අරුණි ශපීරෝ‍ වෙතින්

ලුම්පන් නම් ශ්‍රමික පංතියේ ගොබ්බයා

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 28, 2017

ලුම්පන් යන විශේෂණය අනේක ආකාර වලින් යොදාගන්නා ඒත් සුවිශේෂී වූ තේරුමක් සහිත වචනයක්. කෙටියෙන් කිව්වොත් ලුම්පන් කියන්නෙ ගොබ්බයාට. ජර්මන් භාෂාවේ Lumpenproletarier වලින් අරන් Lumpenprolterariat හදන්නේ කාල් මාක්ස්.

ප්‍රංශ බසෙන් අරගත්තු බොහීමියන් කියන හැඳින්වීම වැටෙන හැමෝවම සමස්තයක් හැටියට අරගෙන ඔවුන් ලුම්පන් අය කියල තමයි මාක්ස් හැඳින්වූයේ. සමාජයට සුදුසු නොවන හිඟනුන්, වෛශ්‍යාවන්, මැරවරයන්, හොර තක්කඩි, පාදඩයන්, අභිගුණ්ඨිකයන්, මුඩුක්කුවාසීන්, කර්මාන්තශාලා වලින් පන්නපු අය, සූදු කෙළින අය, බේබද්දන්, නට්ටාමිලා යනාදී සියල්ලන්ම පංති භේදය වැටහෙන්නේ නැති අයයි කියල මාක්ස් විස්තර කරනව. ඒ අයගෙන් සමාජයට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔවුන් පංති අරගලයට අවශ්‍ය නොවන වැඩකට නැති පිරිසක් හැටියට තමයි මාක්ස් හඳුන්වා දුන්නේ.

දැන් කාලයක් යද්දී, ලෝකේ හැම තැනින්ම ගත්තු, කැමැත්තෙන් සහ බලහත්කාරයෙන් දෙකෙන්ම වෑයම් කරපු සමාජවාදී උත්සාහයන් කඩා වැටෙද්දී, ලුම්පන් යන වචනයත් සංශෝධනය වෙනව. දැක්ම වැරදියි කියල පිළිනොගන්න අය නියැළෙන්නේ එක පස් අවුරුදු සැලසුමක් හරි නොගියාම තවත් පස් අවුරුදු සැලසුම් හදන්න. ධවල පත්‍රිකා සීයක් වැරදුනත් ආයෙත් තව ධවල පත්‍රිකාවක් ලියනව. ප්‍රතිසංස්කරණ හා සංශෝධන හරි නොගියට කමක් නෑ, වැඩක් කරනවා වගේ පේනවා නම් ඒ ඇතිනෙ. ඉතින් කාල් මාක්ස් මේ වචනය නිර්මාණය කරද්දී රස්සාවක් නැති අයව ලුම්පන් යන වචනයෙන් හැඳින්වුණා. ඒත් අද එය යොදාගැනෙනව තමන්ගේ දැනුම මට්ටමට සුදුසු රස්සාවක් හොයාගන්න බැරි විද්වත් අයව හඳුන්වන්නට. නොමිලේ බෙදූ නිදහස් යැයි කියාගත් අධ්‍යාපනයෙන් පෝෂණය වෙලා, අනුන් නිර්දේශ කරපු ක්ෂේත්‍ර වලින් ලබාගත් විද්වත් දැනුම වෙළඳපොලේ අලෙවි කරගන්නට බැරි වෙද්දී මේ අය තමන්වම ලුම්පන් යැයි හැඳින්වෙන්නට පටන් ගැනීම දෛවයේ සරදමක් හැටියට දකින අයත් ඉන්නව.

හැබැයි තවමත් ලංකාවේ විරැකියාවෙන් පෙළෙන කලා උපාධිධාරීන් ගැන කියැවෙන විශේෂණයක් විදියට ලුම්පන් පාවිච්චි වෙලා නැහැ. ලංකාව කොහොමත් ඉතින් සෙසු ලෝකයට වඩා වසර 5 ක් විතර පස්සෙන් ඉන්නවා කියනවනේ. තාමත් ධනපතියා ගැන කියද්දී තමයි ලුම්පන් විශේෂණය වැඩියෙන්ම අහන්නට ලැබෙන්නෙ.

ජර්මන් ලුඩ්විග් ෆොයියබාහ් (Ludwig Feuerbach) ගෙනාපු සංකල්පයක් තමයි “උත්තරීතර මිනිසා”. ස්වභාව ධර්මය ඉක්මවා යන අද්භූත දෙවියෙකුට වඳින පුදනවාට වඩා මිනිසා තමන්ටම වැඳ පුදා ගත යුතු බව තමයි මේ පරිපූර්ණ කළ හැකි මිනිසා යන සංකල්පයෙන් කියැවෙන්නේ.

තමන් තුල ස්වභාවයෙන් පවතින ස්වාර්ථය පැත්තකට දාලා පරාර්ථයෙන් මිනිස් සංහතියේ දියුණුවට වැඩ කරන්න මිනිසා වෙනස් කළ හැකි යැයි කියන දැක්ම කාල් මාක්ස් ගෙනෙන්නේ ඒ ෆොයියබාහ් කියන උත්තරීතර මිනිසා සංකල්පයෙන්.

මාක්ස්ට අනුව උත්තරීතර මිනිසෙක් විය හැකි ආකාරය හරිහැටියට තේරුම් ගන්න පුළුවන් අය තමයි ලුම්පන් නොවන සමාජයේ සෙසු සියල්ලන්ම.

ස්ටාලින්ගෙ රුසියාවේ, මාඕ චීනයේ වගේම හිට්ලර්ගේ ජර්මනියෙත් ‘ලුම්පන්’ යැයි සැලකිච්ච බොහෝ දෙනෙක්ව ඝාතනය කරල දැම්ම. ෆිඩෙල්ගෙ කියුබාවේ වගේම ඒ රටවලින් ජීවිත බේරාගෙන පැන යන්නට පවා ඉඩ ලැබුනේ නැහැ. ඒ රටවල ඒ වැඩ සටහන් ක්‍රියාත්මක කළ නායකයන් පවා තමන්ගේ ස්වාර්ථය ගැන වැඩියෙන් කැපවෙලා හිටපු බව මිසක් උත්තරීතර මිනිසාගේ පරාර්ථවාදී දැක්මක් තිබිච්ච අය නොවන බව අද අපිට පැහැදිලිවම දකින්න සාක්ෂි ලැබෙනව.

ස්වාර්ථකාමය මිනිස් ගති ලක්ෂණයක් නොවන ලෙසින් අයින් කරලා දැම්මම, පරාර්ථකාමය වැඩියෙන්ම ඉහළට එන ගති ලක්ෂණය බවට පත්වෙලා, සමාජයේ සියල්ලන්ම හිඟ සම්පත් අයිති කරගැනීම සඳහා ඉදිරිපත් වෙන ‘තරඟකරුවන්’ නොවෙද්දී තමයි, බුදුරජාණන් සහ ජේසුතුමා වගේ පිහිටවෙන ඒත් ‘ආගමික නොවූවාට අපිට වඳින්න පුදන්න පුළුවන්’ මේ උත්තරීතර මිනිසා දකින්න ලැබෙන්නේ කියල තමයි සමාජවාදය කියන්නෙ.

කාර්මික විප්ලවය පැතිර යද්දී හිටිහැටියේ යුරෝපය සාගත වලින් ගැලවිලා, දුප්පතුන් පෝසත් වෙන්න සමත් වෙන්නෙ ඇයි කියල විමර්ශනය කරන්න පටන් ගත්තේ ඇඩම් ස්මිත්. රටවල් ධනවත් වෙන්නට හේතු සහ ඒ රටවල දකින්නට ඇති ස්වභාවයන් මොනවාදැයි විමර්ශනය කියන දිගු නමෙන් යුතු පොත තමයි අද අපි කෙටියෙන් ජාතීන්ගේ ධනය නමින් හඳුන්වන්නේ.

ඇඩම් ස්මිත් තමන්ගේ අම්මා එක්ක ජීවත්වෙච්ච උඩතට්ටු කාමරයෙන් දැක්කේ පොලේ බඩු ගන්න විකුණන්න එන ජනතාව එකිනෙකා හා සුහදව බඩු හුවමාරු කරගන්න ආකාරය. ඇඩම් ස්මිත් බ්‍රිතාන්‍යයෙන් පිට යන්නෙ එකම එක වතාවක් පමණයි. ප්‍රංශයේ දී බාර් එකක මත්පැන් විකුණන ආකාරය දකින ගමන් ස්මිත් කල්පනා කරනවා ඒ මිනිහා මත්පැන් විකුණන්නේ මොන අරමුණකින් ද කියල.

“මස්කපන්නාගේ, මත්පැන් පෙරන්නාගේ, බේකරිකාරයාගේ ගුණයහපත්කම තුලින් නොව අපි අපේ රෑ කෑම වේල බලාපොරොත්තු වෙන්නේ ඔවුන් සිය ස්වාර්ථයට දක්වන අවධානයෙනි.” -ඇඩම් ස්මිත් 1776

ඇඩම් ස්මිත් මිනිස් ස්වභාවය වෙනස් කරන්න සැලසුමක් හදන්නේ නැහැ. ස්මිත් හොයලා බලන්නේ සාගතයෙන් ලෙඩ රෝග වලින් දුප්පත්කමෙන් ලක්ෂ සංඛ්‍යාත මිය ගිය රටවල් හිටිහැටියේ එයින් ගැලවුනේ කොහොමදැයි කියල.

ධනවත් වෙන්නට සමත් වූ ජාතීන් ඔවුන්ගේ ධනය හොයාගත්තේ කොහොම ද? ප්‍රවේණි දාසයන් හැටියට ජනතාවෙන් බහුතරයක් තව දුරටත් තියාගන්න වැඩවසම් හිමියන් අසමත්වෙද්දී ඉබේම පෑදිච්ච නිවහල් වාතාවරණයේ මිනිසා විශේෂ ප්‍රාගුණ්‍යයට සමත් වෙන ආකාරය ස්මිත් නිරීක්ෂණය කරනව. ශ්‍රම විභජනය යොදාගන්නා හැටි නිරීක්ෂණය කරනව. ඒ සත්‍ය ලෝකයේ දකින මිනිස් හැදියාව තමයි ස්මිත් සිය පොතෙන් වාර්තා කරන්නේ.

කොමියුනිස්ට් සමාජයක දී කිසිම කෙනෙකුට එක කටයුත්තක විශේෂයෙන් යෙදෙන්න අවශ්‍යතාවයක් නැතැයි කියල මාක්ස් ලිව්වේ 1845 දී. කැමති ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් වෙන්න හැකියාව සමාජය විසින් නිෂ්පාදනය නියාමනය කරද්දි ලැබෙනව කිව්ව. ඉතින් එක්කෙනෙකුට අද එක රස්සාවක් කරල හෙට වෙන රස්සාවක් කරන්න හැකියාව ලැබෙනව කිව්ව. උදේට සත්තු දඩයම් කරල, දවල්ට මාළු බාල, හවසට හරක් ඇතිදැඩි කරල, රාත්‍රියට විවේචනයේ යෙදෙන්න ඒකීයපුද්ගලයන්ට පුළුවන් කියල ලිව්ව.

ලෝකයේ ඉතිහාසය විමසා බලන්න. සැලසුම් සහ නියාමන ගෙනැල්ල උත්තරීතර මිනිසා පමණක් සිටින සමාජයක් හදන්න ගත්තු වෑයම් දිහා. ස්වාර්ථයෙන් කටයුතු කළ මිනිසුන් නිසා සමාජයක් යහපත් වූයේ කෙසේදැයි කියා. නමුත් තාමත්, නිවහල් වෙළඳපොලක් ගැන කතා කරන අපිටයි ඒ වුනාට සමහර අය මනෝරාජ්‍යයන් වල ජීවත්වෙනවා කියන්නේ!!!!!!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. ලක්මාල් කන්දෙවිදානෙ said, on පෙබරවාරි 28, 2017 at 1:28 ප.ව.

    ‘‘..ලුම්පන් …‘‘ කියන්නේ මහ අසික්කිත වචනයක් කියලයි මට හිතෙන්නේ …කුනුහරපයකටත් වඩ කැතයි

  2. sumudu chamikara said, on මාර්තු 1, 2017 at 4:28 පෙ.ව.

    අපි හිටපු ඒක සාකච්චාවක මේක පාවිච්චි කලේ හොරිකඩයන් වගේ දෙයකට


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: