අරුණි ශපීරෝ‍ වෙතින්

ඇනස්ටේෂියා ලින් – කැනඩාවේ රූප රාජිණිය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 23, 2017

පසුගියදා වොෂිංටන් අගනුවර පැවැත්වුනු “නිවහල්බව උදෙසා වූ ශිෂ්‍ය සංවිධානයේ” 10 වැනි වාර්ෂික සම්මන්ත්‍රණයට සහභාගි වූ සිසුන් නොවන පිරිසට මා ද අයත් වූයෙමි. ලොව විවිධ රටවල් වලින් පැමිණ සිටි දහසක් ඉක්මවා ගිය බුද්ධිමත් තරුණ පිරිසේ උද්‍යෝගය, එකමුතුව සහ ආචාරශීලීත්වය හමුවේ නුදුරු දිනයක මීට ලංකාවෙන් සහභාගී වෙන සිසු සිසුවියන් ද දකින්නට ලැබේවා යැයි මම පැතුවෙමි.

දේශපාලන වහල් බවෙන් මිදී ලෝකයේ දියුණුව සාධනය වෙන ආකාරය පැහැදිලි වීමෙන් පසුව, කළින් පැවති සම්මන්ත්‍රණ වලට සහභාගී වූවන් සමාජයට අගයක් එකතු කරන ලෙසින් කටයුතු කළේ කෙසේදැයි දැනගන්නට මෙහි දී අවස්ථාව පෑදුණි. මරාගෙන මැරෙන තරඟයක් නොව ධනවාදයේ ඇත්තේ එකිනෙකා හා සහයෝගයෙන් වැඩියෙන්ම ඉහළ අගයක් නිර්මාණයට ඇති තරඟයක් බව පැහැදිලිව වැටහෙන මෙවැනි සම්මන්ත්‍රණ ලංකාවට කවදා හෝ ලැබේවා කියා මම පැතුවෙමි.

“වසර 100 ක කොමියුනිස්ට්වාදය” මාතෘකාව යටතේ පැවැත්වුණු සංවාදයට සහභාගී වූවන් අතර චීනයේ උපන් කැනඩාවේ 2015 රූප රාජිණිය වූ ඇනස්ටේෂියා ලින් සිටියාය. ඇය ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරයි. වේදිකා රංගනය ඇයගේ ප්‍රධාන විෂය වන අතර ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව ඇයගේ අතුරු විෂයයන් වෙති. ළමා කාලයේ සිය මිතුරු මිතුරියන් ගැන ඔත්තු සපයන්නට තරම් තමන්ගේ ළදරු මනස චීන රජය විසින් විකෘති කරන ලද්දේ දැයි ඇයට පැහැදිලි වී ඇත්තේ කැනඩාවේ වාසයට පැමිණි පසුවයි. ටියනමන් චතුරශ්‍රයේ සිද්ධිය ගැන සත්‍යය චීන ජනතාවට සඟවන ලදැයි ඇය වටහා ගත්තේ ලෝක ප්‍රවෘත්ති නොදත් චීනයේ වාසය කරන ඥාතීන් සමඟ කතාබහේ දී ය.

2008 චීනයේ සිෂුවාන් භූමිකම්පාවේ දී රජය හරිහැටියට ඉදිනොකළ පාසල් ගොඩනැඟිල්ලකට යට වී මිය ගිය දරුවන් ගැන චිත්‍රපටියක් හදන්නට අදහස් කල කැනඩාවේ සිනමා අධ්‍යක්ෂකවරයෙක්ට ඒ සඳහා චීන තුරුණුවියේ රංගන ශිල්පිණියක් සොයා ගැනීම අසීරු විණ. රටෙන් පිට වාසය කළ ද, චීන රජය ගැන විවේචනයට චීන සම්භවයක් ඇති අයට අවසර නැත. එවැනි චිත්‍රපටිවල රඟපෑමෙන් තවමත් චීනයේ වාසය කරන තම ඥාතීන්ට රජයෙන් සිද්ධ වන අන්ඩතේට්ටම් මෙන්ම රංගන ශිල්පියාට ද සිය ජීවිතය පුරාම යළි චීනයට යෑමේ හැකියාව ද අහිමි වී යයි. ඒ බව හොඳ හැටි දැන සිටිය ද, ඇත්ත කියන්නට කවුරුන් හෝ පෙනී සිටිය යුතු යැයි සිතා ඇය එම චිත්‍රපටියේ රඟපාන්නට ඉදිරිපත් වූවාය. එතැන් පටන් එවැනි චිත්‍රපටිවල කාන්තා චරිත බොහොමයක් ඇයට ලැබිණ.

ඇය චීනයේ වැරදි ප්‍රසිද්ධියේ කතා කළ බැවින් චීනයේ පැවති ලෝක රෑප රාජිණී තරඟයට සහභාගීවීමේ අවස්ථාව චීන රජය විසින් ඇයට අවහිර කරන ලදි. එය ලන්ඩනයේ පිහිටි සංවිධානයකින් සිද්ධ වෙන්නක් වුවද, චීන රජය එම සංවිධානයට චීනයේ පහසුකම් සියල්ල කිසිත් බරපැණ නොමැතිව ලබා දෙන්නටත්, ලෝක මාධ්‍ය හරහා කරන ප්‍රචාරයන් හි සියළු ලාබ වලටත් ඉඩ දීමෙන් ඇනස්ටේෂියාට අවස්ථාව නොදී සිටින්නට සංවිධානය එකඟ කරවා ගන්නා ලදි. තරඟය අවසන් වන තුරුම සංවිධානයේ කිසිවෙක් ඇනස්ටේෂියාට ආරාධනාවක් නැත්තේ මන්දැයි යන්නට පිළිතුරු දී නැත.

චීනයේ වාසය කරන ඇයගේ පියා චීන රජය ගැන දොසක් නොකියන්නෙකි. ඔහු දියණියට දෙන අවවාදය නම් “අම්මා කියන දේ අහන්න” යන්නයි. අම්මා යනු මව්රට හෙවත් කොමියුනිස්ට් පක්ෂයයි. චීනයට යෑමට වීසා බලපත්‍ර ලබාගත නොහැකි බැවින් ඇය මෙම ජනවාරියේ දී පියා ඇතුළු ආච්චී සහ සීයා හමුවන්නට හොංකොං වෙත යන්නට සූදානම් වූවාය. ඒ ගැන දැනගත් චීන රජය ආච්චී සහ සීයාව පොලීසියට ගෙන ගොස් ප්‍රශ්න කර ඇත. බියට පත් වූ පියා ගමන අවලංගු කරන ලදි.

චීනයේ මානුෂික අයිතීන් නිතිපතා උල්ලංඝණය වනුයේ ඒ ඒ අලජ්ජි පුද්ගලයෙක් අතින් නොව රජයේ නියාමන තුලිනි. ඕනෑම දෙයක් කරගන්නට සිරකරුවන්ට ඉඩකඩ සපයමින් පිරිමි බන්ධනාගාරවලට කාන්තාවන් දැමීම කාන්තා සිරකරුවන්ට දෙන දඬුවමකි. එසේම, අද චීන රජය දේශපාලන විරෝධීන්ව සිර කඳවුරුවලට දමා ඔවුන්ගේ මිනිස් අවයව ඉවත් කර ඒවා මුදලට විකුණන ව්‍යාපාරයේ යෙදෙයි. නමුත් මේවා ගැන කතා කරන්නට පිටරටක වාසය කරන චීන අයෙක් ද ඉදිරිපත් වෙන්නේ ඉතා කලාතුරකිනි.

2016 දී චීන රජය විසින් පාසැල් අධ්‍යාපනයේ දී මිනිස් නිදහස ගැන කතා කිරීම තහනම් කර ඇත. තායිවානය සහ ටිබෙට් ගැන ද කතාබහේ දී රජය විසින් සපයන ලද නිවේදන පමණක් කියැවිය යුතුයි.

රතු අරුණෝදය (1984) නමින් වූ පැරණි චිත්‍රපටිය පාදක කරගෙන 2012 දී ඒ නමින්ම අලුත් චිත්‍රපටියක් නිර්මාණය විය. පැරණි චිත්‍රපටියේ ආක්‍රමණිකයන් වූයේ සෝවියට් දේශය, කියුබාව හා එකතුවෙන නිකරාගුවයි. 2012 තිරපිටපත ලියන ලද්දේ චීන ආක්‍රමණයක් හමුවේ කතාව දිගහැරෙන අන්දමටයි. එහෙත් හොලිවුඩ් සිනමා ව්‍යාපාර මිල දී ගන්නා චීන රජය ඇමෙරිකන් සංස්කෘතියට ද බලපෑම් කරන්නට සමත් වී චීනය වෙනුවට උතුරු කොරියාව ආක්‍රමණය කරන පසුබිමකට චිත්‍රපටිය වෙනස් විය.

විවිධ ලෝක නායකයන්ගේ අදහස් ඇමෙරිකන් විශ්ව විද්‍යාලයන්හි ඉගෙන ගන්නා අයට අහන්නට සැලැස්වීම විවිධ සංවිධාන මගින් සිදු කරන්නකි. 2009 ගණන් වල දී බෙනාසීර් භූතෝ පැවැත්වූ කතාවක් අහන්නට කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයක දී මටත් අවස්ථාව ලැබිණ. එහෙත් පසුගිය කාලයේ කැලිෆෝර්නියාවේ විශ්ව විද්‍යාලයන් තුල දී දළෙයි ලාමාට දේශන පැවැත්වීමේ ඉඩකඩ නවත්වන ලද්දේ ඒවායේ චීන සිසු කණ්ඩායම් විසින් ගෙන යන ලද ව්‍යාපාර වලිනි.

කියුබාව ගැන කතාබහේ දී, අපි කියුබාවට ගිහින් තියෙනව, ඒත් ඔය කියන නරක තත්වයක් එහෙ නැහැයි කියන අය ගැන නිතර අහන්නට ලැබෙයි. චීන මහා ප්‍රාකාරය මත සිටිය දී, නැත්නම් තහනම් නගරයේ සිට ලෝකය පුරා යන ලෙසින් සජීවි විඩියෝ බෙදාහරින්නට මට හැකිවූවාට, එයට අවසරයක් චීන වැසියාට හෝ චීන සම්භවයෙන් යුතු අයෙකුට නැත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: