අරුණි ශපීරෝ‍ වෙතින්

නිවහල්ව හා නිර්භයව විමසන්න

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 29, 2017

මනස, පරිණත අත්දැකීම් වලින් ව්‍යාප්ත වූ විට දී, නැවතත් කලින් තිබුණු ප්‍රමාණයට හැකිළෙන්නේ නැතැයි කියන ලද්දේ ඔලිවර් වෙන්ඩල් හෝම්ස්, ජූනියර් නම් වූ ඇමෙරිකන් නීතිඥවරයායි. අදහස් ගැන නිවහල්ව හා නිර්භයව විමසා බලද්දී මනසෙන් වැඩ ගැනීමක් සිද්ධ වේ. වැඩ නොගනිද්දී මනස අත්දැකීම් නොලබයි.

රටවල් කිහිපයක් ඉලක්ක කරමින් ඒවායෙන් ඇමෙරිකාවට එන සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිළිබඳව ට්‍රම්ප් අත්සන් කරන ලද විධායක නියෝගය ගැන අද ලොව බහුතරයක් කැළඹී සිටිති. ලංකාවෙන් ආ සරණාගත බෝට්ටු ඔස්ට්‍රේලියාව ආපසු හරවා යවද්දී, නාට්සීන් කඳවුරු වෙත ගාල් කළ යුදෙව්වන් මතක් නොවූ ලෝක ජනතාවට අද ඔවුන්ව මතක් වී ඇත. පහුගිය වසරේ මේ කාලයේම ඔස්ට්‍රියාව ඉදිරි වසර කිහිපය ඇතුලත සංක්‍රමණිකයන් 50,000 ක් එරටෙන් පිටුවහල් කරන බව කියද්දී පවා ලෝක ජනතාවට යුදෙව්වන් මතක් වුණේ නැත.

මායිම් හරහා යන මිනිසුන්ව නවතා ප්‍රශ්න කිරීම, රඳවා ගැනීම, ඇතුල්වන්නට ඉඩ නොදීම සහ පිටුවහල් කිරීම යනාදිය මිනිසාගේ නිදහසට කරන බාධා වෙති. රාජ්‍ය මැදිහත්වීමෙන් සුබසාධන බෙදීම නැවතෙනවා නම්, මායිම් හරහා යන මිනිසුන්ට එසේ බාධක දැමීමට අවශ්‍යතාවයක් නැතිවේ. එහෙත් නිදහස් මිනිසුන්ගේ ජීවිත වලට ගෙනෙන මැදිහත්වීම් නවතන්නට අකමැති වූවන් යාමනය/නියාමනය යනුවෙන් කියාගන්නා ප්‍රතිපත්ති තුලින් මෙතෙක් කිසිවෙක් සමත් නොවූවාට තමන්ට යහපත් සමාජයක් සාක්ෂාත් කරන දැනුමක් ඇතැයි විශ්වාස කරති. එතැනින් නොනැවතෙන ඔව්හු තමන් පක්ෂපාතී අයවළුන් කරන මැදිහත්වීම් සුදුසු යැයි ද අනෙක් සියළු මැදිහත්වීම් නුසුදුසු යැයි ද කියති. එසේ කියන්නට තමන්ට දැනුම ඇතැයි කියමින් ඊට අනේක විධ උත්සාහ ගනිති.

ට්‍රම්ප්ට විරෝධය පාමින් අද ඇමෙරිකාවේ උද්ඝෝෂණ කරන පිරිස වගේම ලෝකයේ නන් දෙසින් ට්‍රම්ප්ට විරෝධය දක්වමින් සටහන් ලියන අය, ඔබාමා රජය මෙරටට හොරෙන් පැනගත්තවුන්ව බස් පුරවමින් මෙක්සිකෝවට ආපහු යවද්දී නිහඬව සිටියහ. 2009 සිට 2014 වෙද්දී මිලියන 2.4 ක මිනිසුන්ව රටෙන් පිටුවහල් කර තිබේ. 2013 වසරේ දී පමණක් වාර්තාගත 435,000 ක පිරිසක් රටෙන් පිටුවහල් කරන ලදි.

2011 දී ඇල් කයිඩා ත්‍රස්තවාදීන් සරණගාතයන් හැටියට කෙන්ටකි ප්‍රාන්තයේ වාසය කරන බව සොයාගත් ඔබාමා රජය ඉරාකයෙන් එන සරණාගතයන්ට මාස හයක තහනමක් පැනවීය. එදා කිසිවෙක් උද්ඝෝෂණ නොකළහ. ප්‍රවාහන ආරක්ෂාව සපයන ආයතනයේ නිලධාරීන් එදා ගුවන්යානා ඇතුලට කඩා වැදී නීතිමය ආකාරයෙන් රටට එන ඉරාක වැසියන් එළියට ගත්තේ නැත.

2015 දී ඔබාමා රජය සමහර රටවලින් එන අයගේ වීසා බලපත්‍ර සඳහා කරන විමසා බැලීම් තීව්‍ර කරනු සඳහාත් ත්‍රස්තවාදීන්ගේ ගමනාගමනය වළක්වාලීම සඳහාත් පනතක් සම්මත කරන ලදි. පහුගිය වසරේ මේ කාලයේ දී, ඊට ලිබියාව, සෝමාලියා සහ යෙමෙන් යන රටවල් එකතු කළේ 2011 මාර්තු 1 වැනිදායින් පසුව ඒ රටවලට ගිය අයටත් ඇමෙරිකාවට වීසා ඉල්ලද්දී මුහුණ දිය යුතු වූ බාධක වැඩියෙන් පනවමිනි. 2016 ජනවාරියේ ඉරානය, ඉරාකය, සුඩානය සහ සිරියාව යන රටවල් ද ඊට එකතු කරන ලදි.

අද ට්‍රම්ප්ගේ විධායක නියෝගය හරිහැටියට පැහැදිලි නැතැයි කියන මැදිහත්වීම් රුචි වූවන්, එවැනි විධායක නියෝග දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පැවති බව නොදැන සිටින්නේ කෙසේද? බුෂ් පුතා විසින් ආරම්භ කරන ලද දේශභූමි ආරක්ෂාව සඳහා වූ දෙපාර්තමේන්තුව ඔබාමා රජය යටතේ තවත් දැඩි බලතල තමනට පවරා ගනිද්දී රට ඇතුලෙන් හෝ ලොව වටා අද තරම් උද්ඝෝෂණ දකින්නට නොලැබුණි.

ජර්මනිය පහුගිය ජනවාරියේ දී ඇල්ජීරියාව, මොරොක්කෝ සහ ටියුනීසියා යන රටවල් “ආරක්ෂිත ආරම්භක රටවල්” යැයි හඳුන්වන ලදි. ඒ රටවලින් පැමිණ නීතිවිරෝධීව ජර්මනියට පය තැබූවන් ආපහු හරවා යවත හැකියාව එයින් ජර්මනියට ලැබුණි. මෙසේ “ආරක්ෂිත රටවල්” යැයි ලැයිස්තු හැදීමේ අයිතිය තිබීම යනු මානුෂික අයිතීන් සඳහා තර්ජනයක් නොවේදැයි ලිබටේරියානුවන් පමණක් සංවාද කළහ. යාමන/නියාමන කියාගනිමින් මිනිස් නිදහසට කරන මැදිහත්වීම් රුචි වූවන් කතා කළේ කොයි රටවල අයට කුමන රටවල් සඳහා යෑමට කුමන හේතුන් මත පමණක් අවසර දිය යුතුදැයි තීරණය කරන ප්‍රතිපත්ති හදන්නට තමන් සතු දැනුම ගැන පමණකි.

සරණාගතයන් නිපදවන එහෙත් සරණාගතයන් යැයි කියාගෙන ඇතුල්වෙන්නට කිසිත්ම නීතිමය ඉඩක් නොමැති ලංකාව වැනි රටවල වැසියන් පවා මේ ට්‍රම්ප්ගේ විධායක නියෝගය හෙළා දකිනවා යැයි ලියා තිබෙනවා දැකීම නම් සැබැවින්ම සිනා උපදවන්නකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: