අරුණි ශපීරෝ‍ වෙතින්

හෛඩෙගර්ගේ යාළුවා අර්න්ස්ට් යුන්ගර්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 5, 2017

17098295_10154903212635851_2570086085374172985_n එක හා සමාන අදහස් අගයන අය ඔවුනොවුන් වෙත ඇදී යාම මිනිස් ස්වභාවයයි. දේශපාලන සමාජය තුල පැහැදිලිවම ඇත්තේ පැති දෙකකි. ඒකීයපුද්ගලයාගේ නිවහල්බව අගයන අය එක පැත්තක් ගනිති. වහලෙක් සේ මිනිසාව දක්කාගෙන යා හැකි බලය පුද්ගලයෙකුට හෝ පිරිසකට පැවරීම අවශ්‍ය යැයි කියන්නේ සමාජවාදී හෙවත් අනෙක් පැත්තයි.

පළමුවෙන් සඳහන් කළ ඒකීයපුද්ගලයාගේ නිවහල් බව අගය කළ යුතුයි කියන සංකල්පය ලොව බිහිවූයේ ක්‍රි. පූ. 2300 තරම් ඈත අතීතයක දී. සුමේරියන් කුනිෆෝම් අක්ෂර වලින් අමාගි හෙවත් freedom හෙවත් liberty හෙවත් නිවහල් යැයි අර්ථය ඇති වචනය ලියැවෙනව.

වහලෙක් සේ මිනිසාව දක්කාගෙන යා හැකි බලය පුද්ගලයෙකුට හෝ පිරිසකට පැවරිය යුතු යැයි කියන පාර්ශව ගැන අහන්න ලැබෙන්නේ ඊට ගොඩක් පසු කාලයක දී. ඊට ගත් වෑයම් සියල්ලම මේ දක්වා අසාර්ථක වීම ගැන මේ සංකල්පය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින අයට කිසිම ලැජ්ජාවක් හෝ පසුතැවිල්ලක් නැහැ.

නිවහල් මිනිසා අගයන අය තමන්ගේ සහ සමාජයේ සැබෑ දියුණුවට වෙහෙසෙද්දී, අනිත් පැත්තේ අය වෙහෙසෙන්නේ හැකි තරම් මිනිසුන්ව තමන්ගෙ පැත්තට හරවා ගන්නා රැවටිල්ලේ යෙදෙන්නයි. එහි දී මෙතෙක් කාලයක් තමන් පෙනී සිටින පැත්තේ අදහස් නිසා සිද්ධ වූ ඛේදනීය සිදුවීම් ඒ රැවටිල්ලට ඉලක්ක කරගත් ජනතාව වෙතින් සඟවා තැබීමට ඔවුන් දැඩි උත්සාහයක යෙදෙනව.

මිනිසා කියන්නේ තමන්ටම හිතන්න පුළුවන් විචාරමය බුද්ධියක් සතු අයෙක්. අයෙක් සමාජවාදය අගයද්දී තවකෙක් නිවහල්බවේ අගය පෙන්වීම අපිට නිරතුරුවම දකින්න ලැබෙන්නේ ඒ නිසයි. එඩ්වර්ඩ් බෙලමි ලියූ “ආපසු හැරී බැලීම” (1887) සහ රිචඩ් මිකායෙලිස් ලියූ ‘තවත් ඉදිරිය දිහා බැලීම” (1890) ප්‍රබන්ධ ගැන මා ලියූ කළින් සටහන කියවන්න.

1920 දී පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව ජර්මන් බසින් ලියන “වානේ කුණාටුව” ප්‍රබන්ධය සමාජවාදය උත්කර්ෂවත් කරන තවත් උත්සාහයක්. අර්න්ස්ට් යුන්ගර් එයින් සාමූහික මිලිටරි වෑයම ප්‍රශංසනීය කරනව. යුන්ගර්ට අනුව සාමකාමී යුගයේ දී මිනිසා ගෙවන්නේ වැදගැම්මක් නැති ජීවිතයක්. බඩු නිපදවීම හා ඒවා මිල දී ගැනීම, නර්තන සංදර්ශන බලන්නට යෑම, විද්‍යාගාර සහ කලාගාර පවත්වා ගැනීම, එමෙන්ම විද්‍යාත්මක දැනුම සොයා යෑම යනාදී සියල්ල අනර්ථකාරීයි. ඒ වෙනුවට අරගලය, ගැටුම, යුද්ධය කීර්තිමය විය යුතුයි.

තවත් විදියකින් කිව්වොත් මිතුරන් හා එක්වී හොඳ බියර් එකක් බොමින් වින්ඳනයක් ලබන ජීවිතය මොට්ට යැයි ලියන යුන්ගර් ඇත්තෙන්ම ජීවත්විය හැකියාව ලැබෙන්නේ ගැටුමක් පවතින ජීවිතයක දී, ප්‍රචණ්ඩ මරණයකට මුහුණ දෙන අබියසක පවතින ජීවිතයක දී, කෙටියෙන් කිව්වොත් යුදමය වාතාවරණයක් තුල දී පමණක් යැයි සටහන් තබනව. බියර් සමඟ සමාජවාදී අදහස් සංවාදයට අද එකතුවෙන අය මාටින් හෛඩෙගර්ගේ ආකල්පමය සමීපතයා වූ යුන්ගර් කියන ලද්ද නොදන්නවා වෙන්නැති ද? එහෙම නැත්නම් ඔවුන් බියර් බොමින් එකතුවෙන්නේ හැකි ඉඩක් ලද පමණින් ප්‍රචණ්ඩ මරණයට සූදානම් වෙන්න ද?!!!

යුන්ගර් දක්වන ආකාරයේ “උත්කෘෂ්ට ජීවිත ගෙවන්නට සිද්ධ වී ඇති” අද වෙනිසියුලාව ගැන මේ අය කතා නොකරන්නේ, තමන් රවටන්නට ඉලක්ක කරගත් ජනතාවට ඇත්ත වැටහේවි කියල. ඉතින් ඒ ගැන නිහඬව සිටිනව. ඒ හැදියාව ඉගෙන ගන්නෙත් යුන්ගර් සහ හෛඩෙගර් වෙතින්මයි.

සම්පූර්ණ සචලීකරණය (mobilization) යන සංකල්පය 1930 දී හඳුන්වා දීලා තමයි යුන්ගර් නිවහල්බවට එරෙහි හෛඩෙගර් වැනි අයට තවත් සමීප වෙන්නේ. ඒ කාලයේ එන්න එන්නම ‘ඒකීයපුද්ගල නිවහල්බව’ කප්පාදු වීම කොතරම් පංකාදු දැයි යුන්ගර් ප්‍රශංසා කරනව. සෝවියට් යුනියනය ලොව ප්‍රථම වතාවට ‘පස් අවුරුදු සැලැස්මක්’ ඉදිරිපත් කරමින් සාමුහික ජෛවය එක්රැස් කරමින් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ගොඩනඟන්නට වෙහෙසීම සැබෑ ආශ්චර්යයක් යැයි යුන්ගර් ලියනව.

“මට උනන්දුවක් තියෙනවා සැලස්ම ගැන, සැලැස්මක් යන සංකල්පය ගැන. ඒ අයට ව්‍යවස්ථාවක් නැතිවුනාට එයාලට සැලැස්මක් තියෙනව කියල මම මට කියාගත්ත. ඒක විශිෂ්ඨ දෙයක් වෙන්න පුළුවන්.” -යුන්ගර්

ඒ උත්කර්ශවත් සැලැස්මට භාජනය වෙච්ච අයෙක් තමයි රුසියන් රචක වැසිලි ග්‍රොස්මන්. සෝවියට් සාමූහිකවාදයේ තියෙන්නෙත් ෆැසිස්ට්වාදයම තමයි කියල දැක්ක අයෙක්. ඔහු රතු තරුව නමින් වූ රතු හමුදාවේ පුවත්පතට ලියූ මාධ්‍යවේදියෙක්. ග්‍රොස්මන් තමයි නාට්සීන්ගේ තෙවැනි රාජ්‍යයේ මරණ කඳවුරක් වූ ට්‍රෙබිලින්කා නිවහල් කරගැනීම ගැන මුලින්ම වාර්තාවක් ලියූ තැනැත්තා.

නිවහල් සමාජයක ජීවත්වෙන්න අවශ්‍ය නැහැ නිවහල් අදහස් කරා සිත ඇදී යන්න. ග්‍රොස්මන් කවදාවත් නිවහල් සමාජයක ජීවත්වුනේ නැහැ. ඒත් නිවහල් යන සංකල්පයට ඇලුම් කළ අයෙක්. ජීවිතය සහ දෛවය නමින් වූ ඔහුගේ නවකතාව ඔහුගේ ජීවිත කාලය තුල දී ප්‍රකාශනය වුණේ නැහැ. පොතයි පොත ලිව්ව ටයිප්රයිටරයේ කාබන් පටියයි දෙකම KGB වලින් රාජසන්තක කළා.

ඒ කතාවේ සෝවියට් යුනියනය සහ තෙවැනි රාජ්‍යය අතර යුද්ධය ඇවිලෙමින් තිබිය දී, රතු හමුදාවේ කර්නල් පියතෝර් පැව්ලවිච් නොවිකොව් තමන් යටතේ පෙළගැසී සිටින සොල්දාදු බල ඇණිය පරීක්ෂා කරනව. එහි දී ඔහුට මෙවැනි අවබෝධයක් ඇතිවෙනව:

මිනිස් කණ්ඩායම් වලට එක ප්‍රධාන අරමුණක් තියෙනව: හැමෝටම විවිධ පුද්ගලයන් හැටියට වෙනස් ලෙසින් හැසිරෙන්න පුළුවන් අයිතිය තහවුරු කරගන්නට, තමන් විශේෂ යැයි කියාගන්නට, හිතන්නට, සංවේදී වෙන්නට, ඒ ඒ පුද්ගලයාට අවශ්‍ය විදියට ඒ ඒ ආකාරයෙන් ජීවත් වෙන්නට. මිනිස්සු කණ්ඩායමක් හැටියට එකතු වෙන්නේ මේ අයිතිය දිනාගන්නට නැත්නම් ආරක්ෂා කරගන්නට. නමුත් මෙන්න මෙතැන දී තමයි ඛේදනීය වූ, මාරාන්තික වූ දෝෂය හටගන්නේ. එයින් දිනාගත්ත යුත්ත – එනම් නිවහල් බව වෙනුවට, මේ කණ්ඩායම් ජාතියක නාමය, දෙවියන්ගේ නාමය, පක්ෂයක නාමය, නැත්නම් රජයක නාමය යනාදිය තම තමන්ගේ ජීවිතයේ අරමුණ කරගන්නව. එපා! ජීවිත අරගලයේ සත්‍ය අරමුණ හා කල් පවතින්නා වූ එකම අර්ථය වනුයේ ඒකීයපුද්ගලත්වයයි, ඒ ඒ මිනිසාට සුවිශේෂී වූ හැදියාවන් සහ ඒ ඒ මිනිසාට ඒවා පවත්වා ගැනීමට ඇති අයිතියයි.

අර්න්ස්ට් යුන්ගර් “ශ්‍රමිකයා” ලියන්නේ 1932 දී ය. ‘පැවැත්ම’ සහ ‘පැවැත්මෙන් යුතු අය’ අතර වෙනස හඳුනාගන්නට අපොහොසත් පුද්ගලයෙක් යැයි හෛඩෙගර් විසින් යුන්ගර්ව සැලකුවත්, හැකි සෑම ආකාරයෙන්ම මුලිනුපුටා දැමීම් කරමින් Volk (ජර්මන් ජනතාවගේ) ප්‍රමුඛත්වයට ඉඩ දීමට කටයුතු කළ යුතු යැයි ජුන්ගර් ලියද්දී හෛඩෙගර් සහ ජුන්ගර් අතර මිත්‍රත්වය දැඩිවිණ. මුලිනුපුටා දැමිය යුත්තේ කුමක් ද? පළමුවෙන්ම හා ඉක්මණින්ම කළ යුත්තේ “ඒකීයපුද්ගලයාව” මුලිනුපුටා දැමීමයි.

1949 වසරේ මුල් කාලයේ සිට හෛඩෙගර් 1975 දී මිය යන තුරුම ඒ දෙපළ අතර වූ සම්පූර්ණ ලිපි හුවමාරුව පමණක් නොව, ඔවුන්ගේ ලිපිවල සඳහන් වෙනත් අයගේ ලියුම් කියුම් ද, හෛයිඩෙගර්ගේ භාර්යාව, පුතා සහ අතින් ලියැවුණ ලිපි ද ප්‍රකාශනය වී අද ඉංග්‍රීසි බසට ද පරිවර්තනය වී ඇත.

1949 ජූනි 25 වැනිදා ලිපියේ යුන්ගර් විසින් හෛයිඩෙගර් වෙත මෙසේ ලියයි: “පහුගිය වසර තුල දී මට සහමුලින් පැහැදිලි වූයේ, යමක් නිහඬතාවය පිටුපස සඟවන්නට හැකිනම්, ඒ දැය නිශ්ශබ්දව තැබිය යුතු වටිනාකමෙන් යුතු වූයේ නම්, එහෙනම් වැඩියෙන්ම ශක්තිමත් අවිය නිහඬතාවය බවයි.”

හිට්ලර් දක්කාගෙන ගිය Volk (ජර්මන්) ජනතාවට මිනිස් සමූලඝාතනයේ යෙදෙන්නට හෛඩෙගර්ගේ අදහස් මාර්ගය පාදා දුන් බව සමාජවාදියා ඔබ වෙතින් තව දුරටත් සඟවා තබයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: