අරුණි ශපීරෝ‍ වෙතින්

වෙළඳපොල කුමක්දැයි නොදන්නා සිංහල පුවත්පත්කලාවේදියාට

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2017

සිංහලෙන් ලියන පුවත්පත් කලාවේදියෙක් මෙහෙම ප්‍රශ්නයක් දාලා තියෙනව දැක්ක.

“වෙළඳපොලට වඳිනකොට අපරාධකාරී ආයුධ, ඖෂධ, කෘෂිරසායන වෙළඳපොලටත් වැඳෙයිද??”

ලංකාවේ සිංහල පුවත්පත් මාධ්‍යවේදීන් මෙතෙක් කාලයක් ගෙන යන ඒකාධිකාරයට පුංචිම පුංචි අභියෝගයක් එල්ල කරන්න තමයි මම මගේ බ්ලොග් එක පවත්වාගෙන යන්නෙ. කෙටියෙන් කිව්වොත් එකම එක දෘශ්ටියකට පමණක් වහල් වී ඉන්නට සිද්ධ වී සිටින ජනතාවකට හිතන්න සැබැවින්ම අලුත් වෙනස් යමක් ඉදිරිපත් කරන්න. තව විදියකින් කිව්වොත් සිංහලෙන් තොරතුරු බෙදාගැනීම පටන් ගත් දා පටන්, ලංකාව නම් වූ දුප්පත් රටේ සියළු ගැහැට වලට හේතුව කවදාවත් තිබ්බෙ නැති ධනවාදයේ ඵලයක් බව පුනපුනා කීම වැරදි බව පෙන්වීමට මුදල් ලාබ සොයන පරමාර්ථයෙන් තොර වූ උත්සාහයක නියැළීම.

වෙළඳපොල අගයන, ඒ වෙනුවෙන්ම පෙනී සිටින අයෙක් මුදල් ලාබ සොයන පරමාර්ථයෙන් තොර යැයි කිව්වා??!!!

ඒක පුදුමයක් වෙන්නේ වෙළඳපොල මොකක් ද කියල දන්නෙ නැති අයට විතරයි.

වෙළඳපොල කියන්නේ යමක නියැළෙන අපි හැමෝටම. මිනිසා කියන්නෙ තම තත්වය වෙනස් කරගන්න කැමති සත්වයෙක්.

සතා සීපාවා නැත්නම් වෙනත් මානවයෙකුගෙන් තමන්ගේ ජීවිතයට අනතුරක් සිද්ධ වෙනු ඇතැයි සිතූ ආදී මානවයා මුගුරක් අතේ අරන් යන්න පුරුදු වුනේ ජීවිතයට අනතුරක් නොවෙන අන්දමින් තම තත්වය වෙනස් කරගන්න. මුගුරෙන් පහර දීලා වෙන මානවයෙක් හාරා ගත්තු අල හොරකම් කරගත්තු අයත් හිටිය. එක මානවයෙක් තවෙකෙකුගේ දේපල හොරකම් කරන එක වැරදියි කියල නීති හදාගනිද්දි මිනිස් ශිෂ්ඨාචාරය ගොඩ නැඟෙන්න පටන් ගන්නව. හමුරාබි නීති සංග්‍රහය ලියැවෙන්නේ ඇඩම් ස්මිත් වෙළඳපොල ගැන කතා කරන්න ගොඩාක් කළින්!!!

එක, දෙක, තුන කියල ගණන් කරන්න වගේම, බුද්ධි විචාරය කියන්නෙත් මිනිසාට උපතින් පිහිටා තිබුණත් වර්ධනය කරගත හැකියාවක්. භාෂාවක් කතා කරපු මිනිසා හෝඩියක් හදාගෙන අදහස් හුවමාරු කරගන්න සමත් වුණාට පස්සෙ තමයි නීති සංග්‍රහයක් ලියැවෙන්නේ.

මිනිස් ශිෂ්ඨාචාරය එහෙම හැදෙන කොට අපි බුද්ධි විචාරයෙන් අවබෝධ කරගන්න සමත් වෙනව මුගුර අපරාධකාරී ආයුධයක් වෙන්නෙ කුමන අවස්ථාවේ දී ද? මුගුර ජීවිත ආරක්ෂාව සපයන මෙවලමක් වෙන්නේ කුමන අවස්ථාවේ දී ද? කියන වෙනස. ඒ වෙනස දන්න අයට අපි බාරදෙනව නීතියේ රීතිය ක්‍රියාත්මක කරන්න. ඒත්, මුගුර අපරාධකාරී ආයුධයක් වෙන්නේ කුමන අවස්ථාවල දී ද, මුගුර ජීවිත ආරක්ෂාව සපයන මෙවලමක් වෙන්නේ කුමන අවස්ථාවල දී ද කියන වෙනස ජනතාවට පහදලා දීම අපේ වගකීමක්. ඒක අපි කිසිමදාක නීතියේ රීතිය ක්‍රියාත්මක කරන අයට බාරදීලා පැත්තකට වෙන්නෙ නැහැ.

තුවාලයක් වුනාම වෙන සත්තුන්ට සිද්ධ වෙන්නේ තුවාලය ඔඩුදුවා ගිහින් මැරෙන්න. මිනිසා ඊට වෙනස්. තුවාලය හොඳ කරගන්නේ කොහොමදැයි ඔහු සිතා බලනව, ඊට පස්සේ ඒ සඳහා වෑයමක් ගන්නව. අපේ ආදී මිනිසා එහෙම වෑයම් ගත් නිසා බේත් සැත්කම් දක්වා දියුණු වෙන ඉතිහාසයක් අපට ලැබෙනව. බඩේ අජීර්ණයට ඵලවැලක් කන දැනුම සහජයෙන් පිහිටන සත්වයෙක් නොවන නිසා මිනිසාට සිද්ධ වෙන්නේ ඒ දැනුම උපත ලැබුවාට පස්සෙ වර්ධනය කරගන්නයි. අපිට උදව් වෙන්නේ මෙතෙක් මිනිස් ශිෂ්ඨාචාරය ඒ සඳහා දායාද කරල තියෙන දැනුම.

ලේ උරාබෙන කූඩැල්ලාව භාවිතා කළ යුතු අවස්ථාව මොකක් ද ඒක ලෙඩා මැරෙන අපරාධයක් වෙන අවස්ථාව මොකක් ද යන දැනුම අද ඕනෑකමක් තියන ඕනම කෙනෙකුට හොයාගන්න පුළුවන්.

වගාබෝග වලට වැළඳෙන රෝග නිසා අස්වැන්න සම්පූර්ණයෙන්ම අහිමිවෙලා ජනගහණයෙන් 15% ක් 20% ක් මියගිය සාගත වලට ලෝකය මුහුණ දුන් අවසන් වතාව ඇහෙන්නේ ස්වීඩනයෙන් සහ ෆින්ලන්තයෙන්. The great hunger years කියල 1866-1868 දක්වා පැතිර ගිය එයින් වසර තුනක දී දෙලක්ෂ හැත්තෑ දහසක් ජනතාව මිය යනව.

වගාබෝගයකට දමන කෘෂිරසායන අපරාධකාරී වෙන්නේ කුමන අවස්ථාවල දී ද, කෘෂිරසායන නිසා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් හාමතයෙන් මැරෙන්නට නොදී ආහාර සපයන්නට සමත් වෙන්නේ අවස්ථාවල දී ද යන දැනුම අද ලෝකෙ තියෙනව.

මුගුරක් අපරාධයක් කරන ආයුධයක් වෙන අවස්ථාව සහ එයින් ජීවිතය ආරක්ෂා කරගන්න ලැබෙන අවස්ථාව අතර වෙනස නොදන්නා අය ලංකාවේ බහුලව ඉන්නව.

ඖෂධයක් අපරාධයක් වෙන අවස්ථාව සහ ජීවිත ආරක්ෂාව සපයන අවස්ථාව අතර වෙනස නොදන්නා අය ලංකාවේ බහුලව ඉන්නව.

කෘෂිරසායන මිනිසාගේ ජීවිතය ආරක්ෂා කරන අවස්ථාව මොකක් ද, ජීවිතයට හානි පමුණුවන අවස්ථාව මොකක් දැයි නොදන්නා අය ලංකාවේ බහුලව ඉන්නව.

කවුද ඉතින් ඒකට වගකියන්න ඕන. කැමති පරිද්දෙන් ඒ දැනුම බෙදන්නට අවසරයක් අවුරුදු 18 ක් දක්වා ලැබිය යුතු යැයි කියන අධ්‍යාපන වෙළඳපොලේ තිබුණා ද?!!! කැමති පරිද්දෙන් ඖෂධ පිළිබඳ දැනුම ලබාගන්නට අධ්‍යාපන වෙළඳපොලෙන් ඉඩ ලැබුණා ද?!!! කැමති පරිද්දෙන් කෘෂිරසායන නිර්මාණයට, බෙදාහැරීමට, ආනයනයට/අපනයනයට ඉඩ ප්‍රස්ථාව ශ්‍රී ලංකාවේ තිබුණේ කවදා ද?!!!!

ආයෙත් මතක් කරන්නම් උඩින් ලියපු දෙයක්. වෙළඳපොල කියන්නේ යමක නියැළෙන අපි හැමෝටම. මිනිසා කියන්නෙ තම තත්වය වෙනස් කරගන්න කැමති සත්වයෙක්. ඒ වගේම මිනිසා කියන්නේ තමන් හමුවේ පවතින අයහපත් තත්වය දැක්කත් ඒක වෙනස් කරගන්න හැකියාවක් දකින්න බැරි වෙද්දි මුකුත් නොකරන සත්වයෙක්. ඒ නිසයි දුප්පත් රටවල් හැමදාම දුප්පත්.

සැලසුම් ආර්ථිකයක ඉතිහාසයේ පටන් අද දක්වාම හිර වී සිටින මිනිසුන්ට කිසිදා නොතිබුණ වෙළඳපොලක් පෙන්වා ඒක පිට වැරද්ද පටවා රවටා තැබීම කොතරම් පහසු ද?

වෙළඳපොල කියන්නේ වඳින පුදන තැනක් නෙමෙයි. යමක් මිල දී ගන්නා සහ යමක් මිල දී නොගන්නා තීරණ ගන්නා හැකියාව මෙහෙයවන අපි අපිටම වැඳගන්න ඕන ඇයි?!!!!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: