අරුණි ශපීරෝ‍ වෙතින්

සද්ගුණය සහ යහපත් සමාජය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 25, 2017

අව්‍යාජ සද්ගුණවත් පුද්ගලයා තුල විචක්ෂණය, යුක්තිය හා පරෝපකාරීත්වය පිළිබඳ බුද්ධිය ඇත. පමණට වඩා වැඩියෙන් කරන ක්‍රියා කටයුතු මැඬගන්නට ඒකීයපුද්ගලයාට විචක්ෂණ බුද්ධිය උපකාරී වීමෙන් සමාජයට යහපත් වේ.91 යුක්තියේ රීති අනුන්ට හානි පැමිණවීමෙන් අපිව වළක්වනු ලබයි. පරෝපකාරීත්වය අනුන්ගේ සතුට ප්‍රවර්ධනය කරන නිසා එය ද සමාජයට හිතදායකයි.

අපේ උග්‍ර ලාලසය හමුවේ ස්ව-පාලනයක් තිබීම ද සද්ගුණවත් ය. ඒත් එය හිතක් පපුවක් නැති අවියක් ගත් අන්තවාදියෙකු බවට හැරවිය හැකි දෙපැත්තකින් යුතු වූවක් ද විය හැකියි. සාමාන්‍යයෙන් අපි වැඩියෙන් අවධානයක් දෙන්නේ අපිටයි. ඊ ළඟ අපේ පවුල ගැන. අනතුරුව පමණක් අපි අනිත් අය ගැන අවධානය යොමු කරමු.92 ඒත් මිනිසත්බව යනු ඒකීයපුද්ගලයාට වඩා වැඩියෙන් වැදගත් නිසා, සමහර අවස්ථාවල දී ආත්ම පරිත්‍යාග අවශ්‍ය වේ.93 ස්වභාව ධර්මයෙන් සමහර පුද්ගලයන්ට එවැනි පරිත්‍යාග කරන්නට ස්ව-පාලනයක් ලබා දී ඇත. එය විනාශකාරී නොව යහපත් අරමුණු සඳහා යොදා ගනිද්දී පමණක් එය අපි අගයමු.

අපි අපේ රටට ආදරෙයි කියද්දී අපි අදහස් කරන්නේ එහි ආයතන වලට ඇති අපේ ගෞරවයයි. එය ජනතාවට දක්වන අනුකම්පාව හා සමාන නොවූවකි. අර්බූද කාලවල දී, රටක ආයතන එහි පුරවැසියන්ගේ සතුට හා ගැටෙන්නට හැකියි.94 එවිට පවතින ආයතන පන්නා දමා ඒ වෙනුවට ‘යථාර්ථවාදී’ විකල්ප ආයතන ගෙනෙන්නට දේශපාලනඥයන් යෝජනා කරති. ඒත් අපි මතක තබාගත යුත්තේ, මේ ප්‍රතිසංස්කරණවාදීන්ට පැහැදිලිව නොපෙනෙන සැබෑ යහපතක් ඒ පැරණි ආයතන වලින් ලබාදෙනවා විය හැකි බවයි. එසේම අපි මතක තබාගත යුත්තේ, දේශපාලනඥයන්ගේ විසල් සැලසුම් වලට ඉතා ලේසියෙන් නතුවෙන සියළු ඒකීයපුද්ගලයන්ට ඔවුන්ගේම වූ ඒකීය අභිමතාර්ථ ද ඇති බවයි. අනාගතය සැලසුම් කරන්නන්ට සහ අන්තගාමීන්ට වැඩියෙන්, සුසංවාදී සහ ක්‍රියාකරන සමාජයක් සඳහා වැඩියෙන් සහතික වූ මාර්ගෝපදේශයක් සපයන්නේ නිදහස සහ මිනිස් ස්වභාවය යන දෙකයි.

සැලසුම් ක්‍රමයේ මිනිසා … චෙස් ලෑල්ලක විවිධ ඉත්තන්ව අතින් එහා මෙහා යවනවා සේ පහසුවෙන්, ශ්‍රේෂ්ඨ සමාජයක විවිධ සාමාජිකයන්ව පිළිවෙලකට හැඩගසන්නට හැකි යැයි පරිකල්පනය කරන බවක් පෙනේ. මිනිස් සමාජය යන ශ්‍රේෂ්ඨ චෙස් ලෑල්ලේ සෑම ඒකීය ඉත්තෙක්ටම ඔහුගේම කියා එහා මෙහා යන සිද්ධාන්තයක් ඇතැයි කියාත්, එය නීතිකාරකය තුලින් ඔහු වෙත බලපෑම් කරන්නට සමත් වූවට වඩා බෙහෙවින්ම වෙනස් වූවක් යැයි ද සැලසුම් ක්‍රමයේ මිනිසා සලකා බලන්නේ නැත.95

මෙහි දී ආචාර ධර්ම ගැන ස්මිත් කරන විශ්ලේෂණය ඔහුගේ ආර්ථික විශ්ලේෂණයට බෙහෙවින් සමාන වූවකි. ආචාර ධර්ම හා වෙළඳපොල යන දෙකම ක්‍රියාකාරී පද්ධති දෙකකි. ඒවා සහජ ආශයෙන් යුතු සිද්ධාන්ත වලින් ක්‍රියා කරති. ඒවාට එසේ ක්‍රියාකරන්නට ඉඩ හරිද්දී, මිනිස් සුබසිද්ධිය ප්‍රවර්ධනයට ඒවා හොඳින් වැඩ කරයි. අපිට වෙනත්, විනාශකාරී සහජ ආශයන් තිබුණා නම්, අපි ඒ ගැන කතා කරන්නට අද මෙතැන සිටින්නේ නැත. ඒ නිසා අපි මේ පද්ධති අපිට හරි යැයි හිතෙන විදියකට නැවත හැඩ ගැසීම ගැන විපරම්කාරී විය යුතුයි. නැත්නම් සම්පූර්ණ ක්‍රියාවලියම අපි අස්ථාවර කර දමනු ඇත.

91 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, VI කොටස, I ඛන්ඩය, I පරිච්ඡේදය.
92 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, VI කොටස, I ඛන්ඩය, I පරිච්ඡේදය.
93 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, VI කොටස, III ඛන්ඩය, 235 පිටුව, 3 වගන්තිය.
94 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, VI කොටස, II පරිච්ඡේදය, 229 පිටුව, 4 වගන්තිය.
95 ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය, VI කොටස, II ඛන්ඩය, 233-4 පිටුව, 17 වගන්තිය.

—-මෙය කළින් සඳහන් කළ ‘ඉතාමත් අපූරු ලෙස සංක්ෂිප්ත කළ ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය’ පරිවර්තනයේ අවසාන කොටසයි.—

අපක්ෂපාතී ප්‍රේක්ෂකයා නම් සංකල්පය පොදු මහජන මතය හා එකඟවීමක් නොවේ. අනික් අයගේ ප්‍රසාදය සොයන බව සැබෑ වුවත්, මිනිසා සොයන්නේ අනෙක් අයගෙන් ලැබෙන ප්‍රශංසාව පමණක් නොවන බව ස්මිත් පහදයි. මිනිසා ‘ප්‍රශංසාවට පාත්‍ර විය යුත්තෙක්’ වීමට ද සොයන්නෙකි. එනම්, කවුරුත් හෝ ප්‍රශංසා නොකළ ද එයට පාත්‍ර විය යුතු යමක් තමන් කරන ලදැයි දැනුමක් හා ඒ ගැන සතුටක් ස්වභාවයෙන්ම හටගන්නා මිනිස් ස්වභාවයෙන් යුත්තෙකි. එසේම ඔහු අනුන්ගේ අවලාදයට ලක්වන පුද්ගලයා වෙන්නටත් අකමැති වෙනවා පමණක් නොවේ. කවුරු කිසිවෙක් නොදත්ත ද, අවලාදයට පාත්‍ර විය යුතු තත්වයට පත්වීමට ද ඔහු අකමැති වූවෙකි.

කවුරු හරි අවංකවම අපිට ප්‍රශංසා කරද්දී, ඒ ප්‍රශංසාවට සුදුස්සෙක් නොවේ යැයි තම හිත කියනවා නම්, ඒ ගැන අපිට දැනෙන්නේ ඉතා සුළු සතුටක් බව ස්මිත් පෙන්වයි. තමන් කළ කටයුත්තක් යැයි සිතා ඊට අත්පොළසන් දෙන පුද්ගලයා අත්පොළසන් දුන්නේ තමන්ට නොව වෙනත් පුද්ගලයෙකුට බව ඔහුගේ හිත දන්නා බැව් ස්මිත් මතක් කර දෙයි.

මේ අනගිත්වය අගයන මිනිස් ස්වභාවයේ ප්‍රභවය, අනෙකුත් අය අනගිත්වය කරා යද්දී අපි එය අගයන නිසා හටගත්තක් බව ස්මිත් විස්තර කරයි. ඉතින් අපිව වෙන කෙනෙක් අගයද්දී, ඔවුන්ගේ අගැයීමට පාත්‍ර වූ අය වීමට තමා සුදුස්සෙක් යැයි තමාට විශ්වාස කළ හැකි විය යුතුයි. ඒ ලැබෙන ප්‍රශංසාවෙන් තෘප්තියක් ලබාගන්නට නම් අපේම වූ චරිතය සහ හැදියාව ගැන අපි ‘අපක්ෂපාතී ප්‍රේක්ෂකයෙක්’ විය යුතුමයි. තමන්ට තමන් ගැනම ගෞරවයක් ඇතිවෙන්නේ එවිට පමණක් යැයි ස්මිත් පෙන්වා දුන්නේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: