අරුණි ශපීරෝ‍ වෙතින්

කිසිවෙක් නොදන්නවා යැයි හැමෝම දන්න රට

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 23, 2016

හොලිවුඩ් සිනමාව එලෙසින් ශ්‍රී ලංකාව උත්කර්ෂවත් කළේ පළමු Die Hard චිත්‍රපටියෙන්. දැන් ජනප්‍රියත්වයෙන් නැඟී යන “ඉහළ මාලිගාවේ සිටින මිනිසා” – The Man in the High Castle ටෙලිනාට්‍ය මාලාවේ දෙවැනි සීසන් එකේ තෙවැනි එපිසෝඩයේ දෙබසක ශ්‍රී ලංකාව ගැන එයාකාරයෙන්ම සඳහනක් සිද්ධ වේ. සිලෝන්, ශ්‍රී ලංකාව වූයේ 1972 දී ය. ඉහළ මාළිගාවේ සිටින මිනිසා නමින් විද්‍යා ප්‍රබන්ධය ෆිලිප් කේ. ඩික් අතින් ලියැවෙන්නේ 1962 දී ය. මේ ටෙලිනාට්‍ය ඒ පොත ඇසුරින් නිර්මාණය වෙයි. පොතේ කතාව මෙන්ම මෙම ටෙලිනාට්‍ය ද දිග හැරෙන්නේ ද 1962 වසර පාදක කරගෙනයි. ඒ වෙද්දී ශ්‍රී ලංකාව කියා රට හැඳින්වුනේ නැත. ඒ ඇබිත්තන් අඩුපාඩුව තිබුණ ද පොත මෙන්ම නාට්‍ය මාලාව ද රසවින්ඳනයට සුදුසු ඉතා විශිෂ්ඨ නිර්මාණයන් බව කිව යුතුයි.

මෙම විද්‍යා ප්‍රබන්ධය සමාන්තර ඉතිහාසයක් පසුබිම් කරගනියි. 1933 වසරේ ඇමෙරිකන් ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට්ව ඝාතනය කිරීම නිසා මහා අවපාතය දිගින් දිගට ඇදී ගිහින් ජර්මනියේ හිට්ලර්ට සමස්ත යුරෝපය අල්ලා ගැනීමටත් ඇමෙරිකාවේ නැගෙනහිර පැත්තේ ඇමෙරිකන් රයිෂ්ට් පිහිටුවාගන්නටත් හැකියාව ලැබීම එම පසුබිමයි. නාට්සීන් ඇමෙරිකන් නැගෙනහිර අල්ලා ගනිද්දී ඇමෙරිකන් බටහිර දේශයන් ජපනුන් විසින් අල්ලා ගන්නා ලදි. කොලරාඩො ප්‍රාන්තය පිහිටන පළාත නාට්සීන්ට හා (නි)පොන් යන දෙපැත්තටම අයිති නැති ඇමෙරිකන් සටන්කාමීන් වාසය කරන පෙදෙස් වෙති. ඉහළ මාලිගාවේ සිටින මිනිසා නම් විද්‍යා ප්‍රබන්ධය දිගහැරෙන පසුබිම එයයි.

මා කළින් දැමූ සටහන තුලින් සත්‍ය ලෝකයේ තතු විමර්ශනය කරන්නට අයෙක් කැමැත්තේ ද, එහෙනම් එයාට ජනාධිපති රූසවෙල්ට්ව 1933 දී ඝාතනය වූවා නම්, මහා අවපාතය සත්‍යයෙන් ගිය කාලයටත් වඩා අඩුවෙන් වහා අවසන් වන බව නිශ්චිතව පැහැදිලි කරගත හැකියි. එහෙනම් එවිට ජර්මනියේ හිට්ලර්ට ඇමෙරිකන් රයිෂ්ට් පිහිටුවා ගන්නට ද ඉඩ නොලැබෙන බව පහදා ගත හැකියි.

ප්‍රබන්ධයක් රසවත් ලෙසකින් සිතට දැනෙන්නේ තමන්ට හුරු පුරුදු වූ අදහස් තුලින් අපූර්ව නුහුරු අදහස් හමුවෙද්දී මිසෙක අගක් මුලක් හොයාගත නොහැකි අදහස් වලින් කතාවක් ගලා යද්දී නොවේ.

ලොව බහුතරයකට ජනාධිපති රෑසවෙල්ට්ව දකින්නට හුරු කර ඇත්තේ මහා අවපාතයෙන් ලෝකය ගලවා ගත්ත පුද්ගලයා හැටියට නිසා මෙහි සාමාන්තර ඉතිහාස පසුබිම එසේ නොවෙන්නට ඉඩ තිබුණ ආකාරය ගැන අවබෝධයක් ඔවුනට නැත. හැමට හුරු පුරුදු ලෙසින් දැනෙන මුලක් සපයන ලේඛකයා සාමාන්තර ලෝකයක් හදා ඒ තුල තවත් සාමාන්තර ලෝකයක් නිර්මාණය කරන ලදි. එපමණකින් නොනවතින ඔහු අගක් නැති සුවිශේෂී ප්‍රබන්ධයක් ලොවට ඉදිරිපත් කළේය. ඒ නිසා පළමු සහ දෙවැනි සීසන් සේ ම, විශිෂ්ඨ ලෙසින් නිෂ්පාදනය නොකඩවා කරගෙන ගියොත්, මේ ටෙලිනාට්‍යයෙන් ඇමසොන් ප්‍රයිම් නිෂ්පාදකයන්ට සෑහෙන දිගු කාලයක් තිස්සේ ඇදගෙන යා හැකි මුදල් ගරන ඉල්ලමක් පෑදී ඇත. මෙම ටෙලිනාට්‍යය නරඹනු පිණිසම ඇමසොන් ප්‍රයිම් සඳහා මුදල් ගෙවා එක්වූ අයව මා දන්නෙමි.

ෆිලිප් කේ. ඩික් ලියූ විද්‍යා ප්‍රබන්ධ බොහොමයක් සිනමාවෙන් දකින්නට ලොව බහුතරයට අද අවස්ථාව පෑදී ඇත. “ඉලෙක්ට්‍රික් බැටළුවන් ගැන ඇන්ඩ්‍රොයිඩ්ලා සිහින දකිනවා ද?” නමින් 1968 දී ලියැවුණ ඔහුගේ ප්‍රබන්ධය 1982 දී නිමැවූ Blade Runner චිත්‍රපටියට පාදක විණ. 2017 දී අපිට හැරිසන් ෆෝඩ් සහ රයන් ගොස්ලින්ග් රඟපාන Blade Runner 2049 දකින්නට අවස්ථාව පෑදෙනු ඇත. ඩික් ලියූ විද්‍යා ප්‍රබන්ධ වලින් හැදෙන තවත් සිනමා නිර්මාණ අතරට Total Recall (1990), Screamers (1995), A Scanner Darkly (2006), Minority Report (2002), Paycheck (2003), Next (2007), සහ The Adjustment Bureau (2011) අයිතියි.

ඔහුගේ කෘති පාදක කරගනිමින් සිනමාව තුලින් විශාල ලාබ උපයන්නට බොහෝ පිරිසක් සමත් වූවාට ඩික් පුද්ගලිකව ගෙවන ලද්දේ එතරම් සුව පහසු ජීවිතයක් නොවේ. අඩු මුදලට ගතහැකි සත්ව ආහාර වලින් පවා යැපෙන්නට සිද්ධ වූ ඩික් මිය යන්නේ ඔහුගේ පොතක් පාදක කරගත් පළමු සිනමා කෘතිය වූ Blade Runner එළිබහින්නට පෙර. අමුතු අදහස් වලින් පිරි, වරින් වර ප්‍රතිකාර ලබාගත් මානසික රෝගබාධ වලින් පෙළෙන ලද්දෙක් හැටියට ඔහුව සැලකේ. එහෙත් ඔහුගේ විද්‍යා ප්‍රබන්ධ රසාස්වාදය ලබන්නෙකුට එවැනි මනසක් ඔහුට නොතිබුණා නම් සමහර විට එවැනි අපූර්ව කෘති ඔහු අතින් ලියැවේවිදැයි ප්‍රශ්න කරන්නටත් හැකියි.

සාමාන්තර ඉතිහාසයකින් නොයුතු, විද්‍යා ප්‍රබන්ධයක් ද නොවන, වෙනත් රචකයන්ගෙ කෘති අතරින් දිවෙන සිංහලෙන් මම ලියූ සාමාන්තර වූ ප්‍රබන්ධයක් කැමති අයට මෙතැනින් කියවන්නට හැකියි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on දෙසැම්බර් 23, 2016 at 8:29 ප.ව.

    මා සිතා සිටියෙ රූස්වෙල්ට් මරණය ස්වාභාවික එකක් කියල. ඔහු මිය යන්නට ආසන්නයේ චිත්‍රශිල්පියා භාගයට අඳින ලද සිතුවමක් මට දකින්නට ලැබුණා.

  2. Transylvania said, on දෙසැම්බර් 24, 2016 at 11:43 පෙ.ව.

    ජනාධිපති රූසවෙල්ට්ට වස දුන් බවට මතයක් තිබුනා. ඒ නිසා ඔහුගේ ශරීරය ගොඩ ගෙන පරීක්‍ෂණයක් කිරීමට අදහස් කෙරුනත් ජෝන් එෆ් කෙනඩි එය වැලකූවා ඇමරිකාවට එය අවමානයක් කියලා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: