අරුණි ශපීරෝ‍ වෙතින්

රසාස්වාදයෙන් පිරුණු වොෂිංටන් අගනුවර

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 18, 2017

Massie and Brakey

කෙන්ටකි ප්‍රාන්තයෙන් කොංග්‍රසයේ නියෝජිත සභාවට පැමිණ සිටින තෝමස් මැසී අධ්‍යාපනයෙන් ලබන්නේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු උපාධියකි. MIT වෙතින් මෙකැනිකල් ඉංජිනේරු පශ්චාත් උපාධියක් ලබමින් සිටිය දී ඔහු සිය බිරිඳ සමඟ කොම්පැණියක් අරඹා ශිෂ්‍ය නවෝත්පාදනයෙක් හැටියට ඩොලර් තිස්දාහක තෑග්ගක් දිනාගන්නට සමත් වේ. පේටන්ට් 24 කුත්, සේවකයන් 70 කුත්, ඩොලර් මිලියන 32 ක ව්‍යාපාරික ප්‍රාග්ධනයකුත් සොයාගත් පසු හේ කොම්පැණිය විකුණා දමා සූර්ය තාපයෙන් විදුලි බලය සපයන්නට තමන් විසින්ම නිවහනක් හදාගෙන හරක් ගොවිපොලක ජීවත්වන්නට ගියේය.

සිය රාජ්‍ය තාන්ත්‍රික ජීවිතයේ දී මුහුණ දෙන්නට සිද්ධ වූ අපුලම වූ සිද්ධිය කුමක්දැයි ඇසූ විට තෝමස් මැසී කියා සිටියේ මෙසේය: මට දවසක් කොංග්‍රසයේ පහළ මාලයේ අඳුරු ශාලාවකට යන්න සිද්ධ වුණා. එතැන තමයි අලුතින් එන නියෝජිතයන්ව කුමන කමිටුවලට දානව ද කියල තීරණය වෙන තැන. එතැන දී ආණ්ඩුවට හේත්තු වෙන්න හදන පිටස්තරයන්ගේ මුදල් වලට විවිධ කමිටුවල තනතුරු විකිණෙන හැටි පැහැදිලි වුනාම අවශ්‍ය වුනේ වහාම ගිහින් හොඳට ඇඟපත හෝදගන්නයි.

මහජන සේවයට එකතු වීම ගැන ආපසු හැරී බලද්දී මොකක් හිතෙන්නේදැයි ඇසූ විට මැසී උත්තර දුන්නේ මෙසේය: ආපහු ‘මේට්‍රික්ස්’ එකට යන්න පුළුවන් පාට පෙත්ත තෝරාගන්න දෙනවා නම් ඔන්න මටත් ආපහු හිටපු ජීවිතයටම යන්න පුළුවන්. නැත්නම් ‘මෙන් ඉන් බ්ලැක්’ හි අර වෙච්ච සිද්ධිය අමතක කරන ගැජට් එක අල්ලන්න පුළුවන් නම්. ඒත් කොංග්‍රසයට ඇවිත් ලබාගත්ත මේ අවබෝධයෙන් පස්සේ මට හැකියාවක් නැහැ හැකි මගේ උපරිමයෙන් උත්සාහයක් නොගෙන මේ පටන් ගත්තු මහජන සේවයෙන් අයින් වෙන්න.

එරික් බ්‍රැකි දේශපාලනයට පිවිසෙන්නේ රොන් පෝල් ජනාධිපති කරවන්නට 2012 දී ගත් වෑයමෙන්. මේන් ප්‍රාන්තයේ චන්ද කටයුතු වල අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් කටයුතු කළ ඔහු මැතිවරණයෙන් පසුව නිදහස් මිනිසුන් සහ නිදහස් වෙළඳපොල ප්‍රවර්ධනය සඳහා වූ සංවිධානයක සම-නිර්මාතෘ වේ. සිය ප්‍රාන්තයේ සෙනෙට් මැතිවරණයට ඉදිරිපත් වන්නට කෙනෙකු නොවූ බැවින් ඊට තමන් ඉදිරිපත් වූ බව හේ කියා සිටියේය. එහි දී ඔහුව පරදවන්නට වැඩියෙන්ම උත්සාහයක් ගෙන තිබුණේ රිපබ්ලිකන් පක්ෂයයි.

තෝමස් මැසී මහත් චන්ද ජයකින් තේරී පත්වෙන්නේ ෆෙඩරල් ආණ්ඩුවේ කොංග්‍රසයේ නියෝජිත සභිකයෙක් හැටියටයි. එරික් බ්‍රැකි ද එසේම වැඩි චන්ද පරතරයකින් තේරී පත්වෙන්නේ මේන් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙක් හැටියටයි. ප්‍රාන්ත සභිකයන් සතු බලතල ප්‍රාන්තයට පමණක් සීමා වූ ඒවායි.

රාජ්‍ය තාන්ත්‍රිකයන් වන්නට අවශ්‍ය සුදුසුකම් මොනවාදැයි ඇසු විට මැසී කියා සිටියේ දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන පමණක් අද ඵලක් නැහැ කියායි. අද ඉගෙන ගන්න ඕන රංගනයයි, හැකිනම් දේශපාලන රංගනය ඉගෙන ගත යුතු යැයි ඔහු කීවේය. එවිට සභාව සිනහ ගන්වමින් එරික් බ්‍රැකි තමා අධ්‍යයනය කළේ රංගනය බව කියා සිටියේය. නිව් යෝර්ක් නුවර රංගනයේ යෙදුනා පමණක් නොව ඔහු මුහුණ දුන් මැතිවරණයට වසර කිහිපයකට කළින් ඔහු ‘විටා කොකො’ නමින් ඇමෙරිකාවේ ජනප්‍රිය කුරුම්බා වතුර පානය ප්‍රවර්ධනය කරන්නට බ්‍රසීල පන්නයේ නාන ඇඳුමකින් සැරසී ගත් පිරිමි කණ්ඩායමක් නටන ඉතා ජනප්‍රිය වූ දැන්වීමකට ද පෙනී සිට ඇත.

ඔවුන් හා දේශපාලන පොරපිටියකට අද්දවා ගන්නා වෑයම් කිසිත් නොකර, තම තමන්ගේ ජීවිතයේ සෑම අවස්ථාවක දී ම විනීත ලෙසින් අසල්වැසියන් සහ හිතමිතුරන්ට නිදහස් මිනිසුන්ගේ අගය කියාදෙන හැටි ගැන බොහෝ දුරට කතාබහ කළ මේ තරුණ රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනා දකිද්දී ඇමෙරිකාවේ අනාගතය ගැන පුදුම සතුටක් දැනිණ.

දහසක් ඉක්මවන තරුණ පිරිසක් සහභාගීත්වයෙන් මේ සති අන්තයේ පැවැත්වෙන සම්මන්ත්‍රණය ආරම්භ කරමින් මේ තරුණ මහජන නියෝජිතයන් ගෙනහැර පෑ අදහස් දේශ සීමාවකට පමණක් අදාළ වූ අදහස් නොවෙති. ඒවා දේශපාලකයන් නොව රාජ්‍ය තාන්ත්‍රිකයන් අවශ්‍ය මන්දැයි පැහැදිලි කරන අදහස් වෙති.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: