අරුණි ශපීරෝ‍ වෙතින්

පාඩුවේ ඉන්න දෙන්න -සමරිසියන්ටත්!

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 18, 2017

220px-bust_alcibiades_musei_capitolini_mc1160

අයෙක් විවාහ වෙන්නේ හෝ නොවෙන්නේ කා සමඟදැයි කියා රටක ආණ්ඩුවක් තීන්දු දිය යුතු නැත. මිනිසා සිය ජීවිතය ගත කළ යුතු ආකාරය ගැන තීන්දු දෙන්නට දන්නවා කියාගත් ආණ්ඩු නිසා කිසිත් ප්‍රචණ්ඩත්වයන් සිදු නොකළ මිනිසුන්ට ජීවිත අහිමි වී ගිය හැටි අපිට ඉතිහාසයෙන් ඕනෑ තරම් දැනගන්නට හැකියි.

සමලිංගිකතාව කියනවාට වඩා මම කැමති සිංහල බ්ලොග් ආරම්භයේ සිටි ටැබූ සබ්ජෙක්ට්ස් හඳුන්වා දුන් සමරිසි යන වචනයටයි. මන්ද, නැඹුරුව හා ආශාව යනු ලිංගිකත්වයේ නොහොත් මෛථුනයේ යෙදීම නොවන නිසයි.

සමලිංගිකතාව නොහොත් ‘හොමොසෙක්ෂුඇලිටි’ සහ විෂම ලිංගිකතාව නොහොත් ‘හෙට්රොසෙක්ෂුඇලිටි’ යන වචන 19 වැනි සියවස අග දී හදන ලද්දේ ජර්මන් ජාතික කාල්-මරියා බෙන්කර්ට් විසිනි.

ජර්මන් පිරිමි මැද නම් වල ‘මරියා’ යැයි දකින්නට ලැබීම සාමාන්‍යයකි. ඔහුගේ නැඹුරුව සමරිසි වීම ඔහුගේ උපන් නම හා සම්බන්ධයක් නැත.

මිනිස් අයිතීන් ගැන ලොව කතාබහ ඇතිවෙද්දී 1869 දී ඔහු නිර්නාමිකව ලියූ පත්‍රිකාවකින් එවක පෲසියාවේ පැවති ජර්මන් නීති ගැන විග්‍රහයක් ගෙනෙන ලද්දේය. එවක ජර්මන් අධිරාජ්‍යයේ තිබි දණ්ඩ නීති වලින් ‘මිනිස් අයිතීන්’ උල්ලංඝණය වන ආකාරය ගැන ඉන් අනතුරුව හේ දිගින් දිගට නිර්නාමික පත්‍රිකා පළ කරන්නට පටන් ගත්තේය. සම්භව්‍ය ලිබරල් තර්කය වන, එකිනෙකා කැමැත්තෙන් පුද්ගලිකව කරන ලිංගික හැසිරීම් අපරාධ නීතියට භාජනය විය යුතු නැතැයි යන්න ඔහු ඉදිරියට ගෙන ගිය අදහසයි. කාල්-මරියා එසේ ලියන්නට පටන් ගත්තේ තාසාද්ග්‍රහණයෙන් මුදල් කොල්ලකෑමට ලක්වූ ඔහුගේ සමරිසි හිතවතා සියදිවිනසා ගැනීම නිසා ඇති වූ සිත් පීඩාව නිසා යැයි කියැවේ.

හඳුන්වන්නට වචන නොතිබුණ ද, පුරාතන ග්‍රීසියේ පටන් සිම්පෝසියම් වැනි ප්ලේටෝගේ සංවාද තුල, ඇරිස්ටොපනීස්ගේ නාට්‍ය තුල, ග්‍රීක කලා නිර්මාණ තුල අපිට සමරිසි හැසිරීම් සමාජයේ තිබි බව දැනගන්නට ලැබේ. අයෝනියාවේ සමරිසි ආදරය තහනම් වූ අතර තීබ්ස් හි එයට අනුමැතිය පමණක් නොව උපහාරයට ද ලක් වී තිබිණ.

ක්‍රි. පූ. 5 වැනි සියවසේ ඇතීනියානු ජනරාල්වරයෙක් සහ දේශපාලනඥයෙක් වූ Alcibiades කොතරම් රූප ශෝභාවෙන් පැසසුම් ලැබුවා දැයි කියතොත්, ඔහු ගැන ලියැවෙන්නේ, “ගැටවර වයසේ දී හේ භාර්යාවන් වෙතින් ඔවුන්ගේ සැමියන් වෙන් කරන ලද්දේය, තරුණයෙක් වෙද්දී හේ සැමියන් වෙතින් ඔවුන්ගේ භාර්යාවන් වෙන් කරන ලද්දේය,” කියායි.

සමරිසියන්ට විෂම වූ නීති වලින් සැලකීම ප්‍රතික්ෂේප කරන්නට බුද්ධිමය වූ තර්කයක් ලැබෙන්නේ ස්වභාවික නීතියෙන්. ස්වභාවික නීතිය (natural law) ගැන දැනුම සිංහල පාඨකයාට ලබාදීම කවදා හෝ කළ යුත්තකි. සිංහලෙන් ඒ ගැන දැනගන්නට හැකියාවක් නොමැති තරම් ය.

වෙනස් නොවන ආචාර ධාර්මීය සත්‍යයන් යනු නිතර වෙනස්වෙමින් පවතින ලෝකයේ පදනමයි. ප්ලේටෝ ලියූ සංවාද වලින් පමණක් නොව බුද්ධ ධර්මය කියවන ලද්දෙකුට ද මෙය ප්‍රත්‍යක්ෂ විය යුතුයි. සදාකාලීන ආචාර ධාර්මික සත්‍යයන්, යථාර්ථය ද ඇතුළුව, සැලකෙන්නේ ස්වභාවය (Phusis) හැටියටයි. වර්ධනය, ස්වභාවික ලෝකය, පරිපූර්ණත්වය යනාදිය දැක්වෙන තේරුම් මේ ස්වභාවය (nature) යන වචනයෙන් අර්ථවත් වේ. ඉතින්, නගරයෙන් නගරයට, රටකින් රටකට වෙනස් විදියට මිනිස්සු ජීවත් වුවත්, මිනිස් වර්ගයා ජීවත්විය යුතු, මෙතෙක් ලියා නැති වූ ප්‍රමිතියකට, නැත්නම් නීතියකට මිනිසා නතු වේ යැයි එයින් සැලකේ.

මහජන ප්‍රතිපත්ති සකස් කරද්දී සහ සමාජයේ හැසිරීම් සඳහා නීති ගෙනෙද්දී මිනිසාව සහ මිනිස් ස්වභාවය අමතක වී යාම ඉතිහාසයේ නිතර දකින්නට ලැබෙන්නකි. සමලිංගිකත්වය හා සමරිසියන් ගැන වූ වාදයන් හි ද සිද්ධ වෙන්නේ එයමයි. නිදහස් මිනිසුන්ට පාඩුවේ ඉන්නට ඉඩ දුන් විට ඒ සමාජ ආර්ථික මෙන්ම ආචාර ධාර්මීය ලෙසින් ද දියුණුව කරා ගිය හැටි සොයා බලන්නට අපි තවමත් සූදානම් නැත. අනුන් වෙනුවෙන් නීති හදන්නට ගිය සමාජ ආර්ථික වශයෙන් බංකොළොත් වූ හැටිත්, ආචාර ධාර්මීය වශයෙන් පරිහාණියට පත්ව ඇති හැටිත් අපි නොදැක්කා සේ සිටිමු.

ඇඩම් ස්මිත් ඉතිහාසය යුග හතරකට බෙදා දැක්වීය. පළමුවෙන් වූයේ දඩයම්කරුවන්ගේ යුගයයි. දෙවැන්න එඬේරුන්ගේ යුගයයි. තුන්වැන්න කෘෂිකාර්මික යුගයයි. හතරවැන්න වානිජ්‍ය යුගයයි.

අපි අපේ රාත්‍රී ආහාර වේල බලාපොරොත්තු වෙන්නේ ඒවා සපයන අයගේ ගුණවත්කම හෝ ඔවුන්ගේ දේශපාලන නැඹුරුව හෝ ඔවුන්ගේ ලිංගිකත්ව රුචිය තුලින් නොවේ. ඒ අය ඔවුනට කැමති දේවල් ඉෂ්ට කරගන්නට සොයා යද්දී, අපිට අපේ රාත්‍රී ආහාර වේල ලැබේ.

1715 දී පමණ පටන් ගැනුණු බුද්ධිමය යුගය, විචාරයේ යුගය ලොව බොහෝ රටවල ජනතාවට මඟහැරී යන ලද්දකි.

නිදහස් මිනිසුන් කැමැත්තෙන් කරන පුද්ගලික කටයුතු වලට නීති මාර්ගයෙන් දඬුවම් දිය යුතු යැයි කියන අයට පක්ෂපාතීත්වය දක්වන්නේ ද, එවිට එවැනි නීති ගෙනෙන්නට රුචි අය අතට කොතරම් බලවත් අවියක් ඔබ සපයන්නේ ද?!!!!

පාඩුවේ ඉන්න දෙන්න – සමරිසියන්ටත්!

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi said, on ජනවාරි 18, 2017 at 6:54 ප.ව.

    100% k math ekangai

  2. […] මහජන ප්‍රතිපත්ති සකස් කරද්දී සහ සමාජයේ හැසිරීම් සඳහා නීති ගෙනෙද්දී මිනිසාව සහ මිනිස් ස්වභාවය අමතක වී යාම ඉතිහාසයේ නිතර දකින්නට ලැබෙන්නකි. සමලිංගිකත්වය හා සමරිසියන් ගැන වූ වාදයන් හි ද සිද්ධ වෙන්නේ එයමයි. නිදහස් මිනිසුන්ට පාඩුවේ ඉන්නට ඉඩ දුන් විට ඒ සමාජ ආර්ථික මෙන්ම ආචාර ධාර්මීය ලෙසින් ද දියුණුව කරා ගිය හැටි සොයා බලන්නට අපි තවමත් සූදානම් නැත. අනුන් වෙනුවෙන් නීති හදන්නට ගිය සමාජ ආර්ථික වශයෙන් බංකොළොත් වූ හැටිත්, ආචාර ධාර්මීය වශයෙන් පරිහාණියට පත්ව ඇති හැටිත් අපි නොදැක්කා සේ සිටිමු. – අරුණි ශපීරෝ […]

  3. mithila said, on ජනවාරි 20, 2017 at 1:31 ප.ව.

    පාඩුවේ ඉන්න දෙන්න සමරිසියන්ටත්…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: