අරුණි ශපීරෝ‍ වෙතින්

කළු සල්ලි මර්ධනය කියමින් ඔබේ මුදලට කෙළවීම

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 21, 2016

HUBLOT

රෑ දොළහේ පටන් ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය රුපියල් පන්සීයේ හා දාහේ මුදල් නෝට්ටු එදින අවලංගු කරන බව එරට අගමැති නරේන්ද්‍ර මෝඩි ජාතික රූපවාහිනියෙන් රටවැසියන්ට දැනුම් දුනි. මෙවසර අවසන්වීමට පෙර තමන් ළඟ ඇති ඒ අවලංගු නෝට්ටු බාර දී ඊට නීත්‍යානුකූල මුදල් ලබාගත යුතු නිසා දැන් ඉන්දියාවේ බැංකු පෝලිම් දකින්නට හැකියි.

ආදායම් බදු නොගෙවන, අපරාධ, ත්‍රස්තවාදය හා අල්ලස් දූෂණයෙහි නියැළෙන දුෂ්ට ජනතාව අත වූ “කළු සල්ලි” මර්ධනය කරන අරමුණින් තමා මේ පියවර ගත් බව මෝඩි කීය. ඉන්දියාවේ ආදායම් බදු ගෙවන්නෝ 2% කටත් වඩා අඩුයි. ඉන්දියාවේ රාජ්‍ය නිලධාරීන් අතර අල්ලස් දූෂණය සුලබව පැතිර පවතී.

නීතියේ රැහැනට හසු නොවී සල්ලි මුදල් වලින් ගණුදෙනු කරන අයව මර්ධනය කරනු පිණිස යැයි කියමින් විවිධ රටවල් පියවර ගන්නා ලද්දේ අද ඊයේ නොවේ. හොර සල්ලි ශුද්ධ කිරීම නවතා දමන්නට යැයි කියමින් 1970 දී ඇමෙරිකාව බැංකු රහස්‍යතා පනත සම්මත කරගත්හ. ඕනෑම බැංකු ගිණුමක ඩොලර් 10,000 කට වඩා සල්ලි මුදලක් එහා මෙහා වූවොත් ඒ ගැන වාර්තා තබාගැනීමට සියළු බැංකුවලට එයින් සිද්ධ විය. මේ පනත යටතේ සල්ලි මුදල් එළියට ගැනීම පමණක් නොව, තැන්පතු සහ විදේශ විනිමය මාරු කිරීම් ගැන ද වාර්තා තබා ගැනේ. එක බැංකු ගිණුමකින් පන්දාහක් ගෙන, තවත් බැංකුවකට ගිහින් එහි තම ගිණුමෙන් ද පන්දාහක් ගත්තොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඒ ගැන වහාම දැනුම් දීමක් සිද්ධ වේ.

2001 සැප්තැම්බර් 11 වැනිදා නිව් යෝර්ක් හි ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව සම්මත කරගත් දේශප්‍රේමි පනතෙන්, එසේ පවත්වාගෙන බැංකු ගිණුම් වාර්තා ෆෙඩරල් රජයට වහාම දැනුම් දෙන ක්‍රමයක් පටන් ගැනිණ. අපේ පැත්තේ බේකරි අයිතිකාරයෙක්ට බැංකුවේ සේවකයන් විසින්, කඩේ සල්ලි බැංකුවට ගෙනෙද්දී දවසකට දහ දාහට වඩා අඩුවෙන් දාන්න නැත්නම් අපිට වාර්තා යවන වැඩ වැඩියි කියූ නිසා, ඔහු දිනපතා දහ දාහට ඩිංගක් අඩුවෙන් මුදල් දැම්මේය. ගිම්හානයේ බේකරි කෑම වැඩියෙන් විකිණී යද්දී දිනපතා බැංකුවට මුදල් නෝට්ටු දැමූ ඔහුගේ ව්‍යාපාරික ගිණුම හදිසියේම ඇණහිටුවන ලදි. එහි වූ මුදල් සියල්ලම, දේශප්‍රේමි පනත යටතේම ඇරඹුණ වත්කම් පවරාගැනීමේ නීතියකින් ප්‍රාන්තයට පවරා ගැනිණ. තමන් ත්‍රස්තවාදියෙක් නොවේ යැයි පෙන්වා දී ගිණුම නිදහස් කරගන්නට ඔහුට වසර එකහමාරක් නඩු කියන්නට සිද්ධ විණ. ඒ රාජ්‍ය නිලධාරීන් අතර අල්ලස් දූෂණ දුලබ යැයි සැලකෙන රටකයි.

දිනපතා $8000 ක් බැගින් තමන්ගේ සල්ලි තමන්ගේ ගිණුමට දාන්නේ හෝ එයින් ගන්නේ ද, ඒ ගැන වාර්තාවක් බැංකුව විවිධ රාජ්‍ය ආයතනවලට සපයනු ඇතැයි අද අපේක්ෂා කළ හැකියි. ඒත් බැංකුවක් තවත් බැංකුවකට යවන හෝ රාජ්‍ය ආයතනයකට යවන විශාල මුදල් ප්‍රමාණයන් ගැන එසේ වාර්තා සැපයිය යුතු නැත. බැංකුව විසින් තමන් හා නිතර ගණුදෙනු කරන ලොකු පාරිභෝගිකයන් යැයි හඳුන්වන අය ගැන මෙසේ වාර්තා යැවීමෙන් වැළකී සිටීමේ හැකියාව බැංකු වලට ලැබී ඇත!!!

යුරෝපා රටවලට පැනගන්නට සරණාගතයන් පොරකද්දී, නීති විරෝධී ලෙසින් මිනිසුන් ප්‍රවාහනයට උපකාර වේ යැයි කියමින් €500 නෝට්ටුව 2018 දී නවතන්නට යුරෝපීය මහා බැංකුව ක්‍රියාත්මක වූයේ පසුගිය මැයි මාසයේ දී ය. €500 නෝට්ටුව ඉවත් වූවාම යුරෝ මුදල් අතර ඉහළම නෝට්ටුව €200 වෙයි.

ස්විට්ස්සර්ලන්තයේ ස්විස් ෆ්‍රෑන්ක් දාහේ නෝට්ටුවක් තිබුණ ද එහි සැපයුම අඩු නිසා බහුල ලෙසින් භාවිතා නොවන්නකි. ෆ්‍රෑන්ක් ලක්ෂයකට වඩා වැඩියෙන් සල්ලි මුදල් වලින් ගෙවීම ස්විස් ආණ්ඩුව තහනම් කරන ලදි. ඉඩම්, වාහන, රන් රිදී පමණක් නොව, ඉහත පින්තුරයේ ඇති ලක්ෂ හතරක් පමණ වටිනා ස්විස් ඔරලෝසුව පවා සල්ලි මුදල් දී ගන්නට ද නොහැකි වෙන සේ මේ තහනම බලපායි. ෆ්‍රෑන්ක් ලක්ෂකයට වඩා වැඩි මුදලක් ගෙවිය යුතු වූවක් නම් බැංකුව හරහා ගණුදෙනුව කළ යුතුයි. ස්විට්ස්සර්ලන්තයේ ආණ්ඩුව මේ තහනම ගෙනෙන ලද්දේ ආර්ථික සංවර්ධන සංවිධානයෙන් ඔවුන්ව අපලේඛනය (කළු ලැයිස්තුවකට) දමනු ඇතැයි තර්ජනයකට පාත්‍ර වූ නිසයි.

ප්‍රංශය හා ඉතාලිය ද බැංකුවෙන් ගතහැකි සල්ලි මුදල් සහ මුදල් වෙනකෙකුට යැවීමේ ප්‍රමාණයට සීමා පනවා ඇත. අයිස්ලන්තය, සයිප්‍රසය සහ ග්‍රීසිය යන රටවල බැංකු වලින් සල්ලි මුදල් එළියට ගන්නට ගිණුම් අයිතිකරුවන් පොර කෑමෙන් ATM වසා දැමූ ආකාරය මෑතක දී අපිට දකින්නට ලැබිණ.

ස්වීඩනයේ මහජන බස් රථයක යන ටිකට් පත අද සල්ලි මුදල් දී ලබාගත නොහැකියි. මොබයිල් දුරකතනයක් මාර්ගයෙන් එය තම බැංකු ගිණුම හරහා කළින් මිල දී ගත යුතුයි. 2012 පටන් ස්වීඩනයේ ප්‍රධාන බැංකු සිය ශාඛාවන් හි දී ගිණුම් හිමියන්ට තම සල්ලි මුදල් ගිණුමට දමන්නට හෝ ගිණුමෙන් ගන්නට හැකියාව ඉවත් කරමින් පවතී. ස්වීඩනය යනු ආදායම් බදු නොගෙවන, අපරාධ, ත්‍රස්තවාදය හා අල්ලස් දූෂණයෙහි නියැළෙන දුෂ්ට ජනතාවක් වාසය කරනවා යැයි සැලකෙන රටක් ද නොවෙද්දී මෙසේ සිද්ධ වූයේ මන්ද?!!!!!!

ජේපී මෝගන් චේස් ඇතුළු ඇමෙරිකන් බැංකු බොහොමයක් 2015 දී ඒවායේ ගිණුම් අයිතිකරුවන් සතු ආරක්ෂිත තැන්පතු පෙට්ටි වල, වටිනාකම සඳහා එකතු කරන අගයක් ඇති ඒවා හැරෙන්නට ව්‍යවහාරයේ පවතින කාසි හෝ සල්ලි මුදල් තැන්පත් කරන්නේ නැතැයි එකඟතාවයක් අත්සන් කරගත්හ. එසේම සල්ලි මුදල් වලින් වාහන ෆිනෑන්ස් පොලී, නිවාස පොලී හෝ ක්‍රෙඩිට් පත් ගෙවීම් කළ නොහැකි යැයි ද තීරණය කරන්නට ද බැංකු පටන් ගෙන තිබේ.

ඉන්දියාවේ අගමැති මෝඩි මෙන්ම, සල්ලි මුදල් වලට එරෙහි යුද්ධය පටන් ගැනුනේ හොර සල්ලි ශුද්ධ කරන අපරාධකාරයන් අල්ලනවා කියමින්. 1945 වෙන තෙක්, ඇමෙරිකාවේ $500, $1000 සහ $10,000 නෝට්ටු පැවතිණ. 1930 ගණන් වල දී ඩොලර් ලක්ෂයක නෝට්ටුවක් ද බැංකු අතර මුදල් හුවමාරුව සඳහා යොදා ගැනිණ. මුදල් නෝට්ටු අච්චු ගැසීම ෆෙඩරල් ආණ්ඩුවට පවරාගැනීමෙන් පසුව රජය 1945 වෙද්දී ඒ ලොකු නෝට්ටු නිකුත් කිරීම නවතා 1969 වෙද්දී ඒවා සියල්ල සසරණයෙන් අයින් කළහ. 1969 දී $100 ක පැවති ක්‍රය ශක්තිය වර්තමානයේ දී $15.50 කි. අපරාධ වංචා දූෂණ මැඬලනවා කියමින් රජය කළේ සල්ලි මුදල් වලින් ගණුදෙනු කිරීම ජනතාවට අසීරු කිරීමයි.

මේ ඉන්දීය ලොකු නෝට්ටු තහනමෙන් ඉන්දියාවේ දුප්පතුන්ට සෑහෙන්න පාඩුයි. මොකද දුප්පතුන් ගොඩක් ගණුදෙනු කරන්නේ සල්ලි මුදල් වලින්. රාජ්‍ය හැඳුනුම්පත් නැති අයට තමන් බොහොම අමාරුවෙන් ඉතිරි කරගත්තු ලොකු නෝට්ටු මාරු කරගන්න විදියක් නැහැ. රූ දොළහට ක්‍රියාත්මක වන පරිදි නීතිය ගෙනා බැවින් කළින් මාරු කරගන්න ලැබිච්ච අයට වැඩියෙන් වාසියි. පහසුව පිණිස ලොකු නෝට්ටු තමන් ළඟ තියාගත් දුප්පතුන් තමන්ගේ ඉතුරුම් එක රැයින් නැති වී යාම ගැන හූල්ලන කාලයක් ඇවිත්.

ඒ විතරක් නෙමෙයි, අර මැඬලනවා කියපු හොර සල්ලි ජාවාරම් කරන අය, ඒ ගොල්ලන්ට තමයිලු දැන් වැඩියෙන්ම බිස්නස් තියෙන්නේ. මේ දවස්වල දාහේ නෝට්ටු මිටි සීයේ නෝට්ටු මිටි වලට දාල දෙන්න ඔවුන් රුපියල් 500 ක් බැගින් ගන්නවාලු!!!!

4 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on නොවැම්බර් 21, 2016 at 12:54 ප.ව.

    මීට සමාන දෙයක් ලංකාවෙත් වුන බව මතකයි. මුදල් නොට්ටු අවලංගු කිරීම නිසා සුළු ව්‍යාපාරිකයන්ගේ හා ගැමියන්ගේ රු සියයේ ඒවා රු. 80 ට හුවමරු වුනා. නියමිත දිනයට කලින් මාරු කරන්නට සිදුවීම නිසා ලොකුම දුෂ්කරතාවන්ට ලක් වූනේ මේ වගේ සුළු මිනිසුන්.

  2. RJ said, on නොවැම්බර් 22, 2016 at 12:43 පෙ.ව.

    So how should a government approach this concern? What are the solutions we have without beating the poors? (Sorry for commenting in English)

    • arunishapiro said, on නොවැම්බර් 22, 2016 at 8:21 පෙ.ව.

      RJ,

      කළු සල්ලි පෙන්නලා ආණ්ඩු කරන්නේ තම බලය වැඩිකරගැනීම මිසක් කළු සල්ලි නැති කිරීම නෙමෙයි. කළු සල්ලි හැදෙන්නේ සහ වැඩිවෙන්නේ ආණ්ඩුවක් ගෙනෙන නීති නිසාමයි. ආණ්ඩුව ගෙනෙන ලද අහිතකර ප්‍රතිපත්ති වලින් හැදුණු අහිතකර විපාකය ජනතාවට පෙන්වල, ඒක හටගත්තේ මන්දැයි විස්තර නොකරන්නේ ආණ්ඩුවමයි. ඒ ආණ්ඩුවේ බලය තව වැඩි කරගන්නට. විපාකය මර්ධනයට කුමක් හෝ කරන බව පෙන්විය යුතු නිසා ආණ්ඩුව තවත් අහිතකර ප්‍රතිපත්ති ගෙනෙනවා. ආණ්ඩුවේ බලයෙන් මුදල් පාලනය පටන් ගත්තාට පස්සේ තමයි මුදලේ අගය ක්‍රමයෙන් අඩුවීමත්, බුබ්බුල හදමින් අවපාතයන්හි දීර්ඝ කාලීන පැවතීමත් දකින්නට ලැබෙන්නේ.

      මුදල් කියන්නේ සෑම පුරවැසියෙක්ම භාවිතා කරන දෙයක්. ආදායම් උපයන හා බඩු මිල දී ගන්න සෑම පුද්ගලයෙක්ම පරිහරණය කරන්නා වූ, ගෙව්වේ නැත්නම් හිරේ දාන බලයෙන් බදු තීන්දු කරන ආණ්ඩුව, ඒවා අයකරගන්නා රටවැසියන්ට මුදල් පිළිබඳ ඉතිහාසය, බැංකු ක්‍රමය ගැන දැනුම රජය විසින් නොමිලේ බෙදන අධ්‍යාපනයෙන් දෙන්නේ නැත්තෙ ඇයි?

      මුදල් කියන්නේ ආණ්ඩුවක් හෝ පුද්ගලයෙක් නිර්මාණය කරපු දෙයක් නෙමෙයිනෙ. මුදල් සහ බැංකු ගැන දැනුම වැඩිවෙද්දී ඒ තුල ආණ්ඩුව ගන්නා භූමිකාව ගැන ද දැනුමක් ලැබෙනව. රෝග නිවාරණයට කළින් රෝගය හඳුනාගන්න එපැයි. මුදල් සහ බැංකු ක්‍රමය ගැන හරි හැටියට දැනුමක් නැතිව කළ යුතු විසඳුම් ගැන කිව්වොත් කිසිම පැහැදිලි බවක් ලැබෙන්නේ නැහැ. සිංහලෙන් මේ ගැන කතාබහ නුදුරු කාලයක තව වැඩියෙන් අහන්නට ලැබේවි යැයි මගේ ප්‍රාර්ථනාව.

      මේ පොතේ 261 පිටුවේ තියනවා කළ යුතු විසඳුම් මොනවාදැයි කියා. Mystery of Banking


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: