අරුණි ශපීරෝ‍ වෙතින්

රිචඩ් කැන්ටිලොන්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 9, 2017

අලුත් දෙයක් යැයි යමක් ගැන අප දැනගනිද්දී ඊටත් කළින් එහෙම දෙයක් තිබුණ බව හොයාගන්න අපිට අවස්ථාව පෑදෙනව. ලිබටේරියන් දර්ශනය අගයන අයට ඔවුන් අගයන ‘නිවහල්’ කියන අර්ථය දැක්වෙන වචනය ක්‍රි. පූ. 2300 දී බිහිවුණා යැයි දැනගන්නට ලැබෙනව වගේ.

ලොව බහුතරය නූතන අර්ථ ශාස්ත්‍රයේ නිර්මාතෘවරයා නැත්නම් පියා හැටියට සලකන්නේ ඇඩම් ස්මිත්ව. ඒත් ඊට කළින් හිටියා නිදහස් වෙළඳපොල අගයපු ඒ ගැන වර්තමානයේ පවතින්නාවූ වැනි අර්ථ ශාස්ත්‍රමය පැහැදිලි කිරීම් ඉදිරිපත් කරපු රිචඩ් කැන්ටිලොන්.

ජාතීන්ගේ ධනය නමින් සිංහලෙන් කියවන්නා අහලා තියෙනවා මිසක් කියවලා නැති පොත 1776 දී ඇඩ්ම් ස්මිත් ප්‍රකාශනය කරන්න කළින්, 1730 දී විතර රිචඩ් කැන්ටිලොන් නැමැත්තා ලිව්ව අර්ථ ශාස්ත්‍රය ගැන පොතක්. 1755 දී ප්‍රකාශනය වූ ප්‍රංශ බසින් ලියැවුණ එය ‘වානිජ්‍යයේ සාමාන්‍ය ස්වභාවය ගැන රචනාව’ යැයි හැඳින්වෙනව.

කැන්ටිලොන්ගේ ඒ කෘතිය හොයාගැනෙන්නේ ඇඩම් ස්මිත් සිය ජාතීන්ගේ ධනය පොතේ උපුටා දක්වන පුද්ගලයන් අල්පයට ඔහු ද අයත් වෙන නිසා බවයි ෆ්‍රීඩ්රික් ඒ. හයෙක් රිචඩ් කැන්ටිලොන් ගැන ලියූ රචනාවකින් පෙන්වා දෙන්නේ.

1870 ගණන් තෙක් රිචඩ් කැන්ටිලොන්ගේ නම අර්ථ ශාස්ත්‍රය ගැන කතාබහ වෙන තැනක දෙකක ඉඳහිටලා සඳහන් වෙන නමක් පමණයි. 1881 දී විලියම් ස්ටැන්ලි ජෙවොන්ස් නැමැත්තා “රිචඩ් කැන්ටිලොන් සහ දේශපාන ආර්ථිකයේ ජාතිකත්වය” යනුවෙන් රචනාවක් ලියමින් අර්ථ ශාස්ත්‍ර චින්තනයේ කැන්ටිලොන්ට හිමිවිය යුතු නිසි තත්වය ඔහුට පිරිනමනව.

කැන්ටිලොන් උප්පත්තියෙන් අයිරිශ් ජාතිකයෙක්. ඉඩම්හිමි රදළ පවුලක උපදින අයෙක්. ඔටුන්න ආරක්ෂා කරගන්න සටන් වැදිලා මුහුණ දුන් පරාජයෙන් පසුව ඔලිවර් ක්‍රොම්වෙල් බලය අල්ලාගත්තම ධනවස්තු අහිමිවෙන අය අතරට වැටෙන පවුලක පුතෙක්. එවැනි අනෙක් පරාජිත පවුල් වගේම ඔවුන් ද ප්‍රංශයේ පදිංචියට යනව. එහි දී පවුලේ සම්බන්ධතා තුලින් බැංකුකරුවෙක් වෙන කැන්ටිලොන් තමන්ගේ දෙමව්පියන්ට උරුමයෙන් ලැබුණටත් වඩා වැඩියෙන් ධනයක් උපයන්නට සමත් වෙන පුද්ගලයෙක්.

ව්‍යාපාර ලෝකයේ අත්දැකීම් තුලින් ආර්ථිකය වැඩ කරන ආකාරය තීක්ෂණ බුද්ධියකින් හඳුනාගන්නට අවස්ථාව කැන්ටිලොන්ට ලැබෙනව. කැන්ටිලොන් වානිජ්‍යවාදය නුසුදුසු යැයි තර්ක කළ අයෙක්. වානිජ්‍යවාදීන් විශ්වාස කරන්නේ රටක ධනවත්කම මැනිය යුත්තේ රට සතු රිදී රත්තරන් වලින් කියල. ඒ වගේම දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න පිටරටෙන් එන භාණ්ඩ වලට ඉහළ රේගු බදු පනවන්න අවශ්‍යයි කියලයි. විවෘත ආර්ථිකය කියන්නේ ඒකටයි කියල වැරදියට හිතන අය අදත් ඉන්නව.

ධනවස්තුව කියන්නෙ මුදල් නෙමෙයි කියල කැන්ටිලොන් පෙන්වා දෙනව. ධනවස්තුව කියන්නේ පුද්ගලයෙක් -නැත්නම් රටක්- සතු භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මිනිසෙකුට පරිභෝජනය කරන්නට හැකියාව තිබෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩිවෙන්නේ ද නම් එයා වැඩියෙන් ධනවත් අයෙක් බවට පත්වෙනව.

වැඩි වැඩියෙන් බඩු මිල දී ගන්න කියනවා කියල වැරදියට අල්ල ගන්න එපා. එහෙම නිර්දේශ කළේ දාසයන් දක්කන් යන්න පාර හැදූ ලිබටේරියන් දර්ශනයට එරෙහි වූ ජෝන් මේනාඩ් කේන්ස්.

වැඩි බඩු ප්‍රමාණයක් මිල දී ගත හැකියාව තිබීම සහ දකින දකින දේ මිල දී ගැනීම වෙනස් දෙකක්. මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩිවෙද්දී, එවැනි සමාජයක් ධනවත් සමාජයක් බවට හැරෙන බව කැන්ටිලොන් පෙන්වා දුන්න. මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුවෙද්දී එවැනි සමාජයක් දුප්පත්වෙනව. රටේ උග්‍ර වී ඇති ආහාර හිඟය නිසා 2016 වසරේ දී වෙනිසියුලාවේ වැසියන් 75% ක් අතර බර සාමාන්‍යය අවම වශයෙන් රාත්තල් 19 කින් අඩුවෙලා තියනව.

කැන්ටිලොන් සවිස්තරව පෙන්වා දීපු තවත් දෙයක් තමයි මිල ගණන් හැදෙන්න ඉල්ලුමට දැනටමත් පවතින බඩු තොග බලපාන ආකාරය. වෙළඳපොල මිල ගණන් ගැන නූතන වූ සූක්ෂම විශ්ලේෂණයක යෙදිච්ච ප්‍රථම පුද්ගලයා හැටියට මුරේ රොත්බාඩ් ඔහුව හඳුන්වනව. ඉල්ලුම හා සැපයුම මත මිල ගණන් තීරණය වෙන ආකාරය කැන්ටිලොන්ට සියවස් ගණනකට කළින් හිටපු කතෝලික දාර්ශනිකයන් පෙන්වා දීල තිබුණ. නමුත් කැන්ටිලොන් තමයි ඉල්ලුම සහ සැපයුම අන්‍යෝන්‍යව ක්‍රියා කරද්දී මිල ගණන් හැදෙන හැටි සවිස්තරව පහදලා දුන්න පුද්ගලයා.

වෙළඳපොලේ ගණුදෙනුවක් කරන්න යන පුද්ගලයාගේ කැමැත්ත පරිදි භාණ්ඩයක අගයක් තීරණය වෙන්නෙ කොහොම ද කියල පෙන්වා දෙන කැන්ටිලොන් ආර්ථිකයක වැදගත්ම පුද්ගලයා හැටියට හඳුන්වන්නේ ව්‍යවසායකයාව. ඒ වගේම ඔහු තමයි ආර්ථිකයක අවිනිශ්චිත ස්වභාවය දකින්න සමත් පුද්ගලයා. ඒ අවිනිශ්චිත ස්වභාවය තුල අවදානම් අරගන්න සූදානම් ව්‍යවසායකයා තමයි සමාජයක් ධනවත් බවට හරවන, එනම් භාණ්ඩ හා සේවා වැඩිකරන්න සමත් වෙන පුද්ගලයා වෙන්නෙත්.

ඉතින් වෙළඳපොලක සාර්ථකත්වය රඳන්නේ ව්‍යවසායකයාගේ සාර්ථකත්වය මත. ඒ කියන්නෙ බඩු ගන්න පොලට ගියාම පොලේ බඩු තියෙන්නේ ව්‍යවසායකයා සාර්ථක පුද්ගලයෙක් වෙද්දී. ව්‍යවසායකයා තමයි මිල ගණන් සහ නිෂ්පාදනය පාරිභෝගික ඉල්ලුමට සරිලන එක තලයකට ගෙනෙන්න සමත් වෙන්නා. ව්‍යවසායකයා මුහුණ දෙන බාධා වැඩිවෙද්දී බඩු මිල ඉහළ යාම, බඩු හිඟ, පෝලිම් සහ සලාක දකින්න ලැබෙනව.

කැන්ටිලොන්ගේ මේ නිර්මාණයෙන් ආභාෂය ලැබූ අය හැටියට තමයි ඇඩම් ස්මිත්, ඈන් ටියුගෝ (පිරිමියෙක්), ජෝන්-බැප්ටිස්ට් සේ, ෆ්‍රෙඩරික් බැස්ටියාට්, සහ ෆ්‍රැන්සුවා කුවෙස්නේ වැනි අයව සැලකෙන්නේ.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. sumudu chamikara said, on මාර්තු 10, 2017 at 12:54 ප.ව.

    මේක නිසා දන්නා අය ගැන තවත් දේවලුයි..නොදන්නා අය ගැනයි දැන ගත්තා

  2. krishramanayaka71 said, on මාර්තු 13, 2017 at 4:16 පෙ.ව.

    භාණ්ඩ බහුලකම සහ දකින දකින එක ගන්න එක අතර ඔබ පහැදූ අයුරු කදිමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: