අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස තීරණය කරන කාලය පැමිණ ඇත

Posted in Uncategorized by arunishapiro on මාර්තු 18, 2017

“ලෝක විප්ලවය ඇරඹී සියවසකට වඩා කාලයක් ගෙවී යමින් පවතී. එහි පුරෝගාමීන් වූයේ ඇමෙරිකන් ජනතාවයි. ඇමෙරිකන් ජනතාව හැම විටම කියුබාවේ නිදහස තීරණය කළ අය වූහ. ඇමෙරිකන් අය විසින් මැඩගස්කාර්, සිලෝන් සහ කෝසිකා හි ද නිදහස තීරණය කරන කාලය පැමිණ ඇත.” රෝස් වයිල්ඩර් ලේන් සිය ‘නිදහස සොයා ගැනීම’ නම් පොතේ එසේ ලියන ලද්දේ 1928 දී ය. එහෙත් එදා ඇමෙරිකන් අය කියුබාවේ, මැඩගස්කාරයේ, ලංකාවේ සහ කෝසිකාවේ නිදහස තීරණයට සහාය වන්නට අසමත් වූහ. යටත්විජිතවාදයෙන් ගැලවෙමින් ස්වාධීන රාජ්‍යයන් ලොව බිහිවෙමින් තිබිය ද, සැබෑ විප්ලවය සියවසක් ඉක්මවා යද්දී, මිනිසා ලැබිය යුතු ‘නිදහස’ කුමක්දැයි කියා අවබෝධය තිබුනේ අද මෙන්ම ලොව සුලුතරයකට පමණි.

මෙහි දී රෝස් හැමවිටම කියුබාවේ නිදහස තීරණය කළ අය හැටියට ඇමෙරිකන් ජනතාව සඳහන් කරන ලද්දේ ස්පාඤ්ඤ අධිරාජ්‍යයෙන් කියුබාව නිදහස් කරගන්නට කිහිප වතාවක්ම ඇමෙරිකන් අය සහාය වූ නිසා වෙන්නැති. නිදහස ගැන ලියද්දී එවක ලතින් ඇමෙරිකාවේ පැතිර ගිය බොලිවාරියන් වහල් දැක්මෙන් කියුබාව ගලවා ගන්නට, ඇමෙරිකන් සැබෑ විප්ලවීය දර්ශනයට හැකිවනු ඇතැයි රෝස් සිතන්නට ඇත. එහෙත් එයට කියුබාවේ වැසියන්ට මෙන්ම මැඩගස්කාරයේ, ලංකාවේ හෝ කෝසිකාවේ අයට ද නොලැබිණ.

සැබෑ විප්ලවීය වෙනස බොලිවාරියන් විප්ලවයෙන් හාත්පසින්ම වෙනස් වූවයි. සයිමන් බොලිවාර් වෙනිසියුලාවේ උපන් රදළයෙකි. වතුපිටි සහ පතල් උරුම වූවෙකි. සිය වහලුන්ව වහල් සේවයෙන් නිදහස් කළත් ඔහුට මිනිස් නිවහල්බව ගැන අවබෝධයක් නොතිබි බව ඔහුගේ කල්කිරියාවෙන් පෙනී යයි. නිවහල් මිනිසා ගැන අවබෝධයක් නැති අය, මුල් ඇමෙරිකාවේ වහල් සේවය ගැන කතා කරමින්, තමන් තවමත් පක්ෂපාතී වනුයේ වහල් සේවයටම යැයි නොදනිති.

සයිමන් බොලිවාර් බලයෙන් වැඩි ආණ්ඩුවක් ප්‍රිය කරන ලද්දෙකි. හමුදා නායකත්වයට දක්ෂ වූවෙකි. ස්පාඤ්ඤයෙන් නිදහස් වන්නට නම් ඕනෑම ස්පාඤ්ඤ සිවිල් වැසියෙක්ව දරුණු ම්ලේච්ඡ දඬුවම් දී මරාදැමිය හැකි අවසරය ලැබෙන ‘මරණය තෙක් යුද්ධය ප්‍රතිඥාව‘ ලියූ පුද්ගලයායි. එයින් මිනීමැරුම් සහ ම්ලේච්ඡ ක්‍රියාවන් කළ ලතින් ඇමෙරිකන් අය නීතිය හමුවේ වරදකරුවන් නොවිණ. බෙදුම්වාදී දර්ශනය රිසිවූවන් අධිරාජ්‍යවාදීන්ට බැන වදිමින් ඒත් ‘බොලිවේරියන් විප්ලවය’ පැසසීම ඉතින් පුදුමයක් ද? බොලිවාර්ට අවශ්‍ය වූයේ ලතින් ඇමෙරිකන් රටවල හවුලක් හදන්නටයි.

ඇමෙරිකන් ප්‍රාන්ත එකතු වූයේ යුද්ධ වලින් නොවේ. ගිවිසුම් වලිනි. නිදහස් ප්‍රාන්ත හැටියට ස්වාධීනව සහ රටක් හැටියට හවුල් වී ඉන්නා හැටිත් ඔවුන් පහදා ගත්තේ අයිතීන් ආරක්ෂාව ගැන වූ පදනම තුලින්.

ස්වයං පාලනය වෙනුවට රජයේ පාලනය පෙරදැරි කරගත් ශක්තිමත් ආණ්ඩුවක් රිසි වූ ප්‍රයෝගකාරී ඒබ්‍රහැම් ලින්කන් නොවන්නට උතුරු දකුණ දෙපැත්තකට වී සිවිල් යුද්ධයක් ඉතිහාසයට එකතු වනුයේ නැත. ෆෙඩරල් කියද්දී බිය විය යුත්තේ මේ නිසයි. ෆෙඩරල් ක්‍රමයෙන් ලින්කන් වැනි බලතණ්හාධිකයන්ට නීතිය විපර්යාස කරත හැකියාව පාදා ගත හැකියි. තෝමස් ජෙෆර්සන් ෆෙඩරල් ක්‍රමයේ හානි තත්වය කල්තියා දුටු, ලින්කන් වැනි පාලකයෙකු ඇතිවීමෙන් එවැන්නෙකුට ලැබෙන බලාත්කාරකම් බලය ගැන කල්තියා අනතුරු අඟවන්නට නිති වෙහෙසුණ ලද්දෙකි.

‘සිය වංකගිරියේ සිටින ජනරාල්වරයා’ නමින් ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස් ලියන ප්‍රබන්ධයේ සයිමන් බොලිවාර් පිළිබිඹු කරන්නේ අබල දුබල වූ ජනතා නායකයා හැටියටයි. ‘ජනතාවගේ ප්‍රසාදයට පත් වූ ලින්කන්ට’ වෙඩි තැබීම ගැන ද එයාකාරයෙන්ම ලියැවෙන ප්‍රබන්ධ බොහොමයකි. නමුත් ඇත්ත ලින්කන් කොතරම් ප්‍රයෝගශීලී හා කුරිරු වූයේදැයි පහදන, රටේ නීති උල්ලංඝණය කළ ආකාරය පහදන, ප්‍රබන්ධ නොවන ශාස්ත්‍රීය පොතපත ඇමෙරිකාවේ කියවන්නට ඇත. යුද්ධය රිසි බොලිවාර් වෙතින් පන්නරය ලබන වෙනිසියුලාවේ උගෝ චෑවේස් 2008 දී දියත් කළ බොලිවේරියන් විප්ලවය නිසා අද එහි ජනතාව පාන් පෝලිම්වල ලැග සිටිති. ඒත් වරද බේකරිකරුවන් අත යැයි කියන ආණ්ඩුව ඔවුන් වරදකරුවන් කර ඔවුන්ගේ දේපල රජයට පවරා ගෙන ඇත. ඔවුන්ට බොලිවාරියන් විප්ලවයට වෙනස් වූ අදහස් කියවන්නට අවසර නැත.

ඇමෙරිකන් නිදහස් අදහස් වෙනුවට බොලිවාර් වෙතින් යල්පැන ගිය අදහස් වැළඳගත් කියුබාව කොමියුනිස්ට් වීමෙන් ගලවා ගන්නට එදා ඇමෙරිකන් අය අසමත් වූයේ නිදහස් පුද්ගලයන්ට වඩා හැම විටම බලාත්කාර බලය යොදවන්නට ආණ්ඩුවක් වැඩියෙන් සමත් වෙනවා යැයි නැවතත් ඔප්පු කරමින්.

මැඩගස්කාරය ප්‍රංශයට යටත්වෙන්නේ ෆ්‍රැන්කො-හෝවා යුද්ධයෙනි. රෝස් මැඩගස්කාරයේ සහායට ඇමෙරිකන් අදහස් පිහිටවනු ඇතැයි සිතුවාය. ඒත් දිගින් දිගටම යටත්විජිතයක් හැටියට පැවති එය ප්‍රංශයෙන් ජර්මන් නාට්සීන්ගේ බලයට නතුවිය. වර්තමානයේ ලෝකයේ දුප්පත්ම දේශයක් වූ මැඩගස්කාරයට කිසිවිටෙක ඇමෙරිකන් නිවහල් අදහස් ඇතුල්වන්නට ඉඩක් නොලැබිණ.

බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වූ ‘සිලෝන්’ හි ඇමෙරිකන් නිවහල් අදහස් අහන්නට අවස්ථාවක් කිසිවෙකුට පෑදුනේ නැත. ජාතික චින්තනය කියා එක පැත්තකින් ද, කම්කරු චින්තනය කියා තව පැත්තකින්ද බෙදුම්වාදය අඩුවක් පාඩුවක් නැතිව බෙදාහැරිණ. සිලෝන් හි නම ලංකාව කියා වෙනස් වුවත් බෙදාහරින දැක්මේ වෙනසක් සිද්ධ වූයේ නැත.

කෝසිකා නමින් හැඳින්වෙන්නේ මධ්‍යධරණී මුහුදේ පිහිටන ඉතාලියට යාබද කුඩා දූපතකි. බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශය අතර කළින් කළට හුවමාරු වූ එය වර්තමානයේ දී ප්‍රංශයේ බාරකාරත්වයේ පවතී. ඉතාලියට යාබද නිසා ඉතාලි සංස්කෘතියට සමීප වූවකි. 1920 ගණන් වල දී එහි ජාතිකවාදී ව්‍යාපාර ඇරඹිණ. රෝස් අපේක්ෂා කළ පරිදි ඇමෙරිකන් නිවහල් අදහස් වලින් ඔවුන්ගේ නිදහස තීරණය වූයේ නැත. ප්‍රංශ ආණ්ඩුව පටන් ගත් ආරක්ෂණවාදී වෙළඳ ප්‍රතිපත්ති නොනැවතී එහි ක්‍රියාත්මක විය. නිවහල් අදහස් ඇති අය වෙන රටවලට සංක්‍රමණය වූහ. ඇතුලත බෙදුම්වාදය උග්‍ර වෙද්දී කෝසිකා වැසියන් බෙනිටෝ මුසොලිනිගේ ෆැසිස්ට්වාදී ඉතාලිය තෝරාගත්හ.

‘නිදහස සොයා ගැනීම’ නම් පොත රෝස් වයිල්ඩර් ලේන් ලියා වසර 89 ක් යද්දී, සැබෑ විප්ලවීය වෙනස පැහැදිලි කරන වෑයම 2010 දී මා මෙතැන පටන් ගෙන ඇත. සැබෑ නිදහස කුමක්දැයි තීරණය කිරීම ඔබේ කැමැත්තයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: