයෙන්. කළින් ස්ථාපිත වූ ප්‍රාන්ත බලයෙන්, ධනයෙන් හා ජනගහණයෙන් වැඩි වෙද්දී අලුතින් බිහිවූ ප්‍රාන්ත බලයෙන්, ධනයෙන් හා ජනගහණයෙන් අඩු වූවා.

ජනාධිපතිවරයෙක් තෝරාගැනෙද්දී නිව් යෝර්ක් ප්‍රාන්තයේ හෝ ටෙක්සාස් ප්‍රාන්තයේ බහුතරයේ කැමැත්ත රටේ හැමෝගෙම කැමැත්ත බවට පත්නොවෙන ක්‍රමය තමයි ඉලෙක්ටෝරල් කොලෙජ් ක්‍රමය. මෙහි දී ‘කොලෙජ්’ යන්නෙහි අර්ථය ඉගෙන ගන්නා තැනක් යැයි කියැවෙන ‘විද්‍යාලය’ නෙමෙයි. කල්ලියක්, සංවිධානයක්, පිරිසක්, නැත්නම් එකමුතුවක් කියන්නටයි යොදා ගැනෙන්නෙ. ඒ නිසා මෙය හඳුන්වන්නට සුදුසුම වචනය ‘මැතිවරණ සාමූහිකත්වයේ ක්‍රමය‘ යැයි කියන්න පුළුවන්. රටේ වැසියන් සියළුම දෙනා අතර ජනප්‍රියත්වයෙන් වැඩිම වූ ජනාධිපතිවරයාව සංස්කත වශයෙන් එකමුතු කරන්නට හැකියාව පාදාගන්නටයි මේ ක්‍රමය හැදෙන්නේ.

ඇමෙරිකන් ජනාධිපතිවරණයක අපේක්ෂකයන් තම උප ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රාන්තයෙන් නොව වෙන ප්‍රාන්තයකින් තෝරාගන්නේ මේ ක්‍රමය නිසා. දකුණේ වැසියන්ට ඇත්තේ උතුරේ අයගේ සිතැඟියාවන් නොවේ. රට මැද්දේ අය දෙපැත්තේ අය හා එකඟ නොවෙන අවස්ථා ඕන තරම්.

උතුර, දකුණ හෝ රට මැද්ද, නැගෙනහිර හෝ බටහිර කියා රටේ එක පැත්තක් පමණක් ගත්තොත්, මැතිවරණ සාමූහිකත්වයේ ක්‍රමයෙන් දිනන්නට අවශ්‍ය චන්ද 270 ලබාගන්නට කිසිම කලාපයකට බැහැ. ඉතින් මේ මැතිවරණ සාමූහිකත්වයේ ක්‍රමය නිසා ජයග්‍රාහී ජනාධිපතිවරයා තේරීමට මුළු රටම නියෝජනය වන ආකාරයට ජනප්‍රසාදය එකමුතු කිරීමක් සිද්ධ වෙනව. 1888 දී පවා ඇමෙරිකන් වැසියන් අත්දැකි අන්දමට, රටේ සමස්ත වැඩි චන්ද සංඛ්‍යාව ලබාගන්නට සමත් වූ පමණින් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වෙන්නේ නැහැ.

සුලුතරයට වෙනස් ලෙසකින් සැලකීම අවම කරගත හැකි එකම ක්‍රමය සියල්ලන්ටම පොදු නීති පැනවීම. ඇමෙරිකන් ව්‍යවස්ථාව සහ අයිතීන්ගේ පනත දක්වන්නේ සියළු රටවැසියන් සඳහා වූ පොදු නීති. ඕනෑම සුලුතරයක් ආරක්ෂා කරන නීති. බහුතර බලයකින් පත්වෙන රජයකට පවා මැදිහත් වෙන්න ඉඩ නොලැබෙන නීති.

සුලුතරය ආරක්ෂා කෙරෙන පොදු නීතිය ගැන අවබෝධය අද ලොව බොහෝ පුරවැසියන්ට නැහැ. සුදු කළු, ස්ත්‍රී පුරුෂ යනාදී ලක්ෂණ අනුව වෙනස් නීති හැදීමට පටන් ගැනීම යනු ‘මිනිසා’ අමතක කිරීමයි. ඒත් මිනිස් බව අමතක නොකළ යුතුයි කියා වැඩියෙන්ම කෑ ගහන අය තමයි වර්තමානයේ පොදු නීති වලට කැමති නැත්තේ. ඒ අය මිනිසුන් සඳහා වෙනස් නීති හදන්නට තමන් දන්නවා කියගත් අය. හමේ පාට, ලිංගික භේදය එහෙමත් නැත්නම් තමන් අදහන ආගම වගේම පිටස්තරයෙකුට පැහැදිලිව දැකිය හැකි වූවක් තමයි අයෙක් ආදායම් උපයන්නට තවකෙකුට වඩා වැඩියෙන් සමත්වීම. හමේ පාට කළු නිසා බස් රථයක මුල් කොටසේ ඇති ආසනවල වාඩි වීම වැරදි නම්, ගැහැණියක් නිසා චන්දය ප්‍රකාශයට අයිතියක් නැතැයි කීම වැරදි නම්, යුදෙව් හෝ මුස්ලිම් ආගමිකයෙක් වූ නිසා ඝාතනය කිරීම වැරදි නම්, එහෙනම් වැඩියෙන් ආදායම් උපයන්නට හැකියාව ඇති පමණින් වැඩියෙන් බදු ගෙවන්නට සිද්ධ වීම ද වැරදි බව මේ අයට වටහාගත හැකියාව නැහැ.

මැතිවරණ සාමූහිකත්වයේ ක්‍රමය සාධනය කරන්නේ රටේ අඩුවෙන් නියෝජනය වෙන කණ්ඩායම්වල කැමැත්ත. රටේ ජනවාර්ගික සුලුතරය එනම් කළු සහ හිස්පැනික් යනාදී වශයෙන් සැලකෙන කණ්ඩායම් වැඩියෙන් පදිංචි වෙලා ඉන්නේ වැඩියෙන්ම මැතිවරණ සාමූහිකත්වයෙන් යුතු ප්‍රාන්ත වලයි. ඒ නිසා, ඔවුන්ට පුළුවන් ජනාධිපතිවරණයක දී ඔවුන්ගේ ජන සංඛ්‍යාවට වඩා ඉතා මහත් වූ චන්ද සංඛ්‍යාවකින් තමන්ගේ අපේක්ෂකයාව දිනවන්න. රටේ සමස්ත වැඩි චන්ද සංඛ්‍යා දිනුම නොලැබ එහෙත් මැතිවරණ සාමූහිකත්වයේ ක්‍රමයෙන් පැහැදිලි වශයෙන් වැඩි දිනුම ලැබූ ට්‍රම්ප් නිසා අද ඒ ක්‍රමය ගැන නෝක්කඩු කියන අය වැඩිවුවත්, ක්‍රමය කුමක්දැයි දන්නවා නම් එය ආරක්ෂා කරගත යුත්තක් බවත් දන්නව.

මැතිවරණ සාමූහිකත්වයේ ක්‍රමය රටක ප්‍රධාන පක්ෂ දෙකක් පවත්වාගෙන යන්නත් උපකාර වෙනව. මැතිවරණ සාමූහිකත්වයේ ක්‍රමය තුලින් ප්‍රධාන පක්ෂයෙන් ඉදිරිපත් නොවෙන අපේක්ෂකයෙකුට රටේ වැඩි ජනප්‍රිය චන්ද සංඛ්‍යාවක් දිනාගන්නට ඉතාමත් අසීරුයි. තෙවැනි පක්ෂ හිතවාදියෙක් හැටියට මේක අපිට දැඩි අභියෝගයක්. ඒත් එහෙමයි කියල ක්‍රමය නුසුදුසුයි කියන්නේ නැහැ!!!!

වසර 200 ක් පුරා, 50 කට වැඩි ජනාධිපතිවරණ තුලින් දකින්නට ලැබෙන්නේ මේ මැතිවරණ සාමූහිකත්වයේ ක්‍රමය නිසා රටේ ජනාධිපතිවරයාට ජනප්‍රිය චන්ද ප්‍රමාණවත් තරමකට ලැබී ඇති බව. ඒ වගේම ඒ ජනප්‍රියත්වය රට පුරා ප්‍රමාණවත් අන්දමින් පැතිර ඇති බව. එයින් කාර්යක්ෂමකව රට ආණ්ඩුකරන්න අවස්ථාව ජයග්‍රාහික ජනාධිපතිවරයාට පාදා දෙනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: