අරුණි ශපීරෝ‍ වෙතින්

සුපර් ෆාස්ට් ඉන්ටනෙට් ලෝකයක්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 19, 2016

ගෝලීය අන්තර්ජාල පාරිභෝගිකයන්ට තත්පරයකට ගිගබයිට් එකක් බැගින් බෑන්ඩ්විත් සපයන්නට හැකි යැයි කියන අරමුණකින් සැලැස්මක් ගෙනෙන්නේ ස්පේස් එක්ස් ආයතනයයි. දැනට පවතින චන්ද්‍රිකා සංඛ්‍යාව (1,419) තෙගුණයකින් වැඩි කිරීමට වෑයමක්, එනම් චන්ද්‍රිකා 4,425 ක් තුලින් මෙය සාක්ෂාත් කරගත හැකි යැයි කියමින් ඔවුන් මේ සතියේ මුල දී ෆෙඩරල් සංවේදන කොමිසමෙන් අවසර ඉල්ලන ලදි.

ටෙස්ලා වාහන කොම්පැණියේ ඉලොන් මස්ක් තමයි ස්පේස් එක්ස් හි ඉන්නෙත්. එයා මේ ගැන මුලින්ම කතා කළේ 2015 දී. මේ අවසරය සඳහා පිරවූ ඉල්ලුම්පතේ මුල්‍ය වියදම් ගැන සඳහනක් නැහැ. මොකද මේක පුද්ගලික ආයෝජන වලින් කරනවා කියන නිසා. චන්ද්‍රිකා යවන්නට ඇමෙරිකන් ෆෙඩරල් ආණ්ඩුවේ අවසරය පමණයි ඔවුන්ට ඕන.

ස්පේස් එක්ස් කියන්නෙ අඟහරු ලෝකයේ ජනාවාසයක් හදන අරමුණින් රොකට් අත්හදා බලන කොම්පැණිය. නැවත භාවිතා කරත හැකි රොකට්ටුවක් සාර්ථක ලෙසින් ලොව මුල් වරට නිපැදවෙන්නේ ඔවුන් අතින්. අජටාකාශයට සංචාරකයන් ගෙන යන මෙවැනි උත්සාහයන් කිහිපයක් ලෝකෙ වටෙන් ඇහෙන්නට ලැබුණත්, ටිකට් අරන් බලාගෙන ඉන්න අය දැනටමත් පෝලිමක් ගැහිල තිබුණත්, තවම එවැනි කිසිම ආයතනයක් සංචාරකයෙක්ව අජටාකාශයට ගෙන ගිහින් නැහැ.

මේ එක චන්ද්‍රිකාවක බර කිලෝග්‍රෑම් 385 ක් පමණ. කිලෝමීටර් 1,150- 1,275 අතර උසක කක්ෂයේ දුවන, එකකට කිලෝමීටර් 2,120 ක් පමණ අවකාශයක ආවරණයට හැකියාව ලැබෙන, චන්ද්‍රිකා දහස් ගණනක් මාර්ගයෙන් අතිශය වේගවත් අන්තර්ජාලයක් ලෝකයේ සියල්ලන්ටම ලබා දෙන්නට හැකියාවේ විද්‍යාත්මක හෝ තාක්ෂණික දෝෂයක් දකින අය නැහැ.

දැනටමත් ගූගල් කොම්පැණිය සහ ෆිඩෙලිටි ඉන්වෙස්ට්මන්ට්ස් (මුල්‍ය ආයතනයක්) මේ චන්ද්‍රිකා යවන වැඩේට ඩොලර් බිලියන එකක් බැගින් ආයෝජනය කරන ලද බවට ප්‍රවෘත්ති වාර්තා වලින් කියැවෙනව. වැඩේ මුළු වියදම ඩොලර් බිලියන 10 ක් බව කියැවෙද්දී දැන් ඉතින් තව 8 ක් පමණයි මස්ක්ට එකතු කරගන්නට අවශ්‍ය. මුලින්ම යවන්නට අදහස් කරන්නේ චන්ද්‍රිකා 800 ක්. ඒ මාර්ගයෙන් ඇමෙරිකාවේ අන්තර්ජාල පහසුකම් වැඩිකරන්නට. ඇමෙරිකාවේ දුර බැහැර පළාත්වල අන්තර්ජාල පහසුකම් ලංකාවේ දුර බැහැර පළාත්වල වගේමයි!!!!

සංචාරකයන්ව අරගෙන යන රොකට් හැදීමට සහ රියැදුරන් නැති වාහන නිෂ්පාදනයට උත්සාහ ගන්නේ ඉලොන් මස්ක් පමණක් නෙමෙයි වගේම එයාර්බස් සහායෙන් වන්වෙබ් නමින් වූ කොම්පැණිය සහ බොයිං සමාගමත් දැනටමත් මෙවැනි චන්ද්‍රිකා අජටාකාශයට යවන්න ඉල්ලුම්පත් දාලයි තියෙන්නෙ.

පුද්ගලික මුදල් වලින් ගන්නා අවදානම් ආයෝජන වලින් ලාබ උපයන්නට සමත් වෙන බොහෝ අවස්ථා වල දී සම්පත් නාස්තිය අවම වෙන හැටි දකින්න පුළුවන්. පාරිභෝගික කැමැත්ත ඉටුවෙන හැටි දකින්න පුළුවන්. දීර්ඝ කාලීනව ලාබ උපයන්නට සමත් වෙන්නේ ඒ දෙකම ඉටුකරන්නට සමත් වෙන ව්‍යවසායකයන්. ඒත් කාලයෙන් කාලයට අපිට දකින්න ලැබෙනව ඉතා සීඝ්‍රයෙන් මුදල් පොදි ගහන්නට සමත්වෙන ව්‍යවසායකයෙක්ව. විදේශ වාහන අතර ඇමෙරිකාවේ වැඩියෙන්ම අලෙවි කරන්නට සමත් වූ, ඒත් මේ දවස්වල සේවකයන් තිස්දාහක් ගෙදර යවපු වොක්ස්වැගන් කොම්පැණිය හොඳ උදාහරණයක්.

ටෙස්ලා මෝටර්ස් මිල දී ගත් සෝලාසිටි කියන්නේ මේ දවස්වල මුල්‍ය වංචා ගැන අධීක්ෂණයට හසු වී ඇති කොම්පැණියක්. සූර්ය ශක්තියෙන් බලය සපයමින් පරිසර ආරක්ෂාව සඳහා ෆෙඩරල් ආණ්ඩුවෙන් විශාල වශයෙන් සහනාධාර මුදල් ලබාගන්නට සමත් වූ කොම්පැණියක්. ආයේ කියන්න ඕන නෑ, බදු මුදල් ගලා එන අනෙක් සෑම උත්සාහයක් සේ ම, මෙයත් නාස්තියෙන් හා ප්‍රෝඩාවෙන් පිරිච්ච තැනක්. බදු සහන නිසා දුවපු, ඒ නිසාම වෙළඳපොල මිල ගණන් තුලින් පාරිභෝගික ඉල්ලුමක් ඇත්දැයි, නාස්තිය අවමදැයි සොයා නොබැලුණු ව්‍යවසායක උත්සාහයක්. ඩොලර් මිලියන 155 ක කොටස් අගයක් දැනටමත් මස්ක්ට අහිමි වී ඇතත්, මස්ක් සහ ඔහුගේ නෑදෑයන් ගෙනියන සෝලාසිටි කොම්පැණිය සූර්ය ශක්තිය සැපයීම සඳහා විශාල බදු සහන ලබාගන්නට සමත් වූයේ බොරු දත්ත පෙන්වමින් කියා තමයි චෝදනාව එල්ල වෙන්නේ.

එද්දලවාදය නොහොත් ආණ්ඩුවට හේත්තු වී මහජනතාවගේ බදු බර වැඩිකරන ව්‍යවසායකත්වය යනු නිදහස් වෙළඳපොල යැයි වැරදියට ලේබල් කර බැනීම නිතර දකින්නට ලැබෙන්නක්. අපි පෙනී සිටින්නේ තමන්ගේ පුද්ගලික මුදල් වලින් අවදානම් ගන්නා අය ඉන්න සැබෑ නිදහස් වෙළඳපොලට.

අපි විරුද්ධ වෙන්නේ වේගවත් අන්තර්ජාලයක් සපයන්නට අජටාකාශයට චන්ද්‍රිකා යැවීමට නොවේ. ඒ හැකියාව ලබාගත්තේ ව්‍යවසායකයා හවුල් වූ වෙනත් ව්‍යවසායකය උත්සාහයකින් මහජනතාවගේ බදු බර වැඩි වූවා නම් පමණකි. මේ දවස්වල වොක්ස්වැගන් කොම්පැණිය ඇමෙරිකාවේ ඉන්ධන විමෝචන වංචාවට හසු වූ වාහන සියල්ල ආපහු මිල දී ගන්නව. වාහන නිෂ්පාදනය තහනම් වුනේ නීති කඩකරපු බව හෙළි වූ දවස්වලම. වාහන අයිතිකරුවන්ට වාහනයේ අද වෙළඳපොල මිල පමණක් නොව පාරිභෝගික විශ්වාසය කැඩුවාටත් මුදලක් දෙනව. පුද්ගලික කොම්පැණි වලට එවැනි දඬුවම් දෙන්න හැකියාව ආණ්ඩුවකට තියෙනව. අපි ආණ්ඩුවට බලය පවරන්නේ එයට. ඒත් යම් ආණ්ඩුවක් දිගින් දිගටම වංචා ප්‍රෝඩා වලින් පිරුණු ව්‍යවසායකයන්ට සහනාධාර බෙදනවා නම් ඒ ආණ්ඩුව ගෙදර යවන එක විතරයි අපි කරන්නෙ. ඊට පස්සේ එහිම නියැළෙන්නට වෙන ආණ්ඩුවක් පත්කරගන්නව. එවැනි සහනාධාර බෙදන බලය ආණ්ඩුවෙන් ඉවත් කරන්න කියා, මහජනතාවගේ බදු වැඩිකරන බලය ආණ්ඩුවට පවරන්නට එපා යැයි කියා සිටින්නේ නැහැ.

සුපර් ෆාස්ට් ඉන්ටනෙට් ලැබෙන්නේ තමන්ගේ මුදල් වලින් අවදානම් ගන්න ව්‍යවසායකයන් වෙතින්. එවැනි අය පාරිභෝගික අපිට වැඩියෙන්ම වේගවත් අන්තර්ජාල පහසුකම් සපයන්නට එකිනෙකා හා තරඟයේ යෙදෙන විට. නැතිව කුමන ව්‍යවසායක උත්සාහයන් සඳහා කෙසේ සහනාධාර බෙදිය යුතුදැයි තමන් දන්නවා කියාගත් ආණ්ඩුවෙන් නොවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: