අරුණි ශපීරෝ‍ වෙතින්

45 වැනි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 24, 2017

මෑත ඉතිහාසයේ කැපී පෙනෙන අන්දමට රට තුල පමණක් නොව ඈත එපිට ලංකාව වැනි රටවල ද පැවත්වූ විරෝධතා සහ උද්ඝෝෂණ මැදින්, පුරාතන රෝමයේ ග්ලැඩියේටර් පොරයක් ගැන කැමැත්ත දක්වන ලෙසින් මහපටැඟිල්ල ඉහළට දක්වමින් වේදිකාවට පිවිස, ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේය.

දිවුරුම් දුන් දිනයේ දී, එනම් 2017 ජනවාරි 20 වැනිදා ඔහුගේ වයස අවුරුදු 70 කි. ඇමෙරිකන් ඉතිහාසයේ මෙතෙක් දිවුරුම් දුන් වයස්ගතම ජනාධිපතිවරයා ට්‍රම්ප් වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ඇමෙරිකන් ජනතාව මෙතෙක් පත් කරගත් ධනවත්ම ජනාධිපතිවරයායි. 2016 ෆෝර්බ්ස් සඟරාව ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 4.5 ක් යැයි දක්වයි.

එද්දලවාදයෙන් තම ධන වස්තුව ගොඩනඟා ගත් බව හේ ප්‍රසිද්ධියේ කියන ලදි. ඔහු ජනමාධ්‍ය තුල වැඩියෙන්ම සුප්‍රකට ව්‍යාපාරිකයාය. සිය දෙමව්පියන් වෙතින් දායාද වූ උරුමය ඔහු ප්‍රවර්ධනය කළේ ‘සංවේදීතාවයෙන් තොර වූ බ්‍රෑන්ඩ් එකක්’ හැටියටයි. එයින් ඔහුට ප්‍රසිද්ධිය සහ ධනවස්තු තවත් වැඩිකරගන්නට හැකියාව ලැබිණ.

ඩෙමොක්‍රැටික් පක්ෂයේ සිටි ට්‍රම්ප් 1987 දී රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරඟ කරන්නට කැමැත්තක් දක්වමින් පක්ෂය මාරු කරන ලදි. එහෙත් එවර ඔහු අදහස අත්හැර දමන ලදි. අනතුරුව රොස් පෙරෝගේ ප්‍රතිසංස්කරණ පක්ෂයෙන් ජනාධිපතිවරණ නාම යෝජනා ඉල්ලනවා යැයි 2000 දී ට්‍රම්ප් නිවේදනය කළේය. සර්ව සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූ ඔහු තමන්ගේ උප ජනාධිපති ලෙසින් ඕප්රා වින්ෆ්‍රිව යෝජනා කළේය. එසේම, එවක ගර්ල්ෆ්‍රෙන්ඩ් වූ මෙලානියා සමඟ වහාම විවාහ වී ඇයව පළමු ආර්යාව කරන බවත් හේ පැවසීය. ට්‍රම්ප් බ්‍රෑන්ඩ් එක ශක්තිමත් කරගෙන පොත් හා බඩු විකුණාගන්නට දරණ වෑයමක් යැයි සලකා කිසිවෙක් ඔහුගේ වදන් එදා එතරම් සැලකිල්ලට නොගත්හ. මාධ්‍ය තුල හඬක් නැගුවා විනා එවර ද ඔහු කිසිදු පියවර නොගත් නිසා වෙන්නැති 2016 තරඟයේ දී කිසිවෙක් ඔහුව සැබෑ අපේක්ෂකයෙක් හැටියට නොසැලකුවේ.

ඔහුගේ භාර්යාවන් වූයේ පිළිවෙලින් ඉවානා, මාර්ලා මේපල්ස්, මෙලානියා යන සුරූපී නිරූපිකාවන් තිදෙනායි. ඔවුන් අතරින් ඇමෙරිකාවේ උපත ලැබුවේ මාර්ලා මේපල්ස් පමණි. ඇයට සහ ට්‍රම්ප්ට දාව උපදින දියණියට ටිෆනි යන නම තබනුයේ ටිෆනි කොම්පැණිය උඩින් අහසේ අයිතිය මිල දී ගන්නට ට්‍රම්ප්ට හැකි වූ නිසා යැයි කියැවේ. එම අයිතිය මිල දී ගන්නට නොහැකි වුවා නම් ඔහුට ට්‍රම්ප් ටවර් යන සුපිරි තට්ටු නිවාස ගොඩනැඟිල්ල ඉදි කරන්නට ද නොහැකිවේ. මාර්ලා හා ට්‍රම්ප්ගේ ආදර පළහිලව්ව, විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණකි. නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතේ මුල් පිටුවේ දින අටක් පුරා ට්‍රම්ප්ගේ ඡායාරූපය පළ වූ අතර, තමන් ජීවිතයේ ලද හොඳම ලිංගික ආශ්වාදය ලැබුනේ ට්‍රම්ප් වෙතින් යැයි මාර්ලා කියූ බව ද සඳහන් විය.

බහ තෝරන වයසේ පටන් රටේ ජනාධිපතිවරයා වෙන්නට ඒකායන මාර්ගයක ගමන් ගත් ඇල් ගෝර්ට හාත්පසෙන්ම වෙනත් ගමනක ගිය ට්‍රම්ප් දේශපාලනඥයන්ගෙන් වැඩ ගෙන ඔවුන්ව හෑල්ලුවට ලක් කළ අයෙකි. මාධ්‍යයෙන් ප්‍රයෝජන ලබාගෙන මාධ්‍යකරුවන් හාස්‍යයට ලක් කරන ලද්දෙකි. විද්වතුන්ගේ අනුමැතිය තමනට අවශ්‍ය නැතැයි කියූවෙකි. මහජන සේවයක් ගැන කතා නොකළ අයෙකි. චන්ද අපේක්ෂකයන් හා සසඳා බලද්දී ඔහු කිසිත් ලෙසකින් වෙනකෙක් හා සමාන වූයෙක් නොවේ.

සියවස් දෙකහමාරකට ආසන්න ඇමෙරිකන් ඉතිහාසයේ, කවදාවත් කිසිදු දේශපාලන නිලතලයක් හොබවා නැති, කවදාවත් කිසිදු හමුදා තනතුරක් හොබවා නැති, පළමු ජනාධිපතිවරයා හැටියට ඔහු දැන් පත්වී සිටියි.

ව්‍යාපාරිකයෙක් රටේ මුල් පුටුව හොබවන නිසා ධනවාදය වෙනුවෙන් පෙනී සිටින බ්ලොග් අඩවියක් මහත් සතුටට පත්වනු ඇතැයි අයෙක් සිතන්නට පුළුවනි.

එහෙත් මෙහි යන එන පාඨකයන් එද්දලවාදය සහ ධනවාදය අතර වෙනස දන්නා අයයි.

ශ්‍රම වෙළඳපොලට නිදහස අවශ්‍ය යැයි කියද්දී පිටරටෙන් එන ශ්‍රමිකයන්ව සීමා කළ නොහැකි යැයි දන්නා අයයි.

පොලීසියේ බලතල වැඩි කරමින් ආණ්ඩුවේ බලය අවම කරන්නට නොහැකි යැයි දන්නා අයයි.

ව්‍යාපාරික බර අඩු කරන්නට රෙගුලාසි ඉවත් කරද්දී, ආනයන වලට පනවන බදු වැඩිකරන්නට නොහැකි යැයි දන්නා අයයි.

රටෙන් පිටත කරන නිෂ්පාදනයට බදු ගසමින්, ප්‍රාග්ධන ලාභ බද්ද අඩු කිරීමෙන් ඵලක් නැතැයි දන්නා අයයි.

සෞඛ්‍ය රක්ෂණය ලිබරල්කරණය කළ යුතු යැයි කියමින් නීති විරෝධී මත්ද්‍රව්‍යය තහනම් කළ නොහැකි බව දන්නා අයයි.

තේරුමක් නැති යුද්ධ නවත්වනවා කියමින් රැඩිකල් ඉස්ලාමීය අන්තවාදය ‘කෙසේ හෝ තුරන් කරනවා’ යැයි කියත නොහැකි බව දන්නා අයයි.

එහෙම නේද?!!!!!!!! 😀

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Gimara said, on ජනවාරි 27, 2017 at 3:28 පෙ.ව.

    Aruni, what is the English word for “එද්දලවාදය” ?
    Thanks!

  2. ravi said, on ජනවාරි 27, 2017 at 10:02 පෙ.ව.

    Crony capitalism “ගජමිතුරු ධනවාදය” කියලත් හැඳින්වූවා මතකයි.

  3. Sarath said, on ජනවාරි 30, 2017 at 12:38 ප.ව.

    Cronyism brought to explain the system that Trump’s practice?

    • arunishapiro said, on ජනවාරි 31, 2017 at 6:25 ප.ව.

      නැහැ, අනෙක් අය වගේ නොව එද්දලවාදයෙන් තම ධනවස්තු උපයා ගත් බව ට්‍රම්ප් ලොවට හංගන්නෙ නැති බවයි සටහනේ ලිව්වෙ. එද්දලවාදය ක්‍රියාත්මක වීම ඇමෙරිකන් ඉතිහාසයේ නොයෙකුත් අවස්ථා වල දී දකින්නට පුළුවන්. ඒත් ලෝකෙ බහුතරයට එය පේන්නෙ රිපබ්ලිකන් ආණ්ඩුවක් පවතින විට පමණයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: