අරුණි ශපීරෝ‍ වෙතින්

බුද්ධිමය විචාරයට කෙරෙන තරවටුව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 21, 2017

පුද්ගලික අයිතීන්, ස්වභාවික නිදහස, යුක්තිය, රාජ්‍ය අයිතීන් සහ ඒකීයපුද්ගල අයිතීන් ගැන හදාරන්නට ඇඩම් ස්මිත්ට ලැබෙන්නේ ආචාර ධර්ම හා දර්ශනය ඉගැන්වූ මහාචාර්ය ෆ්‍රැන්සිස් හචෙසන් වෙතිනි. හචෙසන් ලියූ ආචාර ධර්ම දර්ශනයේ ක්‍රමවේදය පොතෙන් ඒ අදහස් මොනවාදැයි දැනගන්නට පුළුවනි. හචෙසන් නිසා පුද්ගලික අයිතීන් සහ ස්වභාවික නිදහස පිළිබඳ ලැදියාවක් ඇතිකරගත් ස්මිත් ලියූ පළමු පොත ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය හෙවත් The Theory of Moral Sentiments (1759) වෙයි.

දෙවියන් ගැන දැනීමක් නැතිව ද හොඳ හා නරක ගැන දැනීමක් මිනිසාට ඇතැයි කියමින්, එවක ස්කොට්ලන්ත ඇකඩමියාවේ පැතිර තිබූ සාම්ප්‍රදායික මතවාදයට අභියෝග එල්ල කළ හචෙසන් කැල්වින්වාදී ආගමික නායකයන්ගේ දැඩි අප්‍රසාදයට පාත්‍ර වූවෙකි. පසුකලෙක ජෙරමි බෙන්තම් වැනි සම්භව්‍ය උපයෝගතාවාදී දාර්ශනිකයන් ඉදිරිපත් කරන ලද “වැඩිම සංඛ්‍යාවකගේ වැඩිම සතුට” යන පද වහර හදන්නට මුලින්ම දායකත්වයක් සපයා ඇති අය අතර හචෙසන් ද සිටියි.

ඇඩම් ස්මිත් ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගනිද්දී මහාචාර්ය හචෙසන්ට විරුද්ධව ඇකඩමියාවේ කැරළි පටන් ගෙන තිබිණ. එහෙත් සල්ලි ගෙවා ඉගෙන ගන්නට ආ සිසුන් හචෙසන්ව ඉල්ලා සිටි නිසා ඔහුව සේවයෙන් නෙරපුනේ නැත. නිවහල්බවට, විචාරයට හා නිදහස් ප්‍රකාශනයට ඇල්මක් ඇති කරන අදහස් හචෙසන් උගන්වා ඇත්තේ දේශන ශාලාවේ හැම අතම ඇවිද ඇවිද ය. ග්‍රීක හා ලතින් මනාව දත්ත ද, එතෙක් ලතින් බසින් පමණක් දේශන පැවැත්වුන විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසියෙන් දේශන පැවැත්වූ ප්‍රථමයා වූයේ ද හචෙසන් ය. රදළයන් මෙන් ලතින් හදාරන්නට නොහැකි වූ සාමාන්‍ය වත්කම් ඇති සිසුන් බොහොමයකට ඉංග්‍රීසියෙන් කියාදෙන අදහස් පහසුවෙන් සහ ඉක්මණින් වැටහිණ. ඒ නිසා හචෙසෙන්ගේ ජනප්‍රියත්වය වැඩිවිය. ඩේවිඩ් හියුම් ද හචෙසන්ගේ සිසුවෙකි. හචෙසන්ගේ මග පෙන්වීමට ලැදියාව දැක්වූ හියුම් සහ ස්මිත් ඔවුනොවුන්ගේ ජීවිත කාලය පුරාම ඉතා කුළුපග මිතුරන් වූහ.

ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ වසර 3 ක් ඉගෙන ගනිද්දී, ඇඩම් ස්මිත්ට හොඳම සිසුන් සඳහා පිරිනමන ශිෂ්‍යත්වයක් ප්‍රදානය විය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනීම සඳහා වසරකට පවුම් 40 බැගින් ලැබෙන එය වසර 11 ක් පුරා අධ්‍යයන සඳහා යොදාගත හැකි ශිෂ්‍යත්වයකි. ජෝන් ස්නෙල් නමැති ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ ආදී සිසුවෙක් විසින් ස්කොට්ලන්ත පල්ලියට උගතුන් ඇතුලත් කරගැනීමට එය ස්කොට්ලන්ත සිසුන් සඳහා පිරිනමන ලද ශිෂ්‍යත්වයකි. ඉගෙනීම අවසන ස්කොට්ලන්ත පල්ලියේ සේවයට බැඳුනේ නැත්නම් හෝ ස්කොට්ලන්තයට ආපහු ආවේ නැත්නම් පවුම් 500 ක දඩයක් ගෙවිය යුතු වීම එහි කොන්දේසි අතර විය.

1740 ගිම්හානයේ දී ප්‍රථම වරට ස්මිත් තමන් උපන් බිමෙන් පිටත් වී ගියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයටයි. අශ්වයෙකු පිටින් සම්පූර්ණ ගමන යෑමෙන් ඔහුට ස්කොට්ලන්තය සහ එංගලන්තය අතර වෙනස්කම් බොහොමයක් නිරීක්ෂණයට හැකියාව පෑදිණ. ස්කොට්ලන්තයේ කේඩෑරී ගවයන්ට වඩා පුෂ්ටිමත් වූ ගවයන් එංගලන්තයේ ගව පට්ටිවල සිටි බව ඔහු සටහන් තබයි. මෙවැනි නිරීක්ෂණ ඔහුට ජාතීන්ගේ ධනය ලියන්නට උපකාරී විය.

එහෙත් ග්ලාස්ගෝ හා සසඳන විට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය බුද්ධි විචාරයෙන් ඉතා පසුගාමී බව ඔහුට අවබෝධ වූයේ වැඩිකල් නොගිහින්. “අපි දවසකට දෙවතාවක් යාඥා කරනවා, සතියකට දෙවතාවක් දේශන අහන්නට යනවා, ඉතින් ඉගෙන ගන්නට ගෙවිය යුතු මුදල් නිකරුණේ අපතේ යනවා,” යැයි ඔහු 1740 අගෝස්තු 24 දා විලියම් ස්මිත්ට ලිපියක් ලියුවේය.*

එකල ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඔහු දුටු අකාර්යක්ෂම අධ්‍යයන වාතාවරණය පැවතියේ මන්දැයි කියා අපිට ජාතීන්ගේ ධනය පොතෙන් කියවන්නට ලැබේ. හැකියාව සහ ඵලදායීත්වය නොසලකා හැර ගුරුවරුන්ට මහජන මුදලින් වේතන ලැබෙද්දී වෘත්තීය සාර්ථකත්වයක් හා ගෞරවයක් ගැන උවමනාවක් අධ්‍යාපන ආයතන වලට නැති වී යාම නිරීක්ෂණයට ස්මිත් පටන් ගන්නේ ඔක්ස්ෆර්ඩ් හි දී ය.

මෙවසර මුල දී ලංකාවට පැමිණි අවස්ථාවේ මගේ හිතවත් මහාචාර්යවරයෙක් කී කතාවක් මෙහි දී සිහිවේ. දේශන ශාලාවක් අසලින් ගමන් කරද්දී ඔහුට මහාචාර්ය (සෙනරත්) පරණවිතාන ‘මෑතක දී කියූ පරිදි’ යැයි දේශකයෙක් කියනවා ඇසී තිබේ. වියැති දේශකයා ඔහු ඉගෙන ගනිද්දී ලියාගත් දේශනය එසේම අදත් සිසුන් හමුවේ තබන්නේ එම වාක්‍යය පවා වෙනස් නොකළ කම්මැලිකමෙනි.

විචාරය අද බහුතරයට නුහුරු වූවකි. නිතර දකින්නට ලැබෙන්නේ ඇත්ත නැත්ත කෙසේවෙතත් ඒ ලිපියේ හැම වචනයක්ම මාව සංවේදී කරවනවා කියා තමන් අල්ලාගත් වැරදි දැක්ම තව අයටත් බෙදන හුරුවයි. මූලාශ්‍ර සොයා යෑම හා විචාරාත්මක විමර්ශනය ඔවුන්ට නුහුරුයි.

ජාතීන්ගේ ධනය පොතේ ඇඩම් ස්මිත් මෙසේ ලියයි:

ගුරුවරයෙක්, ඔහු විසින් සිසුන්ට ඉගැන්විය යුතු විද්‍යාව පහදා දෙනවා වෙනුවට, ඒ ගැන ලියැවුණ පොතක් කියවයි. ඒ පොත විදේශ භාෂාවකින් හෝ අභාවයට ගිය භාෂාවකින් ලියැවී ඇත්නම් ගුරුවරයා එය පරිවර්තනය කරමින් ඉදිරිපත් කරයි. සමහර විට ඔහු තමන් කරදර නොවී සිසුන් ලවාම එය පරිවර්තනය කරවයි. ඉඳහිට ඒ ගැන කුමක් හෝ කියයි. එසේ කරමින් තමන් දේශනයක් පවත්වනවා යැයි තමන්ටම බොරු ප්‍රශංසා කරගනියි. සැබෑ මෝඩයෙක් යැයි පිටතට නොපෙනෙන්නට, විකාරයක් නොවන්නට, අවඥාවට, සමච්චලයට හෝ පරිහාසයට පත් නොවී මෙවැන්නක් කරන්නට ඔහුට ඉතා යාන්තමින් ඇති දැනුමක් ප්‍රමාණවත් වෙයි. එසේම, මේ විද්‍යාලයේ ඇති ශික්ෂණය තුලින් මේ බොරු-දේශනයට ඔහුට සියළු සිසුන්ගේ සහභාගීත්වය අනිවාර්යෙන්ම ලබාගත හැකියාව ද ලැබේ. මේ සංදර්ශනය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුල දී සිසුන් වෙතින් අසැබි නොවන ගෞරව හැදියාවක් ලබාගන්නට ද විශ්ව විද්‍යාල ක්‍රමය තුලින් ඔහුට හැකියාව ලැබේ.

හචෙසන් වෙතින් ස්මිත් ඉගෙන ගත්, ලංකාවේ සිසු සිසුවියන් තවමත් නොදන්නා පාඩම මෙයයි. අගයක් ඇති දැනුමක් ලබාගන්නට හැකියාව පෑදෙන්නේ දැනුම සපයන තෝරාගැනීම් වැඩි වෙද්දී පමණි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අනගිතම පුස්තකාලය තිබුනේ ස්මිත් ගිය බේලියල් කොලෙජ් හි ය. හචෙසන් ගෙන් උගත් ලතින්, ග්‍රීක් පමණක් නොව තනියම ප්‍රංශ භාෂාව ද හදාරමින් විවිධ විෂයයන් ස්මිත් ඉගෙන ගන්නේ පුස්තකාලයේ පොත් වලිනි. ගණිත දැනුම වර්ධනයට ගුරුවරයෙක් නොවූයෙන් ග්ලෑස්ගෝ මට්ටමෙන් ඔහුගේ ගණිත දැනුම නැවතිණ.

27 වියැති ඩේවිඩ් හියුම් විසින් එවක කොටස් වශයෙන් පළ කරමින් සිටි මිනිස් ස්වභාවයේ විධිමත් ශාස්ත්‍රීය නිබන්ධනය -Treatise of Human Nature (1738) කියවා අසූ වූ ස්මිත්ට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පාලකයන් තදින් තරවටු කළහ. මිනිසාගේ ජීවිතයට ඍජු බලපෑම් කරන සොබාදහමෙන් බාහිර වූ අද්භූත දේව පැවැත්මක් නැතැයි කියන අදහස් එවක දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය අපරාධී ලෙස සලකන ලදි. එවැනි අදහස් සහිත වූ නිසා පාපිෂ්ට යැයි හැඳින්වූ හියුම්ගේ පොත ස්මිත්ගෙන් බලාත්කාරයෙන් ඉවත්කරන ලදි.

හචෙසන් හා හියුම් වෙතින් ලබාගත් විචාරමය හැකියාවෙන් තව දුරටත් පල්ලියේ සේවයට බැඳෙන අධ්‍යාපනයක් සඳහා වූ ශිෂ්‍යත්වයක නියැළෙන්නට නොහැකි බව ස්මිත් තීරණය කළා යැයි ඩූගාල්ඩ් ස්ටුවර්ට් නම් ස්කොට්ලන්ත බුද්ධිමය විචාරයේ ප්‍රමුඛත්වයක් ගත් විද්වතා Biographical Memoir of Adam Smith 1793 හි ලියයි.

1746 දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍යත්වය අත්හැර ස්මිත් ආපසු කර්කාල්ඩි නගරයට ගියේය.

* The Correspondence of Adam Smith, edited by Ernest Campbell Mossner and Ian Simpson Ross, Oxford University Press, 1987

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on මාර්තු 21, 2017 at 1:54 ප.ව.

    ඇඩම් ස්මිත් පිළිබඳ මේ විස්තර සිංහල කියවන්නන්ට සැලැස්වීම වෙනුවෙන් ස්තුතියි අරුණි

  2. krishramanayaka71 said, on මාර්තු 22, 2017 at 5:51 පෙ.ව.

    කල් පසුවී හෝ ඇඩම් ස්මිත් ලංකාවේ අයට සිංහලෙන් මුනගැස්සූවාට ස්තූතිියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: