අරුණි ශපීරෝ‍ වෙතින්

කැනඩාවේ සරණාගතයන්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 30, 2017

උතුරු ඇමෙරිකන් දේශයේ ප්‍රථම වරට මුස්ලිම් පල්ලියකට පහර දී මිනිසුන් හයදෙනෙක් ඝාතනය කරන ලදි. ඒ ඊයේ රාත්‍රියේ යාඥාවාරය අවසන් වෙමින් පැවතිය දී ය. පල්ලිය පිහිටා ඇත්තේ ප්‍රංශ භාෂාවට මුල් තැන දෙන කුවෙබෙක් ප්‍රදේශයේ කුවෙබෙක් සිටී නම් වූ නගරයේය. සිද්ධිය වූයේ කැනඩාවේ ජනප්‍රිය ජනාධිපති ජස්ටින් ටෲඩෝ විසින් ඇමෙරිකාව තහනම් කරන සරණාගතයන්ව කැනඩාව ගන්නවා යැයි කළ ආරාධිත නිවේදනයත් සමඟයි.

කැනඩාවට ගිය සරණාගතයන් පිරි බෝට්ටුවක් ගැන 2010 තරම් මෑතක දී අහන්නට ලැබුණි. ද්‍රවිඩ සරණාගතයන් 500 කින් යුතු MV Sun Sea බෝට්ටුව එනවා යැයි දැනගනිද්දී, බ්‍රිටිශ් කොලොම්බියා ප්‍රදේශයේ ෆිස්ගාඩ් ප්‍රදීපාගාරය අසලින් කූඩාරම් ඉදිවිය. බන්ධනාගාර දෙකක් සූදානම් කෙරිණ. ඊට කළින් 2009 ඔක්තෝබර් මාසයේ දී Ocean Lady නමින් වූ බෝට්ටුවකින් සරණාගත ශ්‍රී ලාංකිකයන් 76 ක් එම ප්‍රදේශයේම වැන්කුවර් නගරයට ගොඩ බැස්හ.

1969 දී කැනඩාව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා වූ සම්මුතියට අත්සන් තැබීය. මෙම සම්මුතිය 1951 දී පටන් ගත්, 1967 ක්‍රියාපටිපාටියයි. ලංකාව, ඉන්දියාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඇති රටවල් හතළිස් ගණනක් තවමත් මේ සරණාගත සම්මුතියට අත්සන් තබා හෝ අපරානුමත කර නැත.

සරණාගත සම්මුතියට එකතුවෙන්නට පෙර, කැනඩාව 1914 දී Komagata Maru නමින් වූ නැව ආපසු හරවා යවන ලදි. නැව පැමිණෙන ලද්දේ හොංකොං සිට. එහි වූ මගීන් 376 දෙනාගෙන් බහුතරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ පන්ජාබි වැසියන් වූහ. එහෙත් එවක දී ඉන්දියාවෙන් ඇදී එන සංක්‍රමණිකයන් අඩු කරන්නට පිළිවෙතක් කැනඩාවේ පටන් ගෙන තිබුණි. නැවෙන් බහින්නට අවසර ලැබුනේ ආපහු රට බලා ආ කැනඩාවේ වැසියන්ටත් නැවේ වෛද්‍යවරයාට සහ ඔහුගේ පවුලේ අයටත් පමණි. ආපහු ගිය නැවෙන් ඉන්දියාවේ දී ගොඩ බසිද්දී මගීන් 19 දෙනෙකුව වෙඩි තබා මරණ ලදි. සෙසු පිරිසේ බහුතරය සිරගත වූහ.

1930 ගණන් වල දී පැවති කොමියුනිස්ට් බිය සහ මහා අවපාතයේ පීඩනයත් හේතුවෙන් විරැකියාවෙන් සිටිය අයවළුන් සහ වෘත්තීය සමිති ක්‍රියාකරුවන්ව කැනඩාවෙන් පිටුවහල් කෙරිණ. එසේ පිටුවහල් කරන්නට හැදූ රැඩිකල් නායකයන් අතර සිටි ඕර්ටොන් වේඩ් කැනඩාවේ පුරවැසියෙක් බව හෙළි වූ විට ඔහුව මුදාහරින ලදි. ඉතිරි 10 දෙනාගෙන් 4 ක් කැනඩාවේ වසර 20 ක් පමණ ජීවත් වූ අයයි. 5 ක් වසර 10 ක් විසූ අයයි. සියල්ලන්ම තමන් කැනඩාවේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) හි සාමාජිකයන් නොවන බවත් ආණ්ඩුව පෙරළන්නට සැලසුම් හැදුවේ නැතිබවත් කියා සිටියහ. සුපිරි උසාවිය දක්වා ගිය ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප වී දහ දෙනාම පිටුවහල් කරන ලදි. ඔවුන් ඉතාලිය, ෆින්ලන්තය හා ක්‍රොරේෂියාව වැනි රටවල උපන් රැඩිකල් මතධාරීන් වූහ. ජර්මන් සිරකඳවුරක දී වධහිංසනයෙන් මිය ගිය හාන්ස් කිස්ට් එසේ පිටුවහල් කරන ලද රැඩිකල් නායකයෙකි.

සරණාගත සම්මුති ලොව නොමැති වූ යුගයේ දී, ජර්මනියෙන් පළා ආ යුදෙව්වන් 937 ක් පිරි St. Louis නැවේ ඛේදවාචකය දිග හැරුණි. සරණාගතයන්ගේ අසරණ තත්වයෙන් තම මල්ල පුරවා ගත් මැනුඑල් බෙනිටේස් ගොන්සාලේස් වැනි අයවළුන් ද, ප්‍රතිචාරයක් නොදැක්වූ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට් වැනි ජනාධිපතිවරු සිටියා මෙන්ම, කැනඩාව ද එදා ඔවුන්ට ඇතුල්වීමට අවසර දුන්නේ නැත.

දුෂ්ට නායකයන් විසින් ගෙනෙන ඛේදවාචකයන් හමුවේ කිසිත් නොකර සිටිනවාට වඩා යම් පිළිවෙතක් ගත යුතු යැයි අවබෝධය හිතන්නට හැකි මිනිසුන් තුල පැතිර ගියේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවයි. එහි ප්‍රතිඵලය රට රටවල් සරණාගත ආරක්ෂාව සඳහා සම්මුති හදාගැනීමයි.

1956 දී හංගේරියාවේ විප්ලවයෙන් පසුව එහෙන් ආ සරණගතයන් 37,000 ක් බාරගන්නට කැනඩාව සමත් වුණි. එහි දී මිනිත්තුවකට එකක් බැගින් සරණාගත අයැදුම්පත් සලකා බලන ලදි. අද මුස්ලිම් රටවලින් එන පිරිස් ගැන ඇති නොසන්සුන් බිය එදා හංගේරියන් වැසියන් ගැන ද තිබිණ. විප්ලවයේ සටන්කාමීන් යනු පාරේ ඇණකොටාගත් අපරාධකරුවන් යැයි ද, කැනඩා රජයේ ආධාර වලින් යැපෙනන්ට කැමති නිසි රැකියා සොයා නොගන්නා අය යැයි ද, එදත් බහුතර ජනමතය විය. ඒ ගැන පහදනවා වෙනුවට, බොහෝ පුවත්පත් කළේ හංගේරියන් විවාහ මංගල්‍යයන් ගැන ප්‍රචාරයයි. ඒ සරණගාත රැල්ලේ බහුතරය වයස 35 ට අඩු අවිවාහක අයයි. සමහර දවසක පල්ලියක විවාහ 12 ක් එකවර පැවැත්වෙන ලදි. ඔවුන් බහුතරය එසේ විවාහ වූයේ ආදර සම්බන්ධයකට වඩා නුහුරු රටක අත්විඳි තනිකම නිසාදැයි ගැන පුවත්පත් වලින් සැලකිල්ලට ලක්වුනේ නැත.

1978 දී වියට්නාම් සරණගාත රැල්ල හමුවේ එක අයැදුම් පතක් බැගින් සලකා බලන ක්‍රමය වෙනස් කරමින් පුද්ගලික අනුග්‍රහකත්ව සරණාගත ක්‍රමය පටන් ගැනිණ. කැනඩාවේ වැසියෙකුට සරණාගතයෙකුගේ වගකීම බාරගන්නට ඉන් ඉඩකඩ පෑදුණි. වසර 2 ක දී වියට්නාමයෙන් පනස්දාහක් කැනඩාවේ පදිංචියට හැකියාව ලබාගත්හ.

එයාකාරයෙන්ම 1990 ගණන් වල දී සෝවියට් යුනියනය කැඩී යද්දී ඒවායේ වාසය කළ යුදෙව් පවුල් වලට පුද්ගලික අනුග්‍රාහකත්වයෙන් සරණාගත සංක්‍රමණිකයන් වන්නට ඇමෙරිකාවේ ඉඩකඩ පෑදුණි. යුදෙව් ආගමික ආයතන, ලාබ නොසොයන සංවිධාන සහ සුබසාධන සේවා සමිති බොහොමයකට සිය වියදමින් එසේ පැමිණි අයගේ වගකීම බාරගන්නට හැකි ලෙසින් නීති සැකසිණ.

වර්තමාන කැනඩාවේ සිරියන් සරණගාතයන්ට ද එසේ පුද්ගලික අනුග්‍රහකත්වය ලබාගත හැකි ක්‍රමවේදයක් පවතී. පුද්ගලික අනුග්‍රහයෙන් ආ පිරිස වැඩි යැයි රජය කියද්දී, රජය වැය දරන සහ පුද්ගලික අනුග්‍රහකත්වය ලබන සංඛ්‍යා හරිහැටියට දැනගන්නට නොහැකි ලෙසින් රජය විනිවිදතාවයෙන් තොර යැයි කැනඩාවේ රජයට එල්ල වන අවලාදයකි. එසේම රජයේ අනුග්‍රහය ඇතිව ආ අය හෝටල් කාමරවල රැඳී සිටිය දී පුද්ගලික අනුග්‍රහය ලැබූවන් රැකියා, පාසැල් හා සමාජගත වීම පහසුවෙන් හා ඉක්මණින් කරගන්නට සමත් වී සිටින බව කියැවේ. එක්සත් ජාතීන් විසින් අනුමත කරන ලද පසුව සිරියන් සරණාගත අයැදුම් පත්‍රයක් කැනඩාවේ රජය සලකා බලන්නට ගතවන කාලය සාමාන්‍යයෙන් මාස 10 ක් යැයි කියැවේ.

දුෂ්ට නායකත්වය තුලින් හටගත් මිනිස් ඛේදවාචකයන් හමුවේ දී, නිදහස් මිනිස්සු අසරණයන්ට පිහිට වෙන බවට ලෝක ඉතිහාසයේ ඉතා හොඳ සාක්ෂි තිබේ. සිරියන් සරණාගතයන් ගෙන්වා ගන්නට පුද්ගලික අනුග්‍රහය දක්වනවා පමණක් නොව, කැනඩාවේ කුවෙබෙක් ප්‍රදේශයේ ඩැනියෙල් ලෙටුර්නූ විසින් පසුගිය නොවැම්බරයේ තොප්පි ව්‍යාපෘතියක් දියත් කළාය. සිරියාවෙන් පැමිණෙන සරණගාතයන්ට බෙදා දෙනු පිණිස Tuques නමින් කැනඩාවේ වැසියන් හඳුන්වන හේමන්තයේ පළඳින තොප්පි 25,000 ක් ගොතන්නට රටේ ජනතාව එක්කාසු වෙති. ඉතින්, මිනිස් ජීවිත හා දේපල වලට කරන ලද අපරාධයක් ගැන ඇහෙද්දී රටවැසියන් සියල්ලන්වම එකගොඩේ දමා ජාතීවාදීන් යැයි කියන්නට යුහුසුළු නොවන්න.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: