අරුණි ශපීරෝ‍ වෙතින්

ඉස්ලාමීය දේශපාලනය සහ මාටින් හෛඩෙගර්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 8, 2017

ලෝකයේ දියුණු රටවල් දියුණුව කරා පා තබන්නට පටන් ගත් හෙවත් වැඩවසම් ජනතාවට බුද්ධිය පෑදුණු යුගය බුද්ධිමය විචාරයේ යුගය -The Age of Enlightenment යැයි හැඳින්වේ.

බුද්ධිමය විචාරයේ යුගය යනු ආගම හා සම්ප්‍රදාය වෙනුවට හේතුව සෙවීම හා විද්‍යාත්මක ක්‍රමය භාවිතය වැඩි වැදගත්කමෙන් යුතු යැයි ලෝකයේ බුද්ධිමතුන් හඳුනාගත් යුගයයි.

ඇඩම් ස්මිත් වැනි, බුද්ධිමය විචාරමය යුගයේ විද්වතුන් අතර මහත් ජනප්‍රසාදයක් දිනාගන්නට සමත් වූ ද, ඇමෙරිකන් ව්‍යවස්ථාවට දැක්ම සැපයූ, බුද්ධිමත් අයගේ දාර්ශනික අදහස් ලෝකයේ බොහෝ රටවලට ඒවායේ දේශීය භාෂාවෙන් ගියේ නැත. යටත් විජිත ක්‍රමයෙන් ලෝකයේ දේශ සීමාවන් අලුතින් ඇඳෙන්නට පටන් ගෙන තිබිය දී ඒ නිසාම බටහිර විරෝධයක් ඇතිවීමෙන් බුද්ධිමය විචාරමය යුගයේ අදහස් බටහිර නොවන (සිංගප්පූරුව සහ හොංකොං යන ව්‍යතිරේකයන් හැරුණු විට) බොහෝ රටවලට අහිමි විය.

ලතින් ඇමෙරිකාවේ, ආසියාවේ හා අප්‍රිකාවේ රටවල පැතිර ඇති ආර්ථික හා සමාජයීය දුප්පත්කම, මැද පෙරදිග වැසියන් මුහුණ පාන මානුෂික අයිතීන් උල්ලංඝණය හමුවේ බටහිරවාසීන් ඒවායේ සම්පත් සූරාකන ලද්දා යැයි කියමින් තම රටවැසියන් රවටන්නට හැකිවීම අද කෙමෙන් තුරන් වී යන්නේ විකල්ප මාධ්‍ය ලෝකයේ බිහිවීමත් සමඟයි. ආසියාවේ අනෙකුත් රටවල් දුප්පත් වෙද්දී සිංගප්පූරුව හා හොංකොං ධනවත් වූයේ කෙසේදැයි මේ අඩවිය කියවන අය දැනටමත් දනිති.

බුද්ධිමය විචාරයේ යුගය තුලින් ලොවට බිහිවූයේ පුද්ගලයාගේ අභිවෘද්ධියට වාසිදායක වූ චින්තනයකි. ඒ වෙනුවට බටහිරෙන්ම ගිය පුද්ගලයාව විනාශය කරා ගෙන යන දර්ශනය දුප්පත් රටවලට රිංගා ගන්නා ලදි. යටත් විජිත ආක්‍රමණිකයන් පෙන්වා, උන් අපේ දේවල් උදුරා ගෙන ගියා යැයි කියමින් අඳෝනා කියද්දී, ඒ රටවල ජනතාවට බුද්ධිමය විචාරයේ යුගයේ අදහස් දැනගන්නට ඉඩ නොතැබිණ. ජීවිතයට වැඩදායක අදහස්වලට පටහැනිව බිහි වූ, ඒත් බටහිරෙන්ම ආ අදහස්, දේශීය විද්වතුන් සහ ජනප්‍රසාදය දිනාගන්නට සමත් වූ සමාජ නායකයන් තම ජනතාවට ඉදිරිපත් කළේ බටහිර විරෝධී අදහස් හැටියටයි. ඒවා ඉත් සිතින් වැළඳගන්නට ඉතිහාසයේ ප්‍රථම වතාවට කියවන්නට ලියන්නට වරම් ලැබූ ජනතාව පොරකෑහ.

දේශපාලනය ආගමික වූ ඉරානයේ සිද්ධ වූයේ ඒ බටහිරෙන් ගිය බුද්ධිමය විචාරයේ යුගයට විරෝධී අදහස් ඉස්ලාම්වාදයේ අයිඩියලොජිය හදන්නට තුඩු දීම යැයි නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අලි මිරසෙපාසි පෙන්වා දෙයි. දේශපාලන ඉස්ලාමය බටහිර බලපෑම් වලින් ගොඩනැඟිච්ච ආකාරය ගැන දැනුවත් අය ලොව අඩු යැයි පෙන්වන ඔහු නම් ගම් දත්ත හා තොරතුරු සහිතව ඉරාන විප්ලවය දිග හැරුනේ කෙසේද, ඉස්ලාම් ධර්මයෙන් ඉස්ලාමීය දේශපාලනය බිහිවෙන්නට මග පෑදුනේ කෙසේදැයි සිය පර්යේෂණ ග්‍රන්ථ සහ ලිපි වලින් පෙන්වා දෙයි.

බටහිර විරෝධය සහ බුද්ධිමය විචාරයේ යුගයට පටහැනි ආකාරයෙන් වර්ධනය වූ චින්තනය ඉරානයට ගියේ ජර්මන් දාර්ශනිකයන්ගේ සහ ප්‍රංශ විද්වතුන් මාර්ගයෙන් යැයි මිරසෙපාසි දක්වයි. ප්‍රංශයේ පුරාණ රෙජීමය වෙනුවෙන් පෙනී සිටි ජෝසෆ් ඩ මෙයිස්ට්‍රෙ සිට අලුත් රදළ පංති ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි ෆ්‍රෙඩ්රික් නීට්ෂ සහ ෆැසිස්ට් යුද්ධයක් වෙනුවෙන් පෙනී සිටි මාටින් හෛඩෙගර් තෙක් වූ දාර්ශනික අදහස් වලින් ඉරානයේ ඉස්ලාමීය දේශපාලනය පෝෂණය වූ හැටි විශ්ලේෂණය වෙන්නේ “දේශපාලන ඉස්ලාමය, ඉරානය සහ බුද්ධිමය විචාරමය යුගය – Political Islam, Iran and the Enlightenment (2011) නමින් මිරෙසපාසි ලියන ලද පොතෙහිය.

1934 අප්‍රේල් මාසයේ සහ 1936 ජූලි මාසයේ ජර්මනියේ ෆ්‍රයිබර්ග් විශ්ව විද්‍යාලයේ දී මාටින් හෛඩෙගර් හමුවෙන හෙන්රි කෝබින්, හෛඩෙගර්ගේ ‘පාරභෞතිකවාදය යනු කුමක්ද?’ ප්‍රංශ බසට පරිවර්තනය සඳහා සංවාද පැවැත්විය. කෝබින් හෛඩෙගෙර්ගේ තවත් කෘති පරිවර්තනය කරන ලද්දෙකි. ඉස්ලාම් ධර්මයේ සහ දර්ශනයේ විද්‍යාර්ථියෙක් හැටියට කෝබින්ට ඉරානයේ ලැබෙන තත්වයෙන් හෛඩෙගර්ව ඉස්ලාමික විද්වත් කවයන් තුලට ද ගෙන යන්නට කෝබින් සමත් වෙයි.

ප්‍රංශ දාර්ශනික විද්‍යාර්ථියෙක් වූ හෙන්රි කෝබින් සහ එවක විශිෂ්ඨ ෂියා විද්‍යාර්ථියෙක් සහ දාර්ශනිකයෙක් ලෙස සැලකුණු අල්ලාමාහ් ටබාටාබා’යි 1945 දී ඉරානයේ දී මුණ ගැසුණහ. අධ්‍යාත්මික ඉස්ලාම් ධර්මය සහ ඉරාන-ඉස්ලාමීය දර්ශනය ගැන හදාරන විද්‍යාර්ථියෙක් වූ කෝබින්ව හැඳින්වෙන ලද්දේ ඉස්ලාමයේ ප්‍රංශ හෛඩෙගරියන් විද්‍යාර්ථියා හැටියටයි.

1960 සහ 70 ගණන් වල දී ඉරාන විද්වතුන්, අහමඩ් ෆරීඩීඩ්, ජලාල් අල්-ඊ අහමඩ්, සහ අලි ෂාරි’යාටි, ඩේරියුශ් ෂායෙගන්, රීසා ඩවාරි යනාදීන් 1979 ඉස්ලාමීය විප්ලවය හැඩගස්වන්නට කෝබින් සහ හෛඩෙගර් සමත් වූ ආකාරය සවිස්තරව පොතේ දැක්වෙයි.

රැඩිකල් හා ප්‍රචණ්ඩ ඉස්ලාම්වාදය හදන්නට හෛඩෙගර්ගේ දර්ශනය භාවිතා වූ ආකාරය ලියැවුණු පර්යේෂණ ලිපියක් මෙතැනින් කියවත හැකියි.

1980 ගණන් මුල කැළණිය විශ්ව විද්‍යාලයේ දර්ශන විශේෂවේදී උපාධිය හැදෑරූ මම සාංදෘශ්ටිකවාදය තේමා කරගත් නිබන්ධනය ලියද්දී මාටින් හෛඩෙගර් ගැන ඉගෙන ගත්තේ මගේ ගුරුවරයාගෙන් සහ එවක විශ්ව විද්‍යාලයේ පුස්තකාල පොත පත් ආශ්‍රයෙනි. බටහිර විරෝධී පැත්තේ පොත් අතිශයෙන් තිබිණ. විභාගයට ලිවිය යුතු වූයේ ද ඒ අදහස් අනුව විය. හෛඩෙගර් ලියූ විනාශකාරී අදහස් විස්තර කරන ලද සිංහල හෝ ඉංග්‍රීසි පොතක් ලංකාවේ නොතිබුණ ද මගේ ගුරුවරයා සෝර්බොන් විශ්ව විද්‍යාලයේ දර්ශනය හැදෑරූ නිසාත්, ඔහු කිසිදා ප්‍රකාශනය නොකළ පොත් පිටපත් කළ නිසාත් මා අනෙක් පැත්ත යාන්තමෙන් දකින්නට වාසනාව ලද්දෙමි.

වර්තමාන ඇමෙරිකාවේ දේශපාලන තුල ගැටුම් වැඩිවීමත් සමඟ, අපට එරෙහි උන් කියාගනිමින් පොදු දේපල විනාශය සිද්ධ වෙද්දී මෙහි විශ්ව විද්‍යාල තුලට හෛඩෙගර් රිංගා සිටින ආකාරය ගැන දැනගන්නට ලැබුනේ පසුගිය දා මා වොෂිංටනයේ දී සහභාගී වූ සම්මන්ත්‍රණයේ දී ය.

යල්පැන ගිය අදහස් නිසා අද සිද්ධ වෙන හානිය ගැන සිංහලෙන් කියවන්නාට ලියන්නට යද්දී ලංකාවේ පිරිසක් ඒ යල් පැන ගිය අදහස් අද හදාරන බව දැනගන්නට ලැබිණ. ලංකාවට හොටු වුනත් එන්නේ වසර 5 ක් 10 ක් පහුවෙලා ද?!!!! අද ලංකාවේ ජාක් ඩෙරීඩා සහ ස්ලාවෝ ස්ෂීජැක් හරහා හෛඩෙගර් කියවන අය සිටින බව දැන ගතිමි. අනගාරික ධර්මපාල අපිට එරෙහි උන් වෛරය ලාංකික හදවත් පතුලට යැව්වේ ‘අනාදිමත්’ කාලයකයි. අලුත් මුහුණුවරකින් එන එම අදහස්ම හදාරන්නට කැමති සිංහලයන් තවමත් සිටීම රටේ අවාසනාව ද?!!!!

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. අරුණි ශපීරෝ සහ මාටින් හෛඩගර් අර්ථකථනය කිරීම – "බව" said, on මාර්තු 10, 2017 at 11:54 ප.ව.

    […] පැවසීමට ඉඩ තිබේ. නිදර්ශනයක් ලෙස, ‘ඉස්ලාම් දේශපාලනය සහ මාටින් හෛඩගර්’ පිළිබඳව ඇය ලියා තිබෙනා සටහන අවසන් කර […]

    • arunishapiro said, on මාර්තු 13, 2017 at 10:50 පෙ.ව.

      මා යමක් හදාරා නැත්නම් එය හදාරා නැතැයි කියන්නට කිසිවිටෙක පසුබට නොවෙන්නෙක් කියා, දැනුමක් එකතු කරගන්නට මෙම බ්ලොග් එක කියවන අය සහ මේ වෙද්දී ඒ තුලින් මාව පුද්ගලිකව හඳුනාගෙන සිටින සියල්ලන්ම පාහේ, දන්නා කාරණයකි.

      මූලාශ්‍ර සොයා යෑමේ වැදගත්කම ගැන මේ බ්ලොග් එක පටන්ගත් කාලයේ සිටම මා ලියා ඇත. මම කියවා නැතැයි හෝ එවැන්නක් අසා නැතැයි කියූ අවස්ථා (නැත්නම් අලුත් දේවල් ගැන අපි ඉගෙන ගන්නේ කොහොම ද? 😀 ) මේ බ්ලොග් එකෙන් සොයාගත හැකියි. මා කියවන ලද්දේ ජර්මන් වලින් ලියූවක් ප්‍රංශ බසින් පරිවර්තනය වී එයින් ඉංග්‍රීසියට පරිවර්තනය වූ පසුව යැයි කියා පොතක් ගැන අහද්දී තව දුරටත් පැහැදිලි කළ අවස්ථා මේ බ්ලොග් එකේ ඇත. සල්ලි දුන්නත් නොකියවන පොත් ගැනත් මා සඳහන් කර ඇත.

      හෛඩෙගර්ගේ Being and Time හි එන Dasein හෙවත් “සාමූහික අපි” යනු කුරිරු හා විනාශකාරී මතයක් යැයි පෙන්වීමේ දී එය පෙන්වන පුද්ගලයාගේ අවංකභාවය ප්‍රශ්න කරන්නේ, එය විනාශකාරී සංකල්පයක් නොවන බව ඔප්පු කරන්නට නොහැකියාව නිසා වෙන්නැති.

      “සාමූහික අපි” විනාශකාරී සංකල්පයක් වනුයේ කෙසේද? ඒකීයපුද්ගලයාට නිදහස ලැබෙන්නේ වගකීම සමඟින්. නිදහසක් නැති වගකීමක් ද, වගකීමක් නැති නිදහසක් ද නැත. ඊට පටහැනි “සාමූහික අපි” යනු ම්ලේච්ඡ කල්ලිවාදයයි. කල්ලිවාද සංස්කෘතියේ දී ඒකීයපුද්ගලයාට නිදහස අහිමි වෙද්දී එයින් ඔහුට වගකීමෙන් ගැලවෙන්නට ද ඉඩක් ලැබේ. “සාමූහික අපි” කියාගන්නා සෑම ලොකු කුඩා කල්ලිවාදයකම නායකත්වයක් ගන්නා එක් පුද්ගලයෙක් කැපී පෙනෙන ආකාරය දකින්නට පුළුවන්. ඒ නායකත්වය වටේ රොක්වෙන සාමූහිකත්වයට තම තමන් කැමති පරිදි කටයුතු කරන්නට ඉඩක් නොලැබී නායකත්වය කියන පරිද්දෙන් කටයුතු කරන්නට නියම වේ. නිදහස නැතිවීමෙන් වගකීම ද නැතිවේ. යන මාර්ගය අනර්ථකාරී වෙද්දී නායකත්වයේ උවමනාව පරිදි මිනීමැරුවා යැයි කියමින් අනතුරුව නිදහසට කාරණාවක් හැටියට “සාමූහික අපි” කියාගත්තවුන් දක්වති. එපමණක් නොව “සාමූහික අපි” නායකත්වයේ කුරිරු විනාශකාරී අරමුණ නොදැන සිටියා යැයි ද කියති. “සාමූහික අපි” යන්න මිනිස් ස්වභාවය විකෘති කරන සංකල්පයක් යැයි පිළිනොගන්නා අය එම අදහස වෙනුවෙන් පෙනී සිටින බෙදුම්වාදියාව දකින්නේ ජාතිහිතෛෂී නායකයෙක් හැටියටයි. අපි එම බෙදුම්වාදියාව දකින්නේ මුග්ධ මිනිසාව වහලුන් සේ දක්කාගෙන යන්නට සැලසුම් හදන විනාශකාරී පුද්ගලයෙක් හැටියටයි.

  2. krishramanayaka71 said, on මාර්තු 13, 2017 at 4:54 පෙ.ව.

    ඔබ අවසානයට අහන ප්‍රශ්නයට පිලිතුරු — ඔව් රටේ අවාසනාව තමයි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: