අරුණි ශපීරෝ‍ වෙතින්

ෆිඩෙල් කැස්ත්‍රෝ

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 30, 2016

cuban-hall-of-fame-a-full-wall-mural-of-fidel-castro මේවායේ ඇත්ත නැත්ත සොයාගත හැකි මූලාශ්‍ර ඕනෑතරම් අන්තර්ජාලයේ තිබුණ ද, මන්තර ගුරුකම් වලින් වස්කම් විස්කම් කරන අයට හිනාවෙන පිරිස අතරේ ද කැස්ත්‍රෝගේ කියුබාව යනු පැසසුම් ලැබිය යුතු රටක් යැයි මුලාවී සිටින අය දකින්නට හැකියි. මේ සටහන ඒ අය සඳහා නොවේ. යමක සත්‍ය අසත්‍යතාවය සොයා දැනගන්නට කැමති අයටයි මේ තොරතුරු ලියන්නේ.

ෆිඩෙල් කැස්ත්‍රෝ මිය ගිය බව අසා හිතා නොබලා ශෝක ප්‍රකාශයක් නිකුත් කළ කැනඩාවේ ‘සෙල්ෆි අගමැතිවරයා’ හොඳ හැටියට “නා ගත්තේය.” ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයා වූ ජස්ටින් ටෲඩෝ ළිං මැඩියෙක් සේ නිකුත් කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් අන්තර්ජාලයේ #TrudeauEulogies නමින් උත්ප්‍රාස ප්‍රකාශ ලිවීමේ රැල්ලක් පැතිර ගියේය.

විවිධ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන ඇමෙරිකාවේ උගුල් වලට හසු නොවන්නට සමත් වූ පමණින් අයෙක් කීර්ති ප්‍රශංසාවට පාත්‍ර විය යුතු යැයි සිතන අය එඩ්වඩ් ස්නෝඩන් හෝ ජූලියන් අසාන්ජ්ට එවැනි තත්වයක් දෙන්නට ඉදිරිපත් නොවෙති.

ඔවුන්ට කියුබන් විප්ලවය පාවා දුන් ෆිඩෙල් වීරයෙකි. කියුබන් වැසියන් 3,615 වෙඩි තබා මරා දැමූ ෆිඩෙල් වීරයෙකි. ඒ හැරෙන්නට සුවිශේෂ උසාවි පිහිටුවමින් 1,253 ක් ඝාතනය කළ ෆිඩෙල් වීරයෙකි. 1966 දී සිවිල් හා හමුදා සොල්දාදුවන්ගේ ලේ පයින්ට් හතක් බැගින් බලහත්කාරයෙන් ගෙන පයින්ට් එකක් $50 කට බැගින් මුදල් වලට කොමියුනිස්ට් වියට්නාමයට විකුණූ ෆිඩෙල් වීරයෙකි. කියුබන් වැසියන් රටෙන් පළා යන්නට තැත් කරද්දී ඔවුනට වෙඩි තැබූ, සිරගත කළ, මරණ දණ්ඩනය නියම කළ, නැව් මුහුදුබත් කළ ෆිඩෙල් වීරයෙකි. ඇමෙරිකාව අනෙක් රටවල අභ්‍යන්තර කටයුතු වලට ඇමෙරිකන් සොල්දාදුවන් යවද්දී විරෝධතාවය දක්වන අයට, ඩොලර් මිලියන 500 ක් දක්වා වාර්ෂික මුදල් සහනාධාර 1981 දී පටන් ලබාගනිමින් ඇන්ගෝලාවේ යුද කටයුතු සඳහා කියුබන් හමුදා යැවූ ෆිඩෙල් වීරයෙකි. වෛද්‍යවරු, ගුරුවරු, ගොඩනැඟිලි ඉදිකරන ශ්‍රමිකයන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ වෙනත් වෘත්තිකයන්ව බලහත්කාරයෙන් රටවල් 91 ක සේවයට පටවා වාර්ෂිකව ඩොලර් බිලියන 8.2 ක් ලබාගන්නා ෆිඩෙල් වීරයෙකි.

කෙටියෙන් කිව්වොත්, මිනිස්සු මැරුවාට කමක් නැත. ඔවුන්ට පළා යන්නට ඉඩ නොදුන්නාට කමක් නැත. ඔවුන්ගේ ශ්‍රමය බලහත්කාරයෙන් සොරාගත්තාට කමක් නැත. වාමාංශිකයෙක් නිසා ෆිඩෙල් වීරයෙකි.

1936 සිට 1938 දක්වා කාලය රැසියාවේ මහා භීෂණය සිද්ධ වූ කාලය හැටියට සැලකේ. එහි මූලිකත්වය ගත් ජෝසෆ් ස්ටාලින්ටත් වඩා වැඩියෙන් දේශපාලන සිරකරුවන්ව සිරබන්ධනයේ තැබීම ෆිඩෙල් කැස්ත්‍රෝ අතින් සිද්ධ විය. ෆිඩෙල් බලයට පැමිණි පළමු වසර 3 දී ඔහු මරා දැමූ කියුබන් වැසියන් සංඛ්‍යාව හිට්ලර්ගේ ජර්මනියේ පළමු වසර හයේ දී මරා දැමූ ජර්මන් වැසියන් සංඛ්‍යාවට අධික වේ. නැගෙනහිර ජර්මනියෙන් පළා යන්නට තැත් දරා මිය ගිය සංඛ්‍යාවට වඩා විසි ගුණයකට වැඩි කියුබන් වැසියන් කියුබාවෙන් පළා යන්නට ගත් උත්සාහයන් තුලින් මිය ගියහ.

පාසැල් ගුරුවරයෙක් වූ හියුබර් මාතොස් බතීස්තා පළවා හරිනු පිණිස පටන් ගත් ගරිල්ලා ව්‍යපාරයේ සටන් වැදුනෙකි. 1959 ජනවාරි 8 වැනිදා ෆිඩෙල් සමඟ කියුබන් විප්ලවයේ ජය සමරන ලද්දෙකි. එහෙත්, “අපි කොමියුනිස්ට් නොවේ,” කියාගෙන බලයට ඇවිත් අනතුරුව මැතිවරණ පැවැත්වීමෙන් ෆිඩෙල් අයින් වෙද්දී මාතොස් සිය තනතුරෙන් ඉල්ලා අස් වූයේය. මාතොස්ව ඝාතනය කරන්නට රාවුල් සහ චේ ඉදිරිපත් වූහ. නමුත් මරාදැමුව හොත් ඔහු කියුබානුවන් අතර මෘතවීරයෙක් වේ යැයි කියූ ෆිඩෙල් මාතොස්ව වසර 20 ක් හිරේ දැම්මේය. හිරෙන් එළියට ආ පසු මාතොස් රටින් පිටවීය.

මැතිවරණයක් නොපවත්වා, විරුද්ධ වෙන අය සියල්ලන්වම එක්කෝ ඝාතනය කරමින් නැත්නම් හිරේ දමමින්, වසර 50 ක් රටේ පාලන බලය අල්ලාගෙන සිටි ෆිඩෙල්ව වාමාංශිකයනට පෙනෙන්නේ මහා පෞරුෂයෙන් පිරුණ පුද්ගලයෙක් හැටියටයි. ලෙනින්, ස්ටාලින්, මාඕ යනාදීන් සැබෑ මාක්ස්වාදය රට පාලනයේ දී යොදාගත් පුද්ගලයන් නොවන බව කියා සිටිනවුන් පවා ෆිඩෙල් ගැන ගුණ වර්ණනා ලියති.

රෙයිනාල්ඩෝ අරිනාස් යනු ෆිඩෙල් සිරගත කළ ලේඛකයෙකි. රෑ පාත්වෙන්නට පෙර (Before Night Falls) නමින් ලියූ ජීවිත සටහන් වලින් තමා සිරබත් කෑ හැටි ගැන ඔහු සටහන් තබයි. ෆිඩෙල්ගේ කියුබාව සමරිසියන්ව රස්සා වලින් නෙරපන ලදි. කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය නොදී සිටියහ. සිරකඳවුරුවල ගාල් කර ඔවුනට කුරිරු වදහිංසා දුන්හ. 1980 ගණන් මැද දී HIV ඇති සියල්ලන්වම කියුබාවේ මානසික රෝහල්වලට ගාල් කරන ලදි. 2010 දී තමන් සමරිසියන්ට කළේ “මහා අයුක්තියක්” යැයි ෆිඩෙල්ම කියා සිටියේය.

සීනි කර්මාන්තයෙන් ආදායම් ඉපැයූ වතුයායක අයිතිකරුවෙකුට දාව ඉපදෙන ෆිඩෙල් සිය රටේ ජනතාවගෙන් තමන්ගේ සුල මුල වසන් කරන ලදි. භූමි හෝ ගොඩනැඟිලි අයිතිය සාමාන්‍ය ජනතාවට නැති රටක ඔහුට දූපතක අයිතිය තිබුණි. සුපිරි බෝට්ටු හා නිවාස 20 ක අයිති සතු විය. වසර 50 කට ආසන්න කාලයක් කිසිම පුද්ගලික ව්‍යාපාරයක් තහනම් වූ රටක ඇමෙරිකන් ඩොලර් මිලියන 800 කට වඩා පුද්ගලික ශුද්ධ වත්කමක් තිබුණත්, ෆිඩෙල් රටවැසියන්ට කිව්වේ වෙරළ ළඟ කුඩා පැළක තමන් ජීවත්වෙන බවයි. මරණ දණ්ඩනය හිමිවීම නියත නම් සැබෑ තතු හෙළිකරන්නට රටේ කිසිවෙක් ඉදිරිපත් වේ දැයි කියා ෆිඩෙල්ගේ ගුණ වයන අය සිතන්නේ නැත.

ජනමාධ්‍ය හරහා මිනිසෙක් මරා දමන ආකාරය ප්‍රචාරය කරන්නට අයිසිස් ත්‍රස්තවාදීන් පටන් ගත්තේ මෑතක දී ය. එවැනි ත්‍රස්තවාදී ක්‍රියා ෆිඩෙල් සහ චේ පටන් ගත්තේ 1959 ජනවාරියේ දී ය. පෙළ ගසා හිසට වෙඩි තබා චේ සහ ෆිඩෙල් අතින් මරා දැමෙන කියුබන් වැසියන්ගේ නම් ගම් ඇතිව අන්තර්ජාලයෙන් දකින්නට හැකි වූවත් ෆිඩෙල්ගේ ගුණ වයන අයට ඒවා ෆිඩෙල්ට එරෙහි ප්‍රචාරක කටයුතු පමණි.

ඇමෙරිකන් රජය ලෝකයේ අනේක ත්‍රස්තවාදයන් වපුරන්නට සිය රටවැසියන්ගේ බදු මුදල් යොදා ගැනීම ගැන උරණ වන ඇමෙරිකන් වැසියන් ප්‍රසිද්ධියේ ඒ ගැන ලොවට කියන්නට මහා ජනරැළි පවත්වමින් විරෝධතා පෙළපාලි යති. කියුබන් රටවැසියන්ගේ වෙහෙසෙන් විදෙස් ත්‍රස්තවාදීන් පෝෂණය කිරීම ගැන පෙළපාලි යන්නට කියුබාවේ කිසිවෙකුට අවසර නැත්තේ මන්දැයි හිතන්නට ෆිඩෙල්ගේ ගුණ වයන අයට නොහැකියි.

ඔහුට හැදූ පිළිම නැහැ, ප්‍රතිමා නැහැ. ඔහුගේ නමින් වීදියක් නම් කර නැහැ, ගොඩනැඟිල්ලක් නම් කර නැහැ යැයි කියමින්, ගෞරවයට ප්‍රශංසාවට පත් විය යුත්තෙක් හැටියට ෆිඩෙල් දකින අයට ෆිඩෙල් අදහන්නේ නැති අයව, කියුබාවේ සිතන්නට හැකියාව ඇති අයව, වෙඩි තබා මරා දැමීම, සිරගත කිරීම සහ ශ්‍රමික වහලුන් කරලීම පෙනෙන්නේ නැත.

සටහනට එකතු කර ඇත්තේ කියුබාවේ හවානා නගරයේ බේස්බෝල් Hall of Fame හි ඇති බේස්බෝල් පිත්තක් අතැති ෆිඩෙල්ගේ බිත්ති සිතුවමකි.

ඇයි කියන්න, මා සහෝදරයා
ආඥාදායකයන් මරන්නේ
සහ යුද්ධ කරන්නේ මන්දැයි කියා
කීර්තියට ද, භෞතික වස්තු සඳහා ද,
විශ්වාසයන්ට ද, ද්වේශය නිසා ද,
බලයට ද,
ඔව්, ඒ හැරෙන්නට තවත් දෙයක් නිසා
ඔවුන්ට කරන්න පුළුවන් නිසා.”

21 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on නොවැම්බර් 30, 2016 at 5:29 ප.ව.

    මේ කෝණයෙන් කැස්ත්‍රෝ ගැන කියවන්න ලැබුණු එකම සිංහල ලිපිය. ස්තුතියි අරුණි

  2. චතුරංග බුද්ධික said, on නොවැම්බර් 30, 2016 at 7:02 ප.ව.

    පේන දේ එක එක් කෙනාට සාපේක්ෂයි හලෝ…
    තමන්ට ඕනේ විදිහට තමයි හේතු හදා ගන්නේ හැම දේටම…
    ඊට පස්සේ ඒවා සාධාරණීකරණය කරනවා…

  3. Canada Buwa said, on දෙසැම්බර් 1, 2016 at 1:33 පෙ.ව.

    Vishishtaie. Thanks a lot.

  4. ravi said, on දෙසැම්බර් 1, 2016 at 2:25 පෙ.ව.

    බහුතරයක් ඇත්තට කැමති නෑ. තමන් ගැන වගේම අනුන් ගැනත් මවාගත්තු සුරංගනා ලෝකවල ජීවත්වීම තරම් සැපතක් ඔවුන්ට තවත් නෑ.

    ස්තූතියි ඔබට අරුණි!

  5. කලාමැදිරියා said, on දෙසැම්බර් 1, 2016 at 5:49 පෙ.ව.

    http://bitternight.blogspot.com/2016/12/hasta-la-victoria-siempre.html
    ෆිඩෙල් කැස්ත්‍රෝ ගේ මරණය ගැන කියුබාවෙන් පලා ගොස් ඇමෙරිකාවේ ලැගුම් ගෙන සිටින කියුබානු සංක්‍රමණිකයන්ගේ සිට ලංකාවේ පැරණි වමේ මෘත කලේබර දක්වා වූ බොහෝ දෙනෙකුන් සතු‍ටු වෙමින් සිටී.

    ඉන් එක් අයෙකු වන අපගේ ශූර බ්ලොග් කාර W3LANKA පැරකුම් කියන්නේ “කස්ත්‍රො මිය ගියා ය කියලා ඔහුට නම් කිසිම හැඟීමක් නැති බවයි”. ඒ ඔහුට දැනෙන ආකාරයයි.

    අපේ තව සමහරක් අමු අමුවේම ඇමෙරිකානු මාධ්‍ය කොපි කරමින් කැස්ත්‍රෝට පෙර කියුබාවේ තිබූ ශ්‍රී විභූතියක් ගැන දොඩවති.ඒ බව පෙන්වමින් සංඛ්‍යා ලේඛන ද ඉදිරිපත් කරති. ඔවුනට අනුව පූර්ව කැස්ත්‍රෝ කියුබාව යනු යුරෝපයටත් වඩා දියුණු රටකි. හවානාවේ තිබූ කැඩිලක් රථ ප්‍රමාණය ගැන සුසුම් ලන මේ බුඩ්ඩිමතුන් ලෝකයේ වැඩිම කැඩිලක් ආනයන ය තිබුණේ කියුබාවේ බව අපට කියති.

    එහෙත් ඔවුන් නොකියන දේ… එක්කෝ නොදැන හෝ දැනගෙනම සඟවමින්-….. වන්නේ මෙම සැප රථ ගෙන ආවේ අතලොස්සක් වූ කියුබානු ධනපතියන්ට හා කියුබාවේ නිවාඩු ගත කිරීමට පැමිණෙන ඇමෙරිකානු ධනපතියන්ගේ ප්‍රයෝජනයට බවයි.එකල කියුබාව වූ කලී ඇමෙරිකානු සංචාරකයින්ගේ සූදු පිටිය හා ගණිකා මඩම වූ බවයි.

    පූර්ව විප්ලවීය කියුබාවේ දරුවන්ගෙන් අඩකට වැඩි පිරිසක් මන්දපෝෂණ්යෙන් පෙලෙමින් කොකු පණු රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳිමින් සිටි බව හා එකල කියුබාවේ එක් කොණක සිට අනික් කොණ දක්වා වූ මහා උක්වතු එක්කෝ ඇමෙරිකානු සමාගම් හෝ අතලොස්සක් වූ කියුබානු කෝටිපතියන්ට අයත් තිබුණු බව ඔවුන් නොදනිති. නැතහොත් ඒ බවක් හඟවති.

    කැස්ත්‍රෝගේ විප්ලවයෙන් හානි වූයේ ඒ අතලොස්සක් දෙනාට හා කියුබානු පොලවේ සාරය උරා බිව් ඇමෙරිකානු සමාගම් වලටය.
    කැස්ත්‍රෝගේ අභාවය ගැන ශෝක වෙමින් දස දහස් ගණන් තරුණ , බාල මහලු කියුබානුවන් පාරට බැස ශෝක වන්නේ ඒ නිසාය.නමුත් අපේ බුඩ්ඩිමතුන් සිටගන්නේ කැස්ත්‍රෝගේ අභාවය ගැන ප්‍රීති වන අතලොස්සක් වූ ඒ පරාජිත පිරිස් සමගය. වන්නාටය.

    සටහන- 1962 දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් බේ ඔෆ් පිග් නැමැති ස්ථානයෙදී , කියුබාවෙන් පලා ඇවිත් සිටි කියුබානුවන් පිරිසක් යොදවා කියුබාව ආක්‍රමණය කිරීමට දැරූ උත්සාහය ලජ්ජා සහගත ප්‍රාජයකින් කෙලවර විය. ඔවුන් ගේ ඒ ආක්‍රමණය එදා ඇමෙරිකාව හැඳින්වූයේ කියුබානුවන්ට නිදහස ලබා දීමේ උත්සාහයක් ලෙසය.
    කීර්තිමත් දාර්ශනිකයෙක් හා දේශපාලන විචාරකයෙන් වූ බර්ට්‍රන්ඩ් රසල් ඒ ගැන කිව්වේ ” කියුබානුවන්ට නිදහස ලබා දෙන්නෙමුයි ඇමෙරිකාව කියන විට ඉන් අදහස් වන්නේ කියුබානු දරුවන්ට නැවතත් මන්දපෝෂණය හා කොකු පණු රෝගයත් , කියුබාවේ උක්වතු ඇමෙරිකානු සමාගම් වලට ලබා දීමත් බවයි”-

    • arunishapiro said, on දෙසැම්බර් 1, 2016 at 9:39 පෙ.ව.

      කලාමැදිරියා,

      කුරිරු මිනිසෙක් මිය යාම ගැන දුකක් දැනෙන්නේ කුරිරු හදවත් වලට පමණයි.

      ජේම්ස් ජේ. හිල්, බිල් ගේට්ස් වැනි අතලොස්සක් ධනවත් වෙද්දී රටේ මිනිස්සු නොව ලෝකවාසීන් සමස්තයගේම ආර්ථිකය සරුසාර වෙන බව නොදන්නේ වාමාංශිකයන් පමණි. එය නොදන්නා වාමාංශිකයන්, මිනිස්සු බඩගින්නේ පෙළපාලි යද්දී වෙඩිතබා මරන්නට අණදුන් පාලකයාගේ බිරින්ඳෑ ලොටී උල්බ්‍රයික්ට්ට බුල්ගේරියාවෙන් ගේන ඇපල් කන්න ලැබීම ගැනත් නොදනිති. හාමතෙන් පෙළෙමින් සිටින ජනතාවකට, බඩු ගන්නට කොලොම්බියාවට පෝලිම් ඇදෙන ජනතාවකට, සල්ලි කිරා ගණුදෙනු කරන්නට සිද්ධ වී ඇති ජනතාවකට, බිලියන 4 කට වඩා වත්කමක් ඇතිව උගෝ චෑවේස්ගේ දුව වෙනිසියුලාවේ ධනවත්ම කාන්තාව වූයේ කෙසේදැයි කියා නොදිනිති.

    • arunishapiro said, on දෙසැම්බර් 1, 2016 at 9:50 පෙ.ව.

      කලාමැදිරියා,

      එකල කියුබාව වූ කලී ඇමෙරිකානු සංචාරකයින්ගේ සූදු පිටිය හා ගණිකා මඩම වූ බවයි.// කියද්දී කැස්ත්‍රෝගේ කියුබාව ඔහුට පමණක් හිමි වූ සූදු පිටියක් හා ගණිකා මඩමක් වූ බව නොදකියි. කැස්ත්‍රෝ සිය ජනතාවට කියන්නේ තමනට තිබුනේ Mirta Diaz-Balart සමඟ වූ එකම එක විවාහයක් පමණක් බවයි. ඒ විවාහයෙන් උපදින ෆිඩෙලීටෝ ඔවුන්ගේ දූපතේ ජීවිතය උපරිමයෙන් විඳින ආකාරය දන්නේ පිටරටවල ජීවත් වන අයයි. විප්ලවයෙන් අනතුරුව Marita Lorenz නමැති ජර්මන් කාන්තාව හා අනියම් සම්බන්ධය ලොවම දැනගන්නේ ඇමෙරිකන් CIA ඇය ලවා ෆිඩෙල් ඝාතනයට ගත් උත්සාහය නිසයි. එක විවාහයක් තියනවා යැයි ජනතාවට කියන ඔහුට ගෝත්‍රයක් හදන්න තරම් ළමයි සිටින බවත් දන්නේ රටෙන් පිට සිටින අයයි. දික්කසාදයට පෙර වෙනත් අයෙකු හා විවාහව සිටි Natalia “Naty” Revuelta හා හොර සම්බන්ධයකින් ෆිඩෙල්ට දාව උපදින Alina පසු කාලයක දී කියුබාවෙන් පැන ඇවිත් මයාමි හි පදිංචි වේ. විවාහ නොවූ Dalia Soto del Valle ගෙන් ලැබුණ පුත්තු පස් දෙනෙක් ෆිඩෙල්ට සිටිති.

    • arunishapiro said, on දෙසැම්බර් 1, 2016 at 10:08 පෙ.ව.

      කලාමැදිරියා,

      1957 කියුබාවේ ජනගහණයට සමානුපාතිකව එහි වෛද්‍යවරු හිටියේ නොර්වේ, ස්වීඩන් සහ මහා බ්‍රිතාන්‍යයටත් වැඩියෙන්. 1958 දී කියුබාව ලතින් ඇමෙරිකාවේ සෞඛ්‍ය දර්ශක වල දී පළමු, දෙවැනි හෝ තුන්වැනි ස්ථානයේ සිටිය බව මෙහි පළමු වාක්‍යයෙන් කියැවෙනව. ලතින් ඇමෙරිකාවේ අඩුම ළදරු මරණ සංඛ්‍යාව දකින්න ලැබිච්ච රටක්.

      කියුබාවේ උක් කර්මාන්තයේ දියුණුව ඇතිවෙන්නේ කියුබාව ස්පාඤ්ඤයේ යටත් විජිතයක් හැටියට ඉන්න කාලේ. ස්පාඤ්ඤ ඇමෙරිකන් යුද්ධ පටන් ගන්නත් කළින් Máximo Gómez සීනි වතුයායන් ගිනිබත් කරපු හැටි එහෙම කියවලා බලන්න. ඇමෙරිකන් සමාගම් යන්න කළින් 1880 ගණන් වල කියුබාව ලෝකයේ සීනි අපනයනයෙන් 42% ක් කළ බව දැනගන්නට ලැබේවි.

      කැස්ත්‍රෝගේ පියා ද පාසැල්, තැපැල් කාර්යාල පවා තිබි මහා විශාල උක්වත්තත අයිතිකාරයෙක් වු බව අපි අමතක කර දාමු නේද?

    • arunishapiro said, on දෙසැම්බර් 1, 2016 at 10:19 පෙ.ව.

      ලතින් ඇමෙරිකාවේ දියුණු රටක් වෙන්නට ගමන් කරපු කියුබාවේ ආර්ථිකය කැස්ත්‍රෝ යටතේ කඩා වැටිච්ච හැටි විස්තර කියවන්නට කැමති අයට: Cuba, From Economic Take-Off to Collapse under Castro by Jorge Salazar-Carrillo and Andro Nodarse-León (2015)

      ප්‍රතිචාර ලෙසින් මම 2011 දී ලියන ලදි:
      කියුබාව එදා සීනි නිෂ්පාදනයේ දකුණු ඇමෙරිකාවේ ඉහළින් ම හිටිය. 62% ක් සීනි නිෂ්පාදන සතුව තිබුනෙ කියුබානු වැසියන්ට. 1950 දී කියුබාවේ පේසෝව ඇමෙරිකන් ඩොලරය හා වටිනාකමකින් යුතු වූවා. රේඩියෝ හවානා ක්ලබ්, රජයේ ‍ගුවන්විදුලිය, භාෂා දුසිම් ගණනකින් ලෝකයට විකාශනය දුන්නා. 1959 දී කියුබාවේ හැම වැසියන් 5 දෙනෙකුටම පාහේ රේඩි‍යෝවක් හිමිකම් තිබුණ. හැම 28 දෙනෙකුටම බැගින් රූපවාහිනියක් තිබුණ. හැම 38 දෙනෙකුටම බැගින් දුරකතනයක් තිබුණ. හැම 40 දෙනෙකුටම බැගින් වාහනයක් තිබුණ.

      දත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්.

      1958 දී කියුබාව මුළු ලෝකයේ ම කර්මාන්තශාලා කම්කරුවන්ට ඉහළ පඩි සපයන 8 වැනි ස්ථානයේ හිටියෙ. ඔවුනට ඉහළින් වැඩි පඩි දෙන අයට හිටියේ පිළිවෙලින් ඇමෙරිකාව, කැනඩාව, ස්වීඩනය, ස්විට්ස්ර්ලන්තය, නවසීලන්තය, ඩෙන්මාර්ක් හා නෝර්වේ පමණයි.

      1958 දී කියුබාව මුළු ලෝකයේ ම කෘෂිකාර්මික ගොවියන් සඳහා ඉහළ පඩි සපයන 7 වැනි ස්ථානයේ හිටියෙ. ඔවුනට ඉහළින් වැඩි පඩි දෙන අයට හිටියෙ පිළිවෙලින් කැනඩාව, ඇමෙරිකාව, නවසීලන්තය, ඔස්ට්රේ්ලියාව, ස්වීඩනය හා නෝර්වේ පමණයි.

      අවුරුදු 49 කට පස්සෙ ආණ්ඩුවට ගත්ත සේරම දේපල කාලා ඉවර වෙලා දැන් සල්ලි නැහැයි කියලා මිලියනකුත් භාගයක ජනතාවට වසර අවසානය වෙනකොට රස්සාවල් අහෝසියි.

      1958 දී 14% ක් පමණයි ඇමෙරිකන් ආයෝජන කියුබාවේ තිබුනෙ. කැසිනෝ තිබුනෙ 10 යි. // ඊජිප්ට් ලීබ්‍රේ සටහනේ.

  6. කලාමැදිරියා said, on දෙසැම්බර් 1, 2016 at 8:56 ප.ව.

    Aruni Shapiro,

    Please read Michael Moor or watch his movie Sicko. You, self -originated American lady, would die of shame

    • arunishapiro said, on දෙසැම්බර් 1, 2016 at 9:44 ප.ව.

      කලාමැදිරියා,

      you do make this too easy for me!!!!!😀

      කියුබන් එලීට් අයට, ඒ කියන්නේ කැස්ත්‍රෝලාගේ සිත දිනාගන්නට සමත් ඔවුන්ගේ වැරදි පෙන්වා නොදෙන අයට සහ වෛද්‍ය සේවා සොයාගෙන යන විදේශිකයන්ට ලැබෙන කියුබාවේ වෛද්‍ය සේවය එහි සාමාන්‍ය රටවැසියාට දිග පෝලිම්වල ඉඳලා ලැබෙන වෛද්‍ය සේවය නෙමෙයි බව අහලා නැතිව ඇති. සාමාන්‍ය වැසියන්ට ඒ ඉස්පිරිතාල වලට තියා විදේශිකයන් ඉන්න මුහුදු වෙරළක් ළඟට පවා ගියොත් පොලීසියේ තපින්න වෙන්නෙ.

      ඉස්පිරිතාලේ යද්දී ලංකාවේ වගේ තමයි ඇඳ ඇතිරිලියි කොට්ට එහෙමත් අරන් යන්න ඕනලූ, ඇන්ටිබයොටික් (ප්‍රතිජෛවක) සහ ඇස්ප්‍රින් පවා සාමාන්‍ය වැසියන්ට ලබාගත නොහැකියාව නිසා මයාමි ඉන්න ඥාතීන්ට කියල ඒවා තැපෑලෙන් ගෙන්න ගන්න හැටිත් අහන්න ලැබෙන්නේ නැහැ. මොරොන්, කියුබාවේ ජැස්මින් නැමති හෙදිය වසරකට වඩා කාලයක දී කියුබාවේ කඩයක දී ඇස්ප්‍රින් දැක්කේ නැතැයි කියයි. පසුම්බියේ පෙති ඇත්නම්, ඒවා කල් ඉකුත් වී ගිය ඒවා වුවත් ඇය ඉල්ලයි.

      සිම්බාබ්වේ යවා තිබිය දී ඇමෙරිකාවට පැන ගිය ලියොනෙල් කොර්ඩෝවා වෛද්‍යවරයා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට කියා සිටින්නේ බ්‍රොන්කයිටිස් වැනි ශ්වාස නාලිකා ආසාදනයක් වැනි සුළු රෝගී තත්වයක දී වුවද ප්‍රතිජෛවක නියම කරන්න ඒවා නොමැති වූ බවයි.

      කියුබාවේම සඟරාවකින් පවත්වන ලද සමීක්ෂණයක දී නිල ලැයිස්තුවේ ඇති බෙහෙත් වර්ග 211 ක් සොයාගන්නට අසමත් වූ බව කියයි.

      අනික වෛද්‍යවරු පිටරට යවලා ශ්‍රමය සූරාකන නිසා … නැහැ නැහැ ඒ අයගෙන් “ස්වේච්ඡාවෙන්” ලබාගන්න නිසා, කැමාගුවේ දිස්ත්‍රික්කයේ 45 වියැති හෙදියක් කියන්නේ වසර දෙකකට වඩා කාලයක් ක්ලින්ක් එකේ දොස්තර කෙනෙක් නැති බවයි. එතැන හිටපු දොස්තරව වෙන ක්ලින්ක් එකකින් වෙනිසියුලාවට යවපු දොස්තර වෙනුවට යවලා නිසා. “දොස්තරලා වෙනුවට තෙල්” වැඩසටහන සඳහා වෙනිසුයාලවට කියුබන් වෛද්‍යවරු 14,000 ක් සහ සෞඛ්‍ය සේවකයන් හයදාහක් යවා තියෙනව. තෙල් එවන නිසා වෙනිසියුලාවේ අයට ඇස් සැත්කම් කියුබාවේ දී නොමිලේ ලැබෙනව. මොකද සමාජවාදීන් වුණත් නිකම් මුකුත් දෙන්නෙ නෑල්ලූ😀 දැන් වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනයත් අඩු නිසා කියුබාවේ නිතර විදුලි බලය ඇණ හිටිනවාලු.

      කියුබාවේ වෛද්‍ය ක්ෂේත්‍රය පසසන අය දන්නෙ නැහැ 2006 දී කියුබන් දොස්තරවරු අතින් සැත්කමක් වැරදුනාම ස්පාඤ්ඤයෙන් විශේෂඥයෙක්ව ගෙනාපු බව. වෙන කාවවත් නෙමෙයි ෆිඩෙල් සහෝදරයාවම බේරගන්න.

      කැස්ත්‍රෝලාට මයිකල් මුවර්වයි කලාමැදිරියන්වයි අන්දන්නට ලැබුණාට අපිව අන්දන්න බැහැ. හැබැයි මුවර්ට කලාමැදිරියා විදියට හිතන අයගෙන් ඩොලර් මිලියන 50 ක වත්කමක් එකතු කරගන්න හැකියාව ලබපු එක නම් කිසිම දුකකුත් නැහැ!!!

      “Sicko” Presents False View of Cuba’s Health System by Ryan Balis

      Fidel Castro: Hero or Cold-blooded Murderer?

      • arunishapiro said, on දෙසැම්බර් 1, 2016 at 9:47 ප.ව.

        මුවර්ට ලැබුණෙ එහෙම විශේෂ ඉස්පිරිතාලයක් නෙමෙයි කියන්න හිතන අය පොඩ්ඩක් නැවතිලා කල්පනා කරල බලන්න. වැරද්දක් කළා යැයි තීන්දු වෙලා හිරේ නොයා ලංකාවේ සහ/හෝ විදේශ රටක ඉස්පිරිතාලයක කාලය ගෙවන්න හැකියාව ලැබෙන්නෙ පාලන බලයේ ඉන්න දේශපාලනඥයන්ට ද? නැත්නම් ලංකාවේ සාමාන්‍ය රටවැසියෙකුට ද?!!!!😀

  7. samiddhi said, on දෙසැම්බර් 2, 2016 at 8:04 පෙ.ව.

    if that much wealthy that Cuba before the revolution, how come they had to do a revolution???? I think they are crazy!!!!!

    • arunishapiro said, on දෙසැම්බර් 2, 2016 at 3:55 ප.ව.

      samiddhi,

      ඉතා හොඳ ප්‍රශ්නයක්. ස්තූතියි.

      කෙටියෙන් කිව්වොත් රුසියාවේ 1917 දී ඔක්තෝබර් විප්ලවය/බොල්ෂෙවික් විප්ලවය ඇතිවෙච්ච හේතු හා සමාන වූ තත්වයක් 1959 දී කියුබාවේ පැවති නිසා.

      දෙවැනි නිකලස් බලයට එද්දී එයාට ඊට කළින් හිටපු ට්සාර්ල විදියට වැඩ කරන්න ලැබෙන්නෙ නැහැ. මිනිස්සු ආර්ථික සහ සමාජීය නිදහස ඉල්ලා සිටිය යුගයක් ලෝකයේ ආරම්භ වෙද්දී බලයේ ඉන්න කියල ඒකාධිකාර පාලනයෙන් වෙනස් වෙනවා කියල පොරොන්දු වුනාට, යම් වෙනස්කම් ආරම්භ කළත් ඒවා දෙවැනි නිකලස් හරිහැටියට ක්‍රියාත්මක කළේ නැහැ. ඒ ඔහුගේ පාලන දුර්වලතාවය. ට්සාර් කෙනෙක් හැටියට 1917 දී දෙවැනි නිකලස්ට තිබුණ බලය අද පූටින්, ෂී ජියාපෙන්ග් වැනි අයට වඩා ගොඩක් අඩුයි. බොල්ෂෙවික්ලා බලය අල්ල ගන්න හේතුවෙන්නේ පැවති වියවුල් තත්වයෙන් ප්‍රයෝජන ගෙන. ඒත් 1933 වසන්තයේ දී සෝවියට් ප්‍රතිපත්ති නිසා දවසකට 25,000 ක් ගානේ යුක්රේනයේ මිනිස්සු මිය ගිහින් තියනව. තමන්ට නිදහස දෙන්නැති අධිරාජ්‍යවාදියා යැයි දෙවැනි නිකලස්ව හඳුන්වපු මිනිස්සුන්ට “සාගතය”, “බඩගිනි”, “දූර්භීක්ෂය” වැනි වචන පාවිච්චිය පවා අත්අඩංගුවට ගැනෙන නීති විරෝධී තහනම් වචන වෙනව.

      යටත්විජිත පාලනයෙන් ගැලවිලා නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමයට පිවිසෙමින් හිටපු කියුබාවේ මිනිස්සු එවක ලතින් ඇමෙරිකාව පුරා පැතිර ගිය සමාජවාදී රැල්ලට හසුවෙනව. ධනවාදයටත් ඇමෙරිකාවටත් පක්ෂ වූ බතීස්තාට පළමු මැතිවරණයේ දී කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහායත් ලැබුණ. කම්කරු නීති, කම්කරු වෘත්තීය සමිති වලට සහාය දක්වපු ඔහුට එවක ඇමෙරිකන් ආණ්ඩුවේ සහායත් ලැබුණ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක් වෙනුවෙන්!!! කියුබාවේ මිනිස්සුන්ට බතීස්තා එපා වෙන්නෙ හැමෝම හිතන විදියට ඇමෙරිකන් සමාගම් පවත්වාගෙන ගිය කැසිනෝ, හෝටල් නිසා නෙමෙයි. බතීස්තාගේ ආණ්ඩුවේ හිටපු රාජ්‍ය සේවකයන් අතර කියුබාවේ ජන ජීවිතයට බලපාන අන්දමින් දැඩිව පැතිරිලා ගිය අල්ලස් දූෂණ නිසයි. කියුබාවේ මාෆියා කණ්ඩායම් කියුබාවේ රාජ්‍ය සංවර්ධන බැංකු මුදල් සහ වෘත්තීය සංගම් අරමුදල් පවා යොදවමින් එහෙ කැසිනෝ ව්‍යාපාරයේ සූදු කෙළිච්ච නිසා. ඇමෙරිකාවෙන් හොරෙන් පලා ගිය ලකී ලුසියානෝ එහෙම බතීස්තා සමඟ එකතුවෙනව. බතීස්තාට එතෙක් කාලයක් සපෝට් කරපු ඇමෙරිකන් ආණ්ඩුවටත් එයාව කරදරයක් වෙද්දී තමයි කියුබන් ජනතාවටත් එපා වෙන්නෙ.

      ලෝකෙ බොහොම දෙනෙක් කියුබන් විප්ලවය කියල දකින්නේ ඇමෙරිකන් ඉත්තෙක් වූ බතීස්තාගේ ආඥාදායක රජය පෙරළන්න කඳුකරයෙන් සිය ගණනක විතර ගරිල්ලා හමුදාවට පුළුවන් වුණා කියල. නමුත් විප්ලවය සාර්ථක වුනේ සමාජයේ හැම තරාතිරකම පාහේ හිටපු අයට බතීස්තාගේ රාජ්‍ය නිලධාරීන් + මාෆියාව එපා වෙලා තිබ්බ නිසයි. සමාජවාදී වුණාට ප්‍රජාතන්ත්‍රවාදය අගය කරපු බහුතරය කියුබාවේ හිටිය. “අපි කොමියුනිස්ට් නෙමෙයි,” කියල ෆිඩෙල් කිව්වෙ ඒ නිසයි. මැතිවරණයක් දිනල, ඊට පස්සෙ මැතිවරණයක් නොතිබ්බ ආඥාදායකයෙක් වෙච්ච බතීස්තාව අයින් කරපු ජනතාවට නැවතත් මැතිවරණ පවත්වන්නේ නැති ෆිඩෙල් ලැබුණම ෆිඩෙල් කියුබන් විප්ලවය පාවා දුන්න කියල කියැවෙන්නෙත් ඒ නිසාමයි.

      ආර්ථික සමෘද්ධියක් ඇතිවෙන්නේ හා පවත්වා ගැනෙන්නේ කෙසේදැයි රටේ මිනිස්සුන්ට අවබෝධයක් නැත්නම්, හැමදාම මේ රජය පෙරළා වෙන රජයක් පත්කරගන්න විප්ලව අත්දකින්න ලැබෙනව. විප්ලවයකින් රටේ වෙනස් කළ යුතු කාරණා මොනවාදැයි අවබෝධයක් නැත්නම් තිබුණටත් වඩා ආර්ථික හා සමාජයීය දුක්ඛිත තත්වයක් අත්විඳින්න ලැබෙනව.

  8. Nanda Wanninayaka said, on දෙසැම්බර් 2, 2016 at 12:15 ප.ව.

    අරුණි,එතකොට කැස්ත්‍රෝ සියඹලා ගෙනල්ලම නැද්ද? අපේ අප්පච්ච්ත් පට්ට කමියුනිස්ට්කාරයෙක් වූයෙන් හෝඩි පොතටත් කලින් “සෝවියට් දේශය” සඟරා කියවපු නිසා මටත් කැස්ත්‍රෝ ගැන මෙව්වා එකක් තියෙන නිසයි අහන්නේ.

    • arunishapiro said, on දෙසැම්බර් 2, 2016 at 4:01 ප.ව.

      Nanda Wanninayaka,

      අමු සියඹලා වලට ඇති ඉල්ලුමට වඩා වියළි සියඹලා වලට ඇති ඉල්ලුම වැඩි ඇයි?
      කවුද ඒක තීරණය කළේ?
      අමු සියඹලා සපයන ගොවියා ද?
      වියළි සියඹලා විකුණන මුදලාලිලා ද?
      අමු හා/හෝ වියළි සියඹලා මිල දී ගන්න පාරිභෝගිකයන් ද?

      යමක් සපයන්නට හැකියාව තිබුණ පමණින් ඊට ඉල්ලුමක් ඇතැයි විශ්වාසය කිරීමත්, අතරමැදියන් අයින් වෙද්දී බඩු හිඟය වැඩිවෙන හැටිත්, ඉල්ලුම සහ සැපයුම අනුව ඉහත පිරිස් 3 විසින්ම කරන ගණුදෙනු වලින් භාණ්ඩයක මිල තීරණය වෙන හැටි ගැන කිසිත් අවබෝධයක් නැති අයයි “ඇයි, මුදලාලි මම සියඹලා ගෙනාවේම නැද්දැ”යි අහන්නෙ.

      ලෝකෙ මිනිස්සු මුදල් පරිහරණය දැනගෙන හිටියට, කඩේ ගිහින් බඩු ගන්න දැනගෙන හිටියට, මුදල් ගැනත් කඩ රාක්කවල බඩු දකින්න ලැබෙන හැටි ගැනත් දැනුම ඉතාමත් අඩුයි. මොකද මුදල් ක්‍රමය හා මුදල් අගය ගැනත්, රාක්කවලට බඩු එන හැටි ගැන දැනුම නැතිව මුදල් දීලා බඩු ගන්න හැකියාව ඕනෑම මනුස්සයෙකුට තියෙන නිසා!!!!

      කැස්ත්‍රෝ කළේ රටවැසියන්ව බතීස්තාගේ දුෂ්ට පාලනයෙන් මුදවා ගන්නට පෙරමුණු ගත් අය සමඟ හවුල් වී බතීස්තා සහ ඔහුගේ නියෝජිතයන් පළවා හැර ඊටත් වඩා කුරිරු වූ තමන්ගේ පාලනයේ රටවැසියන් අවුරුදු 50 කට වඩා කාලයක් හිරකරවීමයි.

      මුදල් ගැනත් රාක්ක වලට බඩු එන හැටිත් දන්නා අය දකින්නේ ඔහුගෙන් රටවැසියන්ට අමු සියඹලාවත් ලැබුනේ නැති බවයි!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: