අරුණි ශපීරෝ‍ වෙතින්

වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය මනින්නේ කවුද?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 8, 2017

only a tool not the solution

“ෆෙඩරල් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2018 දෙසැම්බර් 31 වැනිදා අවලංගු කෙරෙනු ඇත” යන එක වාක්‍යය පමණකින් යුතු පනත නියෝජිත සභික තෝමස් මැසී විසින් ඊයේ ඇමෙරිකන් කොංග්‍රසයේ නියෝජිත සභාවට ඉදිරිපත් කරන ලදි. “කොංග්‍රසයට හෝ ජනාධිපතිවරයාට, ඔහු කරන පත්වීම් තුලින්, අපේ දරුවන් ඉගෙන ගත යුත්තේ කෙසේද සහ මොනවාද යන්න නියම කරත හැකි ව්‍යවස්ථාදායක අධිකාරියක් ලැබී නැතැයි,” මැසී ඇමෙරිකන් ජනතාවට මතක් කර දුන්නේය.

ෆෙඩරල් හෙවත් මුළු රටට බලපාන අයුරින් ඇමෙරිකාවේ පාසැල් අධ්‍යාපනය ගැන නීති සම්පාදනයට හා බදු මුදල් යෙදවීම සඳහා දෙපාර්තමේන්තුවක් පිහිටා ගැනුනේ 1980 දී ය. රජයක් කළ අනෙක් ඕනෑම කටයුත්තක් ලෙසින්ම මෙහි දී ද වෑයම් සියල්ල ව්‍යර්ථ බව පෙන්වමින් එතැන් පටන් ගත් ඇමෙරිකන් පාසැල් අධ්‍යාපනයේ ප්‍රමිතිය පහළ බහින්නට පටන් ගති. ආණ්ඩු නිර්දේශ ක්‍රියාත්මක කරන්නට තව තවත් අරමුදල් යට කෙරිණ. තව තවත් ප්‍රතිසංස්කරණ ගෙනෙන ලදි. ඒවායේ නියැළුන අය තමන්ගේ දරුවන් යවන ලද්දේ ආණ්ඩු බාරයේ වූ හොඳ පාසැල් වලට හෝ පුද්ගලික පාසැල්වලටයි.

තවත් විදියකින් කිව්වොත් ලංකාව 1836 දී කෝල්බෲක් කොමිසමේ නිර්දේශයෙන් පිහිටුවා ගත් රජයේ පාසැල් ප්‍රමිතිකරණ ක්‍රමයට සමීපවෙන ක්‍රමයක් හදන්නට ඇමෙරිකාව 1980 වසරේ දී පටන් ගත්හ!!! නමුත්, පහසුවෙන් වෙනස් කළ නොහැකි විදියට සැකසුණු මෙරටේ ව්‍යවස්ථාව නිසා පුද්ගල අයිතීන් සහ ප්‍රාන්ත අයිතීන් උල්ලංඝණයට ෆෙඩරල් ආණ්ඩුවට බලය අල්ලා ගන්නට නොලැබිණ. තවමත් රටේ සෑම පාසැලකම සහ ගෙදර පාසැලක දී ඉගෙන ගන්නා දරුවෙකුගේ දැනුම මනින එක ක්‍රමයක් හදන්නට බලයක් අමාත්‍යාංශයකට/දෙපාර්තමේන්තුවකට ලැබී නැත. පාසැල් හෝ උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිකරණයට දෙපාර්තමේන්තුවක් නැත. නිවහල් මිනිසුන් ඉගෙන ගත යුත්තේ කෙසේද සහ කුමක් ද යන්න නියම කරන අධිකාරියක් නැත. ඒ නිසා මෙහි පැමිණෙන සංක්‍රමණිකයන් නොබෙල් තෑගි දිනන්නට පවා සමත් වෙති.

“මිනිසුන් එකිනෙකා වෙතින් පැහැදිලිවම වෙනස් වූ අයයි. එම පරිසිද්ධිය අපිට පෙන්වන්නේ, ඔවුන්ට එක හා සමාන ලෙසින් සලකන්නේ ද එවිට ප්‍රතිඵලය වනුයේ ඔවුන්ගේ සත්‍යය තත්වයේ අසමානතා පැවතීම බවයි. එහෙනම් ඔවුන්ව සමාන තත්වයකට දමන්නට කළ යුතු එකම ක්‍රියාව ද ඔවුන්ට වෙනස් ආකාරයෙන් සැලකීම බවයි. නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ භෞතික සමානාත්මතාවය යනු එවිට එකිනෙකට වෙනස් වූවක් පමණක් නොව එකිනෙකට පටහැනි වූවකි. අපිට ඉන් එකක් තෝරාගත හැකියි. එහෙත් ඒ දෙකම තෝරාගන්නට නොහැකියි.” නිවහල් බවේ ව්‍යවස්ථාව, ෆෙඩ්රික් හයෙක්, 1960

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් ගැලවෙද්දී ලංකාවේ විද්වතුන් නිවැරදි යැයි විශ්වාස කළේ එකිනෙකට පටහැනි වූවක් සාධනය කළ හැකි බවයි. බුද්ධිමය විචාර යුගයේ නිවහල් සිතුවිලි, ඇමෙරිකන් ව්‍යවස්ථාව ලියැවෙන්නට පසුබිම් වූ දාර්ශනික චින්තනය, ලංකාවේ අයට මුළුමනින්ම මඟහැරිණ. කාල් මාක්ස්ගේ චින්තනය විවිධාකාරයෙන් සිංහලට නැඟූ පොත්පත් රාශියක් වුවත්, 1776 දී ඇඩම් ස්මිත් ලියූ ජාතීන්ගේ ධනය 2017 වෙද්දීත් සිංහලෙන් ප්‍රකාශයට පත් වී නැත.

ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව ප්‍රමිතිකරණයට හැකියාව ඇතැයි කියාගත් විද්වතුන් ඒවා සැලසුම් කිරීම 1836 දී පටන් ගන්නා ලදි. 1847 දී ඇමෙරිකාවේ වෛද්‍යවරුන්ගේ සංවිධානය කිසිදු ප්‍රමිතිකරණයක් ගැන කතා නොකළහ. එදා ඔවුන් ප්‍රසිද්ධියේම කියන ලද්දේ, “රටේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිණිස” වෛද්‍යවරුන්ගේ සංවිධානයක් පිහිටුවා ගන්නා බවයි!!!!

American Medical Association යනු මෙහි වෛද්‍යවරුන් සිය ඒකාධිකාරය තහවුරු කරගනු පිණිස පිහිටුවා ගත් සංවිධානයයි. එහෙත් ඇමෙරිකාවේ මහඟු ව්‍යවස්ථාව නිසා, රජයේ මෙන්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වී තිබුණ හෙයින්, මුළු රටටම බලපාන අන්දමින් නීති හදන්නට ඔවුන්ට ද නොහැකි විණ. ඒ ඒ ප්‍රාන්ත ඔවුනොවුන්ගේ වෛද්‍ය සංවිධාන පිහිටුවා ගත්හ.

ඇමෙරිකන් ව්‍යවස්ථාව ආරක්ෂා කරන ලද්දේ ඒකීය පුද්ගලයාගේ අයිතියයි. එහෙම අයිතීන් ආරක්ෂාවක් ලංකාවේ පුරවැසියාට කිසිදා ලැබී නැත. රජුගේ අණසක යටතේ ජීවත් වූ ලංකාවේ වැසියා යටත් විජිත පාලකයන්ගේ අණසකට නතු වී අනතුරුව තමන්ට ලැබිය යුතු ප්‍රමිතිය කුමක්දැයි තීරණය කරන්න දන්නවා කියාගත් රජයේ අණසකට යට වූයේය.

ලංකාවේ වැසියන් අතර බහුතරයට නොමිලේ බෙදූ අධ්‍යාපනයෙන් අකුරු කියවන්නට හා ලියන්නට හැකියාව ලැබුණි. එහෙත් කියවන ලියන හැකියාව ආධාරයෙන් ලැබුණු දැනුම කුමක්දැයි යන්න අනෙක් අය විසින් තීන්දු කළ ප්‍රමිතිකරණයට සීමා විය.

පුද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයකට ඉඩදිය යුතුද නැද්දැයි කතිකාවේ දී ප්‍රමිතිකරණය ගැන කතාබහ වෙන ලාංකිකයා ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකට ඉහළ ප්‍රමිතියක් ලැබෙන්නේ කෙසේදැයි කියා නොදනිති. ඉහළ ප්‍රමිතියක් තීන්දු කරන්නට දන්නේ පුද්ගලයෙක්, කමිටුවක් හෝ සංවිධානයක් යන දුර්මතයේ ඔහු තවමත් එල්බ සිටියි.

ඔබ කැමති වුවත්, අකමැති වුවත් වෙළඳපොල යන්න ක්‍රියාකරන ආකාරය වෙනස් නොවේ. පුද්ගලයන්ට, කමිටුවලට හා සංවිධාන වලට එය ක්‍රියාකරන ආකාරය වෙනස් කරන්නට නොහැකියි. වෙළඳපොල හෙවත් සෑම පුද්ගලයෙක්ම මිල දී ගන්නා හා නොගන්නා ක්‍රියාව තුලින් මිල පිළිබඳව සේ ම ප්‍රමිතිය ගැන ද තීන්දුවක් දෙනු ලබයි.

තවත් විදියකින් කිව්වොත් ලෝකයේ වැඩියෙන් උවමනාව ඇති අයට වැඩියෙන් හොඳ පාසැල් අධ්‍යාපනයක් ද, වැඩියෙන් හොඳ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ද ලබාගන්නට හැකියි. ලෝකයේ වැඩියෙන් උවමනාව ඇති අයට වැඩියෙන් දක්ෂ වෛද්‍යවරයා වෙත යෑම තෝරාගත හැකියි. වැඩියෙන් සල්ලි නොකියා වැඩියෙන් උවමනාව යැයි ලියා තිබීම නිරීක්ෂණය කරන්න. වැඩියෙන්ම උවමනාව තිබෙන්නාට එය කරන්නට හැකියාවක් සොයාගත නොහැකි වන්නේ එකම එක පසුබිමක දී පමණි. ඒ හයෙක් විසින් පෙන්වා දුන්, නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ භෞතික සමානාත්මතාවය දෙකම හදනවා යැයි කියමින් නිවහල් මිනිසුන්ව වහලුන් ලෙසින් දක්කන සමාජ පසුබිමක දී පමණි.

දුප්පත් පෝසත් පරතරය අවම කරන්නට කියා සැලසුම් හදන එවැනි සමාජ උත්සාහයන් සියල්ලකම ප්‍රතිඵලය වූයේ සැලසුම් හැදූ අයට වැඩියෙන් හොඳ භාණ්ඩ හා සේවා භුක්ති විඳින්නට ලැබී සමාජයේ බහුතරය ඒවා කිසිත් නොලැබෙන ඉතා දුක්ඛිත තත්වයන්ට පත්වීමයි. අද වෙනිසියුලාවේ තත්වය ගැන සිංහල පාඨකයාට අහන්නට නොලැබෙනවා සේ, ලෝක ඉතිහාසයේ එවැනි සිදුවීම් ගැන සිංහල පාඨකයාට අහන්නට නොලැබේ. ඔහු තවත් කාලයක් ප්‍රමිතිකරණය මනින්නට දන්නා විද්වතුන් සොයමින් වහල් ජීවිතයක් ගෙවනු ඇත.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Thambaru Wijesekara said, on පෙබරවාරි 9, 2017 at 10:21 පෙ.ව.

    //වැඩියෙන් සල්ලි නොකියා වැඩියෙන් උවමනාව//
    අවශ්‍යතාව අනුව බඩු මිලදී ගන්න තවම අපේ අයට පුරුද්දක් නැහැ. “තෘප්තිය” ගැන ඔබ අපූරුවට පාසල් දරුවන්ට කියාදුන් හැටි මතක් වෙනවා 🙂

  2. උපුල් හේවා said, on පෙබරවාරි 13, 2017 at 6:57 ප.ව.

    අරුණිට කෙටි පිළිතුරක් දෙන්නම්. මේ ඕස්ට්‍රේලියාව එංගලන්තය සහ ඇමෙරිකාව වගේ දියුණු රටවල් වල නම් ඒ ප්‍රමිතිය මනින්නේ අදාළ වෛද්‍ය සභාව සහ වෘතීය මණ්ඩලය මගින්. ඒ ප්‍රමිතියට අනුව වැඩ නොකරන වෛද්‍යවරුන් ගේ වෛද්‍ය වෘතියේ යෙදීමේ අයිතිය පවා මේ රටවල් වල සමහර විටක ඉවත් කරනවා. ඒ අදාළ වෘතිය මණ්ඩල එක එක අයගේ අවශ්‍යතාවයන් වලට අනුව වැඩ කරන ඒවා නොවෙයි නියමිත පිළිගත් නීතිමය රාමුවක් තුල සිට ඔවුන් කරන අධීක්ෂණයන් සහ ක්‍රියාකාරීත්වයන්. ඒ ප්‍රමිතිය මැනීමේදී බලන දේවල් නම් අදාළ වෛද්‍යවරයාගේ දැනුම පවත්වා ගැනීම, රාජකාරියේ කොපමණ පැය ගණනක් යෙදෙනවාද, ඔවුන්ගේ විනය සහ ඔවුන් ස්වකීය සීමාවලින් එපිට වැඩ කරනවාද වැනි දෑ. අරුණි කියන විදිහට ඔය දේවල් වෙළඳපොල තුලින් නිර්ණය කළ යුතුයි නම් ඒවා සිහින මාලිගා පමණයි. ඔය ලිබර්ටෙරියානු සිහිනයෙන් එලියට ඇවිත් ප්‍රායෝගික ලෝකයේ ජීවත් වුනා නම් අරුණි ජීවත් වෙන රටේම ඔය වෘතිකයින් ගේ ප්‍රමිතිය කොහොමද පවත්වා ගන්නේ කියල දකින්න හැකි වේවි.

    • arunishapiro said, on පෙබරවාරි 13, 2017 at 9:42 ප.ව.

      උපුල් හේවා,

      රැකියාවක යෙදෙන්න නීතියෙන් අවසර දෙන ‘ලයිසන්’ එක නෙමෙයි ‘ප්‍රමිතිය’ කියන්නෙ.

      යම් ලකුණු සංඛ්‍යාවක් ගන්නට සමත් වුනාම පාස් යැයි කියල රජයක් තීරණය කළාට ‘ප්‍රමිතිය’ කියන්නේ එක මට්ටමකට එන්න සමත්වීම නෙමෙයි.

      රජයක් හෝ ප්‍රාන්ත වෛද්‍ය සභාවක් රස්සාව කරන අවසරය දීපු ‘ලැයිසන්’ එකක් තිබ්බ පලියට එම ප්‍රාන්තයේ සෑම වෛද්‍යවරයෙක්ම එකම ප්‍රමිතියකින් ඉන්නවා යැයි කියැවෙන්නේ නැහැ.

      උදාහරණයක් හැටියට කැනඩාවේ ගම්බද පළාත්වල වෛද්‍යවරුන්ගේ හිඟය පියවාගන්න පිටරට වෛද්‍ය විභාග සමත් වූ (IMG’s) ලට විවිධාකාර නම් වලින්; මහජන සේවා, කොන්දේසි සහිත, තාවකාලික, සීමාසහිත, යනාදී වශයෙන් ලැයිසන් දීලා, තීන්දු කරන යම් කාලයකින් පසුව ඔවුන්ට ෆුල් ලැයිසන් දෙනව. කැනඩාවේ වෛද්‍ය විද්‍යාල වලින් සමත් අයට ක්ෂණික ෆුල් ලැයිසන්. ඒ අය නොගන්නා පුරප්පාඩු පුරවන්නයි මේ පිටරට අයව ගන්නෙ. ඔවුන් අතර එංගලන්තයෙන්, ඔස්ට්‍රේලියාවෙන්, ප්‍රංශයෙන් හා බෙල්ජියමෙන් වගේම පකිස්තානයෙන්, ඉන්දියාවෙන්, ලංකාවෙන්, ලිබියාවෙන් හා නයිජීරියාවෙන් ද වෛද්‍ය උපාධිධරයන් ඉන්නව.

      ඉතින් ඔය හැමෝම එකම ප්‍රමිතියක ඉන්න වෛද්‍යවරු ද?

      නැත්නම්, එහෙම නොවෙන්නේ අර ප්‍රාන්ත රජය විසින් ෆුල් සහ වෙනත් විවිධ නම් වලින් හඳුන්වන වෙනස්කම පමණක් නිසා ද?!!!!!

      සේවය ලබාගන්නේ කාගෙන් ද, එහි ප්‍රමිතියක් ඇත්දැයි මෙන්ම එය උසස්දැයි නැද්දැයි කියාත් මනින්නේ එය මිල දී ගන්නා පාරිභෝගික අපි හෙවත් වෙළඳපොලයි.

      පාරිභෝගිකයාට ප්‍රමිතිය මැන ගන්න වෙළඳපොල ඉඩක් ලබා දෙන නිසාමයි, විවිධ ආදායම් මට්ටම් උපයන වෛද්‍යවරු හැමෝටම එකම විදියට උගන්වන ලංකාව වගේ රටවල පවා ඉන්නෙ.

      රජය හදා දුන්නු සිහින මාලිගාවල ජීවත්වෙන්නේ නැති නිසාම, අපි නම් රියැදුරු ලයිසන් තිබ්බ පමණින් වාහන පදවන සියල්ලන්ම එකම ප්‍රමිතියකින් ඉන්නවා යැයි පිළිගන්නේ නැහැ වගේම, ලයිසන් තිබ්බ පමණින් වෛද්‍යවරුන් සියල්ලන්ම එකම ප්‍රමිතියකින් ඉන්නවා යැයි විශ්වාස කරන්නෙත් නැහැ.

  3. krishramanayaka71 said, on පෙබරවාරි 17, 2017 at 2:16 පෙ.ව.

    වෙළදපොල කිව්ව ගමන් කලබල වෙන්නෙ වෙළදපොල ගැන තියෙන වැරදි අදහසින් .අනෙක් සියලු දේම නිවැරදිව මැනෙන හා වටිනාකම් තීරණය වෙන වෙළදපොල වෛද්‍ය වෘතියේදි විතරක් වෙනස් නොවේ.අනෙක් කරුන තමා යම් විෂයක් ගැන ඉගෙන ගන්න තියෙන අවස්ථා වඩා පුලුල් කිරීම තුල වඩා කාර්යක්ෂම මාවත තෝරාගන්න අදාල දැනුම ලබන්නාට පුලුවන් .සම්පත් වල කාර්යක්ෂම යෙදවීමත් ඉන් වෙනව. මූලිකම ගැටුලුව තමා කිසියම් අධිකාරියක් යමක් සැපයීමේදී ඒකාධිකාරයක් පැවතීම වඩා කිවැරදි කුමක්ද වඩා කාර්යක්ෂම කුමක්ද ඒ කිසිවක් දැනගන්න විදිහක් නෑ. රාජ්‍ය ඒකාධිකාරය වගේම පුදගලික අංශයටත් ඉඩ දෙන්න කියන්නෙ ඒ නිසයි. ඇයි තරඟයට මේ තරම් විරුද්ධ ?

  4. Mahesh said, on මාර්තු 23, 2017 at 2:15 පෙ.ව.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමත සියළුම වෛද්‍යපීඨ වල ප්‍රමිතිය එක හා සමානද…? රජරට, නැගෙනහිර, යාපනය, කොතලාවල යන වෛද්‍යපීඨ වල ප්‍රමිතිය සහ පේරාදෙනිය, කොළඹ, රාගම, රුහුණ වැනි වෛද්‍යපීඨ වල ප්‍රමිතිය සමඟින් එක හා සමානද…. ?
    .
    ඒ වාගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ(SLMC) ලියාපදිංචි කර ඇති 192 කට වඩා විදේශීය වෛද්‍යපීඨ සියල්ලකම ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියත් එක හා සමානද….?

    • arunishapiro said, on මාර්තු 23, 2017 at 6:51 පෙ.ව.

      Mahesh,

      වෙළඳපොල ගැන යාන්තම් හෝ අවබෝධයක් තියෙනවා නම් ඒ පුද්ගලයා එක හා සමාන ප්‍රමිතියක් හදන්න ලෝකේ කිසිම රටකට බැරි බව දන්නවා. ප්‍රමිතිය මනින ක්‍රමවේද ගෙනාවට, ඒ සඳහා විද්වත් පුද්ගලයන්ගේ කමිටු පත්කරගත්තාට, ප්‍රමිතිය ගැන තීන්දුව දෙන්නේ ප්‍රතිකාර ලබාගන්නා අයයි. විවිධ ප්‍රමිති වලට විවිධ ජනතාව කැමති නිසා වෛද්‍ය සේවය ඉගැන්වීම වගේම වෛද්‍ය සේවය සැපයීමත් වැඩි වෙද්දී ඒ දේශයේ සමස්ත ප්‍රමිතිය ඉහළ යනව. ඒකයි ප්‍රමිතිය මනින්නේ කවුද? කියල සිරස්තලය ලිව්වේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: