අරුණි ශපීරෝ‍ වෙතින්

විධායක නියෝග, පනත් හා සම්මුති

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 31, 2017

ඇමෙරිකන් ජනාධිපතිවරයෙකුට විධායක නියෝගයක් නිකුත් කළ හැකියාව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ඊට ඉඩකඩක් ඇත්නම් පමණකි. යම් විදියකින් ව්‍යවස්ථාව උල්ලංඝණය වේ නම් ඒ විධායක නියෝගය ප්‍රතික්ෂේප කරන්නට ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට බලය ඇත.

ජෝර්ජ් වොෂිංටන් සිට හැම ජනාධිපතිවරයෙක්ම පාහේ විධායක නියෝග අත්සන් කරන ලද්දහ. වාර්තාගත 3,721 සංඛ්‍යාවකින් දැනට වැඩිම විධායක නියෝග අත්සන් තබා ඇත්තේ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට් විසිනි. එකක් බැගින් පමණක් විධායක නියෝග අත්සන් කළේ ජෝන් ඇඩම්ස්, ජේම්ස් මැඩිසන් සහ ජේම්ස් මොන්රෝ වෙති. එහෙත් ඇමෙරිකන් ජනාධිපතිවරයෙක් අත්සන් කළ හැම විධායක නියෝගයක්ම රටේ නීතියක් වූයේ නැත.

අමුද්‍රව්‍ය, නිෂ්පාදනය, නැව් මාර්ග, ණය, වේතන හා බඩුමිල යනාදි සියල්ලම රජයේ මැදිහත්වීමෙන් පාලනය වෙද්දී ඒ කර්මාන්ත තුල ශ්‍රමික අර්බූද වැඩිවෙන බව මෙහි එන පාඨකයන්ට අලුතෙන් කියන්නට අවශ්‍ය නැත. ඒත් මැදිහත්වීම් අවම කරනවා වෙනුවට ශ්‍රමික අර්බූද පිට දමමින් 1945 අප්‍රේල් 17 දා පටන් 1947 අගෝස්තු 27 දා කාලය තුල හැරී ටෲමන් ජනාධිපතිවරයා රේල් මාර්ග, මස් පැකට් කරන ව්‍යාපාර යනාදී සම්පූර්ණ කර්මාන්ත ඇතුළු කාර්මික අංශයේ පෞද්ගලික ව්‍යාපාර 28 ක් රජය යටතට ගත්තේය. ඔහුගේ ජනප්‍රියත්වය පහළ ගියේය. කොංග්‍රසය ද ඔහුට එරෙහි වූහ. යකඩ කර්මාන්තයේ නියැළී සිටි වෘත්තීය සමිති සේවකයන් සහ යකඩ කම්මල් අයිතිකරුවන් අතර ජාතික මට්ටමෙන් පැතිර යන වර්ජනයක් හටගන්නට අර ඇඳෙමින් තිබිණ. කොරියන් යුද්ධය පිට දමා, වෙඩි උණ්ඩ හදනු පිණිස යැයි ද, ජාතික ආරක්ෂාව පිණිස යැයි ද, කියමින් ඔහු 1952 දී රටේ යකඩ කම්හල් සියල්ලම රජයේ බාරයට ගෙන නඩත්තු කිරීම සඳහා විධායක නියෝගයක් අත්සන් කරන ලදි.

දේපල අහිමි වූ යකඩ කම්මල් හිමියන් රජය සතුකරගැනීමට එරෙහිව උසාවියෙන් නිරෝධාඥාවක් ලබාගත්හ. ඒ නිරෝධාඥාවේ ඇපෑල තුලින් සුපිරි උසාවිය ජනාධිපතිගේ ක්‍රියාව ව්‍යවස්ථාදායක නොවන බව තීන්දු කළහ. ටෲමන් ඇතුළු ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය අපේක්ෂා කළේ යුද වාතාවරණයක දී සුපිරි උසාවිය ජනාධිපතිගේ බලය ප්‍රශ්න නොකරනු ඇතැයි කියායි. මෙසේ තීන්දු කළ සුපිරි උසාවියේ විනිසුරුවන් 9 දෙනාම ටෲමන්ගේම ඩෙමොක්‍රැටික් පක්ෂයෙන් පත් කරන ලද්දවුන් වූහ. ඒ මදිවාට, විනිසුරුවන් 4 දෙනෙක්ම පත්කර තිබුණේ ටෲමන් විසින්මයි. සුපිරි විනිසුරුවන් විධායක නියෝගය ව්‍යවස්ථාදායක නොවන බව තීන්දු කළේ යුද වාතාවරණයක දී ජනාධිපතිවරයාට ලැබෙන බලතල සැලකිල්ලට නොගෙන, ව්‍යවස්ථාවෙන් පැවරෙන බලය බෙදී යාම ප්‍රමුඛ කරගෙනයි. එයින් යකඩ කම්හල් රජයට පවරා ගැනීමේ විධායක නියෝගය තහනම් කෙරුණි.

විධායකයේ නියෝග අධිකරණය අතින් නැවතුනේ එසේය.

1895 දී කොංග්‍රසය පනතක් සම්මත කරගනිමින් සංක්‍රමණිකයන්ට ව්‍යවස්ථාවේ වාක්‍ය පහක් කියවන හැකියාව තිබිය යුතු යැයි කියමින් සාක්ෂාරතා විභාගයක් හඳුන්වා දෙනු ලැබිණ. 1897 දී ජනාධිපති ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් සිය නිෂේධන බලය පාවිච්චි කළේය. 1903 දී නැවත කොංග්‍රසය ගෙනා උත්සාහයක් අසාර්ථක විය. 1912 දී එය කොංග්‍රසයේ සම්මත වුණි. විලියම් හවර්ඩ් ටැෆ්ට් ජනාධිපතිවරයා එවර එය නිෂේධනය කළේය. 1915 දී යළිත් කොංග්‍රසය එය සම්මත කරගත්හ. එවර වුඩ්රෝ විල්සන් ජනාධිපතිවරයා එය නිෂේධනය කළේය. ඔහු කියා සිටියේ සාක්ෂාරතා විභාගය නිසා අධ්‍යාපනයක් නොලැබූ අයට එක හා සමාන අවස්ථා නොලැබී යන බවයි.

ව්‍යවස්ථාදායකය සම්මත කරගත් පනත් විධායකය අතින් එදා එසේ නැවතිණ. එහෙත් සංක්‍රමණිකයන් සඳහා තහනම් බාධක සම්මත වීම නැවතුනේ නැත.

අද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, සුපිරි විනිසුරු පදවියට 49 වියැති නීල් ගෝර්සිච් නම යෝජනා කළේය. කොංග්‍රසයේ අනුමැතියෙන් එම පත්වීම ස්ථිර වූවාම, ඔහු සිය ජීවිත කාලය පුරාම එම පදවියේ සිටින්නට වරම් ලබයි. ගෝර්සිච් ලියූ පළමු ග්‍රන්ථය “වෙනකෙකුගේ සහායෙන් යුතුව දිවිනසා ගැනීමේ සහ සුඛමෘත්‍යයේ අනාගතය” නමින් පළ වූවකි. ඇමෙරිකාවේ සුඛමෘත්‍ය සඳහා කිසිම ලෙසකින් නීතිමය අවසර ලැබිය නොයුතු බව ඔහු එම පොතෙන් කියා සිටින බව විකිපීඩියාවේ සඳහන්.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බලය බෙදී පවතින ලෙසකින් සම්පාදනය වූ රටේ ව්‍යවස්ථාව, සංක්‍රමණිකයන්ට අකුරු කියවන්නට හැකිදැයි සොයා බැලීමට නොව රටවැසියන්ගේ යහපත උදෙසා ප්‍රයෝජනයට ගත යුත්තකි. එක අංශයක් තම බලය ව්‍යවස්ථාවට පටහැනි ලෙසින් යොදවන්නේ ද, අනික් අංශයන් දෙකේ කාර්ය භාරය එයට ඉඩ නොදීමයි. ක්‍රමවේදය භාවිතයට ගැනීමට වරින් වර අමතක වී ගියාට රටේ ඉතිහාසය පැහැදිලිවම පෙන්වන්නේ මිනිස් අයිතීන්ගේ ආරක්ෂාව වැඩි කරන්නට සියල්ලන්ම කටයුතු කර ඇති බවයි. ඉතින් ඉඳහිට පොඩි ඉක්කාවක් හැදුණාට කලබල විය යුතු නැත.

Advertisements
Tagged with:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: