අරුණි ශපීරෝ‍ වෙතින්

පුරවැසි බලය සහ ඒකීයපුද්ගල බලය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 16, 2017

වසර සියවස් හයක් පුරා මිනිස් සත්වයා තම අභිවෘද්ධිය සඳහා විශ්වාසය තැබුවේ මිත්‍යා දෘශ්ටික වන්දනා මත විය. එනම්, ලෝකයේ පැවතියේ ඒකීයපුද්ගලයන්ව ඔවුන්ට පරිබාහිරව සිටින අධිකාරියක් තුලින් නියාමනය විය යුතු යන මිථ්‍යා දෘශ්ටිය පමණකි.

ඒකීයපුද්ගලයාගේ ජීවිතය මෙහෙයවන බලය කුමක්දැයි පහදන්නට මිනිස් මනස් ගත් නොයෙකුත් උත්සාහයන් මිනිස් ඉතිහාසයේ ඇති පදම් දකින්නට හැකියි. ක්‍රියාශීලී මිනිසුන් සිය ආණ්ඩුවලට එරෙහිව විප්ලව කළහ. පාලකයන් මරා දැමූහ. එකිනෙකා මරා ගත්හ. හිතාගන්නට හැකි විවිධාකාර වලින් අධිකාරිය ගොඩනැඟූහ. එක අධිකාරියක් බැහැරලා තව අධිකාරියක් බැගින් දිගින් දිගටම අධිකාරියන්ම පිහිටුවා ගත්හ.

මහපොළවේ ජීවත්වෙන මිනිසා කුසගිනි නිවන්නට, ලෙඩදුකෙන් ගැලවෙන්නට, සහ ස්වභාවික අපදාවකින් මිය නොයන්නට නම් අනෙක් මිනිසුන් සමඟ සහයෝගයෙන් වෙහෙසිය යුතුයි යන්න වැටහී ගිය බැවින් ගෝත්‍රික කල්ලිය බිහිවිය. සෑම මිනිසුන්ටම එක හා සමාන ආකාරයෙන් ජීවිතයට අයිතියක් ඇතැයි යන්නත්, ඒ නිසාම ජීවිතය පවත්වාගැනීම සඳහා අවශ්‍ය දේවල් සඳහා ද එක හා සමාන අයිතියක් සියල්ලන්ටම ඇතැයි යන්නත් වැටහෙන්නට වැඩිකල් නොගියේය. නමුත් මිනිසාට ඉහළින් ඉන්නා වූ සුපිරි බලවේගයක් ඇතැයි යන විශ්වාසය ඔවුන් අත්හැරියේ නැත.

පරිසරය, කාලගුණය, වගාබෝග තුලින් ජීවිතය යහතින් ගෙනියන්නට හැකියාව ඇතැයි අත්හදා බැලීමේ දී මිනිසාට තමන්ගේම කියා මිනිස් බලවේගයක් ඇතැයි පෙනී ගියත්, ඔහුට උවමනා වූයේ තමන්ට ඉහළින් සිටින අධිකාරියක් ලවා මිනිසාව නියාමන කරවීමටයි.

ලංකාවේ වැසියන් තිස්තුන් කෝටියක දෙවි දේවතාවන් අදහන්නට වූහ. ඇමෙරිකන් ස්වදේශීන්ට “ශ්‍රේෂ්ඨ ස්ප්‍රීතුව”, මෙසපොටේමියාවේ ඉෂ්ටාර්, ඉන්දියාවේ කාලි, බලඩාර් සිට විලි දක්වා නොර්ස් දෙවියන් ද ඒකීයපුද්ගලයාගේ බලයට බාහිරව සහ ඉහළින් සිටි බලයන් වූහ. මිත්‍යා දෘශ්ටික දෙවියන් පළවා හැරිය ස්පාර්ටන් වැසියන් මිනිසාට ඉහළින් සිටින සුපිරි බලය ‘ස්පාර්ටාව’ හැටියට සැලකූහ. වැඩවසම් යුගයේ උතුරු ඇල්බේනියාවේ ඩුකාජිනි ගෝත්‍රිකයන් අධිකාරිය හැඳින්වූයේ ‘ලෙකෙගේ නීතිය’ කියායි. ඊජිප්තුවේ ‘පාරෝ’ හැටියටත්, ඉතාලි වැසියන් ‘අජරාමර ඉතාලිය’ කියාත්, රෝමයේ සහ 1911 තෙක් චීනයේ ‘එම්ප්‍රදෝරුවන්’ කියාත්, ජපනුන් ‘මිකාඩෝ’ කියාත්, ටිබෙටන් ‘දළෙයි ලාමා’ කියාත්, හෛඩෙගර් වෙතින් පන්නරය ලැබූ නාට්සීන් ‘ජර්මන් ජාතිය’ කියාත් එය හැඳින්වූහ. යුදෙව්, ක්‍රිස්තියානි, බෞද්ධ හා මුස්ලිම් ආගම් අබිං යැයි කියමින් ඒකීයපුද්ගලයාගේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කළ කාල් මාක්ස් ගෙනාවේ ශ්‍රමික දේශයේ “පොදුජනතාවගේ පරමාධිපත්‍යයයි”. මාක්ස්ගේ ‘අතිරික්ත අගයෙන්’ ප්‍රබෝධමත් වී සියළු සමාජ බැඳියාවන් දිය කර හරින්නට සමත් බලවේගය පහදන්නට ජාක් ලැකාන් ප්‍රංශ වචනයක් යොදාගෙන ‘ජුයිසාන්ස් අතිරික්තය’ ඉදිරිපත් කළේය. ලැකාන්ගේ ජුයිසාන්ස් විවිධාකාරයෙන් යළි පහදන්නට වෑයම් කරන ස්ලාවෝ ස්ෂීජැක් එයින් ධනවාදී ගෝලීයකරණයේ හානිය පහදනවා යැයි කියයි.

මිනිස් ඉතිහාසය පුරාම ‘දෙවියන්’ හදමින් කරන්නේ වගකීම ඒකීයපුද්ගලයාගෙන් ඉවත් කර, නැති අයෙකු මත පැටවීමටයි. මිතුරෙක්, නෑදෑයෙක්, නොදන්නා අයෙක් හා හතුරෙක් සොයාගත හැකි වුවත් හදිසියකට උදව්වක් ඉල්ලාගන්නට සමාජය හොයාගත හැකිද? නමුත්, බහුතරයක් තරයේ විශ්වාස කරන්නේ මිනිසාගේ උවමනා සමාජය සැපයිය යුතු යැයි කියායි. මිනිසා යන්ත්‍රවල වහලුන් වීමෙන් ගලවා ගන්නට සමාජය පෙරට ආ යුතු යැයි කියායි. එසේම ආහාර හිඟය, නැත්නම් ආහාර දැන් වසවිෂෙන් පිරී තිබීමෙන් බේරෙන්නට තමන්ට බාහිරව ඉන්නා ‘දෙවියන්ට කන්නලව්’ කළ යුතු කියායි.

ඒත් ඕනෑම ඒකීය මිනිසෙකුගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් මේ මිත්‍යා දෘශ්ටික දේව විශ්වාසයට සැබැවින්ම පටහැනි වූවකි. උදේ නැඟිට්ටාම ඇඳෙන් බහින්නට ‘දෙවියන්’ සහාය නොවේ. පිස්සු බල්ලෙක් හපන්නට හඹා එද්දී ගැලවීමට ‘දෙවියන්’ එන්නේ නැත. ඔහු ස්වකීය වෑයමක් නොගන්නේ ද, කිසිත් සෙතක් සිද්ධ නොවේ. එසේම, ‘දෙවියන්ට’ පිටුපා අනෝරා වැස්ස යටින් වායුසමීකරණය කළ වාහනයකින් ගමන් කළ හැකියි. ඉතින් ඒ විවිධ නම් වලින් හැඳින්වෙන මිථ්‍යා දෘශ්ටික සුපිරි බලවේගයට පටහැනිව ඔහු කටයුතු කරන විට ද ඔහුට කිසිත් හානියක් සිද්ධ නොවේ.

එනමුත් මිනිස් සත්වයන් අතර බහුතරය හැමදාම අත්විඳින අත්දැකීම් ඉදිරියේ පවා ‘දෙවියන්’ නැතැයි යන නිගමනයට එළඹෙන්නේ නැත. ඔවුන් ‘දේවත්වයේ’ නම වෙනස් කරති. දෙවියන් වැඩකරන ආකාරය වෙනස් විදියකින් ඉදිරිපත් කරති. දෙවියන් අදහන්නේ නැතැයි කියමින් තමන්ට වඩා ඉහළින් සිටින සුපිරි බලයක් ගැන කියති. එය රජය හෝ රජයේ නියාමන හැටියට හඳුන්වති.

රජය තමන්ව පාලනය කරනවා යැයි සිතන මිනිසුන් සංඛ්‍යාව යම් ප්‍රදේශයක වැඩිවෙද්දී ඒ සෑම ප්‍රදේශයේ දී ම ඔවුන්ගේ ඒකීයපුද්ගල බලය ඔවුන්ගේ ජීවන තත්වය වෙනස් කරන්නට සමත් වෙන්නේ ඉතා යාන්තමෙනි.

ඉතිහාසය පිරික්සා බලන්න. මම මාව පාලනය කරගන්නවා යැයි සිතන මිනිසුන් සංඛ්‍යාව වැඩිවූ සෑම දේශයක දී ම, එවැනි සෑම අවස්ථාවක දී ම, ඔවුන්ගේ ජීවන තත්වය වේගවත් ලෙසින් ඇදුනේ යහපත් අතටයි.

මට හානියක් කරන්නට හෝ මට යහපතක් කරන්නට ‘දෙවියන්’ සතු බලයක් නැතැයි පැහැදිලි වෙන්නේ ‘දෙවියන්’ වැඳීමෙන් අයින් වෙද්දී ය. ශිෂ්ඨාචාරය යනු කිසිවෙකුටත් දැකිය නොහැකි ලෝකය පුරා පැතිර සිටින දැවැන්ත මෘගයෙක් නොවේ. ශිෂ්ඨාචාරය යනු ඒ ඒ ඒකීයපුද්ගලයා තම පැවැත්ම යහපත් කරගන්නට සෑම පැයක දී ම, සෑම දවසක දී ම, ගන්නා උත්සාහයයි. ඔබ ගොඩනඟමින් සිටින්නේ වහල් ශිෂ්ඨාචාරයක් ද? නැත්නම් නිවහල් ශිෂ්ඨාචාරයක් ද? ඔබ ඉල්ලන්නේ පුරවැසි බලය ද? නැත්නම් ඒකීයපුද්ගල බලය ද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: