අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිසා අවනත වෙන්නේ සිය ආරක්ෂාවටයි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 26, 2017

1751 දී ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ තර්ක ශාස්ත්‍රය සහ ව්‍යක්ත කථන ශාස්ත්‍රය ඉගැන්වූ ආචාර්ය ජෝන් ලවුඩන් ගේ අභාවයෙන් ඇඩම් ස්මිත්ට එම ගුරු පත්වීම ලැබුණි. ග්ලාස්ගෝ හි එම විෂයයන් ඉගැන්වූ ප්‍රථම ආචාර්යවරයා ලවුඩන් විය. 1727 සිට 1750 දී මිය යන තෙක්ම එම තනතුර ලවුඩන් හොබවන ලදි. එතෙක් පැවති සාම්ප්‍රදායික නිගාමී තර්කනයෙන් අයින්ව වැඩිපුර ව්‍යක්ත කථන ශාස්ත්‍රයට බර වූ දේශන පවත්වන්නට ස්මිත් පටන් ගති.

වසරක් ගෙවෙද්දී ග්ලාස්ගෝ හි ආචාර ධර්ම දර්ශනය ඉගැන්වූ තෝමස් ක්‍රෙයිගි මිය ගියේය. එම ආචාර්ය ධූරය ස්මිත්ට ලැබිණ. එය ක්‍රෙයිගිට කළින් ස්මිත්ගේ ගුරුවරයා වූ ෆ්‍රැන්සිස් හචෙසන් දැරූ තනතුරයි. ස්මිත් එම තනතුරේ වසර 13 ක් සේවය කළේය.

ග්ලාස්ගෝ හි උගන්වන්නට පටන් ගත් ඇඩම් ස්මිත් එවක සමාජයේ පැවති අවශ්‍යතාවය අනුව තම දැනුම බෙදාහැරියෙකි. හචෙසන්ගේ ගෝලයෙකු වූ ඔහු වෙනස් ප්‍රවේශයකින් ඉගැන්වීම පුදුමයක් නොවේ.

බොහෝ රටවල් සමඟ එවක දී වෙළඳ ගණුදෙනු කළ ස්කොට්ලන්ත වැසියන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතය සූක්ෂම කරගැනීමේ උවමනාව පැවතිණ. අදහස් නිරවුල්ව ඉදිරිපත් කිරීමටත්, බොඳ අදහස් වලින් හැකි තරම් ඈත්වීමටත් නිති වෙහෙසිය යුතු ආකාරය ස්මිත් සිය ග්ලාස්ගෝ සිසුන්ට ඉගැන්වීය.

ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය සහ ජාතීන්ගේ ධනය පොත්වල සඳහන් කරුණු හැරෙන්නට, මේ ග්ලාස්ගෝ දේශන සඳහා ස්මිත් ලියූ මුල් සටහන් කිසිවක් අද නැත. ඒ අදහස් අපට කියවන්නට ලැබෙන්නේ එවක ස්මිත්ගේ සිසුන් දෙදෙනෙක් ලියාගත් සටහන් පසුකාලයක දී සොයාගෙන ඒවාට ස්මිත්ගේ හිතවතුන් ළඟ තිබූ ලියුම් කියුම් ද එකතු කරමින් ජෝන් ලොතියන් ප්‍රකාශනය කළ පොතෙන් පමණි.

ආචාර ධර්ම දර්ශනය විශ්ව විද්‍යාල සිසුන් සඳහා ස්මිත් විසින් කොටස් හතරකින් ඉදිරිපත් කරනු ලැබීය. පළමු කොටස ස්වභාවික දේව ධර්ම ශාස්ත්‍රය විය. එහි දී පැවැත්ම පිළිබඳ සාක්ෂි, දෙවියන්ගේ ගුණ ලක්ෂණ පිළිබඳ මෙන්ම ආගම උත්පාදනය වන මිනිස් මනස පිළිබඳ සිද්ධාන්ත විමර්ශනය කෙරිණ. දෙවැනි කොටස විමසුවේ ආචාර ධර්මයන් ය. ඒ කොටස ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය පොතෙන් කියවන්නට ලැබේ. තෙවැනි කොටස යුක්තිය සහ ආචාර ධර්ම අතර සම්බන්ධය කුමන ආකාරයෙන් සිද්ධ වේදැයි කළ විශ්ලේෂණයයි.

මොන්ටෙස්ක්‍යු නීතියන්හි භාවාර්ථය (The Spirit of Laws) නමින් පොතක් ලියුවේ 1748 දී ය. ආචාර ධර්ම දර්ශනය උගන්වන තනතුරේ දී ස්මිත් එම අදහස් විමසා බැලීය. නීති මීමංසාවේ ක්‍රමවත් ප්‍රගතිය ගැනත්, නීතිය හා ආණ්ඩුව අතර සබඳතා කෙබඳු විය යුතුදැයි ගැනත් විමර්ශනය ස්මිත් ඒ දේශනවල දී ආරම්භ කළා යැයි සිසුන් ලියාගත් සටහන් වලින් දැනගන්නට ලැබේ.

නීතීඥ සමාජ සහ සාහිත්‍ය සංගම්වල දී ස්මිත්ගේ අදහස් ගැන සංවාද පටන් ගැනිණ. බොහෝ දුර බැහැරෙන් අනේක විධ සිසුන් විශාල සංඛ්‍යාවක් මුදල් ගෙවා ඉගෙන ගන්නට ග්ලාස්ගෝ වෙත ඇදී ආවේ විද්‍යාවේ අලුත් පැතිකඩක් දක්වන ස්මිත්ගේ කීර්තිය හැම අත පැතිර යාම නිසයි.

ඉතිහාසය සටහන් වෙන්නේ පාඨකයාව ආනන්දයේ ගිල්වන්නට පමණක් නොව යම් උපදේශයක් දීමටත් යැයි ස්මිත් සිය සිසුන්ට කීවේය. ඔහුට ඒ අදහස ලැබෙන්නේ ග්‍රීක තුසිඩයිඩිස් ගෙන්. තුසිඩයිඩිස් දක්වා බටහිර ඉතිහාසය වාර්තාගත කළවුන් එය හුදු රසාස්වාදය පිණිස ලියා තැබූ බවත් තුසිඩයිඩිස් ප්‍රථම වතාවට වෙනස් මගක් ගත්තා යැයි ස්මිත් දැක්වීය. පෙලපනීසියන් යුද්ධය ගැන ලියද්දී, එහි විවිධ අවස්ථා, යුද්ධයට පාදක වූ හේතු දක්වමින් තුසිඩයිසිස් ලියූ ආකාරය අගයන ස්මිත්, ඉතිහාසය එසේ සටහන් කරද්දී පමණක් එවැනි අවස්ථා වලට යළි මුහුණ දෙනවිට කුමන දේවල් යළි කළ යුතුදැයි සහ කුමන දේවල් ප්‍රතික්ෂේප කළ යුතුදැයි ඉගෙන ගත හැකියාව ලැබේ යැයි පැහැදිලි කළේය.

මේ ආචාර ධර්ම දර්ශන දේශන මාලාවේ දී ස්මිත් ඉතිහාසයේ සිදුවීම් ගැන, සමාජ විද්‍යාව, දේශපාලනය, අර්ථ ශාස්ත්‍රය සහ සෞන්දර්යය ගැන ද සිය නිරීක්ෂණ තුලින් අලුත් අදහස් රාශියක් ඉදිරිපත් කර ඇත. ඒවා රැගත්, මීට කළින් ඔබ සංක්ෂිප්තයක් හැටියට කියැවූ, ආචාර ධර්ම මනෝභාවයේ න්‍යාය පොත ප්‍රකාශනයෙන් පසු තවත් වසර 4 ක් පුරා එන්න එන්නම වැඩිවූ ජනප්‍රියත්වයෙන් ස්මිත් ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ දේශන පැවැත්වීය. එතැනින් ඔහුගේ අවධානය ආචාර ධර්ම වලින් හැරී නීති මීමංසාව සහ දේශපාලන ආර්ථිකයට යොමු විය.

ස්මිත් සිය නීති මීමංසා නිර්දේශය, යුක්තිය, දේශපාලන ප්‍රතිපත්ති*, රජයේ ආදායම හා යුද අවි යනුවෙන් කොටස් 4 කින් ඉදිරිපත් කළේය. යුක්තියේ පරමාර්ථය විය යුත්තේ මිනිසාව අනතුරු වලින් ගලවා ගැනීම යැයි ස්මිත් තර්ක කළේය. මිනිසා සිවිල් සමාජයට එකතු වෙන්නේ අධිකාරිය සහ ප්‍රයෝජනවත්කම යන මූලධර්ම දෙක නිසායි. මිනිසා අධිකාරියට නතුවීමෙන් සිය ආරක්ෂාව පතයි. ජෝන් ලොක් සහ තෝමස් හොබ්ස්ගේ සමාජ ගිවිසුම් දැක්ම බැහැරලන ස්මිත්, සාමාන්‍ය මිනිසෙක් එවැන්නක් ගැන කිසිදා අසා නැත්නම් එය මතියක් හැටියට හෝ බාරගත යුතු මන්දැයි අසමින්, මූලක සමාජ ගිවිසුමක් තිබිය නොහැකි යැයි කියයි.

නට්ටාමියෙකුගෙන් හෝ දවසේ බර අඳින ශ්‍රමිකයෙකුගෙන් අහලා බලන්න ඔහු සිවිල් මහේස්ත්‍රාත්වරයෙකුට අවනත වෙන්නේ ඇයි කියල. ඔහු ඔබට කියාවි ඔහු එසේ කරන්නේ අනිත් අය එසේ කරනවා දකින නිසයි කියල. එසේ නොකළොත් ඔහුට දඬුවම් ලැබෙන නිසා කියල. සමහර විට එහෙම නොකළොත් එය දෙවියන්ට පිටුපානව වෙන්නැති කියල හිතන නිසා කියල. ඒත් ඔහුගේ අවනතභාවයේ පදනම හැටියට ඔහු මූලක සමාජ ගිවිසුමක් ගැන කියනව ඔබට කවදාවත් ඇහෙන්නෙ නැහැ.”

ම්ලේච්ඡයන්, එඬේරුන්, ග්‍රෝතික කල්ලි සිට රදළයන් දක්වා ආණ්ඩුක්‍රම ආරම්භය ද, පරිනාමය වූ ආකාර ද විමසන ස්මිත්, මිනිසුන් ඉතිහාසයේ පටන් අපෞද්ගලික වෙළඳපොලක (impersonal market) ශ්‍රමය වෙහෙසන ලද බව සොයාගත්තේය.

*පොලිස් යැයි ලියමින් ස්මිත් හඳුන්වා දෙන ලද්දේ පාලන තන්ත්‍රය හෙවත් රාජ්‍ය ප්‍රතිපත්ති වූහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: