අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකාවේ මහා අවපාතය

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 22, 2016

මේ සටහන දාන්නේ ඊ ළඟට දාන සටහන අවබෝධයට මේ දැනුම පාඨකයාට අවශ්‍ය නිසයි. ඒබ්‍රහැම් ලින්කන් වගේම, ඇමෙරිකන් ඉතිහාසය කියවන හදාරන අයට හරියාකාරව විමසන්නට නොලැබුණු මාතෘකාවක් තමයි මහා අවපාතය. America’s Great Depression (1963) පොත ලියුවේ මුරේ එන්. රොත්බාඩ්.

1929 සැප්තැම්බර්-ඔක්තෝබර් මාස වල දී සිද්ධ වෙච්ච වෝල් වීදියේ කඩා වැටීමත් ඊට අනතුරුව පැතිර ගිය මහා අවපාතයත් විසිවැනි සියවසේ ප්‍රධාන සිදුවීමක් හැටියට සැලකෙනව. එය දෙවැනි ලෝක යුද්ධයට තුඩු දුන් කාරණයක් හැටියටත් සැලකෙනව.

1963 දී රොත්බාඩ් ලියන මේ පොතෙන් ඕනෑම රටක ජනතාවකට සිය ආර්ථිකය කඩා වැටෙන්න ඉඩ නොතියන්නේ කොහොම දැයි කියාදෙන, ජීවිතයට දැඩි සේ අවශ්‍ය පාඩම් ගොඩක් ඉගෙන ගන්නට පුළුවන්. ඒත් ඇමෙරිකන් ජනතාවට වගේම නොමිලේ බෙදන අධ්‍යාපනය තුලින් ඒ අවස්ථාව ලෝකයේ බහුතරයකට ලැබෙන්නේ නැහැ.

අද වෙනිසියුලාවේ පවතින ශෝචනීය තත්වය ගැන ලොව බොහෝ රටවල ප්‍රධාන මාධ්‍යය ඉතාමත් නිහඬයි. ඒත් ලෝකයේ කොටස් වෙළඳපොලවල් ඉහළ පහළ යන හැටි ගැන තත්පරයෙන් තත්පරයට හොයාගන්නට හැකි ආකාරයෙන් අපේ විවිධ තොරතුරු ලබාගන්නා උපකරණ වලට විවිධ මාර්ග වලින් ප්‍රධාන මාධ්‍ය සියල්ලක්ම වාගේ ඉඩ පාදා දීල තියෙනව. ඒත් කොටස් වෙළඳපොල තුලින් බුබ්බුලයක් පවත්වාගෙන යන්නට උද්ධමනීය ණය කෘතීම ලෙසින් නිරතුරුව සපයන එක ගැන කතා කරන්නේ තවමත් ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන් පමණයි.

ධනවාදී ක්‍රමයට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩදුන් නිසා ඇතිවෙච්ච ඵලවිපාකය මහා අවපාතය යැයි හැඳින්වීම හැමෝටම හුරු පුරුදු වූවක්. ඒත් මහා අවපාතයට පෙර එවක ඇමෙරිකන් ආණ්ඩුවේ පෙරැත්තය, සැලසුම, මැදිහත්වීම, නියම, සහ තල්ලු කිරීම් තුලින් ආර්ථිකය කඩා වැටුණ බව පැහැදිලි වීම බොහෝ අයට නුහුරු වූවක්. මේ කාරණය මුලින්ම ඉතා පැහැදිලිව විස්තර කරන්නේ රොත්බාඩ් විසින් ඔය ඉහත සඳහන් කළ පොතෙන්. ඊට පස්සෙ වෙනත් අර්ථ ශාස්ත්‍රඥයන් ද ඒ ගැන හදාරන්නට පටන් ගන්නව.

ඇමෙරිකාවේ සාර්ථක ජනාධිපතිවරු ඇතුලත් වෙන ලැයිස්තු වලට ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් ඇතුලත් වෙන්නෙ මේ මහා අවපාතයෙන් ඇමෙරිකාව විතරක් නෙමෙයි මුළු ලෝක ආර්ථිකයම ගලවා ගත්තේ එයා හැටියට දකින මතයේ ජනප්‍රියත්වය නිසයි. මහා අවපාතයට ඇදගෙන ගියේ ආණ්ඩුවකින් සිද්ධ වූ පෙරැත්තය, සැලසුම, මැදිහත්වීම, නියම, සහ තල්ලු කිරීම් තුලින් බව පෙන්වන සාක්ෂි හදාරන්නට රජය විසින් නොමිලේ බෙදන අධ්‍යාපනයකින් ලැබෙයි ද? ලෝකයේ ඕනෑම රජයක් (දේශපාලන පක්ෂය කුමක් වුවත්) උත්සාහ කරන්නේ රටවැසියාගේ යහපත සලසන්නේ රජයෙන් යැයි කියා පාන්නට. රජය අනාගත්තු අවස්ථා ගැන කතා කරන විරුද්ධ පක්ෂය පවා ඒ අනාගැනිලි දක්වන්නේ පුද්ගලයෙකු නැත්නම් පක්ෂයක් විසින් කරන ලද වැරදි හැටියට පමණයි. ප්‍රතිපත්තියේ නැත්නම් මතවාදයේ වැරැද්ද හැටියට දකින්නට ලැබෙන්නේ ඒ ගැන විශේෂයෙන් සොයා බලන්නට වෙහෙසෙන අයෙකුට පමණයි.

1929 සිට 1933 දක්වා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරයා වූ හර්බට් හූවර් එන්න එන්නම රටේ ආර්ථිකය තවත් දරුණු වෙද්දී විශාල ලෙසින් කළ මැදිහත්වීම් නැවැත්තුවේ නැහැ. 1932 මැතිවරණයේ දී ඩෙමොක්‍රැටික් පක්ෂයෙන් තරඟ කළ ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් මහත් ජයග්‍රහණයක් අත්කරගෙන පාලනය අල්ල ගත්තමයි හූවර්ට මතක් වෙන්නෙ ආර්ථිකයට රජය මැදිහත්වුනාම සිද්ධ වෙන හානිය. හූවර් සිය ජීවිතයේ ඉතිරි කාලය පුරාම අවම ආණ්ඩුව ප්‍රශංසා කරනව. ඒත් එදත් අදත් වෙනසක් කරනවා කියල පාලනය අල්ලා ගත්තු එකදු ජනාධිපතිවරයෙකුට හෝ සැබෑ වෙනසක් ගෙනෙන්නට හැකියාව ලැබුණේ නැහැ.

කවුරු හරි ඉතිහාසය අවුස්සල බැලුවොත් හොයාගන්න පුළුවන් රූසවෙල්ට් 1932 දී දීපු මැතිවරණ පොරොන්දු මොනවා ද කියල. ෆෙඩරල් රජයේ වැය අඩු කිරීම, තුලිත අයවැය, මුදල් ශක්තිමත්ව පවත්වා ගැනීම, රජයේ නිලබලධරය වොෂිංටනය තුලට කේන්ද්‍රීයවීම නැවැත්වීම ඒ පොරොන්දු අතර තිබුණ. ඒවා ඉෂ්ට කළා නම් ඊ ළඟ මැතිවරණයට කළින් මහා අවපාතය අවසන් වෙනව. ඒත් ඒ වෙනුවට රට්ටුන්ට ලැබෙන්නෙ ‘නිව් ඩීල්’ එකක්. 1930 සිට 1940 දක්වා කාලයේ දී ප්‍රාග්ධනයට කිසිත් එකතුවක් සිද්ධ වෙන්නේ නැහැ. පුද්ගලික ආයෝජන ඍන බිලියන 3.1 ක් බවට හැරෙනව. 1929 – 1939 යන සම්පූර්ණ දශකය තුල ආර්ථික වර්ධනයක් දකින්නට නැතිවෙනව.

එදා රූසවෙල්ට් කළේ හූවර්ගෙ මහා අවපාතයට තුඩු දුන් අනාගැනිලි පෙන්වමින් ආර්ථිකය තව තවත් නියාමනය කිරීමයි. හූවර්ගේ කාලයේ මුඩුක්කු හැඳින්වුනේ හූවර්විල්ස් කියල. පුවත්පත් හැඳින්වුනේ හූවර් බ්ලැන්කෙට්ටු කියල. කලිසම් පොකට් එළියට ඇදල පෙන්නල මිනිස්සු තමන්ගෙ හිස් සාක්කු වලට හූවර් කොඩි කිව්ව. කෝච්චියේ රටපුරා හොරෙන් ගිය අයව හූවර් සංචාරකයන් හැටියට හැඳින්වුණා. ගෙවී ගිය සපත්තු අඩිවල හිල් හැදුනම, සපත්තු ඇතුලට දාන කාඩ්බෝඩ් කෑලි වලට හූවර් ලෙදර් කියල කිව්ව. ගෑස් හිඟය නිසා අශ්වයෝ දාලා වාහන අදිද්දී ඒවාට හූවරු වැගන් කිව්ව. හර්බට් හූවර්ගේ පාලන ක්‍රමයට වඩා වෙනසක් ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් ගෙන ගිය පාලන ක්‍රමයේ තිබ්බෙ නැහැ. බදු ගෙවන අයගේ මුදල් තවත් වැඩියෙන් මහා පරිමාණ මැදිහත්වීම් වලට යොදාගනිමින් ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් සමත්වෙනව මාධ්‍ය තුලින් තමන් මහා අවපාතයෙන් ගොඩ එන්න යමක් කරනවා කියල මහජන ප්‍රසාදය දිනාගන්නට. තවමත් පත්වෙන හැම පාලකයෙක්ගේම, හැම රජයකම ක්‍රියාකලාපය එයයි.

මේ සටහන ලිව්වෙ මේ දවස්වල ගොඩක් දෙනා දන්න කියන කතන්දර පොතක් (ටෙලිනාට්‍යයක්) ගැන සටහනක් ඊ ළඟට දාන්නයි!!!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: