අරුණි ශපීරෝ‍ වෙතින්

දේශපාලකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 16, 2017

දේශපාලකයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් අතර වෙනස කුමක්දැයි දකින්නට පුළුවන් ඔවුන්ගේ චරිතයෙන්. රාජ්‍ය තාන්ත්‍රිකයා පුද්ගලික අවධානය දිනාගන්නට හෝ පුද්ගලික වාසි ලබන්නට මහජන තනතුරක් සොයා යන්නේ නැත. ඔව්හු බොහෝවිට ඵලදායී වෘත්තීයක් අත්හැර කෙටිකාලීනව මහජන සේවයක් සඳහා යන අය වෙති. ඔවුන් රජයේ රැකියාවක නියැළෙන්නේ, රැකියාවක් හැටියට කරන්නට දන්නේ එය පමණක්ම නිසා නොවෙති. ඔව්හු මිනිස්සු රවටාගත හැකි යැයි සිතන දෙයට නොව ප්‍රතිපත්තිමය දැක්මක් වෙනුවෙන් පෙනී සිටිති. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තේරී පත්වෙද්දී, නිල තනතුර සඳහා තෝරාපත් කර යැවූ මහජන හිතකාමී පුරවැසියන්ව ඔහු අමතක නොකරයි. මැතිවරණයට මුදල් හදල් සැපයූ විශේෂ කල්ලියකගේ වාසියට නැත්නම් ස්ථිරකාලීන රාජ්‍ය නිලධාරි අධිකාරිය වෙනුවෙන් ඔහු කතා නොකරයි.

සත්‍යය සොයා යන බැවින්, රාජ්‍ය තාන්ත්‍රිකයා ඒ වෙලාවට දේශපාලනිකව ජනප්‍රිය දැය නොව බොහෝ විට නිවැරදි දේ කරන්නට පෙළඹේ. ඔවුන්ගේ ස්ථාවරය කුමක්දැයි ඔබ දනියි. මන්ද, හිතන දැය ඔවුන් කියති. කියන දැය ඔවුන් හිතති. පංති අතර යුද්ධ කරන්නට නොයා, වර්ගවාදය අවුළුවන්නේ නැතිව, ජනතාව බෙදන පාක්ෂික උපක්‍රමයන්හි ඔවුන් නියැළෙන්නේ නැත. මුදල් වලට චන්ද මිල දී නොගනිති. ඉටු කරන්නට බැරි නැත්නම් කැඩෙන පොරොන්දු දෙන්නේ නැත. ඔවුන්ගේ ක්‍රියා කලාපය ගැන වගකීම බාරගනිති. වෙනකෙක් පහතට ඇද දමමින් තමන්ව ඉහළට නඟ්ගා ගන්නට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කටයුතු නොකරයි. තමන් ගැලවුම්කාරයා හැටියට දක්වා ගන්නට, ඔවුන් උපහටයන් යැයි ජනතාවට හඟිස්සවන්නට ඔහු කටයුතු නොකරයි.

මහජන මුදල් කළමනාකරණයේ දී, රාජ්‍ය තාන්ත්‍රිකයා ක්ෂණිකව කළ යුතු දේ මොනවා දැයි සොයා ගැනීමට නිති වෙහෙසෙයි. අනුන්ගේ සල්ලි වලින් වැඩි කොටස නොනවත්වාම ලැබිය යුතු ලෙසකින් ඔවුන් කටයුතු නොකරති. වැඩියෙන් අවශ්‍ය දේවල් සඳහා මාර්ග විවෘත කරගැනීම සඳහා ඔවුන් වැඩි වැදගත්කමක් නැති දේවල් නවතා දමන නිර්භීතකම ප්‍රදර්ශනය කරති. ඔවුන් අධිරාජ්‍ය හදන්නට උත්සාහ නොකරති. ඒ වෙනුවට, ආණ්ඩුව නිසි සීමාවේ තබා ගනිමින්, නිදහස් හා ව්‍යවසායකත්ව ජනතාවට සාක්ෂාත් කරගත හැකි දේ ගැන විශ්වාසය තබා ගනිති. දේශපාලකයන් හිතන්නේ අනුන්ගේ ජීවිත සැලසුම් කරන්නට ඔවුන් දක්ෂ යැයි කියායි. එවැනි උද්ධච්ච ආකල්පයන් සත්‍යයෙන්ම කොතරම් මෝඩ යැයි ද අවබෝධ කරගත හැකි තරමට රාජ්‍ය තාන්ත්‍රිකයන් බුද්ධිමත් වෙති. තවත් විදියකින් කියතොත්, සාමාන්‍ය දේශපාලකයෙකුට ලබාගත හැකි නොහැකි මට්ටමක චරිතයක් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට තිබේ.

ඕනෑම මිනුමකින් ගත්තොත්, පුරවැසියන් හැටියට අපි පවත්වාගන්නා ප්‍රමිතිය, අපි තෝරාපත් කරගන්නා අය වෙතින් අපි බලාපොරොත්තු වෙන ප්‍රමිතිය මෑත කාලයේ දී ඉතාමත් පහළට වැටී ඇත. පරිතෝෂණය සඳහා ඉදිරිපත්වෙන දේශපාලකයන් ගැන හැමෝම මැසිවිලි කිව්වත්, සමහර විට ඔවුන් එසේ කරනුයේ අපි ජනතාවක් හැටියට පරිතෝෂණය බලාපොරොත්තු වෙන නිසා විය හැකියි. අපිට පුද්ගලිකව අවශ්‍ය දේවල් දෙනවා නම් හෝ අපි නිවැරදි යැයි හිතන පක්ෂයේ වෙත්නම්, දේශපාලකයෙක් අනිසි ලෙසින් හැසිරෙද්දී අහක බලා ගෙන ඉන්නට සූදානම් අය වැඩියි.

Lawrence W. Reed ලියූ Character, Liberty, and Economics යන සටහනෙන් ඉහත කොටස ගත්තෙමි. සම්පූර්ණ ලිපිය ඉංග්‍රීසියෙන් කියැවීමට මෙතැනින් පුළුවනි.

මෙරට දේශපාලකයන් බහුතරය සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් සුලුතරයක් සිටින වොෂිංටන් ඩීසී යන්නට සූදානම් වෙද්දී මේ සටහන දැමුවෙමි. ඉඩකඩ ලැබෙන විදියට ඒ සුලුතරයගේ අදහස් ඔබ හා බෙදා ගන්නම්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: