අරුණි ශපීරෝ‍ වෙතින්

ඇඩම් ස්මිත් නම් මිනිසා සහ ඔහුගේ නිර්මාණ

Posted in Uncategorized by arunishapiro on මාර්තු 20, 2017

වැඩියෙන්ම බලපෑම් කරන්නට සමත් වූ පුද්ගලයා යැයි කියද්දී ඔබේ හිතට එන්නේ මහා මිනිස් ඝාතනවලට තුඩු දුන් දැක්ම ඉදිරිපත් කළ කුරිරු දුෂ්ටයෙකුගේ නමක් ද? නැත්නම් සියල්ලන්ගේම ජීවිත සමෘද්ධිමත් කරන්නට සමත් දැක්ම ඉදිරිපත් කළ අයෙකුගේ නමක් ද?

කුමන සමාජ තරාතිරමක උපත ලැබුවත් ස්වෝත්සාහයෙන් ජීවිත සාර්ථක කරගන්නට ඉඩක් පාදාගත හැකියාව ඇති රටවල මේ මාසයේ දී ඇඩම් ස්මිත් විසින් ජාතීන්ගේ ධනය ලියා වසර 241 ක් උදාවීමේ ප්‍රීතිය සමරන උත්සව පැවැත්වේ. ආර්ථිකය එක තැන ලැග සිටින රටවල ජනතාවට සිය රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වසරේ ලැබෙන්නේ රුසියන් කොමියුනිස්ට් අසාර්ථක වෑයමේ 100 වැනි උත්සවය සමරන්නටයි.

සිංහලෙන් කියවන්නාට ඇඩම් ස්මිත් නම් මිනිසා සහ ඔහුගේ නිර්මාණ හඳුනාගැනීම 2017 වසර දී හෝ පටන් ගැනීම පරක්කු නැත.

සමෘද්ධිය සහ සහජීවනය වැඩි වර්ධනය වෙන්නේ කෙසේදැයි කියා 1770 ගණන් වල දී විමර්ශනය කළේ ඇඩම් ස්මිත් විසිනි. ස්කොට්ලන්ත දාර්ශනිකයෙක් සහ අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ ඇඩම් ස්මිත් ලෝකයේ රටවල් ධනවත් වූයේ කෙසේදැයි පහදන ‘ජාතීන්ගේ ධනය’ නම් පොත ලියූ තැනැත්තාය.

ඇඩම් ස්මිත්ගේ පියා මිය යන්නේ 1723 දී ඔහු ඉපදෙන්නට සති කිහිපයකට පෙර. මව විසින් රැකබලා ගන්නා ලද ඔහු බාල කාලයේ දී දුර්වල සෞඛ්‍යයෙන් පසුවූවෙකි. ඒ නිසා මවගෙන් වැඩි අවධානයක් ලැබුන ද දරුවා දඟකාරයෙක් වූයේ නැත. මවත් පුතත් වාසය කළේ කර්කාල්ඩි නම් නැව්තොටුපළක් පැවති ටවුමකය. ස්ට්‍රැතර්නි නම් ගමේ මාමා බලන්නට ගිය විටෙක, ස්මිත් දොරකොඩ අසල සෙල්ලම් කරමින් සිටිය දී අහිගුණ්ඪික කාන්තාවක් ඔහුව පැහැරගෙන යන ලදි. ඔහුගේ වයස අවුරුදු තුනක් විය. හඬා වැලපෙන දරුවා දකින ඒ ගමේ මිනිහෙක් සැක සිතා ඔහුව සොයන අයට දන්වන්නට සමත් වේ. අහිගුණ්ඪික ගැහැණිය බිය වැදී දරුවා කැලෑවේ දමා පැන යන ලදි.

කර්කාල්ඩියේ නගර සභාවේ ස්මිත්ගේ පිය පාර්ශවයේ මාමා වූ හර්කියුලීස් ස්මිත් සේවය කළේය. නගර සභාව එවක දී නගරයේ මහේස්ත්‍රාත්වරුන්ට උපදෙස් දුන් අය වූහ. ක්‍රේම්බිජ් විශ්ව විද්‍යාලයේ ප්‍රකාශනයකට අනුව දොරෙන් දොරට යන හිඟන්නන්ව නවත්වන්නට දුගියන්ට රස්සා සපයන ක්‍රමයක් එම නගරයේ පැවතිණ. එසේම නගර සභාවේ වගකීමක් වූයේ පාසැල් ක්‍රමය අධීක්ෂණයයි.

හයි ස්ට්‍රීට් හි ස්මිත් 1729 සිට 1737 දක්වා උගත් ප්‍රථමික පාසැල 1966 වසරේ දී කඩා දමන තෙක් එහි ගිය සංචාරකයන්ට දකින්නට හැකිවිණ. ස්කොට්ලන්තයේ 1696 අධ්‍යාපන පනතෙන් ලැබෙන අවසරයෙන් ස්කොට්ලන්තය පුරා මීසම් (parish) පාසැල් ඉදි කරන ලදි. එතැන් පටන් ස්කොට්ලන්තයේ සාමාන්‍ය ජනතාව අතර කියවන ලියන දැනුම පැතිර ගියේය. ඇඩම් ස්මිත් අධ්‍යාපනය ලැබුවේ එවැනි පාසැලකයි. පසු කාලයක දී ස්මිත් ලියන ජාතීන්ගේ ධනය පොතේ ඔහු මේ ක්‍රමය ප්‍රශංසාවට ලක් කරයි. නගර සභාවක් බදු මුදල් වැය කළ යුත්තේ පාසැල් ගොඩනැඟිල්ල හදන්නට පමණකි. විද්‍යාර්ථීන් තම හැකියාව අනුව දැනුම ලබාගන්නට මුදලක් ගෙවිය යුතුය. ගුරුවරයා මහජන මුදලින් ආදායම උපයන අයෙක් නොවිය යුතුය. එසේ වූයේ නැත්නම් ඔහු සිය වෘත්තිය නොසලකා හරිනු ඇත.

අකාර්යක්ෂම අධ්‍යාපනයක් තම දරුවාට ලැබෙන බව දෙමව්පියන්ට පෙනී යද්දී දරුවාත් ටියුෂන් ගාස්තුත් දෙකම වෙන පාසැලකට මාරු කරන්නට හැකියාව ලැබිය යුතු යැයි ඔහු කීය.

“ස්කොට්ලන්තයේ අධ්‍යාපනය විකුණන්නේ ග්‍රොසරි කඩකාරයා ෆිග් විකුණන අන්දමටය,” රොබට් ලෝව් සතුටින් කීය. ඉංග්‍රීසි පමණක් ඉගෙනීමට සිලිමක් හා පැන්ස හයක් ද, ලතින් භාෂාවට සිලිම් තුනක් ද, ලතින්, ග්‍රීක් හෝ ග්‍රීක් ගද්‍ය සඳහා සිලිම් පහක් ද, ඉංග්‍රීසි ලියැවීම, ප්‍රාථමික ගණිතය සහ පැයක් ලියවීමේ යෙදෙන්නට සිලිම් දෙකක් ද යනාදී වශයෙන් එකල නිර්දේශ පාඩම් හා ඊට අය කරන ලද මිල ගණන් වූහ.

1870 ගණන් වල දී මෙයාකාරයෙන් එංගලන්තයේ හා ඇමෙරිකාවේ ද අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසිණ. නිව් යෝර්ක් හි ශ්‍රමික රස්සාවල යෙදුණු දෙමව්පියන් තම දරුවන්ගේ අධ්‍යාපන වියදම් ගෙවූහ. ඔවුන් ස්කොට්ලන්තයේ ක්‍රමය යොදාගන්නා ලදහ.

ගෙවා යන්නට නොහැකි වූ අයට පාසැල් නොතිබුණා යැයි අයෙක් සිතිය හැකියි. එසේම ව්‍යාපාරිකයා යනු මුදල් තණ්හාධිකයෙක් යැයි ද වර්තමාන පොදු ජනතා මතයයි. නමුත් රජය මැදිහත් නොවූ අවස්ථාවල දී, 1925 ඇමෙරිකන් දකුණේ කළු අය වෙනුවෙන් මහජන පාසැල් 5000 කට වඩා පවත්වාගෙන යන්නට අරමුදල් යොදන ලද්දේ ජූලියස් රෝසන්වෝල්ඩ් පදනමයි.

1737 දී 14 හැවිරිදි ස්මිත් කර්කාල්ඩියෙන් පිට වී ග්ලෑස්ගෝ විශ්ව විද්‍යාලයේ ෆ්‍රෑන්සිස් හචෙසන් යටතේ ආචාර ධර්ම දර්ශනය හදාරන්නට පටන් ගනියි. 18 වැනි සියවසේ මුල් භාගයේ තරුණයන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට පටන් ගන්නේ වයස අවුරුදු 12 දී පමණ. සමහර විට ස්මිත් තරමක් පරක්කු වී විශ්ව විද්‍යාල ජීවිතය පටන්ගත්තේ ඔහු සෞඛ්‍යයෙන් යහපත් නොවූ නිසා විය හැකි යැයි අනුමාන කෙරේ. එවක ග්ලෑස්ගෝ නගරය කර්කාල්ඩියට වඩා දහ ගුණයකින් විශාල නගරයක් විය. ස්මිත් නවාතැන් ගන්නේ පවුලේ හිතවත් මහාචාර්යවරයෙකුගේ නිවහනකය.

සමස්ත යුරෝපයෙන්ම සිසුන් එම විශ්ව විද්‍යාලයට ඇදී ආවේ ග්‍රීක මහාචාර්යවරයා වූ ඇලෙක්සැන්ඩර් ඩන්ලොප්, ගණිත මහාචාර්යවරයා වූ රොබට් සිම්සන්, හා ආචාර ධර්ම දර්ශනය ඉගැන්වූ මහාචාර්ය ෆ්‍රැන්සිස් හචෙසන් වෙතින් දැනුම ලබාගන්නටයි. ෆ්‍රැන්සිස් හචෙසන් උපත ලබන්නේ අයර්ලන්තයේ දී ය. ස්කොට්ලන්ත සම්භවයකින් යුතු පවුලක ය. අයර්ලන්තය හැරදා ස්කොට්ලන්තයට යන හචෙසන් ස්කොට්ලන්ත බුද්ධිමය විචාරමය යුගයේ ආරම්භකයාය. එය පටන් ගත් ස්ථානය ස්මිත් උගත් ග්ලෑස්ගෝ විශ්ව විද්‍යාලය යැයි සැලකේ.

මේ සිංහලෙන් කියවන්නාට ඇඩම් ස්මිත් හඳුන්වා දීමේ ආරම්භක වෑයමයි. රටවල් දුප්පත් භාවය ඇදගෙන යන දර්ශනය වෙනුවට 2017 දී හෝ රටවල් ධනවත් වෙන්නේ කෙසේදැයි දැනගන්නා දර්ශනය ඉදිරිපත් කිරීම පටන් ගත යුතුයි නේද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: