අරුණි ශපීරෝ‍ වෙතින්

රෝස් වයිල්ඩර් ලේන් – ලිට්ල් හවුස් ජීවිතය සැබැවින්ම ගෙවූ දැරිය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 10, 2017

වෙනත් රටවල මෙන්ම ලංකාවේ ද මහත් ජනප්‍රියත්වයක් ලැබූ පොත් මාලාවක් තමයි ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද අතින් පරිවර්තනය වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ ලිට්ල් හවුස් කතා මාලාව. මේ සටහන ලෝරාගේ දියණිය රෝස් ගැනයි.

රෝස් උපදින්නෙ 1886 දී. උතුරු ප්‍රාන්ත වලින් ෆ්ලෝරීඩාවටත්, එතැනින් මිසූරියටත් පවුලේ අය හා යන ඇය අසාර්ථක අස්වනු සහ ඩිප්තීරියා රෝග වසංගත යනාදී අභියෝග වලට මුහුණ දෙමින් දුප්පත් ගොවි ජීවිතයෙන් තමයි ළමා කාලය ගෙවන්නෙ. අම්මා ලියපු ලිට්ල් හවුස් කතා මාලාවේ කියැවෙන ජීවිතය සැබැවින්ම අත්දකින රෝස් තමයි පසුව ප්‍රකාශනයට සුදුසු පරිදි පොත් ටික සකස් කරදෙන්නේ. ටෙලිග්‍රාෆ් ලිපිකාර සේවයෙන් පටන් ගෙන, නිවාස හා ඉඩම් විකුණන ඒජන්තවරියක් (එම රස්සාව කරපු පළමු කාන්තාවන් අතර අයෙක්) සහ පුවත්පත් වාර්තාකාරණයට යන ඇයත් අම්මා වගේම කතුවරියක්.

ඒත් රෝස් ලියපු පොත් ගැන දන්නේ කීයෙන් කී දෙනා ද? ඇය මිනිස් නිදහස උදෙසා පෙනී සිටිය කාන්තාවක්. රට රටවල් පුරා හැමතැන ඇවිදලා ඇමෙරිකන් ක්‍රමය තමයි ලෝකෙ තියන එකම හොඳ ක්‍රමය කියල කිව්ව අයෙක්. හැබැයි ඇය කියන ඇමෙරිකන් ක්‍රමය මොකක්දැයි කියල නොදන්න අය අද වගේම එදත් ගොඩක් හිටිය.

රෝස් ඇමෙරිකන් ක්‍රමය කියල කිව්වෙ ලිට්ල් හවුස් පොත් වලින් දකින්න ලැබෙන ක්‍රමයයි. නිදහස අගයන, ඒකීයපුද්ගලත්වය මත කේන්ද්‍රීය වූ, අවම ආණ්ඩු බලපෑමක් ඇතිව, පුද්ගලයාට නිදහස් ජීවිතයක් ගෙවන්න ඉඩ ලැබීම ගැනයි.

1916 දී ඇය චාලි චැප්ලින් ගැන චරිතපදානයක් ලියනව. 1936 දී ඇය ලියන්නේ “මට දෙන්න නිදහස” කියන පොත. 1938 දී “නිවහල් භූමිය”, ලියන ඇය විදෙස් සංචාර වලින් පසුවයි 1943 දී “නිදහස සොයා ගැනීම: අධිකාරියට එරෙහිව ගන්නා මිනිසාගේ පරිශ්‍රමය” පොත ලියන්නේ. ස්වභාව ධර්මය එක්ක හැමදාම ගැටෙන්න සිද්ධ වෙන මිනිසා ජයගන්නට සමත් වෙන්නේ කුමන වෑයමෙන් දැයි කියා ඇය එහි විස්තර කරන්නේ ඒ කාලයේ දකින්නට ලැබෙන සරල වූ ද, ගද්‍යමය වූ ද, ඉංග්‍රීසි රචනා ශෛලියකින්.

මේ නිදහස සොයා ගැනීම නම් පොතෙන් කියැවෙන්නෙ මිනිසත් බවේ ඉතිහාසය ගැනයි. ඇමෙරිකාව ආරක්ෂා කළ ඒකීයපුද්ගල අයිතීන් සහ රජය ඉඩදුන්න පුද්ගලික නිදහස් වාතාරවණය තුලින් ඉතිහාසයේ පළමු වරට මිනිසුන් සියල්ලන්ටම හොඳම ජීවන මට්ටම් අත්විඳින්නට ලැබිච්ච හැටි ගැනයි ඇය ලියන්නේ.

“කවුරු හරි කියනවා නම් ආර්ථික ආරක්ෂාව මිනිස් අයිතිවාසිකමක් කියා, එයා අවශ්‍ය පමණට වඩා නැළවිල්ලට ලක්වෙච්ච අයෙක්. ‘රජය’ විසින් ඔහුට දිය යුතු ආරක්ෂාව වෙනුවෙන්, සියළු මිනිස්සුන්ට ලැබිය යුතුයි කියන ආරක්ෂාව වෙනුවෙන් එයා කටමැත දොඩද්දී අනෙක් මිනිස්සු තමන්ගෙ ජීවිත අහිමි කරගනිමින් සහ අවදානම් ගනිමින් ක්‍රියා කරන්නේ එයාව ආරක්ෂා කරන්නයි. ඔවුන් මුහුදේ සටන් වදිනවා, භූමියේ සටන් වදිනව, ලෙඩ රෝග වලට එරෙහිව, කෘමීන් සහ කාලගුණයට සහ ඉඩකඩ සහ කාලයට එරෙහිව, එයා වෙනුවෙන්.”

ඇමෙරිකාවේ දේශපාලන පක්ෂ දෙකේම මූලධර්ම සාමකාමී දේශපාලන ක්‍රියාවලියකට මග පාදන්නේ නැතැයි ඇය එවක දී දුටුවාය. “අවශ්‍ය වන්නේ ඒකීයපුද්ගල නිදහස වෙනුවෙන් එකතු වෙන රචකයන්, ක්‍රියාකරුවන්, ගුරුවරුන්, ප්‍රොපගැන්ඩාකරුවන්, සහ දේශපාලනඥයන් හෙවත් නිදහස ආරක්ෂා කරන්නට කැමති සියල්ලන්” යැයි එදා ඇය සිය පොතේ ලියුවාය.

ඒ පොත කියවා පන්නරයක් ලැබූ අය තමයි ලිබටේරියන් අදහස් සඳහා ඇමෙරිකාවේ විවිධ සංවිධාන පිහිටුවන්නෙ. ‘මම, පැන්සල’ ලියන ලෙනාර්ඩ් රීඩ් විසින් 1946 දී අර්ථ ශාස්ත්‍ර අධ්‍යාපනය සඳහා පදනම පිහිටුවා ගන්නව. 1957 දී රොබට් ඒ. ලිෆ්‍රාර්ව විසින් නිදහස පාසැල පටන් ගන්නව. 1961 දී එෆ්. ඒ. හාපර් තමන්ගේ ගරාජ් එකෙයි පටන් ගන්නෙ මානුෂීය අධ්‍යයන සඳහා වූ ආයතනය.

කර්කශ ස්වභාව ධර්මය සමඟ දිනපතා ගැටෙමින් ලිට්ල් හවුස් කතා මාලාවේ එන පරිද්දෙන්ම රසවත් ළමා ජීවිතයක් සැබැවින් අත්දැකි රෝස් ගමෙන් එහා ලෝකය පුරා සංචාරය කර එළඹෙන්නේ මෙවැනි නිගමනයකටයි.

“රජයක අවශ්‍යතාවය නම් බලාත්කාරයේ (force) අවශ්‍යතාවයයි; බලාත්කාරය අවශ්‍ය නැති තැන්වල දී, රජයක් අවශ්‍ය නොවේ.” -රෝස් වයිල්ඩර් ලේන්

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on මාර්තු 13, 2017 at 4:20 පෙ.ව.

    අපි ආසාවෙන් බලපු ටෙලි සීරියස් එකක්. අද තමයි ඒකෙන් කොටසක් ඉගෙන ගත්තෙ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: