අරුණි ශපීරෝ‍ වෙතින්

ඇඩම් ස්මිත්ගේ යුරෝපා චාරිකාව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 27, 2017

1763 වසර අවසානයේ දී ස්මිත් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කරමින් සිටි ආරාධනාවක් චාල්ස් ටවුන්සෙන්ඩ් ගෙන් ලැබුණි. ටවුන්සෙන්ඩ්ගේ සුළු පුත්‍රයාව යුරෝපීය සංචාරයක රැගෙන යමින් පෞද්ගලිකව ඔහුට අධ්‍යාපනය සැපයීමටයි. එවැනි රස්සාක් සොයාගෙන පොත් ලියන්නට කාලය සොයාගැනීම ඔක්ස්ෆර්ඩ් හැරදමා එද්දී ස්මිත්ට තිබූ පැතුමකි. මේ තරුණයා බක්ලූ හි ඩ්‍යුක්වරයායි (Duke of Buccleuch). ඔහු සමඟ වසර 3 ක් පුරා සංචාරය කරමින් සාහිත්‍ය, කලා, දර්ශනය ඉගැන්වීම සඳහා වසරකට පවුම් 300 ක් සහ ගමන් වියදම් පිටරට සිටිය දී ද, සංචාරයෙන් පසුව ජීවිතය පවතින තාක් වසරකට පවුම් 300 ක් බැගින් විශ්‍රාම වැටුපක් ද ලැබෙන අනගි වේතනය සහ රස්සාව ස්මිත් බාරගත්තේ ඉතා කැමැත්තෙන්.

ඒත්, එය ලැබෙද්දී ස්මිත් ග්ලාස්ගෝ හි අධ්‍යයන වාරය මැද උගන්වමින් සිටියේය. 1763 නොවැම්බර් 8 වැනිදා පීඨ වාර්තාවක් පෙන්වනුයේ ස්මිත් ඔහුගේ සිසුන් සියල්ලන්ටම ඔවුන්ගේ ටියුෂන් මුදල් ආපහු බාරදෙන්නට ඉදිරිපත් වීම සහ ඔහු උගන්වමින් සිටි වාරයේ ඉතිරි කොටස වෙනුවෙන් විශ්ව විද්‍යාලය පත්කරන ගුරුවරයාගේ වේතනය ගෙවීමටත් ඔහු ඉදිරිපත් වීමයි. ඔහුගේ සිසුන් මුදල් ආපසු බාරගැනීම ප්‍රතික්ෂේප කළහ. ඒත් මෙය මට කරන්න ඉඩදෙන්න යැයි කියමින් කෝට් එකෙන් අල්ලාගෙන තරුණ සිසුවෙකුගේ පොකැට්ටුවට සල්ලි දැමීමට පටන් ගැනීම නිසා, එය ස්මිත් පිළිපැදි ප්‍රතිපත්තිය බව දැක, එපා යැයි කීමෙන් ඵලක් නැතැයි දුටු සිසුන් ඒ මුදල් බාරගත් බව සටහන් වෙයි.

සිය ජීවිතයේ දෙවනි වතාවට ඔහු ස්කොට්ලන්තයෙන් පිටවෙයි. 1764 වසරේ මාර්තු මාසයේ දී ඔහු බක්ලූ හි ඩ්‍යුක්වරයා සමඟ ලන්ඩන් සිට පැරිස් බලා යයි. එතැනින් දකුණු ප්‍රංශයටත්, ජීනීවා වෙතත් යන ඔවුන් නැවතත් 1765 නත්තල් කාලයේ දී පැරිස් නගරයට පැමිණෙති. පැරීසියේ දී ඔවුනට ඈන් රොබට් ටර්ගෝ, එම්. කෙස්නේ, අන්ද්‍රේ මොරෙලේ, ජාක් නෙකර්, ශෝන්-බැප්ටීස්ට්ට ල රොන්ඩ් ඩැ’ලෙම්බයර්, ක්ලෝඩ් ඒඩ්‍රියන් හෙල්වීටියස්, ශෝන්-ෆ්‍රැන්සුවා මාමොන්ටෙල් යනාදීන් ඇසුරු කරන්නට ලැබෙයි.

ජාතීන්ගේ ධනය ලියන්නට අදහස් ලැබුනේ ප්‍රංශ සවාරියේ දී හමු වූ ඒ ප්‍රංශ ගත්කරුවන් වෙතින් යැයි 19 වැනි සියවසේ සමහර විද්‍යාර්ථීන් ලියූහ. ඒත් ග්ලාස්ගෝ දේශන රැගත් සටහන් ප්‍රකාශනය වීමත් සමඟ, ප්‍රංශ චාරිකාව සහ ප්‍රංශ සාහිත්‍ය කියවන්නට පෙර, 1762 දී ස්මිත් තුල එම අදහස් පැවති බව පැහැදිලිව ඔප්පු වේ.

ස්මිත් සිය ප්‍රංශ චාරිකාවේ දී ලියාගත් සටහන් කිසිවක් නැත. එසේම ලියුම් ලියන්නටත් ඔහු අදිමදිකමක් දැක්වූ නිසා ඒ කාලයේ අනික් අයට යැවූ ලිපි හෝ සොයාගන්නට නැත. ඔහු ඉතා පෞද්ගලික වූ දිවියක් ගෙවූ අයෙක් බැවින් ද, මිය යන්නට දින කිහිපයකට පෙර ඔහු සතු වූ බොහෝ වෘත්තීය ලියැකියැවිලි තමන්ගේ චරිතපදානය ලියනවුන්ට සොයාගත නොහැකිවන සේ හිතවතුන්ගේ සහායෙන් ගිනි තබන ලදි.

1766 දී බක්ලූ හි ඩ්‍යුක්වරයා ආපහු ලන්ඩනයට පැමිණියේය. ඔහුගේ සටහනක ස්මිත් ගැන විස්තරයක් මෙසේ කියැවේ: ‘කිසිත් පුංචි ආරවුලක් හෝ සිත් රිදීමක් පවා නැතිව, වසර 3 කට ආසන්න කාලයක් එකට කල් ගෙවූ පසුව 1766 ඔක්තෝබර් හි දී අපි ආපහු ලන්ඩනයට පැමිණියෙමු;-මගේ පැත්තෙන්, එවැනි මිනිසෙකුගෙන් සමාජයට බලාපොරොත්තු විය හැකි සෑම වාසියක්ම මට ලැබුණි. අපි දිගින් දිගටම මිත්‍රත්වය පවත්වාගෙන ගියේ ඔහු මිය යන පැය දක්වාමයි; ඔහුගේ ශ්‍රේෂ්ඨ හැකියාවන් ගැන පමණක් නොව, ඔහු තුල වූ සියළු පෞද්ගලික සද්ගුණයන් ගැන ද ආදරයක් හා ගෞරවයක් මට තිබුණු හෙයින් මට සමීප හිතවතෙක් නැති වුණා හා සමාන හැඟීමකින් මම පසුවීමි.’

විශ්‍රාම ජීවිතයක් ගත කරන ස්මිත් ජාතීන්ගේ ධනය ලියන්නට පටන් ගන්නේ සංචාරයෙන් පසුවය. මේ කාලය තුල දී සිය අදහස් විවාද කරන්නට එඩින්බරා හා ලන්ඩන් නගරවලට ගිය අවස්ථා කිහිපයක් හැරෙන්නට ඔහු සිය මව සමඟ කර්කාල්ඩියේ කාලය ගෙවීය.

ඔහුගේ මිතුරා වූ ඩේවිඩ් හියුම් ගෙදරටම වී සිටින ස්මිත්ව එඩින්බරා නගරයට නිතර ගෙන්වා ගන්නට බොහෝ වෑයම් දරා ඇත. අසනීප යැයි කියමින් සමාජයෙන් ඈත් වී ඉන්න හදනවා යැයි කියමින් ලියුම් යවන හියුම් ‘ඔබ සමාජයෙන් ඈත් වුනොත් එය රටටත් ඔබටත් දෙකටම පාඩු වේ’ යැයි ලියා යවයි.

1776 මාර්තු 9 වැනිදා එසේ සමාජයෙන් ඈත් වී ඔහු ගෙවූ කාලයේ ඵලදාව භුක්ති විඳින්නට ලෝකයට අවස්ථාව පෑදිණ. ඒ Inquiry into the Nature and Causes of the Wealth of Nations -‘ජාතීන්ගේ ධනය ඇතිවීමේ ස්වභාවය සහ ඊට පාදක වූ හේතු ගැන විමර්ශනය’ නමින් වූ පොත ප්‍රකාශනයයි.

ස්මිත් ලියූ ආචාර ධර්ම මනෝභාවයන්ගේ න්‍යාය පොතටත් වඩා සීඝ්‍රයෙන් මෙහි පිටපත් අලෙවි විය. මාස හයක් ඇතුලත එහි පළමු මුද්‍රණය විකිණී අවසන් විය. ස්මිත්ගේ ජීවිත කාලය තුල දී ම, මුද්‍රණ පහක් නිකුත් වී ඇත. ඔහු ජීවත්ව සිටිය දී ඒ ඒ මුද්‍රණ වල දී සංශෝධනයන් කිහිපයක් කර අවසානයේ වෙන කිසිත් සංශෝධනයක් අවශ්‍ය නැතැයි ස්මිත් කියා සිටි බැව් සඳහන් වේ.

පොත නිකුත් වී මාස හයක් යද්දී ස්මිත්ගේ මිතුරා වූ හියුම් මිය ගියේය. හියුම් ස්මිත්ගේ පොත ගැන දැඩි සතුටට පත් වූ ආකාරය හියුම් විසින් එවක දී යැවූ ලියුම් වලින් දකින්නට හැකියි.

1778 දී රේගු මණ්ඩලයේ කොමසාරිස් පත්වීම ලැබීමත් සමඟ ස්මිත් එඩින්බරා හි පදිංචියට ගියේය. ස්මිත්ගේ ජීවිතයේ අවසන් වසර 12 ගෙවී යන්නේ එම නගරයේය. ඔහුගේ මව 1784 දී මිය ගියාය. ඔහුගේ සෞඛ්‍ය ද ක්‍රමයෙන් පිරිහෙමින් පැවතිණ. 1790 ජූලි මාසයේ දී ස්මිත් මිය ගියේය.

ඩුගාල්ඩ් ස්ටුවර්ට් විසින් එඩින්බරා හි රාජකීය සංගමය හා කළ ගණුදෙනු වලින් 1793 දී ඉදිරිපත් කරන, ඇඩම් ස්මිත්ගේ ජීවිතය ගැන සටහන් යනුවෙන් ඇති කොටසෙන් අපට දැනගන්නට ලැබෙන්නේ ස්මිත් සිය තරුණ කාලයේ වසර කිහිපයක්ම දක්ෂ හා රූමත් තරුණ ආර්යාවකට ඔහු පෙම්බැඳි බවයි. එය ඔහුගේ හිතවතුන් බොහොමයක් දැන සිටි කරුණක් යැයි ද එහි සඳහන්. ඒත් ස්මිත්ගේ ආදරය ප්‍රතික්ෂේප වූවාද යන්න හෝ ඔවුන්ගේ සම්බන්ධයක් තිබුණා නම් එය කුමන හේතුවක් නිසා කඩාකප්පල්වූවා ද යන්න ගැන ඔහු නොදන්නා බවත් කියයි. ඒ සිද්ධියෙන් පසුව ස්මිත් විවාහය ගැන සිතීම අත්හැර දමන ලද බවත්, ඒ ආර්යාව ද විවාහ නොවී සිට ස්මිත්ගේ මරණයෙන් පසුව හා ග්ලාස්ගෝ දේශන පොත ප්‍රකාශනයෙන් පසුව ද, දීර්ඝ කාලයක් ජීවත් වී මිය ගිය බව ඔහු එහි සඳහන් කරයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: