අරුණි ශපීරෝ‍ වෙතින්

අපිට එරෙහි උන්ව නිර්මාණය කළ කාල් ෂ්මිට්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 7, 2017

හෛඩෙගර්ගෙ සමකාලීන විද්‍යාර්ථියෙක් සහ මිත්‍රයෙක් වූ කාල් ෂ්මිට් (Carl Schmitt) ගැනයි මේ සටහන. නාට්සි පක්ෂයට හෛඩෙගර් බැඳෙන එකම මාසයේ ඊට එකතු වෙන ෂ්මිට්, නාට්සීන් බලයට එන්නටත් පෙර පටන් සිය සෙමැටික්-විරෝධය දේශපාලන න්‍යාය තුලින් දක්වන ලද්දෙකි. නාට්සි පරාජය වූවාට පසුව ඒවා ලියුවේ නාට්සි අදහස් හරිහැටියට පහදාගන්නට ගත් උත්සාහයක් පිණිස යැයි කියමින් කිසිත් දඬුවමක් නොලබා ගැලවෙන්නට ෂ්මිට් සමත් විය. ඒත් ඉන් පසුව කිසිම විශ්ව විද්‍යාල දේශක තනතුරක් ඔහුට නොලැබුණි. අප්‍රකට ලෙස ජීවත්වෙන ඔහු මිය යන්නේ 96 වියැතිව 1985 දී ය.

අනුන්ගේ දේපල හා අයිතීන් කුමන ලෙසින් නියාමන කරනවාදැයි තමන් දන්නා බව කියාගන්නා අය හෙවත් වාමාංශිකයන්, කොතරම් අන්ත පරාජයන්ට මුහුණ දුන්නත් වෑයම අත්හරින්නේ නැත.

දේපල අයිතිය, වගකීම, නිවහල් බව අගයන ලිබටේරියන් දැක්ම පිළිගන්නා ඒකීයපුද්ගලයා වාමාංශික දර්ශනය ප්‍රතික්ෂේප කළාට වාමාංශික අදහස් වලින් පිරි පුද්ගලයාව ප්‍රතික්ෂේප කරන්නේ නැත. වාමාංශිකයාගේ නිර්මාණශීලිත්වය ඉදිරියේ, මෙරිල් ස්ට්‍රීප්ගේ රංගනය රැගත් සිනමා කෘතියට මිලක් ගෙවා රසවිඳින්නට හෝ අකියා ගෘහභාණ්ඩයක් පරිභෝජනයට පැකිළෙන්නේ නැත. එපමණක් නොව ලිබටේරියන් දැක්ම අවබෝධ කරගත් ඒකීයපුද්ගලයා යනු වාමාංශිකයාට සිය බෙදුම්වාදය පතුරවන්නට නිදහසක් අනිවාර්යෙන්ම ලැබිය යුතු යැයි කියන්නට පමණක් නොව එම අයිතිය ඔහු වෙනුවෙන් ආරක්ෂා කරදෙන්නට පවා ඉදිරිපත් වෙන්නෙකි.

ලිබටේරියන් දැක්ම කුමක්දැයි අවබෝධ කරගත් ඒකීයපුද්ගලයා අපේ දැක්මට එරෙහි අය කවුදැයි හඳුනාගන්නට සමත්ය. එහෙත් ඔවුන් “අපිට එරෙහි උන්” හැටියට සලකන්නේ නැත. වැඩි වටිනාකමෙන් යුතු උසස් දර්ශනය තෝරාගන්නට නිදහස ලැබෙන්නේ ඕනෑම සමාජයක පහත්, බොඳ, බෙදුම්වාදී, පරාජය, දුප්පත්කම හා මරණය කැඳවන බොරු මායම් වලට ඉඩතිබෙන්නේ නම් පමණි. ඒකීයපුද්ගලයන්ගේ බොරු වංචා වලට ඉඩ නැතිවෙද්දී, පවතින්නේ පාලන බලය අල්ලාගත් අයගේ බොරු වංචා පමණකි.

අනෙකාගේ ජීවිතය හසුරුවන බලයක් තමනට අල්ලාගත හැකි යැයි මුලාවෙන වාමාංශික බැටළුවන් හෛඩෙගර්ලා ෂ්මිට්ලා වැනි බෙදුම්වාදීන්ට රැවටී තමන් ඉල්ලා සිටින නිදහස තමන්ටම නැති වී යන්නේ කෙසේදැයි හඳුනාගන්නට අපොහොසත් වෙති.

නිවහල් මිනිසාට ද්වේශ කරනවුන් මිය ගිය හෛඩෙගර්ව සහ ෂ්මිට්ව යළි කරලියට ගෙනෙන වෑයමක් වර්තමානයේ දේශපාලන දර්ශනය නම් ක්ෂේත්‍රයෙන් එළිබහින්නට පටන් ගෙන තිබේ. ඔවුන්ගේ නිර්මාණ යළි පළවීම පමණක් නොව ඔවුන් ගැන ලියැවෙන, ඔවුන්ගේ කෘති පහදන්නට ලියැවෙන නිර්මාණ හා සංවාද මේ කාලයේ වැඩිවෙමින් පවතියි.

මිතුරු සහ හතුරු යන දේශපාලන විභජනය සපයන ලද්දේ වයිමා රජයේ ජර්මන් නීති න්‍යායවාදියෙක් වූ ෂ්මිට් විසිනි. දේශපාලනමය බව ගැන සංකල්පය The Concept of the Political නම් පොතෙන් ඔහු මේ අපි/උන් භේදය ඉදිරිපත් කළේය. හොඳ සහ නරක යැයි පැහැදිලිවම වෙනස් වූ දෙකක් ආචාර ධාර්මීය ක්ෂේත්‍රයේ පවතින ලෙසින් සෞන්දර්යයේ ලස්සන හා කැත යැයි දෙපැත්තක් ද, අර්ථ ශාස්ත්‍රයේ ලාබය සහ අලාබය යැයි දෙපැත්තක් ද ඇතැයි කියන ඔහු දේශපාලනයේ දෙපැත්ත මිතුරා සහ සතුරා යනුවෙන් දක්වයි. ෂ්මිට්ට අනුව ආදීතම වෙන්නේ දේශපාලනයයි. රජයට හා එහි ප්‍රතිපත්ති වලටත් කළින් ඇත්තේ දේශපාලනයයි.

මිතුරා සහ හතුරා අතර වෙනස යනු සම්බන්ධතා පවත්වනවා ද නැද්ද යන්න අතර තීන්දුව දෙන්නයි. දේශපාලන හතුරා අධ්‍යාත්මීය වශයෙන් දුර්ජනයෙක් නොවෙන්නට පුළුවන් යැයි නැත්නම් රූපයෙන් කැත පුද්ගලයෙක් වෙන්නට පුළුවන් යැයි කියන ඔහු ඒ හතුරා සමඟ වෙළඳ හුවමාරුවක යෙදීම වාසිදායක විය හැකි ද කියයි. ඒත් ඒ මොනවා වුණත්, ඔහු අනෙකායි. ඔහු අමුත්තායි. සාංදෘශ්ටික වශයෙන් ඔහුගේ පැවැත්ම වෙනස් නිසා ඔහු බාහිරව සිටින කෙනෙක්. එබැවින් හැමවිටම ඔහු සමඟ ගැටුම් ඇතිවීම ස්වභාවිකයි. මේක ගැන තීන්දු දෙන්නට කිසිත් තෙවැනි පාර්ශවයකට නොහැකියි.

දේශපාලන හතුරා සහ පුද්ගලික හතුරා එකම ආකාරයක හතුරන් නොවේ යැයි ෂ්මිට් කියයි. දේශපාලන හතුරෙක් ඉන්නේ සාමුහිකයක් හැටියට වෙනත් සාමූහිකයක් හා සටන් කරද්දී පමණයි. ඒ නිසා හතුරා යනු මහජන හතුරෙකි. හැම සම්බන්ධතාවයක්ම මිනිස් සාමූහිකත්වයකට ඈඳී ඇති බැවින්, විශේෂයෙන්ම සම්පූර්ණ ජාතියකටම, එවැනි අවස්ථාවක දී, යම් ජාතියට ඇති සම්බන්ධයෙන් මිතුරු/හතුරු බව තීරණය කරත හැකියි.

මෙයින් ෂ්මිට් ලබා දෙන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතයේ ඉන්න හතුරෙක් සමඟ සැබෑ ගැටුමක් නැතැයි කියමින්, සාමූහිකත්වයේ හතුරා හා අනිවාර්යෙන්ම සටන් වදින්නට මතවාදයෙන් අවසරයකි, ඉඩකඩකි.

“මට කියන්න ඔබේ හතුරා කවුදැයි කියා, එවිට මම කියන්නම් ඔබ කවුදැයි කියා,” යන්න ෂ්මිට් නිතර කියන ලදි.

“යුද්ධය සියල්ලේ පියායි, සියල්ලේ රජුයි. සමහර අය දෙවියන් යැයි ඔප්පු කරයි. අනිත් අය මිනිසුන්; සමහර අයව වහලුන් කරවයි, අනෙක් අයව නිදහස් කරයි.” -ෂ්මිට්, දේශපාලනමය බව ගැන සංකල්පය

නිවහල් මිනිසුන් අතර සිද්ධ වෙන සමාජ සුසංයෝගයක් නැතැයි කියාත්, ආක්‍රමණයට එරෙහි වූ හුවමාරුව ආචාර ධර්මීය විකල්පයක් නොවන්නේ යැයි කියාත්, සටන් වැදීම නවත්වන්නට විචාරාත්මක විවාදයෙන් නොහැකි යැයි කියාත්, වෛරය වෙනුවට ඉවසීම කළ නොහැකි යැයි කියාත් කාල් ෂ්මිට් කියන ලදි. කෙටියෙන් කිව්වොත් ඔහුට අනුව සාමකාමී ලෝකයක් යනු ඇතිවිය නොහැකි තත්වයකි.

මිනිස් සත්වයාට නැතිවම බැරි දේශපාලනය නිසා ගැටුම යන්න දේශපාලනය තුලින් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න යැයි හේ කියයි. මේ දේශපාලන නියතවාදය හෛඩෙගර්ගේ සාංදෘශ්ටික ඔන්ටොලොජිය හා අත්වැල් බැඳගත්තකි. අනිවාර්යෙන්ම ගැටුම කරා යන තීරණය තමන්ගේම වූ තත්වයකින් එහා කල්ලියට යන සම්පූර්ණත්වයයි.

ෂ්මිට්ගේ අදහස එයා ඊ ළඟට ලියන දේශපාලන දේවධර්මය නම් කෘතිය තුලින් විස්තර කරන්නේ ආගමික හාස්කමක් වැනි දෙයකටයි. හෛඩෙගර් ඉදිරිපත් කළ Dasien දෙවියෙක් නොවනවා සේ ම, ෂ්මිට් කියන ‘ශ්‍රේෂ්ඨත්වය’ ද දේවත්වයෙන් නොයුතුයි. එය කටයුතු කරන්නේ ඒ පවතින මොහොතක දී තමන්ව ‘සාංදෘශ්ටිකමය වූ මැදිහත්වීමක්’ හැටියට හඳුන්වා ගැනීමෙනි.

සාම්ප්‍රදායික දෙවියන් අත්හරින වාමාංශිකයන් නිර්වචනයෙන් හා වෙනස් නම් දී මිනිසාට ඉහළින් ඉන්න බලයකට හේත්තුවෙන්න ක්‍රම විධි එසේ සොයාගනිති!!!!!

දේශපාලන පැවැත්මක් තමන්ම තහවුරු කරගැනීමෙන් ජීවිතය පූජා කර මරණය කරා යා හැකි අධ්‍යාත්මීය නිදහස වාමාංශිකයාට ලැබේ. මෑත කාලයක දී තම ක්‍රමය බංකොළොත් වී ගිය පරාජිත රටවල් හමුවේ වාමාංශිකයන්ට සහ ඉස්ලාමීය රාජ්‍යයක් හදන්නට යන අය හෛඩෙගර්ලා කාල් ෂ්මිට්ලා වෙතට ආකර්ශනය වන්නේ මන්දැයි සිතාගත හැකි ද?!!!!

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on මාර්තු 8, 2017 at 1:00 පෙ.ව.

    සාම්ප්‍රදායික දෙවියන් අත්හරින වාමාංශිකයන් නිර්වචනයෙන් හා වෙනස් නම් දී මිනිසාට ඉහළින් ඉන්න බලයකට හේත්තුවෙන්න ක්‍රම විධි එසේ සොයාගනිති!!!!!/// හරියටම හරි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: