අරුණි ශපීරෝ‍ වෙතින්

ට්‍රම්ප්ගේ දිනුම සහ හිලරිගේ පරාජය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 14, 2016

ට්‍රම්ප් දිනුවේ ඇමෙරිකාවේ කළු වර්ගවාදයක් පවතින නිසා හෝ හිස්පැනික් හෝ මුස්ලිම් සංක්‍රමණික විරෝධතාවයක් ඇති නිසා යැයි තදින්ම විශ්වාස කරන සිංහලෙන් කියවන අය සිටිති. එය විශ්වාස කරමින් ඒ මතය අනිත් අයටත් බෙදන අය මගේ හිතවතුන් අතර ද සිටින බව දැක්කෙමි. ඔවුන් අතර සමහරු ඇමෙරිකාවේ මා හා නොයෙක් තැන්වලට ගිහින් කිසිම වර්ගවාදී තර්ජනයකට ගර්ජනයකට ලක්වූ අයෙක් නොදැක්ක ද, එහෙත් තවමත් රටේ වර්ගවාදයක් ඇතැයි කියාත්, හිස්පැනික් සහ මුස්ලිම් සංක්‍රමණිකයන්ට වෙනස්කම් ඇතැයි කියාත් තමන් අල්ලාගත් විශ්වාසය අනිත් අය හා බෙදාගැනීම අත්නොහරින අය.

සිරියානු සරණාගත ඉල්ලුම්පත් ගවේෂණය ත්‍රීව (කැනඩාව දැනටමත් යෙදී සිටින්න) කරන තෙක් මුස්ලිම් සරණාගතයන්ට අවසර දීම තහනම් කළ යුතු යැයි කියූ කතාව මැතිවරණ ජයෙන් පසුව ඔහුගේ වෙබ් අඩවියෙන් ඉවත් වීම ගැන විරෝධය දක්වමින් ගිය “නාකි සුදු පිරිමි” පෙළපාලියක් රටේ කිසිම තැනක දකින්නට ලැබුණේ නැත්තේ බරක් ඔබාමා ජනාධිපතිවරණයෙන් දෙවරක් ජයගනිද්දී ද, ‘නාකි සුදු පිරිමි’ පැවැත්වූ විරෝධතා පෙළපාලියක් ඇමෙරිකාවේ දකින්නට නොවූ ලෙසින්මයි.

ඇමෙරිකාවේ ඇට්ටර පරිසිද්ධි (facts) පෙන්වන්නේ ද රටවැසියන් අතර වර්ගවාදයක්/සංක්‍රමණික විරෝධයක් නැති බවයි. කළු, හිස්පැනික් හෝ මුස්ලිම් අයගේ ව්‍යාපාරික ස්ථානවලට කඩාවැදී බඩු කඩා දමන, ඔවුන්ට ගුටිබැට දෙන, හෝ ඔවුන්ගේ කඩවලින් බඩුගැනීමෙන් වැළකී ඉන්නට යැයි කියන “සුදු ජාතික කිතු බල සේනා” මෙහි නැත!!! ඒත් පරිසිද්ධි පැත්තකට දමා තම විශ්වාසයන් පමණක් සංවාදයට ගැනීම ලෝකවාසී බහුතරයකගේ කැමැත්තයි.

බ්‍රෙක්සිට් ප්ලස් ප්ලස් පෙන්වනවා යැයි උදම් ඇනුවාට ට්‍රම්ප්ට ලැබුනේ එවැනි (51.9%) චන්ද ප්‍රතිශතයක් නොවේ. ට්‍රම්ප් දිනුවේ චන්ද හැකියාව ඇති සුදු අයගේ චන්ද වලින් 1/3 ක් පමණි. 2008 දී සහ 2012 දී කළු හමැති මුස්ලිම් නමක් තිබූ ඔබාමාට දෙවරක් චන්දය දුන් චන්ද දිස්ත්‍රික්ක වලින් මිලියන ගණනින් චන්ද ට්‍රම්ප්ට ලැබී ඇත. ට්‍රම්ප්ට සහ හිලරිට චන්දය දුන්නේ 2016 චන්දදායකයන්ගෙන් 26% ක් බැගින් පමණකි. බ්‍රෙක්සිට් චන්දය ප්‍රකාශයට බ්‍රිතාන්‍ය ජනතාවෙන් 72.2% ක් එක්වූහ. වෙනදා මෙන් 2016 දී ද ඇමෙරිකන් ජනාධිපතිවරණයට සහභාගී වී ඇත්තේ චන්දදායකයන් 57.9% ක් පමණකි. 2016 ජනාධිපතිවරණයට චන්ද අයිතිය තිබූ ජනතාවෙන් 48% ක් හිලරිටත් ට්‍රම්ප්ටත් දෙන්නාටම චන්දය නොදුන්හ.

ප්‍රධාන පුවත්පත් සහ රූපවාහිනි නාලිකා පමණක් නොව ගූගල්, යූටියුබ්, සහ ෆේස්බුක් වැනි අඩවි පවා තාක්ෂණයේ සහායෙන් තොරතුරු හොයන්නට කියවන අයෙකුට පිරිනමන දැය, වාම අයිඩියලොජියකින් හසුරුවන්නට දායක වෙති.

වාම අයිඩියලොජියෙන් පිරුණු ජනතාව විසල් රජයෙන් තම කැමැත්ත සාක්ෂාත් වෙනු ඇතැයි බලාපොරොත්තු වූහ. එසේ වෙනසක් ගෙනෙනවා කියූ ඔබාමාට ලැබුණු චන්ද සංඛ්‍යාව හිලරිට නොලැබුනේ, සවල සූදානම් රැකියා ගෙනාපු, ඔබේ වෛද්‍යවරයා තියාගත හැකි යැයි කියමින් සෞඛ්‍ය පනතක් ගෙනාපු, නොබෙල් සාම තෑග්ග දිනාගෙන යුදකාමී බුෂ්ටත් වඩා දෙගුණයකින් පමණ විදේශ රටවල බෝම්බ ඇද හැලූ, මට පුතෙක් හිටියා නම් ඔහු ට්‍රෙවර් මෙන් පෙනෙනු ඇතැයි කියූ, නිදහස් මිනිසුන්ගේ ජීවිතවලට වැඩියෙන් නීති රෙගුලාසි ගෙනාවත් ආර්ථිකය දියුණු නොකළ ඔබාමාට වඩා ඇයව ජනතාවට අවිශ්වාස වූ නිසා නොවේ.

හිලරි ක්ලින්ට් පරාජය වූයේ ඇයගේ ඊමේල් පළහිලව්ව නිසා නෙමෙයි. ඇය අනාගත් බෙන්ගාසි ඛේදවාචකය නිසාත් නෙමෙයි. සිරියාවේ කළ මැදිහත්වීම් නිසා මිය ගිය සංඛ්‍යාව නිසා නෙමෙයි. සිරියානු සරණාගතයන් යුරෝපයට යද්දී මහමුහුදේ ගිලී මිය යාම හෝ එහෙන් ඇමෙරිකාවට/කැනඩාවට ගලා ඒමත් නිසා නෙමෙයි. හිලරිගේ පරාජය සිද්ධ වූයේ ඇය විදේශ ලේකම්ව සිටිය දී ඒ බලයෙන් ක්ලින්ටන් පදනමට අතිශය විශාල අරමුදලක් ලබාගැනීමට සමත්වීම නිසාත් නෙමෙයි. ඇය විසින් බිල් ක්ලින්ටන්ගේ ජවුසම් වල දී ඒවායේ අසු වූ කාන්තාවන්ට කළ බලපෑම් හා තර්ජන නිසාත් නෙමෙයි. වෝල් වීදියේ බැංකුකරුවන් හා කළ ගණුදෙනු හෙළිවීම නිසාත් නෙමෙයි.

ඔබාමාගේ වාමාංශික බොරු දැන් ඇතැයි ජනතාව තීරණය කරන ලද නිසා මේ දෙන්නාටම චන්දය දුන්නේ පාක්ෂිකයන් අතරින් ද ස්වල්පයකි. ලිබටේරියන් පක්ෂයට වාර්තාගත චන්ද ප්‍රමාණයක් ලැබුන ද, ඇමෙරිකන් චන්දදායකයන් අතර බහුතරය විසල් ආණ්ඩුව තවමත් විශ්වාස කරති.

හිලරි විශ්වාසය තියා ගත්තේ ප්‍රධාන මාධ්‍යයන්හි දැන්වීම් වලින්, හොලිවුඩ් නළුවන් සහ සුප්‍රසිද්ධ සංගීතඥයන් හා එකතු වී ජනතාව අමතන්න. රට පුරා විවෘත කළ චන්ද කාර්යාල වලින් පඩියට වැඩ කරන සේවකයන් ලවා චන්ද ඉල්ලන්න. ට්‍රම්ප් විශ්වාසය තියාගත්තේ සමාජ මාධ්‍ය අඩවි වලින් නොමිලේ (උදා. මිලියන 30 ක ට්විටර් අනුගාමිකයන් මාර්ගයෙන්) තම පණිවිඩය ජනතාවට යවන්න. කාගෙවත් තාලෙකට නටන්නේ නැතැයි සුප්‍රසිද්ධ උඬඟු ට්‍රම්ප් බ්‍රෑන්ඩ් එකෙන් චන්දය ඉල්ලන්න. මැතිවරණ සටනේ පැහැදිලි වෙනසක් ජනතාව දැක්කේ ට්‍රම්ප් වෙතින්.

මැද මැතිවරණයෙන් කොංග්‍රසයේ සෙනෙට් සහ නියෝජිත සභා රිපබ්ලිකන් පක්ෂයට ගියේ මන්දැයි විමසීම ඔබාමා නොසලකා හැරියේය. ඔහු තව වැඩියෙන් සිය අයිඩියලොජියට නැඹුරු විය. කාල සීමා 2 කින් පසු ජනතාවට පවතින ආණ්ඩුව එපා වෙන බව ඉතිහාසය කියයි. විසල් ආණ්ඩුවට තමන් පැතූ වෙනස ගෙනෙන්නට නොහැකි වීම නිසා ආණ්ඩුව වෙනස් කරගන්නට රිසි වෙති. හිලරි ඉහළ තනතුරක් දැරුවේ ඔබාමා ආණ්ඩුවේ නිසා ඇයට ඔබාමා නොකළ වෙනසක් ගැන මැතිවරණ වේදිකාවේ කතා කරන්නට නොහැකි විය. ඒ ආණ්ඩුව ගෙදර යවා මේ ආණ්ඩුව පත්කරගත්තාම රට හැදේවි යැයි සිතන ජනතාව ඉතිහාසය පුරා පෙන්වන ලද ඒ ඇට්ටර පරිසිද්ධි හිලරි නොසලකා හැරියාය.

ආධාරකරුවන් යොදවා උද්ඝෝෂණ පැවැත්වීමෙන් සියළු චන්දදායකයන් රවටන්නට නොහැකියි. අයිඩියලොජියේ නාමයෙන් බොරු කියා සියළු චන්දදායකයන් රවටන්නට නොහැකියි. පරාජයෙන් පාඩමක් ඉගෙන ගත්තා යැයි යමෙක් සිතන්නට පුළුවන. වාමාංශිකයාට එවැනි හැකියාවක් නැත!!! ඔහු වෙනසක් ගැන හැමදා කෑ ගහයි. ඒත් වෙනස කුමක්දැයි කියා නොදන්නේ ය.

ලුයිසිනා විශ්ව විද්‍යාලයේ මුස්ලිම් ශිෂ්‍යාවක්, ට්‍රම්ප් තොප්පි හැඳගත් සුදු පිරිමි දෙන්නෙක් ඇයගේ හිජාබය ගලවා පසුම්බිය සොරාගත්තා යැයි කළ සඳහන ලොව වටා ගිහින් BBC වෙතින් ද අහන්නට ලැබුණි. එහෙත් ලෆායෙට් හි පොලීසිය ඇය බොරුවක් ගෙතූ බවට කළ නිවේදනය ප්‍රධාන මාධ්‍යයෙන් ඇහුනේ නැත.

සැන්ටා මොනිකා හි සමරිසියෙකුට ට්‍රම්ප් අය තඩිබෑවා යැයි මාධ්‍යයෙන් අහන්නට ලැබී සැන්ටා මොනිකා නගර නිලධාරීන් අස්සක් මුල්ලක් පීරා එවැන්නෙක් සෙවුවාට සොයා ගන්නට ලැබී නැත.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි ලෙල දුන් නාට්සි කොඩිය දමා ඇත්තේ ට්‍රම්ප් විරෝධියෙකි, ඒ ට්‍රම්ප් නාට්සියෙක් යැයි කියන්නටලු. නැතිව කොඩිය එසවූ එයා නාට්සිවාදියෙක් කියන්නට නොවේලු!!!!

පෝට්ලන්ඩ් නගරයේ අති සාර්ථක ට්‍රම්ප් විරෝධතා රැළියේ 4 වැනි දිනයේ දී, නීත්‍යානුකූලව ළඟ තබා නොහැකි තුවක්කුවකින් මිනිසෙකුට වෙඩි තබා තුවාල කළ අයව දැන් අත් අඩංගුවට ගෙන ඇතත්, ඔවුන් කළු ද සුදු ද, ට්‍රම්ප් පාක්ෂිකයන් දැයි නැත්නම් ට්‍රම්ප් විරෝධීන්දැයි කියා මාධ්‍ය විසින් හෙළි නොකරති. “ට්‍රම්ප් විරෝධතා රැළියේ වෙඩි හුවමාරු වේ” යැයි ලොකු අකුරින් ලියැවෙන සිරස්තල හරියට ඇමෙරිකාවේ හැම තැනින්ම ද්වේශයෙන් පිරි වාර්තා ඇසෙන බව පැතිරීමේ පමණක් ලෝක මාධ්‍ය නියැළී සිටිති.

වාම අදහස් වලින් පෝෂණය වූ ජනතාව ඉල්ලන්නේ විසල් ආණ්ඩුවට කළ නොහැකි වෙනසක් විසල් ආණ්ඩුවක් තුලින් කරගන්නටයි. ඒ නිසා ට්‍රම්ප් ගෙනෙන වෙනස ද ජනතාව පතන වෙනස නොවේවි.

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on නොවැම්බර් 14, 2016 at 10:07 ප.ව.

    http://www.vikalpa.org/?p=28816 මේ ලිපිය අරුණිගේ අවධානයට ලක් වුනා ද

    • arunishapiro said, on නොවැම්බර් 15, 2016 at 1:14 ප.ව.

      mppgunasinghe,

      ඔව්, මෙයා වර්ගවාදය ගැන ලියල ජීවිකාව උපයන්නෙක්!!! ඔයිට වඩා දරුණු කතන්දර මිෂෙල් ඔබාමා කියා තියෙනව. ඇය වර්ගවාදය උලුප්පා ජයගෙන ධවල මන්දිරයෙ වසර 8 ක් ජීවත්වන්නට සමත් වුනාට යද්දී තිබුණටත් වඩා වර්ගවාදය වැඩි කරලයි යන්නෙ.

      https://fee.org/articles/how-the-lefts-racial-politics-backfired/


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: