අරුණි ශපීරෝ‍ වෙතින්

මත්පැන් තහනම අයින් කළේ අද වැනි දවසක

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 5, 2016

billie_holiday_0001_original

1933 දෙසැම්බර් 5 වැනිදා ඇමෙරිකාවේ බියර්, වයින් සහ අනෙකුත් මත්පැන් සඳහා පනවාගත් තහනම අයින් කරමින් 21 වැනි සංශෝධනය සම්මත කෙරිණ. තහනම ගෙනෙන්නට පුරෝගාමී වූයේ ක්‍රිස්තියානි කාන්තාවන්ගේ අමද්‍යප ව්‍යාපාරයයි. 1900 ගණන් වල දී නැටුම් ගැයුම් පසුබිමක සූදු කෙළිය හා මත්පැන් විකුණූ සැලූන් වසා දැමීමට සංවිධානය වූ සැලූන් විරෝධී ලීගය ද ඔවුනට එකතු වූහ. 1920 දී 18 වැනි සංශෝධනයෙන් මත්පැන් තහනම් කරන්නට ඔවුනට හැකියාව ලැබිණ. තහනමට ලක්වෙන මත්පැන් මොනවාදැයි තීරණය කළේ වොල්ස්ටෙඩ් පනතෙනි. පුද්ගලිකව මත්පැන් පෙරාගෙන බොන අයිතිය ෆෙඩරල් ආණ්ඩුවෙන් ඉවත් නොවුණි. ආගමික කටයුතු වල දී මත්පැන් භාවිතය තහනම් නොවීය. එහෙත් බොහෝ පළාත් තුල මත්පැන් ළඟ තබාගැනීම තහනම් විය.

මිනිසාගෙන් මත්පැන් අයින් කරන්නට තහනමෙන් නොහැකි වූ බව වැඩිකල් යන්නට පෙර සියල්ලන්ටම අවබෝධ විණ. නීති උල්ලංඝණය හැම අතකින් අහන්නට ලැබිණ. ඒ හැරෙන්නට 1920 සිට 1933 දක්වා නීතිවිරෝධීව මත්පැන් හැදූ, ප්‍රවාහනය කළ සහ විකුණූ අවිගත් ප්‍රචණ්ඩ කල්ලි බිහිවිණ. ඇල් කැපෝන්ගේ කල්ලිය 1929 දී නෝර්ත් සයිඩ් අයිරිශ් කල්ලියේ 7 දෙනෙක්ව මරා ලොව සුපතල ‘වැලන්ටයින් දිනයේ ඝාතනය’ සිදු කළහ. මත්පැන් තහනම පැවති කාලයේ දී රටේ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යා ඉහළ ගියා පමණක් නොව එම තහනමෙන් අඩුවෙතැයි සිතූ මත්පැන් භාවිතය ද ඉහළ ගිය බව දත්ත පෙන්වයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි මත්පැන් සඳහා හදාගත් ඒකාධිකාරය, මත්පැන් තහනම අවසන් වීමත් සමඟ නැති වී ගියේය. කළුකඩයක අවශ්‍යතාවයක් නොවූයෙන් මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව ද පහළ යන ලදි. 1933 සිට ඊ ළඟ වසර 11 ක් පුරා නොකඩවාම රටේ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාන අඩුවී යාම දකින්නට ලැබුණි.

වර්තමාන ඇමෙරිකාවේ තවත් තහනමක් ක්‍රියාත්මක වේ. ඒ මත්ද්‍රව්‍ය තහනමයි. 1914 වසරට පෙර ඇමෙරිකාවේ ඕනෑම පාමසියකින් හෙරොයින් සහ කොකේන් අඩංගු නිෂ්පාදනයන් මිල දී ගන්නට හැකියාව තිබිණ. බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළඳසැල් තුල උසස් සමාජයේ කාන්තාවන්ට පවා මිල දී ගන්නට විච්චූර්ණ පෙට්ටිවල දැමූ හෙරොයින් විකුණන ලදි.

1929 දී හැරී ඇන්ස්ලින්ගර් නැමැත්තා ලෝකය පුරා සංචාරය කරමින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හොරෙන් ගෙනයෑමට එරෙහිව සටන් වදින්නට පටන් ගත්තේය. එවක ඔහු මත්පැන් තහනම සඳහා වූ ආයතනයේ සහාය කොමසාරිස් විය. 1930 දී ඔහුව ෆෙඩරල් නාකොටික් බියුරෝවේ ප්‍රධානියා බවට පත් කරන ලදි. ඔහු එම තනතුරේ වසර 32 ක් සිටියේය.

1914 දී ඇමෙරිකාව තුල හෙරොයින් සහ කොකේන් තහනම් විය. ඒවා භාවිතා කරන ලද්දේ සුළු පිරිසක් නිසා, හැරී ප්‍රධානියා ලෙසින් පත්වූ ආයතනය නඩත්තුවට එය රෙගුලාසිකරණයෙන් ලබන මුදල ප්‍රමාණවත් නොවීය. ඇන්ස්ලින්ගර් මත්ද්‍රව්‍ය පිළිකුල් කළා පමණක් නොව ඒවා භාවිතා කරන ලද පිරිස් ද පිළිකුල් කරන ලද්දෙකි. එවක සුදු හමැති අයට වැඩියෙන් ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ලද්දේ මෙක්සිකන් සංක්‍රමණිකයන් සහ කළු ඇමෙරිකානුවන් වූහ.

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ කළු පිරිමි විසින් සුදු කාන්තාවන් දූෂණය කරනවා යැයි කට කතා පතුරුවා හරින්නට ඇන්ස්ලින්ගර් සමත් වූයේය. චීන අබිං ගුහා ඇතැයි ද, ඒවාට හොඳ පවුල්වල සුදු කෙල්ලන්ව අද්දවා ගන්නේ යැයි කතා මවමින්, ආරංචි මාර්ග වලින් රටපුරා පතුරැවා හරින ලදි. රටවැසියන් අත්දැකි සාක්ෂි ඊට වෙනස් වූවත් ඔහු තමනට ලැබුණු රාජ්‍ය ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් බෙදා හැරියේ ඔහුගේ පුද්ගලික මතයයි. මරිජුවානා ගැන විද්‍යාත්මක ප්‍රශ්න මාලාවක් ඔහු විශේෂඥයන් 30 දෙනෙකුට යැවීය. ඔවුන්ගෙන් 29 දෙනෙක් උත්තර එව්වේ එය තහනම් කිරීම වැරදි කියායි. ජනමාධ්‍ය විසින් පතුරුවා හරින කතා වැරදි බවයි. ඒත් ඒ විශේෂඥයන් 29 දෙනාව නොසලකා හරිමින් ඇන්ස්ලින්ගර් එසේ නොකියූ එක විශේෂඥයාව ඉස්මතු කර ඇමෙරිකන් සමාජයෙන් මරිජුවානා තුරන් කළ යුතු යැයි කියා සිටියේය.

වෛද්‍යවරුන්ට එවක රෝග තත්වයන් සඳහා මත්ද්‍රව්‍ය නියම කළ හැකියාව තිබිණ. එඩ්වඩ් විලියම්ස් නම් වූ ඒ ගැන නොබියව කතා කළ වෛද්‍යවරයෙක්ව සිරබාරයට ගන්නා ලදි. එක වෛද්‍යවරයෙකුගේ වෘත්තිය කඩාකප්පල් කරන්නට හැකිවීමෙන් අනික් සියල්ලන්වම නිහඬ කරන්නට ද ඇන්ස්ලින්ගර්ට හැකියාව ලැබිණ.

නීත්‍යානුකූලව සපයන වෙළඳපොල ඉවත් කරද්දී ආර්නෝල්ඩ් රොත්ස්ටයින් නම් මැරවරයෙක්ට මත්ද්‍රව්‍ය කළුකඩ වෙළඳපොල හසුරුවන්නට ඉඩ ලැබිණ. මත්පැන් තහනමෙන් සිද්ධ වූවම අනතුරුව මත්ද්‍රව්‍ය තහනමෙන් සිද්ධ වූ හැටි කියැවෙන්නේ Johann Hari විසින් ලියූ Chasing the Scream: The First and Last days of the War on Drugs (2015) පොතෙන්.

බිලී හොලිඩේ වැනි ජෑස් ගායිකාවන් ඇන්ස්ලින්ගර් පිළිකුල් කළේය. ජෑස් ගායකයන් මරිජුවානා මතින් යුතුව අප්‍රිකානු, කැරීබියානු සංගීත මිශ්‍ර කරමින් සංගීතය නොවන්නක් ඉදිරිපත් කරනවා යැයි ඔහු ඇතුළු ඔහුගේ එජන්තවරු කියා සිටියහ. ජෑස් සංගීතය ඇමෙරිකාවේම බිහිවූ අලුත් දෙයක් බව මේ සුළු ජාතිකයන් ගැන ද්වේශයෙන් පිරී සිටි ඔහුට නොපෙනිණ. මරිජුවානා නීති කඩකරන ලද්දවුන් සියළු දෙනාම අල්ලා ගන්නට ඔහු සැලසුම් හැදුවේය. නීති කඩකරන අයව අල්ලා ගැනීමට යද්දී ඔහුගේ නීතිය වූයේ මුලින්ම වෙඩිතැබීමයි.

1947 දී බිලි හොලිඩේගේ නිව්යෝර්ක් නිවහනේ හෙරොයින් තිබීම නිසා ඇයව සිරබාරයට ගන්නා ලදි. “බිලි හොලිඩේට එරෙහි ඇමෙරිකාව” ඇගේ නඩුවේ නම හැටියට යොදා ගැනුණි. නඩුව විමසද්දී ඇයට දැනගන්නට ලැබෙන්නේ ඇය වෙනුවෙන් නියම කරන ලද නීතීඥයාට ඇයව නියෝජනයට උසාවියට එන්නට නොහැකි වූ බවයි. ලෝකයේ කිසිවෙක් තමා වෙනුවෙන් එදින නොසිටි ලෙසට ඇයට දැනුනු බව ඇය පසුව කියා සිටියාය. කිසිවෙකුටත් ප්‍රචණ්ඩත්වයක් නොදක්වා ජෑස් සංගීතයෙන් ප්‍රේක්ෂකයන් තුටු කරමින් ඉහළ ආදායම් හොයන්නට සමත් වූ ඇය වෙනුවෙන් නඩුවේ පැමිණිලි පැත්තේ නීතිඥයා පවා වචනයක් කියන්නට සමත් වූවත් ඇයට ඇල්ඩර්සන් ෆෙඩරල් සිරකඳවුරේ වසරක් ගෙවන්නට සිද්ධ විණ.

කළු හමැති ලැරී කූපර් වයස 18 දී හෙරොයින් වලට ඇබ්බැහි වී සිටියේය. 1987 දී හෙරොයින් සඳහා $80 ක් හොරකම් කරන්නට අවිගෙන කඩයකට ඇතුල්වීම නිසා ඔහු සිරගත විය. දුප්පත් කොල්ලෙක් වූ ඔහු සිරගෙදරින් එළියට එන්නේ 2015 දී ය. වර්තමානයේ සිරගත වූ ඇමෙරිකන් කළු හමැති වූවන් සංඛ්‍යාව 750,000 කට වඩා වැඩියි. ඔවුන් සිරගත වෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා නොවේ. මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ නීති කැඩීමෙන්.

මත්ද්‍රව්‍ය තහනම නිසා කළුකඩකාරය බිහි වීමෙන් අඩු ආදායම් ඇති අය ඉක්මණින් වැඩියෙන් ආදායම් උපයාගන්නට මත්ද්‍රව්‍ය විකුණන්නට පෙළඹෙති. එම රස්සාවේ යෙදෙන නිසාම ඊට ඇබ්බැහි වීමට ද වැඩියෙන් පෙළඹේ. ලැරී කූපර් සිරගෙදර සිටිය දී එහි ඇතුලේ පවා මත්ද්‍රව්‍ය විකිණෙන හැටි දැක්කේය. එහෙත් උසස් පෙළ අවසන් නොකර සිටි ඔහුට සිරගෙදර දී තම දැනුම වඩවා ගන්නට හැකියාව පෑදිණ. ඔහු සිය ඇබ්බැහියෙන් ගැලවුණි.

බිල් ක්ලින්ටන් සහ බරක් ඔබාමා තරුණ වයසේ දී මරිජුවානා භාවිතා කළ බව ප්‍රසිද්ධියේ කියූ අයයි. මලියා ඔබාමා සාදයක දී මරිජුවානා භාවිත කළ හැටි ඡායාරූප වලින් රට්ටු දුටුවහ. ඔවුන් තහනම් දෑ පාවිච්චි කළ ද සිරගත නොවූහ. මරිජුවානා ළඟ තිබී අල්ලාගන්නා ලද 137,000 ක් අද සිර දඬුවම් විඳිති.

මත්පැන් වේවා මත්ද්‍රව්‍ය වේවා තහනමක් දැමූ හැම අවස්ථාවක දී ම, කළුකඩයක් බිහි වී, දරුණු අපරාධ වැඩි වී, ඊටත් වඩා හානිකර විකල්ප භාවිතය වැඩිවීම දකින්නට හැකියි. ඖෂධයක් හැටියට සහ/හෝ පුද්ගලික වින්ඳනයට යනාදී වශයෙන් අවසර ලැබෙන ලෙසින් වර්තමානයේ මරිජුවානා තහනම ප්‍රාන්ත 28 කින් සහ වොෂිංටන් නගරය පවතින කොලොම්බියා දිස්ත්‍රික්කයෙන් අයින් වූවත් ෆෙඩරල් රජය තවමත් ඒ තහනම ඉවත් කර නැත.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. රාජ් said, on දෙසැම්බර් 5, 2016 at 10:57 ප.ව.

    අන්න ඒකට අපි. අරක්කු සිගරට් පවා දරාගන්න බැරි ගානට මිල උස්සනව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: