අරුණි ශපීරෝ‍ වෙතින්

හේ දානපතියෙක් ද විය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 28, 2017

ජාතීන්ගේ ධනය පොතේ ඉතිහාසය ගැන සටහන් කරද්දී, ඇඩම් ස්මිත් තොරතුරු ලබාගන්නේ එතෙක් ප්‍රකාශනයට පත්ව තිබූ ඉතිහාස පොත් වලින් පමණක් නොවේ. සංචාරකයන් ලොව ස්වල්පයක් සිටි යුගයක, ඔහු ඔවුන්ගේ ගමන් බිමන් විස්තර වලින් ගත් බොහෝ තොරතුරු සිය පොතට එකතු කරයි.

මෑත කාලයක දී උතුරේ සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ ලංකාවේ වැසියන් ද බුරුතු පිටින් ලංකාව වටා සංචාරයේ යන්නට පටන් ගත්හ. විවිධ විදේශීය භාෂා වලින් ලංකාවේ හැම තැන ඇවිදින්නට කැමති සුද්දන් වෙනුවෙන් ලියැවුන සංචාරක සටහන් එමට තිබුණි. එහෙත් සිංහලෙන් එවැනි පොත් නොවීය. සිංහල පුවත්පතකින් කියවන්න ලැබුනේ ද සංචාරකයන් සඳහා දැනුමැත්තන් ලියූ දේවල් මිසෙක, සංචාරකයන්ම අතින් ලියැවුන දේවල් නොවූහ. එහෙත් මෑතක දී බ්ලොග් අඩවි තුලින් සිංහලෙන් කියවන්නාට ලංකාවේ සංචාර යෑම ගැන ඒවායේ ගිය අයගෙන්ම තොරතුරු දැනගන්නට අවස්ථාවක් පෑදිණ.

18 වැනි සියවස ගැන ජාතීන්ගේ ධනය පොතේ එදා එසේ සංචාරක සටහන් තැබූ අය වෙතින් ලබාගත් ලෝක තොරතුරු ස්මිත් සටහන් තබයි. උදාහරණ කිහිපයක් මෙසේය:

—- උතුරු ඇමෙරිකාවේ, බඩු මිල අඩු වෙද්දී, එහි වේතන එංගලන්තයට වඩා ඉහළින් පවතී. නිව් යෝර්ක් ප්‍රාන්තයේ, සාමාන්‍ය ශ්‍රමිකයෙක් උපයන ආදායම දිනකට ස්ටර්ලින් 2 ක් හා සමානයි.

—- ප්‍රංශයේ මධ්‍ය පරිමානයක ගොවිපොලක් කරගෙන යන ගොවියෙකුට සමහර අවස්ථාවල දී කුකුල්ලු 400 ක් සිටිති.

—- සවුත් සී කොම්පැණියට බලකොටු හෝ හමුදාවන් නඩත්තු කරන්නට සිද්ධ වූයේ නැත. ඒ නිසා දැවැන්ත වැයකින් ඔවුන් නිදහස් වූහ. ඒත් අනෙක් ප්‍රාග්ධන එකතු වලින් පවත්වාගෙන ගිය කොම්පැණි වලට ඒ වැයෙන් නිදහස් වන්නට ඉඩ නොලැබුණි.

නමුත් පොත ප්‍රසිද්ධියට පත්වූයේ ඒ තොරතුරු කියවන්නට ඇදී ගිය පාඨකයන් නිසා නොවේ. එහි සඳහන් ආර්ථික චින්තනය දැනගන්නට දේශීය හා විදේශීය වෙළඳාම්වල නියුතු අයට මෙන්ම තම ජනතාව වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති හැදූ දේශපාලකයන්ට ද උවමනාවක් තිබිණ. එහි සඳහන් බදු ක්‍රම කියවා සිය බදු ප්‍රතිපත්ති සංශෝධනය කළ අගමැතිවරු ද, එහි සඳහන් නිර්බාධ වෙළඳාම ගැන කියවා ඊට ඉඩදීම තව දුරටත් ආරක්ෂා කල ජනාධිපතිවරු ද සිටියේ ස්මිත් ජීවත්ව සිටිය දී ම ය.

ස්පාඤ්ඤ අධිරාජය සතුව තිබූ උතුරු ඇමෙරිකාවේ පතල් කර්මාන්තය ගැන ඔහු නිදසුන් යොදා ගනිද්දී, ඒ පතල් කැනීම් කර්මාන්තය ගැන ඔහුගේ දැඩි විරෝධය දක්වන්නට ඔහු එවක ඒවා ගැන වෙනත් අය ලියූ සටහන් යොදා ගනියි. එහි දී ස්මිත්ගේ දැක්මට හරි හැටියට සහාය නොවෙන අයගේ සටහන් ඔහු යොදා තිබෙන බව ස්මිත්ට එල්ලවන නිවැරදි දෝෂාරෝපණයකි. සමහර අවස්ථාවල දී ඔහු ඇසූ සිද්ධියක් ගැන, එහි මූලාශ්‍රයක් ගැන සඳහන් නොකර ම, සිය මතකයෙන් සටහන් තබා ඇත. ව්‍යවස්ථා සහ ආඥා පනත් ගැන කරන විචාරයන් හි ද, ඒවායේ අරමුණු සහ ක්‍රියාකාරීත්වය අතර පරතරය හරියාකාරව පහදන්නට ඔහු වැඩි කාලයක් මිඩංගු නොකිරීම ද ලොකු අඩුවකි.

විශේෂයෙන්ම, ස්කොට්ලන්තයේ රේගු කොමසාරිස් හැටියට සේවය කළ කාලයේ ඔහුගේ දැක්ම නිසා සංශෝධනය වූ මුහුදෙන් හොරබඩු ප්‍රවාහනය වළක්වන නීතිවල අරමුණු ගැනත්, ඒවා ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් තව විස්තර තිබුණා නම් අද ලෝකයට එය වඩාත් ප්‍රයෝජනවත් වෙනු ඇත.

එසේම බ්‍රිතාන්‍යයේ පැවති දුප්පත් නීති ගැන ද, ඔහු තව වැඩියෙන් අවධානයක් යොමු කළේ නම්, අද ලෝකය පුරා පැතිර පවතින සුබසාධන හා සමෘද්ධි බෙදීම් වලින් සත්‍යයෙන්ම සිද්ධ වෙනුයේ ඒ නීතියේ අරමුණ ඉෂ්ට කිරීම වෙනුවට එයට හාත්පසෙන්ම විරුද්ධ වූව සිද්ධ වීමයි යන්න ලෝකයාට වඩා හොඳින් පැහැදිලි වෙනු ඇත.

දුප්පතුන්ගේම අවාසනාවට, අනුන්ගේ මුදලින් දන් දෙන්නට කැමති දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ගැත්තන්, ස්මිත් ලියූ ජාතීන්ගේ ධනය ප්‍රවර්ධනය කරන්නේ දුප්පතුන්ගේ සල්ලි හොරකන්න කියාදෙන පොතක් හැටියටයි. එනම්, ඕනෑම පාපිෂ්ඨ වෙළඳාමක් සඳහා නිදහස් වෙළඳපොලක් හදාගත්තාම ආයෝජකයන්ට ගිජු ලෙසින් මුදල් උපයන්නට කියාදෙන පොත හැටියටයි.

18 වැනි සියවසේ ස්කොට් වැසියෙක් දානපතියෙක් වූවා යැයි දැනගන්නට ලැබීම බොහොමයක් පුදුමයට පත්කරන කාරණාවකි. නමුත් ස්මිත් විසින්ම පෙන්වා දුන්නේ මේ අප අතර පවතින, අද අපට නිතර දකිනන්ට ලැබෙන මිනිස් ස්වභාවයයි. මහා ධනවතුන් නොවන අය ද, තම තම හැකි පමණින් සමාජ සත්කාරයන්ට සහාය වන්නට කොතරම් දැඩි උනන්දුවක් දක්වනවාද?

ජාතීන්ගේ ධනය ගැන ලියූ ස්මිත් තමන්ගේම කියා ධනස්කන්ධයක් ද උපයා ගත්තෙකි. එසේම, ඔහු ඉතා සරල දිවියක් ගෙවන ලද්දෙකි. පවුම් 900 ක් පමණ වසරකට ආදායම් උපයද්දී ඔහු එයින් වැඩි කොටස තමන් ජීවත්ව සිටිය දී ම, ඉතා නිහඬ ලෙසකින්, දුකට පත් වූ ඥාතීන් සහ හිතවතුන් අතර බෙදා දී ඇත. ඔහු මිය යද්දී ඔහුගේ වත්කම් වූයේ පවුම් 400 කුත් ඔහුගේ පෞද්ගලික පුස්තකාලයත් පමණි.

ස්මිත් ධනවාදය වෙනුවෙන් පෙනී සිටියෙකි. එහෙත් බොහෝ වාමාංශිකයන් හුවා දක්වන ලෙසට, ඔහු ඕනෑම ක්‍රමයකින් වස්තු ගොඩගහද්දී ජාතීන්ගේ ධනය වැඩිවෙනවා යැයි කියූවෙක් නොවේ. එසේම, ඔහු කිසිත් නීති නැති නිදහස් වෙළඳපොලකට පාක්ෂික වූවෙක් ද නොවේ. ගිජු බව සහ ආත්මාර්ථකාමය ඒකීයපුද්ගලයාගේ මෙන්ම සමාජයේ ද හානිය පමුණුවන්නට සමත් ස්වභාවික ලක්ෂණ බව තරයේ ම කියූ ස්මිත් පෙන්වා දුන්නේ ඒ හානිය අවම කරගන්නා ආකාරයයි. එනම් මිනිස් ස්වභාවය මෙන්ම ස්වභාවික වූ වෙළඳපොල යාන්ත්‍රණයට ඉඩ දීම තුලින් මිසෙක ගිජු බවෙන් සහ ආත්මාර්ථකාමයෙන් යුතු දේශපාලනඥයන්ට තම ජීවිත බාර දීමෙන් නොවේ කියායි.

ඇඩම් ස්මිත් ලියූ ‘ජාතීන්ගේ ධනය’ පොතේ ඊමොන් බට්ලර් ලියූ සංක්ෂිප්ත ඉදිරිපත් කිරීම තව දින කිහිපයකින් මෙහි දකුණත සබැඳියකින් ඔබට PDF හැටියට ලබාගන්නට පුළුවනි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on මාර්තු 31, 2017 at 12:27 පෙ.ව.

    මිනිස් ස්භාවයන්ට නිදහස්ව පවතින්න ඉඩ හැරීම තුල ගිජු බව සහ ආත්මාර්ථකාමී බව අනිටු විපාක ඒ ඒ අයට ලැබෙනව නේද ඒ වගේම ඒවාහි ප්‍රථිපල අත්දකින්න වීම තුල ඒ ස්භාවික තත්ත්වයන් පාලනය කරගන්න මිනිස්සු උත්සාහ ගන්නව නේද. එවැනි තත්ත්වයන් ස්භාවිකව පාලනය වෙන එක වෙළඳපොල තුල සිද්ධ වෙන බවයි මගෙ හැඟිම නමුත් දේශපාලනය ක්‍රියාකාරකම් ඊට හතුරුව පවතිනව.. අරුණි අක්ක ඔබේ අදහස කුමක්ද

    • arunishapiro said, on මාර්තු 31, 2017 at 7:15 ප.ව.

      krishramanayaka71,

      ඔව්, මිනිස් ස්වභාවය තමයි සමාජයේ ප්‍රසාදය දිනාගන්න ඇති උවමනාව නිසා අනිටු ඵලවිපාක ලැබෙන හැදියාව වෙනස් කරගැනීම. අද ලෝකේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය අඩුවෙලා තියෙන්නෙ ඒ නිසා.

      ඒත් මිනිස් ස්වභාවය සම්පූර්ණයෙන් පැත්තකට දාලා සම්ප්‍රදායන්, චාරිත්‍ර වාරිත්‍ර වලින් හැදෙන ආයතන වල ‘ව්‍යුහයන්’ තමයි අසරණයන්ව හැමදාම පීඩිතයන් කරගෙන ඉන්නෙ කියල ඒ නිසා එවැනි ආයතන කඩා බිඳ දාලා, වෙනස් කරල, ප්‍රතිසංශෝධනය කරන්න ඕන කියන දේශපාලන ක්‍රියාකාරකම් තමයි ඕනම රටක්, ආර්ථිකයක් -ඒ කියන්නේ මිනිසාව- බංකොළොත් තත්වයට ඇදගෙන යන්නේ.

      වෙනිසියුලාව ඊයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරල ආඥාදායකත්වය නීත්‍යානුකූල කළා. ඒක කමක් නෑ මේ අයගෙ දැක්ම අනුව: සාම්ප්‍රදායික ව්‍යුහ වෙනස් කරන්න එපැයි, ජීවත්වන මිනිසාට කන්න, අඳින්න, බෙහෙත්, ආරක්ෂාව නැති වුනත් කමක් නෑ විප්ලවය ඇති. රජය කියන ආයතනය පිහිටුවා ගත්තෙම මිනිසා තම වෙහෙසෙන් ලබාගන්න දේවල් වල අයිතිය ආරක්ෂා කරලා දෙන්න නේද අහන අයව නීත්‍යානුකූලව මරන්න පුළුවන් වෙද්දී දැන් ඉතින් කවුද ප්‍රශ්න අහන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: