අරුණි ශපීරෝ‍ වෙතින්

එන්න හෛඩෙගර් කවුදැයි හඳුනාගන්න

Posted in Uncategorized by arunishapiro on මාර්තු 2, 2017

img_2849මාටින් හෛඩෙගර් ලියැවිලි අතරින් සැක නැතිවම නාට්සි දැක්ම හැදුනේ කොහොමදැයි පෙනෙන රචනා එළියට එන්න පටන් ගන්නේ පහුගිය වසර 10 තරම් මෑතක දී. ඒ මොකද හෛඩෙගර් ජීවත්වෙලා ඉන්න කාලේ ඒ පොත් ප්‍රකාශනයට එයා ඉඩ තිබ්බෙ නැහැ. විසිවැනි සියවසේ වැඩියෙන්ම බලපෑම් කරන්නට සමත් වූ දාර්ශනිකයා 1976 දී මිය ගියාට පස්සේ ඒ අදහස් ඔහුගේ යැයි වසන් කරන්න සහාය වෙච්ච අය හිටිය නිසා තවත් කාලයක් ගියා එයාගෙ කෘති එළියට බහින්න.

හෛඩෙගර් උවමනාවෙන්ම ලියන්නේ රළු ජර්මන් බසකින් පැහැදිලි නැතිවෙන්න හැම අදහසක්ම අනෙක් ඒවා එක්ක මිශ්‍ර වෙලා බොඳවෙලා යන ශෛලියකින්. ප්‍රපංචවේදය නම් දර්ශනය ඉදිරිපත් කළ එඩ්මන්ඩ් හැසරෝල් (Husserl) ගේ ගෝලයෙක් තමයි හෛඩෙගර්. ඒත් විශ්ව විද්‍යාලයේ හොඳ තනතුරකට ආපු ගමන් ගුරාව අයින් කරලා දානව විතරක් නෙමෙයි හෛඩෙගර් ගුරාගේ දර්ශනයත් අත්හරිනව.

සද්භාව විචාරමය ප්‍රශ්න, ඒ කියන්නේ එක එක පුද්ගලයාගේ පැවැත්ම ගැන ප්‍රශ්න අහන එක නවත්තලා හෛඩෙගර්ට උවමනා වෙන්නේ පැවැත්මේ පැවැත්ම ගැන අහන්නයි. තවත් විදියකින් කිව්වොත්, පැවත්ම ගැන අහන පැවැත්මෙන් යුතු අය කවුද කියල විමසීම. ඩාසයින් (Dasein) කියන ජර්මන් වචනයෙන් හෛඩෙගර් කියන්නේ පැවැත්මෙහි අර්ථය හඳුනාගන්න අපිට ඒ ගැන අහන එකෙන්ම පමණක් හැකියාව තියෙනව කියලයි.

සාංදෘශ්ටිකවාදය යන දර්ශනයට හෛඩෙගර් මඟ පෑදුවේ ඔන්න ඔහොමයි. සාංදෘශ්ටිකවාදය සහ බුදු දහම ගැන තමයි මගේ ප්‍රථම උපාධියේ නිබන්ධනය. අහන්න එපා මොනවා ලිව්ව ද කියල!!! විශ්ව විද්‍යාලයෙන් අයින් වුනාට පස්සෙයි අනිත් දේවල් ගැන වගේම ඒ දෙක ගැනත් වැඩියෙන් ඉගෙන ගත්තෙ.

යමක් ගැන කතා කරද්දී, කාලය වේලාව, ස්ථානය, ප්‍රමාණය, ගුණය, වෙනත් දැයකට ඇති සම්බන්ධය වගේ නියත දේවල් භාවිතා කරනවා වෙනුවට ඩාසයින් ගොඩනැඟිලා තියෙන්නෙ අපිට බාහිරව පවතින දේවල් වලින් කියල තමයි හෛඩෙගර් ගෙනෙන දැක්ම. හැබැයි ඒ ඩාසයින්ට සාරයක් (essence) නැහැ. “මොකක් ද” කියන එකක් නැහැ. පවතිනව සහ පැවැත්මක් නැහැ කියන දෙක අතර ගැන දැනුමක් පමණයි තියන්නෙ. ඒ කියන්නේ ඩාසයින් හැමවිටම තමන් ගැන අවබෝධ කරගන්නේ පැවැත්මෙන් පමණයි.

පවතින ඒ ඒ පුද්ගලයන් වූ අපිට අර පැවැත්මට ආපහු යන්න බැරි බාධකය කියල හෛඩෙගර් හඳුන්වන්නේ ඒ සඳහා අපි යොදා ගත වූ අපේ භාෂාව. කැඩිලා බිඳිලා ගිය දුහුවිලි පිරිල තියෙන අතීතයෙන් භාෂාව අරගෙන විරේක සහ සුද්ද කිරීම් වලට ලක් කරන්න අවශ්‍ය බව තමයි එයාගේ දැක්ම වෙන්නෙ.

යම් වස්තුවක් දිහා බලල ඒක ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වෙනුවට ඒක පුද්ගලයාට ඵලක් වෙන්නේ කුමන ආකාරයකින් ද කියල පැහැදිලි කිරීම තමයි කළ යුත්ත. කොට්ටයක් කියන්නේ නිදාගනිද්දි ඔළුව තියාගන්න එක. ඒ මූලික සම්බන්ධය මත තමයි විද්‍යාත්මක අවබෝධය අපිට ලබාගන්න පුළුවන්.

ඉතින් නිව්ටන්ගේ නීති ඉගෙන ගෙන යමක් ගැන විද්‍යාත්මක අවබෝධයක් ලබාගන්නවට වඩා, එහෙම නැත්නම් ඉයුක්ලීඩ්ගෙ ගණිත ක්‍රමයෙන් සත්‍යය සොයා යනවාට වඩා, මිනිස් පැවැත්ම ගැන ඉගෙන ගන්න පටන් ගන්න ඕන මිනිස් පැවැත්ම ගැන වූ දර්ශනයකින්. අර විද්‍යාත්මක දැනුම පැත්තකට දාලා.

දැන් එයා මේවා ලිව්වෙ ජර්මන් භාෂාවෙන්. හෛඩෙගර් වගේ ජර්මන් නම් මාර වාසියි. මොකද නූතන භාෂා අතර ජර්මන් තමයිලු සත්‍යයට වැඩියෙන්ම ළඟ. ඒකෙ බොරු පැටලිලා තියෙන්නේ අඩුවෙන්ලු!!! අනිත් භාෂා වලට වඩා අධ්‍යාත්මික අතින් සහ බලගතු බවෙන් වැඩියිලු. ග්‍රීක්? සොක්‍රටීස්ටත් කළින් තිබ්බ භාෂාවනේ. පැවැත්ම ඍජුවම දැක්ක අය කතා කෙරුවේ ග්‍රීක් වලින් නිසා ඒක ජර්මන් වලටත් වැඩියෙන්, ඒ කියන්නේ ලෝකෙ බලවත්ම භාෂාව කියල හෛඩෙගර් ලියනව.

ග්‍රීක් වලින් Being හෙවත් පැවැත්ම (කැපිටල් නැහැනෙ සිංහලෙන් ලියද්දී) කියන Parousia යන වචනයේ අර්ථයක් හැටියට “තනියම ස්ථිරවම ඉන්න, ඒ නිසාම පවතින, ඒ ගැන විදහා පාන, ඒ ගැන හෙළිදරව් කරන යමක්” සඳහන් වෙලා ඇතැයි හෛඩෙගර් හොයාගන්නව. තවත් ග්‍රීක් වචනයක් තමයි aletheia හෙවත් සත්‍යය යන්න. එහි අර්ථයක් තමයි “නිරාවරණ භාවය”.

ඒත් ග්‍රීක් විතරක් සහ ජර්මන් විතරක් ඉගෙන ගෙන කතා කරන්නට දැනගත්තට ඵලක් නැහැ. අපි හැමෝම එකම වේලාවක ආපහු මූලාරම්භයට යන්නට හැකියාව ලැබෙන රැඩිකල් අලුත් දෙයක් හොයාගන්න අවශ්‍යයයි. ඉතින් ඒ සඳහා හෛඩෙගර් කළේ අමුතු පන්නයේ වචන ලැයිස්තුවක් හැදීම.

මගේ-ඉලක්කය-මාටින්-හෛඩෙගර්ටත්-වඩා-වැඩියෙන්-ඉස්සරහට-ගිහින්-අකුරු-විස්සකට-වැඩියෙන්-තියන-සිංහල-වචනයක්-නිර්මාණයට!!!! දැක්ක ද එක වචනේ!!!!

ඒත් මේක විහිළුවකට ගන්න එපා. එයින් සිද්ධ වුනේ ප්‍රචණ්ඩත්වය, කෲරත්වය, පළමු ලෝක යුද්ධයේ මරණ යනාදිය ගැන ප්‍රශංසා මුඛයෙන් ලියැවෙන සාහිත්‍ය බිහිවීමයි.

ඒකීයපුද්ගලයාගේ ජීවිතය
නැත්නම් එපමණක් නොව
ජනතාවගේ ජීවිත පවා
වැදගත්කමක් නොයුතුයි.
අර්න්ස්ට් යුන්ගර්, වානේ කුණාටුව

1933 දී ජාතික සමාජවාදී ජර්මන් ශ්‍රමිකයන්ගේ පක්ෂයට හෛඩෙගර් බැඳෙන්නේ හිට්ලර් එහි බලයට ආවට පස්සෙ. විශ්ව විද්‍යාලයේ සිසුන් හා ආචාර්යවරුන් අතරේ මිලිටරි පන්නයේ සංවිධාන හදලා ‘නායකත්ව මූලධර්මය’ කියන ප්‍රඥප්තියට ප්‍රසිද්ධියේ දිව්රුම් දීම් උත්සව පවත්වනව. ඒත් යුද්ධය පැරදුනාම එයා නාට්සියෙක් නෙමෙයි, ඒ ගැන මුකුත් දන්නෑ, Mein Kampf කියවල නෑ, එක අවුරුද්දකට පස්සෙ එපා වෙලා ගියා, පුද්ගලිකව විරෝධය පෑවා වගේ කයි කතන්දර කියන්න පටන් ගන්නේ වෘත්තීය අනතුරේ බව පෙනී යද්දී. ඒවා ඔක්කොම බොරු කියල ෆ්‍රයිබර්ග් විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥයෙක් වූ හියුගෝ ඔට් නැමැත්තා ඒ කාලයේ පුවත්පත්, පුද්ගලික දිනපොත්, පක්ෂ ලේඛනාගාර ලියැවිලි, පුද්ගලික ලියුම්, විශ්ව විද්‍යාල දේශන සටහන් යනාදියෙන් හොයාගන්නව. එකක් කියන්න ඕන, නාට්සි වුනත් ජර්මන් හැදියාව නිසා හැම අපරාධයක්ම ඔවුන් අතින් වාර්තාගත වුණා. ඒ වාර්තා ආරක්ෂා කෙරුණ.

බලාගෙන යද්දි එයාව විශ්ව විද්‍යාලයේ රෙක්ටර් කරන්න කළින් මිනිහා ජාතික සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙක් විතරයි නෙමෙයි ඒකෙ රහස් ඔත්තු සපයන කෙනෙකුත් වෙලා ඉඳල. එයා නාට්සි නෙමෙයි කියන බොරුව පවත්වා ගන්න ජාක් ඩෙරීඩා ඇතුළු විද්වතුන් කණ්ඩායමක් ඔවුන් මිය යන තුරුම කටයුතු කළා.

ඒ රචනා හෙළිදරව්වට කළින් ඩාසියන් ගැන හදාරපු අය හිතුවේ හෛඩෙගර් ලිව්වෙ ඒකීයපුද්ගල මිනිස් බව ගැන නැත්නම් ඔබටයි මටයි මිනිසෙක් හැටියට ඇති පැවැත්ම ගැන කියල. ඒත් නාට්සිවාදය ගැන ඔහු ලියූ දේවල් එළි පහළියට බැස්සම තමයි ලෝකයා දැනගන්නේ ඩාසියන් කියන්නේ ‘අපි’ සාමූහිකත්වය පිළිබඳ සංකල්පයක් කියල. ඩාසියන් කියන්නේ විශේෂ මිනිස් කොට්ඨාශයක් ගැන, ජර්මන් බසින් කියන Volk ලා. සෙසු ජනතාව ඩාසයින් නෙමේ, දාසයන්!!! ඉඳහිටලා දකින්න ලැබෙනවා ලංකාවේ ඉන්න මෝඩයෝ තමන් ‘ආර්ය සිංහල’ කියාගෙන නාට්සි පාටියට බඳවා ගනීවි කියලත් හිතාගෙන ඉන්න හැටි. ‘ලුම්පන්’ අයට නාට්සි සැලකුව හැටි දකින්න ලංකාවේ කෞතුකාගාර තියෙනවයැ!!!!

රෙනෙ ඩෙකාට් කිව්වනෙ, “මම සිතමි, ඒ නිසා මම සිටිමි” කියල. ඒක ප්‍රතික්ෂේප කරපු හෛඩෙගර් කිව්වේ “අපි සිතමු, ඒ නිසා අප පවතිමු” කියල.

අද දකින්නට ලැබෙන ඉස්ලාමීය දේශපාලනයේ, හිස උස්සන සෑම ජාතිකවාදී ෆැසිස්ට් ව්‍යාපාරයකම, ට්‍රම්ප් රැළිවල නාට්සි සැලියුට් ගහන අය, යුරෝපීය පොපියුලිස්ට් ව්‍යාපාර කියල හැඳින්වෙන ඒවයේ යන සියල්ලේම ප්‍රතිපත්ති දැක්ම සඳහා මූලබීජය රෝපණය කළේ හෛඩෙගර් තමයි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. sumudu chamikara said, on මාර්තු 2, 2017 at 4:05 පෙ.ව.

    හොඳ වෙලාවට ලංකාවේ දේශ පාලකයෝ ඕවා නොකිවන්නේ..නැත්නම් ඉතිං ..අපි ඉවරයි

  2. krishramanayaka71 said, on මාර්තු 6, 2017 at 1:33 පෙ.ව.

    මම හෛඩගර් ගැන පලමු වරට යමක් කියෙව්ව – තෑන්ක්ස් අරුනි

  3. Krishantha Hewageegana said, on මාර්තු 6, 2017 at 5:24 ප.ව.

    ඉස්තුතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: