අරුණි ශපීරෝ‍ වෙතින්

නීතීඥයන්ට සාහිත්‍ය, කලාව සහ දර්ශනය ඉගැන්වීම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 22, 2017

කර්කාල්ඩි වෙත පැමිණි ඇඩම් ස්මිත්ට රස්සාවක් සොයාගත නොහැකි විය. රස්සාවක් සොයමින් සිටි වසර දෙකක කාලය තුල ඔහු තාරකා ශාස්ත්‍රය, පුරාතන භෞතිකවිද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ පාරභෞතිකවිද්‍යා යනාදී විෂයයන් ගැන සාහිත්‍ය විවේචන සෞන්දර්යාත්මක ශෛලියේ (belles-lettres) රචනා රාශියක් ලිවීය. වයස 25 දී ඔහුට රැකියාවක් ලැබෙන්නේ ඔහුගේ අනගි අධ්‍යාපන දැනුම නිසා නොව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් හුරු වී තිබුණ ඔහුගේ ‘ඉංග්‍රීසි ඇක්සන්ට්’ එක නිසයි.

කර්කාල්ඩියෙන් සැතපුම් හතක් ඈතකින් වූ එඩින්බරා නගරයේ නීතීඥ සභාවේ විනිසුරුවෙක් වූ කෑම්ස් සාමිවරයා එහි දාර්ශනික සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. ස්කොට්ලන්ත බුද්ධි විචාරමය පිබිදීමට සහාය වූවෙකි. තරුණ පිරිස් ඉංග්‍රීසින්ගේ බස් හුරුව ඉගෙන ගත යුතු යැයි එවක එඩින්බරා හි ස්කොට් වැසියන් අතර මතයක් පැවතිණ. ඒ නිසා ඉංග්‍රීසි සාහිත්‍ය හා ගද්‍ය ගැන ඔක්ස්ෆර්ඩ් උගතාගේ ඉංග්‍රීසි ඇක්සන්ට් එකෙන් මහජන දේශන මාලාවක් පවත්වන්නට ස්මිත්ට ආරාධනා කරන්නේ කෑම්ස් සාමිවරයායි. 1748 හේමන්තයේ පැවත්වූ එම දේශන මාලාව ඉතා ඉක්මණින් ජනප්‍රිය විණ. එක දේශනයකට 100 ක් පමණ සහභාගී වූ බවත්, ගිනියක් (guinea) බැගින් සෑම අයෙක්ම ස්මිත්ට ගෙවන ලද බවත් සඳහන් වේ.

දේශන වලට සහභාගී වූවන්ට අවශ්‍ය වී තිබුනේ තම ජීවිත යහපත් කරගන්නට අවශ්‍ය දැනුමයි. ඉංග්‍රීසි සාහිත්‍යය විචාරය සේ ම වාග් කෞශල්‍ය වර්ධනය කරගන්නා ආකාරය පැහැදිලි කළ එම දේශන ඇසුරින් හදාගත් සටහන් පසුකාලයක දී ස්මිත් ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ ඉගැන්වූ පාඨමාලාවකට යොදාගන්නා ලද බව කියැවේ.

එඩින්බරා හි ෆවුලිස් ප්‍රකාශන ආයතනයේ පුවත්පතක කතුවරයා ලෙස ද මේ කාලයේ දී ස්මිත් සේවය කර ඇත. ජැකෝබියන් අදහස් වලින් යුතු නිසා යැයි කියා ප්‍රංශයට පිටමං කරන ලද ස්කොට් ජාතික කිවියෙකුගේ කවි එකතුවක් සකස් කරන්නට ඔහුට බාර වී තිබුණි. කිවියාගේ දේශපාලනය හරස් නොවී ඒ ගද්‍යයන්ට නිසි කලාත්මක රසය ලැබෙන සේ ස්මිත් එකතුව ඉදිරිපත් කළ බව කියැවේ. ගද්‍ය එකතුව ප්‍රකාශනය වී වසර දෙකක් යද්දී සමාව ලැබී ආපසු ස්කොට්ලන්තයට ආ කිවියා ස්මිත් සමඟ මිත්‍රත්වයක් ද ගොඩනඟා ගත්තේය.

නීතීඥයන්ගෙන් පිරුණු එවක එඩින්බරා සමාජය සාහිත්‍ය හා සංස්කෘතික දැනුම වර්ධනයට පමණක් නොව දාර්ශනික අදහස් සොයා යෑමේ ද නියැළුනහ. ඔවුන් ඒකීයපුද්ගල නිදහස් චින්තනය ගැන වැඩි උනන්දුවක් දැක්වූහ. ඒ බුද්ධිමත් සංවාද තුලින් ඔවුනට අවශ්‍ය වූයේ නීති පද්ධතිය වැඩි දියුණු කරගැනීමටයි. සංවේදී හැඟීම් නිසා එළඹෙන වැරදි තීන්දු වලින් වැළකෙන්නේ කෙසේදැයි විමර්ශනයෙන් පසුකාලයක දී කෑම්ස් සාමිවරයා පොතක් ද ලියන ලදි.

නීතියේ දර්ශනය පිළිබඳ දේශන පවත්වන්නට එඩින්බරා හි නීතිඥයන් ස්මිත්ට ආරාධනා කළහ. රෝම අධිරාජ්‍යයේ පටන් වැඩවසම් ක්‍රමය දක්වා පැවති දේපල අයිතිය හා වෙළඳාම ගැන මහජන දේශන පවත්වද්දී යුරෝපයේ නගර අතර වෙළඳාම නිසා නිදහස ක්‍රමයෙන් වැඩි වර්ධනය වූ ආකාරය ස්මිත්ට වැටහිණ. ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය නමින් ඔහු ලියූ පළමු පොතේ එම එඩින්බරා නීතීඥයන් මේ දේශන වලින් පසුව ඕනෑම රටක භාවිතයට ගත හැකි වූ ස්වභාවික නීතිමීමංසාවක් නිර්මාණයට සමත් වූ ආකාරය ස්මිත් පැහැදිලි කරයි.

ස්මිත්ගේ එඩින්බරා දේශන 1748 සිට 1751 දක්වා පැවත්විණ. එහිදී මෙම සමාජ වල දී මිතුරන් හමුවෙන්නට ඔහු බෙහෙවින් පුරුදු වූ බවත්, ආපසු ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයට ගිය පසුව ද ඔහු නිතර සිය යහළුවන් දැකගන්නට එඩින්බරා සමාජ වෙත ගිය බවත් කියැවේ.

ජාතීන්ගේ ධනය පොතේ ඇති අදහස්වල කටු සටහන් මේ එඩින්බරා කාලයේ පටන් ස්මිත් ලියාගෙන යන බැව් දකින්නට පුළුවනි. 1755 දී එඩින්බරා සමාජයක් හමුවේ පැවැත්වූ දේශනයක දී ඔහු මෙම පහත කොටස අඩංගු කරන ලද බව ඩූගාල්ඩ් ස්ටුවර්ට් සිය සටහන් වලින් පෙන්වයි.

ඉතා පහළ ම්ලේච්ඡ මට්ටමක සිට ඉතා ඉහළින්ම වූ පොහොසත් මට්ටමට යෑම සඳහා දේශයකට අවශ්‍ය වනුයේ සාමය, පහසු බදු, දරාගත හැකි තරමට පමණක් වූ යුක්ති සහගත පරිපාලනයක් හැරෙන්නට වෙනත් කිසිවක් නොවේ. ඉතිරි සියල්ල ස්වභාවික මාර්ගයන් වලින් පෑදේ. මේ ස්වභාවික මාර්ගයන්ට බාධා ගෙන ඒම, නැතහොත් වෙනත් මාර්ගයකට බලාත්කාරයෙන් ඇදගෙන යෑම, සමාජයේ ප්‍රගතිය යම් තැනක දී ඇණ හිටුවීම, යනාදිය අස්වාභාවික වූ ද, පීඩක වූ ද, ආඥාදායක වූ ද සියළු ආණ්ඩු තුලින් දැකිය හැකියි.

ජාතීන්ගේ ධනය පොත හදාරන්නට යන්නා ඊට පෙර ඇඩම් ස්මිත් ලියූ ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය කියැවිය යුතුයි. නැත්නම් කාල් මාක්ස් සිය කපිතාල් හි ඇඩම් ස්මිත්ව උපුටා දැක්වීමේ දී කළ වරද යළි සිද්ධ වෙනු ඇත.

“ගොඩගහන්න, ගොඩගහන්න! ඒ තමයි මෝසස් සහ ශාස්තෘවරයන්! “තැන්පතු ගොඩ වැඩි කරන්නේ කර්මාන්ත වලින් සපයන අමුද්‍රව්‍ය වලිනි.” (ඇඩ්ම් ස්මිත්) ඒ නිසා ඔබ ඉතිරි කළ යුතුමයි, ඉතිරි කළ යුතුමයි, ප්‍රාග්ධනයේ අතිරික්ත නිෂ්පාදනයෙන් හෝ අතිරික්ත අගයෙන් හැකි විශාලතම වූ සාමානුපාතිකය ඔබ නැවත ප්‍රාග්ධනයට සංවර්තනය කළ යුතුමයි!ගොඩගැසීම ගොඩගැසීම සඳහා පමණක්ම, නිෂ්පාදනය නිෂ්පාදනය සඳහා පමණක්ම; සම්භව්‍ය දේශපාලන අර්ථ ශාස්ත්‍රඥයන් බුර්ජුවාසි සමයේ ඵෛතිහාසික මෙහෙවර පැහැදිලි කළේ මේ සමීකරණයෙනි. ධනය ප්‍රසූත කිරීමේ දී ඇති විලිරුදාව ගැන ඔවුන් රැවටී නොසිටියහ. ඒත් ඵෛතිහාසික අවශ්‍යතාවය ඉදිරියේ මේ වැලපීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද?” ජයතිලක ද සිල්වා වෙළුම් 3 කින් පරිවර්තන කළ කාල් මාක්ස් ප්‍රාග්ධනය පොතේ මෙම වාක්‍යයන් කෙසේ පරිවර්තනය වී ඇත්දැයි නොදනිමි.

ඉතින්, ජාතීන්ගේ ධනය ලියන්නට පෙර ඇඩම් ස්මිත් ලියූ ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය හි කාර්ය බහුල ලෝකයේ අපි වෙහෙසෙන්නේ කුමන පරමාර්ථයකටදැයි ස්මිත් විමසා ඇති ආකාරය මෙසේය.

ස්වභාවික අවශ්‍යතා සපයා ගන්නට ද? ඒත් අඩුම පඩියක් ලබන ශ්‍රමිකයාගේ පඩියෙන් එය කරගත හැකියි. අඩුම පඩියකින් ද ආහාර හා වස්ත්‍ර ඔහුට ලැබෙනවා කියන්න පුළුවන්, වාසයට නිවහනක්, සහ පවුලක්. ඔහුගේ ආර්ථිකය දැඩි විමර්ශනයට ලක් කළහොත්, අපිට පෙනී යන්නේ ඒ පහසුකම් සඳහා ඔහු ඔහුගේ වේතනයෙන් විශාලතම කොටස වැය කරන හැටියි. එය උවමනාවට වැඩියෙන් කරනවා කියල කෙනෙක් සලකන්නට පුළුවනි. අනෙක සමහර විශේෂ අවස්ථාවල දී ඔහු කැපී පෙනෙන්නට හෝ පුහු ආටෝපයටත් ඒ පඩියෙන් යම් වැයක් කරනව. ඉතින් ඇයි අපිට ඒ තත්වය ගැන අප්‍රසාදයක් දැනෙන්නේ. ඉහළ සමාජ මට්ටමක් වෙනුවෙන් අධ්‍යාපනයක් ලබා ඇති අය මෙම තත්වය මරණයටත් වඩා නරක තත්වයක් හැටියට හිතන්නේ මන්ද? ශ්‍රමය වෙහෙසන්නේ නැතිව හෝ එවැනිම දුප්පත් වහළක් යට ජීවිතය ගෙවීම, එවැනිම සරල වස්ත්‍ර වලින් යුතු වීම, ඔහු වැනි සරල ජීවිතයක් ගෙවීම නරක යැයි හිතන්නේ ඇයි? ඔවුන්ගේ බඩවල් ඔහුට වඩා වැඩියෙන් හොඳ බඩවල් කියා ඔවුන් සිතනවා ද? නැත්නම් පැලක නැතිව මාලිගාවක නිදා ගනිද්දී ඔවුන්ට වඩා හොඳින් නින්ද යාවි කියා ඔවුන් සිතනවා ද?

ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය හි ස්මිත් පෙන්වා දෙන්නේ මේ කාර්ය බහුල උණුසුම් ආර්ථික ක්‍රියාකාරීත්වය ඇති වී තිබෙන්නේ සරල හේතුවක් නිසා බවයි. මිනිස් සත්වයාට අනුන්ගේ එකඟතාවය ලබාගන්නට ආශාවක් පිහිටා ඇති නිසයි. මිනිසා සිය ධනවත්කම පිටතට පෙන්වමින් සිය දරීද්‍රතාව සඟවා ගන්නට වෑයම් කරයි. සිංහල ප්‍රබන්ධයන් හි ආහාර නැති විට පවා කරපිංච හා ළුණු තෙල් දාමින් උයනවා යැයි හඟවන රූපාලංකාරයන් අපිට කියවන්නට ලැබෙන්නේ ඒ නිසයි. ස්මිත් මේ මිනිස් ලක්ෂණය 18 වැනි සියවසේ දී නීරික්ෂණය කළේය. පහසුව නොවේ, සතුට නොවේ, මේ අනිකාගේ සහකම්පනය ලබාගැනීම සඳහා කරන පුහු ආටෝපය තමයි අපිව ශ්‍රමය වැඩියෙන් වෙහෙසන්නට යොමු කරවන්නේ යැයි ස්මිත් පෙන්වා දුන්නේ ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය පොතෙනි.

පොතකින් කොටසක් කියවා හෝ අනුන් ඒ ගැන ලියූවක් කියවා විවේචනයේ යෙදනවා යැයි ඒත් වර්තමාන වාමාංශිකයන් ද දොස් පවරන්නේ අපිටයි!!!!

ඇඩම් ස්මිත් තවත් හොඳින් හඳුනාගන්නට නම් ඔහු විෂයයන් රාශියක් පිළිබඳව පැවැත්වූ දේශන සටහන් ද කියැවිය යුතුයි. රස්සාවක් නැතිව සිටි වසර දෙකේ දී ඔහු ලියූ රචනා කියැවිය යුතුයි. එසේම එඩින්බරා හි පැවැත්වූ මහජන දේශන වලින් මහජන ප්‍රතිචාර ලැබුවාට පසුව ඔහු ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය ශෛලිය, වාග් කෞශල්‍යය සහ ආචාර ධර්ම ගැන දුන් දේශන ගැනත් සොයා බැලිය යුතුයි. ඒවා ජනරජවාදය, වහල්ක්‍රමය, විවාහය, සහ යුක්තිය යනාදී මාතෘකා යටතේ වූහ. ජේ. එම්. ලොතියන් අතින් සංස්කරණය වී 1963 දී ප්‍රකාශනයක් නිකුත් වී ඇත.

ඇඩම් ස්මිත් හිටිහැටියේ වාඩි වී ජාතීන්ගේ ධනය පොත ලියුවේ නැත. එම ලෝක ප්‍රසාදයට පත් වූ පොත වසර ගණනාවක් තිස්සේ ඔහු ගෙන ගිය නිරීක්ෂණ, අත්දැකීම් හා විමර්ශනයන් හි ප්‍රතිඵලයයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: