අරුණි ශපීරෝ‍ වෙතින්

සැබෑ විප්ලවීය වෙනස

Posted in Uncategorized by arunishapiro on මාර්තු 17, 2017

මිනිස් ඉතිහාසයේ සැබෑ විප්ලවීය වෙනස හටගත්තේ මිනිස් සත්වයා ස්වයං පාලනයෙන් වූ ද, වගකීමෙන් යුතු වූ ද සත්වයෙක් බව අවබෝධය ලැබීමත් සමඟයි.

යුදෙව්වන්ගේ නායකයා ඒබ්‍රහැම් පටන් බුදුන්, ක්‍රිස්තු සහ මොහම්මඩ් ද එය දැන සිටියහ. ස්වයං පාලනය බැහැරලා රජයේ පාලනය පැතීම නිසා හටගත් කුරුස යුද්ධ වලින් යුරෝපයේ අඳුරු යුගය රජයද්දී නිදහස් මිනිසාගේ බලයට ඉඩ දුන් මුස්ලිම් දේශයන් සමෘද්ධියෙන් පිරී තිබිණ. ඉතිහාසයේ සෑම අවස්ථාවක දී ම සැබෑ විප්ලවීය වෙනස වූයේ නිදහස් මිනිසාට බලය ලැබීමයි. එහෙත් වැඩිකල් නොයා නිදහස් මිනිසාට රජයේ බලාත්කාරය නතුවන්නට සිද්ධ වෙද්දී සමෘද්ධිය එතැනින් එහාට යෑම නැවතිණ.

16 වැනි සියවසේ උතුරු ඇමෙරිකාවේ ලක්ෂ සංඛ්‍යාත වැසියන්ට, සැබෑ විප්ලවීය වෙනස වනුයේ මේ ස්වයං පාලනය අගයන නිදහස් මිනිසා යැයි අවබෝධ වූයේ කිසිවෙකුගේ නායකත්වයක් නොමැතිවයි. ඇමෙරිකන් සිහිනය යනු එයයි. නොදන්නා නොහඳුනන ඒකීයපුද්ගලයන් විසින් මිනිස් ලෝකය වැඩි දියුණු කරන්නට, මිනිස් බලයෙන් වෙහෙසෙන්නට, එනම් මිනිසුන්ට නිදහසේ ක්‍රියාකරන්නට තත්වයන් පාදා දෙනු ඇත යන විශ්වාසයයි.

නායකත්වයක් නොමැතිව ලොව හටගත් ප්‍රථම ඒකීයපුද්ගල නිදහස් උත්සාහයන් එතැන් පටන් ඇරඹිණ. තමන් බැටළුවෙක් නොවනවා යැයි අවබෝධ වෙද්දී ගොපළුවෙක්ගේ අවශ්‍යතාවයක් තිබේ ද? වසර 150 ක් යද්දී එතෙක් යුරෝපයේ කිසිදා දකින්නට නොතිබුණ සශ්‍රීකත්වයක් ගෙනෙන්නට ඇමෙරිකාවේ පරම්පරා පහකට හැකියාව ලැබිණ.

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට දීර්ඝ කාලීන සමෘද්ධියක් කරා ගමන් කරන සැබෑ විප්ලවීය වෙනසක් ගෙනෙන ලද්දේ එකිනෙකාව නොහඳුනන, විවිධ ආගම් ඇදහූ හා විවිධ සමාජ චාරිත්‍ර වලින් යුතු වූ, ස්වයං පාලනයට නිදහස දිනාගත් ඒකීයපුද්ගලයන් විසිනි.

නිදහස් මිනිසුන් සඳහා අපි අලුත් ලෝකයක් හැදිය යුතු යැයි කියමින් ‘කොමන් සෙන්ස්’ නමින් ඇමෙරිකාවේ තෝමස් පේන් පොත් පිංචක් ලියූවේය. ඔහු මිනිසාගේ අයිතීන් ගැන ලියූ විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ විනිසුරුවන් ඔහුට දඩ ගසමින් සිරබන්ධනය නියම කළහ. පේන්ගේ අදහස් සිංහලෙන් කියවන්නට ලැබුණා නම් ඒ මේ බ්ලොග් අඩවියෙහි දී පමණක් වෙන්නැති.

ජීවිතයට හා නිදහසට ඇති ස්වභාවික අයිතිය කිසිවෙකු විසින් ප්‍රදානය කරන්නක් නොවේ. එහෙත් දේපල අයිතිය යනු නීතිමය අයිතියකි. ඒකීය පුද්ගලයාට තම ස්වභාවික අයිතීන් භාවිතය සඳහා දේපල අයිතියෙන් නීතිමය ආරක්ෂාව ලැබේ.

පුරාතනයේ කිසිවෙකුට දේපල අයිතියක් නොතිබිණ. පරම රාජාණ්ඩු ක්‍රමයේ දේපල රජුගේ බාරකාරත්වයේ පැවතිණ. ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදයේ දේපල අයිතියක් නොවීය. ඒත්, මුල් ඇමෙරිකාවේ ජේම්ස් මැඩිසන් දේපල අයිතිය ගැන ලියද්දී ඔහු අදහස් කරන්නේ කුමක්දැයි එවක ඇමෙරිකන් වැසියන් සියල්ලන්ම දැන සිටියහ. දේපල යනු නීතිමය වූ මිනිසාට ඇති අයිතියක් මිස මිනිසාගෙන් පරිබාහිරව පවතින අයිතියක් නොවන බව ඔව්හු වටහා ගත්හ. දේපල අයිතියක් සඳහා ඒකීයපුද්ගලයාට අවසර ලැබීම 16 වැනි සියවසේ ආසියාවේ, අප්‍රිකාවේ හෝ යුරෝපයේ පවා දකින්නට නොමැති වූවකි.

දේපල අයිතියට එරෙහි මානුෂීය අයිතීන් කියමින් පසුකාලීන යුරෝපයෙන් ඇතිවෙන්නේ යළිත් යල්පැන ගිය අදහස් ගෙන එන උත්සාහයයි. ඒකීයපුද්ගල බලය පරයා රජයේ බලය නැඟ එද්දී යල්පැන ගිය අදහස් නැවතත් ඇමෙරිකාවට ද රිංගන ආකාරය පැහැදිලිව දැකිය හැකියි.

මිනිස් ඉතිහාසයේ සැබෑ විප්ලවීය වෙනසට එරෙහි ප්‍රතිවිප්ලවාදීන්, ලෙනින්, ස්ටාලින්, මුසොලිනී, හිට්ලර්, කැස්ත්‍රෝ, චෑවෙස් දක්වා සියල්ලන්ම හැම විටම මුලින්ම පහර දුන්නේ දේපල අයිතිය යන මිනිසාගේ නීතිමය අයිතියටයි.

පුද්ගලික ආරක්ෂාව සහ දේපල අයිතිය සමඟ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එකට අත්වැල් බැඳගත්තක් නොවේ යැයි ජේම්ස් මැඩිසන් ලිවීය. වැඩිදෙනාගේ බලයෙන් පාලනය ගෙන යාම යනු මිනිස් අයිතිවාසිකම් වල හතුරා බව මුල් ඇමෙරිකන් වැසියන් දැන සිටියහ. ඇමෙරිකාව ජනරජයක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයක් නොවන බවත් මැඩිසන් කියද්දී වෙනස කුමක්දැයි එදා ජනතාව දැන සිටියහ.

ඇමෙරිකාවේ Bill of Rights හෙවත් අයිතීන්ගේ පනත යනු ඇමෙරිකන් රජයට රටේ මිනිසුන් පාලනය සඳහා බලාත්කාරකම භාවිතයට අවසර නැතිබව දක්වන නීතිමය ප්‍රකාශයයි. රජය නම් අධිකාරියට ඇති බලය වෙනුවට එයින් කියැවෙන්නේ ඒකීයපුද්ගලයා සතු බලය ගැනයි. ස්වයං පාලන ක්‍රමයක් බිහි වී මිනිස් ඉතිහාසයේ සැබෑ විප්ලවීය වෙනස පටන් ගත්තේ එතැනින්. යල්පැන ගිය අදහස් යළි ඇමෙරිකාවට ද රිංගා තිබුණ ද, මේ සැබෑ විප්ලවීය වෙනස හඳුනන අය සිටිති. එදා ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ලා මෙන් අදත් රැන්ඩොල්ෆ් හෙන්කන් වැනි අය පුරෝගාමී උත්සාහයන් හි නියැළෙති. සැබෑ විප්ලවය පටන්ගෙන සියවස් දෙකකටත් වඩා ඉක්මවා ගිය ද, සිංහල පාඨකයාට තවමත් ලැබෙන්නේ විප්ලවයට තුඩු දුන් විචාරාත්මක දර්ශනය නොව ප්‍රතිවිප්ලවවාදීන්ගේ යල්පැන ගිය පල්හෑලි පමණකි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. balasooriya lansakara said, on මාර්තු 24, 2017 at 11:06 පෙ.ව.

    “නිදහස් මිනිසාගේ බලයට ඉඩ දුන් මුස්ලිම් දේශයන් සමෘද්ධියෙන් පිරී තිබිණ”. මේක තව ටිකක් පෑහෑදිලි කරන්න. ස්තුතියි.

    • arunishapiro said, on මාර්තු 24, 2017 at 1:08 ප.ව.

      ඒ කිව්වේ යුරෝපයේ අඳුරු යුගයටත් කළින් දකින්නට පුළුවන් තත්වයක් ගැන. සබැඳියෙන් පුළුවන් පරණ සටහනක් කියවන්න.

      ඇරිස්ටෝටල්ගේ දර්ශනය පවා ආරක්ෂා වෙන්නේ මුල් ක්‍රිස්තියානි කෲසේඩකාරයන් නිදහස් මිනිසාගේ බලය අයින් කරල දමපු කාලයේ බැග්ඩෑඩ් සිට ග්‍රැනාඩා දක්වා මැද පෙරදිගට පළා ගිය විද්වත් ක්‍රිස්තියානි සරණාගතයන් සහ නිදහස් අදහස් අගයපු මුස්ලිම් අය එකතුවෙලා ඒවා අරාබිකරයේ භාෂා වලින් ග්‍රන්ථාරූඪ කිරීම නිසයි. දර්ශනය විතරක් නෙමෙයි, යුරෝපීය විතරක් නෙමෙයි, චීන සහ ඉන්දියන් සම්ප්‍රදායන් වලත් තියෙන විද්‍යා, වෛද්‍ය ශාස්ත්‍ර, සාහිත්‍ය, කලා ගැන සියල්ල ඒ කාලයේ දී අරාබි, සිරියන් භාෂා වලට පරිවර්තනය වෙනව. ආගමික දේශපාලන නායකත්වයක් නැති කාලයක්. තමන් කැමති ආගමික මතයක් දරන්න, ආගම විචාරය කරන්න හිතකර වාතාවරණයක් මැද පෙරදිග සමාජයේ තිබිල තියෙනව.

      මුල්ම කෲසේඩකාරයන් පලස්තීනයට එද්දි දැකල පුදුම වෙන්නෙ එහෙ තිබිච්ච වයින් හදන මිදි වතුයායන්, ෆිග් පළතුරු වවන වතුයායන්. තුර්කියෙ දකින්නෙ මෙට්‍රස් වල නිදියන මිනිස්සු, කාපට්, කුෂන්, සිල්ක් සහ ෂිෆෝන් රෙදි, සීනි කැට, සුවඳ විලවුන් සහ කාන්තාවන් මූනේ ගාන තොල් හා කම්මුල් ආලේපන, මොසැයික් ටයිල්, ලැටිස් ලී වැඩ, හැඩදාපු පාට පාට වීදුරු, හැම තැනම හදපු water fountains එහෙම.

  2. balasooriya lansakara said, on මාර්තු 26, 2017 at 12:40 ප.ව.

    ස්තුතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: