අරුණි ශපීරෝ‍ වෙතින්

ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය -ඇඩම් ස්මිත්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 23, 2017

ඉතාමත් අපූරු ලෙස සංක්ෂිප්ත කළ ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය

ස්වභාවික සභානුභූතිය සද්ගුණයේ පදනම ලෙස

මිනිස් සත්වයන් සියල්ලන්ටම අනෙකා ගැන සංවේදී දැනුමක් ස්වභාවයෙන්ම පිහිටා ඇත. අයෙක් වේදනාවෙන් සිටිය දී අප අතර ඉන්න නරකම පුද්ගලයාටත් යම් දුකක් හිතට දැනේ. වෙනකෙකුට පහරක් වැදෙන්න යද්දී අපිත් ගැස්සෙමු. කඹයක් මත හිටගෙන දස්කම් පෙන්වන අයෙක් දකිද්දී අපිත් නොසන්සුන්ව ඇඹරෙමු. එසේම අපි අනුන්ගේ සතුට ද බෙදාගන්නෙමු. මෙයට අපි අනුකම්පාව යැයි කියමු.73

මිනිසා කොතරම් ආත්මාර්ථකාමී දැයි කියැවෙතත්, ඔහුගේ ස්වභාවයේ සමහර මූලධර්ම වලින් සාක්ෂි කියා පාන්නේ අනුන්ගේ වාසනාව ගැන ඔහුට උනන්දුවක් ඇති බවයි. එය දකින සතුට හැරෙන්නට, එයින් කිසිවක් ආපසු ලැබෙන්නේ නැති වුවත්, අනුන්ගේ සතුට පෑදීම ඔහුට අවශ්‍ය වූවකි.74

ඒත් මෙහි සීමාවන් ඇත. අපි අනිත් අය හා එකතුව දුක සහ සතුට බෙදා ගන්නේ ඔවුන් කරන ක්‍රියාවන් ඔවුන්ගේ ඒ හැඟීම් හටගත් සිද්ධියට අදාල පරිදි සුදුසු යැයි අපි සිතනවා නම් පමණි. අයෙක් දුකින් හඬා වැලපෙද්දී, අපට ඒ පුද්ගලයා එසේ වැලපෙන්නේ මන්දැයි දැන ගැනීමට උවමනාවක් ඇත. එනම්, අපේ අනුකම්පාව ඇති කරන ලද්දේ ඔවුන්ගේ දුක නම් ආවේගය නොවේ. අපිව උනන්දු කරවන්නේ ඔවුන්ගේ ආවේගය නොව, ඒ දුක ඇති වූයේ කුමන තත්වයක් නිසාදැයි කියා දැනගැනීමටයි. එසේම, දිමෙන්තියාව නිසා සමහරු ඉතා සතුටින් සිටිනු ඇත. මිය ගිය අයෙක්ට සංවේදී තත්වයක් නැති වෙන්නට පුළුවනි. නමුත් ඔවුන් ගැනත් අපි සංවේදී වෙමු. මන්ද, එවැනි අවසානාවන්ත තත්වයකට අපිත් පත්වෙන ආකාරය අපිට හිතාගත හැකි නිසයි. ඒත් යම් අයෙක් අනවශ්‍ය තරම් දුකකින් වැලපෙනවා යැයි දකිද්දී, අනවශ්‍ය කෝපයකින් හෝ අනවශ්‍ය ඇල්මකින් බැඳී ඇතැයි දකිද්දී, අපි එය ඒ පුද්ගලයාට හා අනිත් අයට ද හානිකර වූ තත්වයක් යැයි සලකා ඒ අය ගැන අනුකම්පාවක් ඇති කරගන්නේ නැත.

අනෙක් අතට, අපේ මත සහ ආවේග එයාකාරයෙන්ම බෙදාගන්නා අය හමුවෙද්දී අව්‍යාජ සතුටකින් අපේ සිත් පිරී යයි.75 අපේ හිත්වල තියෙන දෑ අනුන්ට කියද්දී ඔවුන් වෙතින් ලැබෙන සභානුභූතියෙන් අපේ සිත් සැනසේ. අප සමඟ එකඟ වෙන අයගේ අදහස් යුක්ති සහගත, සුදුසු හා ඔබින ඒවා හැටියට අපි සලකමු. නමුත් අනිත් අයගේ ආවේගයන් බෙදා නොගන්නා අවස්ථාවල දී, අපි ඔවුන්ගේ ක්‍රියාවන්ට හා මත වලට අප්‍රසාදය දක්වමු. ඔවුන් වැරදි කරනවා යැයි සිතමු. එය ඔවුන්ගේ මෙන්ම අපේ ද සිත් කනස්සල්ලට පත් කරයි.

එය එසේ වුවත්, ප්‍රේක්ෂකයෙක් හැටියට පමණක්, අපිට තවත් අයෙකුගේ ආවේගයන් වල රෞද්‍ර භාවය මුළුමනින්ම අත්දකින්නට නොහැකියි. අකටයුත්තකට ලක්වූ අයෙකුගේ දැඩි කෝපය, ළඟක දී සමීපවන්තයෙක් මිය ගිය අයෙකුට දැනෙන අතිශය ශෝකය අපිට එයාකාරයෙන් දැනගන්නට හැකියාවක් නැත. අපට දැනෙන අනුකම්පිත හැඟීම්, සත්‍ය වූවත්, එවැන්නා තුල වූ ආවේගයට වඩා බෙහෙවින් දුර්වල වූවකි.

අපි අනෙක් අයගේ ආවේග හඳුනා ගනිද්දී මේ අනික් අය ද අපේ ආවේග හඳුනා ගන්නා ප්‍රේක්ෂකයන් වෙති. ඔවුන්ට ලෙසින්ම තදින් අපිට දැනෙන්නේ නැතිබව ඔවුන් ද දකිති. මේ අසංගතය ඔවුන්ගේ සිත් කනස්සල්ලට පත් කරයි. ඒ නිසා ඔවුන් වැටී සිටින අභාග්‍ය තත්වය අපි දකින ආකාරයෙන් හැඩගස්වා ගන්නට ඔවුන්ගේ ආවේග මෙල්ල කරගන්නට ඔවුන් කටයුතු කරති. ටිකෙන් ටික අපි අනුන්ට පෙනෙන්නට සුදුසු වූ යැයි සිතෙන ආවේග හා ක්‍රියා මොනවාදැයි හඳුනා ගන්නෙමු. අපි ඒවා කොතරම් දුරකට පාලනය කරගන්නවා ද කියතොත්, පැත්තක් නොගන්නා ප්‍රේක්ෂකයෙක් අපේ මනෝභාවයන් සම්පූර්ණයෙන් බෙදාගන්නට තරම් ඒවා සුදුසු යැයි සිතන තරමට අපි එන්නෙමු. අපක්ෂපාතී ප්‍රේක්ෂකයා අනුමත කරන බව අපි දන්නා බැවින්, එයින් සතුටක් ලබන අපි, අනුන් ගැන සැබෑ සැලකිලිමත් බවක් පෙන්වන්නට තවත් දුරට පෙළඹෙමු.

ඉතින් ඒ නිසා, අනුන්ට වැඩියෙන් ද අප වෙනුවෙන් ටිකක් ද සංවේදී වීමේ දී, අපි අපේ ආත්මාර්ථකාමය මෙල්ල කරගැනීමේ දී, අපේ ගුණවත් හොඳහිතට ඉඩදීමේ දී, පරිපූර්ණ මිනිස් ස්වභාවය නිමැවේ. ඉතින් එයින් පමණක් මිනිස් වර්ගයා අතර පූර්ණ ප්‍රසන්න භාවය සහ ශිෂ්ටත්වය පිහිටන්නා වූ මනෝභාවයන්හි සුසංවාදයක් සහ ලාලසයක් ඇති කළ හැකියි.76

මෙයාකාරයෙන් ස්මිත් විසින් මිනිස් සද්ගුණයේ ප්‍රභවය පැහැදිලි කිරීම එවක දී සහමුලින් නව්‍ය උත්සාහයක් විය. සීනෝ වැනි පුරාතනයන් සිට ඩේවිඩ් හියුම් වැනි නූතනයන් දක්වා බොහෝ දාර්ශනිකයන් උත්සාහ කරන ලද්දේ ආචාර ධර්මීය ක්‍රියාවක් පුද්ගලයෙකුට නැත්නම් සමාජයට ප්‍රයෝජනවත් දෙයක් හැටියට පෙන්වන්නටයි. ආචාර ධර්මීය ක්‍රියාවක් සැබැවින්ම ප්‍රයෝජනවත් දෙයක් හැටියට දක්වන ස්මිත් ඒත් එය උවමනාවෙන් හිතාමතා කරන්නක් නොවන බව කියයි. ඒ වෙනුවට ඇත්තේ මිනිස් සත්වයාට එකිනෙකා සමඟ ස්වභාවික වූ සභානුභූතියකි. ඉතින්, අනිත් අය ඉවසන්නේ කොතරම්දැයි හා ඉවසා නොසිටින්නේ කොතරම්දැයි කියා අපි ඉතා ඉක්මණින්ම ඉගෙන ගන්නෙමු.

වේදනාව, කුසගින්න, නැත්නම් ආදරය වැනි ලාලසය ඒකීයපුද්ගලයාට ඉතා සුවිශේෂී වෙති. එනමුත් අනෙකා ගැන හැඟීම වැනි සමාජ ලාලසය ද ඇත. ද්වේෂය වැනි අනාශ්‍රේය වූ ලාලසය ද ඇත. සභානුභූතිය ප්‍රධාන භූමිකාවක් රඟන්නේ මේවායේ දී ය.77

කෙනෙක්ගේ දුකට වඩා සතුට හමුවේ සභානුභූතිය දක්වන්නට අපි වැඩියෙන් කැමැත්තෙමු. දුප්පත් අය තම දරීද්‍රතාවය සඟවා ගන්නේ සහ ධනවත් අය සිය ධනවස්තු හැමට පෙන්වන්නේ මේ නිසයි. මුදල් වලින් ඇත්තටම සතුට මිල දී ගන්නේ නැත. එහෙත් එය එසේ කරනවා යැයි අපි සිතමු. ඉතින් ධනවතුන්ට ඔවුන්ගේ මුදල් වලින් ඇත්තෙන්ම ලැබෙන අරුමෝසම් බඩු හා සුළු පහසුකම් වලට වඩා අපේ සම්පූර්ණ අවධානය, සභානුභූතිය සහ බුහුමන් වැඩි වටිනාකමෙන් යුතුයි.

73 ස්මිත් sympathy යනුවෙන් එය හැඳින්වීය. ඒ නිසා අපිත් එයම භාවිතා කරමු. ඒත් සහකම්පනය/සභානුභූතිය යන අර්ථ දැක්වෙන empathy යන්න එය අද වඩා නිවැරදිව විස්තර කරන වචනයයි.

74 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, I කොටස, I ඛන්ඩය, I පරිච්ඡේදය, 9 පිටුව, I වගන්තිය.

75 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, I කොටස, I ඛන්ඩය, II පරිච්ඡේදය

76 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, I කොටස, I ඛන්ඩය, V පරිච්ඡේදය, 25 පිටුව, 5 වගන්තිය.

77 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, I කොටස, II ඛන්ඩය

ඇඩම් ස්මිත් ලියූ ඉංග්‍රීසියෙන් නොව නූතන ඉංග්‍රීසි හුරුවට හැදූ සංක්ෂිප්ත පොතක් ඇඩම් ස්මිත් ඉන්ස්ටිටියුට් විසින් ප්‍රකාශනය කර ඇත. ඔවුන් විවෘත පරිහරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරති. එහි කොපිරයිට් අයිතියක් තිබුණ ද, භාවිතා කරන අයට බාගත කරගෙන, ‘සේව්’ කරගෙන, කැමති ආකාරයකින් නැවත බෙදාහැරීමට පුළුවන් පහත කොන්දේසි යටතේය: (1) ඇඩම් ස්මිත් ඉන්ස්ටිටියුට් සඳහන් කළ යුතුයි; (2) මෙම නිවේදනය සමඟ එහි වෙබ් ලිපිනය www.adamsmith.org සඳහන් කළ යුතුයි; (3) අන්තර්ගතය කිසිදු වෙනස් කිරීම් වලින් තොරව සම්පූර්ණයෙන් යොදාගත යුතුයි [විවේචනය හෝ සමාලෝචනය සඳහා කොටස් භාවිතය පුළුවනි]; (4) මෙය යළි-විකිණිය නොහැක; (5) මේ හා කරන ඕනෑම අන්තර්ජාල භාවිතයක දී එහි සබැඳිය info@adamsmith.org වෙත යැවිය යුතුයි.


මේ සටහන් පෙළේ සබැඳි අමුණා ඇති ස්මිත් විසින්ම ලියූ සහ ඔහු ගැන ලියැවුණ කෘති සියල්ල මා කියැවීමි. මෙම සංක්ෂිප්තය පරිවර්තනය කරන්නේ එහි මූලාශ්‍ර කියවන්නට මට මෙන් දීර්ඝ කාලයක් මිඩංගු කරන්නට නොහැකි අය පමණක් වෙනුවෙනි.

සහකම්පනය/සභානුභූතිය යන අර්ථ දැක්වෙන empathy යන වචනය ඉංග්‍රීසි භාෂාවට මුලින්ම එකතු වී ඇත්තේ 1909 දී.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )