අරුණි ශපීරෝ‍ වෙතින්

අතෘප්තියේ හේමන්තය නිසා දිනූ මාග්‍රට් තැචර්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 19, 2016

img_1796

අපේ ගමේ පුස්තකාලයේ රාක්ක වලින් අයින් කරන පොත් ඒ පැත්තෙ එන අයට කිසිම ගාස්තුවක් නැතිව අරන් යන්න පුළුවන්. එහෙම දාලා තියෙන පොත් ගොඩවල් අවුස්සලා බලන්න මම හරි ආසයි. ගොඩක් වෙලාවට අරන් එන්න තරම් හොඳ පොතක් අහුවුනේ නැතත් පහුගිය දවසක මට ලැබුණ මාග්‍රට් තැචර්ගේ ජීවිත කතාව ගැන ලියැවුණ පොත. Margaret Thatcher, Power and Personality (2013) ලේඛකයා Jonathan Aitken.

ජොනතන් එට්කින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් සහ මන්ත්‍රීවරයෙක්. පොත් දුසිමක් විතර ලියල තියෙන, ඒවට සම්මාන එහෙමත් ලැබිච්ච කෙනෙක්. දේශපාලනඥයන් ගැන කියවන්න එතරම් ප්‍රසාදයක් නැතත්, මාග්‍රට් තැචර් පාසැල් දරුවන්ට නොමිලේ බෙදපු කිරි අයින් කරපු කතාව ගැන වැඩි විස්තරයක් තියෙනවා ද කියල හොයන්න කියල පොත ගත්ත.

පොත කියවද්දී තමයි දැනගන්නෙ මාග්‍රට් තැචර්ගෙ දියණිය, කැරල් එක්ක එට්කින් ප්‍රේම සබඳතාවයක ද පැටලිලා හිටිය බව. පොත කියවද්දී තමයි දැනගත්තෙ එට්කින් හරි ලස්සනට ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න දන්නව කියල. නිදාගන්න යද්දී පොතේ තැනින් තැන අපූරුවට ලියැවිච්ච කොටස් සුදු අප්පුහාමිට ඇහෙන්න හඬ නඟා කියවන්නත් පටන් ගත්ත. කාලෙකට පස්සෙ වචනයක දෙකක අර්ථ හොයන්න ඉංග්‍රීසි ශබ්දකෝෂයට යන්නත් සිද්ධ වුණා!! ඉතින් ඒ නිසාම පොත කියවලා ඉවර කරන්න කාලය ටිකක් වැඩියෙන් ගියා.

මහ මැතිවරණ තුනක් ජයගෙන අගමැතිනිය වන්නට සමත් වූ ඇයගේ ඉතාම වැදගත් ලක්ෂණය හැටියට එට්කින් දකින්නේ ඇයගේ පෞරුෂ ශක්තියයි. බාධක මැදින් ඉදිරියට යද්දී ඇය විරුද්ධ අදහස් හමුවේ ඉතා ඉක්මණින් වාදයට ඇදී යන ස්වභාවයෙන් යුතුයි. ඒත් ඇය තමන් යටතේ සේවය කළ අයට ඉතා කාරුණික වෙනව. දේශපාලන මතවාදී ගැටුම් වල දී ගැහැණු පිරිමි කම් නොබලා පුද්ගලයන්ව ප්‍රසිද්ධියේම හෑල්ලු කළාට තම බලය කිසි විටෙක අනිසි ලෙස පාවිච්චි නොකරමින් පාලනයේ යෙදුණ කෙනෙක්. මාග්‍රට් තැචර්ගෙ දක්ෂකම් ගැන වගේම අඩුපාඩු ගැනත් ඍජුව ලියන්න මේ ලේඛකයා සමත්වෙනව. ඇයගේ ජීවිත කතාව දිගහැරෙන්නේ එවක බ්‍රිතාන්‍යය ගැන අපි දන්න තොරතුරු වලට ඇතුලත සිද්ධ වෙච්ච අපි නොදන්න බොහෝ තොරතුරු එකතු කරමින්.

1966 මහ මැතිවරණයේ දී නිවාස හා ඉඩම් අමාත්‍යාංශයේ විරුද්ධ පක්ෂයේ කනිෂ්ඨ නියෝතයෙක් හැටියට ඇය කටයුතු කරමින් සිටිය දී තමයි බ්‍රිතාන්‍යයේ අඩුම වයසින් වූ ටෝරී අපේක්ෂකයා වූ තරුණ එට්කින්ට මාග්‍රට්ව මුලින්ම මුණගැහෙන්නෙ. ඒ කාලේ ටෝරීස් යැයි හැඳින්වෙන දක්ෂිණාංශ මතවාදී කොන්සර්වෙටිව් පක්ෂය ඇතුලත ජරමර පිරිලා හරිහැටියට නායකත්වයක් දකින්න නොතිබිච්ච කාලයක්.

1978 සිසිරය කියන්නේ ටෝරී පක්ෂයේ ඇතුලත කුලල් කා ගැනීම් බහුල වූ කාලයක්. එවක විරුද්ධ පක්ෂය වූ එහි නායකත්වය මාගරට් තැචර්ට ලැබුණේ ඇයට පක්ෂ සාමාජිකයන් දැක්වූ දැඩි කැමැත්තක් නිසා නෙමෙයි. එවක පක්ෂ නායකත්වයේ සිටි ටෙඩ් හීත්ට දක්වන ලද දැඩි අප්‍රසාදයක් හැටියටයි.

මාග්‍රට් තැචර්ව රටේ අගමැති තනතුරට තෝරාගන්නෙත් චන්දදායකයන් ඇයට දැක්වූ දැඩි ප්‍රසාදයක් නිසාත් නෙමෙයි. ඒ කාලේ බ්‍රිතාන්‍යයේ කඩා වැටෙන ආර්ථිකය ගැන ජනතාවට වෙනස් කියල හිතට දැනෙන විකල්පයක් ගැන කතා කළේ ඇය පමණක් නිසයි. අතෘප්තියේ හේමන්තය කියලා හැඳින්වෙන සමයේ දී දේශපාලන වේදිකාවේ දී ඇය ගෙනහැර පෑ විකල්පය කුමක්දැයි ජනතාවට හරියට අවබෝධ වුනේ නැතිබව පෙනෙන්නේ ඇය අගමැතිව සිටිය දී ආර්ථිකය නඟාලන්නට ගත යුතු වෙනස්කම් ගෙනෙන්නට සිය පක්ෂය ඇතුලතම කොතරම් සටනක් ගෙනියන්න සිද්ධ වූවාදැයි දකිද්දී.

පොත කියවාගෙන යද්දී හමු වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ආවේනික පද වහර නිසාත්, මාග්‍රට් තැචර්ගේ ප්‍රියතම වැඩසටහන වූ නිසාත්, 1980 ගණන්වල බීබීසී රූපවාහිනියෙන් රසාස්වාදයට ලැබුණු Yes Minister හි විහිළු ජවනිකා සිහි වූ වාර අනන්තයි. මේ සටහන දමන්නට ප්‍රමාද වූයේ පොත කියවා අවසන් කළ පසු නෙට්ෆ්ලික්ස් වලින් Yes Minister හි පළමු සීසන් එක මුළුමනින්ම යළි නරඹන්නට හටගත් දැඩි ආශාවට නතු වූ නිසා!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Ranil Jayasuriya said, on දෙසැම්බර් 19, 2016 at 10:47 ප.ව.

    පරිවර්තනයක් කරා නම්……….. 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: