අරුණි ශපීරෝ‍ වෙතින්

සමහර රටවල් ධනවත් වෙද්දී සමහර රටවල් දුප්පත් ඇයි?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 5, 2017

සමහර රටවල් ධනවත් වෙද්දී සමහර රටවල් දුප්පත් ඇයි? වසර 240 ගණනකට පෙර ඇඩම් ස්මිත් විසින් විමර්ශනය කළේ මේ ප්‍රශ්නයි.

සියවස් ගණනාවක් ධනවතුන් අතලොස්සක් ද දුප්පතුන් බහුතරයක් ද සහිතව සිටි බටහිර යුරෝපීය ජාතීන්, හිටිහැටියේම පටන් ගෙන පරම්පරා නමයක දී පහළොස් ගුණයකින් තමන්ගේ ආදායම් වැඩි කරගන්නට සමත් වූ බව ඉතිහාස දත්ත සහ තොරතුරු වාර්තා වලින් අපිට දකින්න ලැබෙනව.

සාමාන්‍ය මිනිස්සු තමයි මේ හපන්කම කරන්නෙ. ඒ රටවල රජවරු, ප්‍රභූ රදළයන් විසින් විශේෂ ආර්ථික කලාප හැදීම නිසා හෝ දැවැන්ත යටිතල පහසුකම් හදා දුන්න නිසා නෙමෙයි. සමෘද්ධිමත් විය හැකියාව ලැබෙන නිදහස ඇති ප්‍රදේශ වලට, රටවල් වලට, සාමාන්‍ය මිනිස්සු ඇදී යන්න පටන් ගත්ත නිසා.

අද වෙන්නෙත් මේකයි. මිනිස් ස්වභාවය වෙනස් වෙලා නැහැ. තමන්ට කියල දේපල අයිතියක් තියාගන්නටත්, ඒ දේපල අගය වැඩි කර ගන්නටත් හැකියාව ඇති පළාත් සහ රටවල් වලට මිනිස්සු ඇදිලා යනව. ඒ අය එහෙම යන නිසා, ඒ අයට නිදහසේ දේපල අයිතියට සහ දේපල වැඩි දියුණු කරගැනීමට ඉඩකඩ දෙන රටවල් තව තවත් සමෘද්ධිමත් වෙනව.

අපිට දියුණුව අවශ්‍ය කඩපොළේ තියන සුඛෝපභෝගී බඩු මිල දී ගන්න විතරක් නෙමෙයි. ආයුෂ වැඩි කරගන්නත්, පෝෂ්‍යදායී ආහාර සහ ළදරු මරණ අඩු කරගන්නත් හැකියාව දියුණුවෙන් ඉඩ ලැබෙනව. ඒ වගේම සමෘද්ධිමත් සමාජයක ජීවත්වෙද්දී ආදායම සඳහා වෙහෙසෙන එකෙන් විවේකයක් අරන් පවුල, නෑදෑ, හිත මිතුරන් එක්ක විනෝදයටත් කාලයක් ලැබෙනව. තනියම පැන්සලක් හදාගන්න බැරි මිනිසා කොහොම ද තනියම බත් පිඟානක් හදාගන්නෙ! අහල පහල වැවෙන වැටෙන දෙයක් කාලා සාගතයක දී හෝ වසංගතයක දී මැරිලා නොයන්න නම් රටක් දියුණුවෙන් දියුණුවට යන මාර්ගයකට පිවිසෙන්න ඕන. දියුණුව වැඩි වෙද්දි තමයි අපිට පරිසරය වැඩියෙන් හොඳින් රැකබලා ගන්නත් හැකියාව පෑදෙන්නෙ. ඒකත් එහෙම නෙමෙයි කියන අයෙක් ඉන්නවා නම්, ධනවත් රටවල පරිසරය එක්ක දුප්පත් රටක පරිසරය සසඳලා බලන්න ඕන. පරිසරයයි සත්ව කරුණාවයි ගැන කැක්කුමක් ඇති අය අද “නවීන සමාජවාදී වෙනිසියුලාව” ගැන දැඩි සේ නිහඬයි.

සාමාජිකයන් බහුතරය දුප්පත්කමෙන් සහ අසරණ භාවයෙන් පසුවෙද්දී කිසිම සමාජයක් සශ්‍රීකත්වය සහ සතුට කරා යෑම කිසිසේත්ම විය නොහැකියි. -ඇඩම් ස්මිත්, ජාතීන්ගේ ධනය

අයෙක් ධනවත් වූ නිසා බොහෝ පිරිසක් දුප්පත් වෙන්නෙ නැහැ. දුප්පත්කම පරදුවට තියල නෙමෙයි අයෙක් ධනවත් වෙන්නෙ. නමුත් ධනවත් අයෙකුට එයාගෙ ධනය වියදම් කරලා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරන දුප්පතුන්ට එතෙක් නොලැබුණු ආදායම් මාර්ග පෑදෙනව.

ලංකාවේ ඉන්න, සාමාන්‍ය රටවැසියෙක්ව උදාහරණයට ගනිමු. එයාගෙ අතේ තියන මුදලක් දාලා විදේශයකින් බඩුවක් ගෙනැල්ල, ඒකට එයාගෙ ශ්‍රමය යොදවල එක්කො අලුත් භාණ්ඩයක් නිපදවල නැත්නම් ගෙන්වපු එක තවත් වැඩි දියුණු කරල තමන්ගෙ රට තුල හෝ විදේශයකට විකුණන්න පුළුවන් ද? හොයලා බලන්න ඊට හැකියාවක් අද ලංකාවේ අයෙකුට කොතරම් පහසුවෙන් ලැබෙනව ද කියල.

මොළය වෙහෙසීම තුලින් නිර්මාණාත්මක ශ්‍රමයක් සපයලා විදේශයකින් ආදායමක් ලබාගන්න ක්‍රමවේදයක් ලංකාවේ සාමාන්‍ය මිනිසෙකුට නැහැ.

ඉතින් ලංකාවේ වැසියන්ගේ ශ්‍රමය රට ඇතුලත අමුද්‍රව්‍ය සහ රට ඇතුලත වෙළඳපොලට සීමා වෙලා තියනව.

ලංකාවේ ඇති අමුද්‍රව්‍ය හෝ නිමි බඩු මිල ගණන් වැඩි නම් පිටරටකින් අඩුවට ගෙන්න ගන්නත් බැහැ. වෙන රටවල් අඩුවට බඩු හදන්නැති නිසා නෙමෙයි. අඩුවට හදන බඩු ලංකාවට එද්දි එක්කො දරාගන්න බැරි බද්දක් ගහල. නැත්නම් කෙළින්ම ඒ දේවල් රටට ගෙන්වීම තහනම් කරල. ගෙන්වන සහ යවන විශේෂ අවසර ලැබෙන්නේ රජයේ අවසරයෙන් වරප්‍රසාද ලත් තෝරා ගැනෙන සුළු පිරිසකට පමණයි. ඒ කියන්නෙ තරඟය සීමා කරල. සුළු පිරිසකට වෙළඳ ඒකාධිකාර හදා දීල.

නිෂ්පාදනයක් බිහි කරන්න අවශ්‍ය සාධක ඔක්කොටම සීමා බාධක දාලා ඊ ළඟට ලංකාවේ අය නිෂ්පාදනයට සමත් නැහැ, කම්මැලියි, ලංකාවේ ශ්‍රමයට ඉහළ මිලක් ගෙවිය යුතුයි කියන අය ඉන්නව. ශ්‍රමිකයාව අගයන්න මහා උත්සව පවත්වලා එයින් ශ්‍රමිකයාගේම ජීවන බර ඉහළ යවන විකාර හෙන ගොඩක්. ඒත් අගයක් නිපදවන්න ඉන්නෙ කී දෙනාද?

වෙළඳපොල කොතරම් විශාල ලෙසින් පැතිර පවතිනවා ද, පළාතක හෝ රටක පිහිටීම, රටේ නීති සම්පාදනය, බැංකු හා අධිකරණ වැනි ආයතන යනාදිය සමඟින් specialization නොහොත් විශේෂ ප්‍රාගුණ්‍ය නිසා සමෘද්ධිය ඇතිවෙනවා යන්න ස්මිත් ගෙනා තර්කයයි.

‘නිදහස් මිනිස්සු, බලාගෙන යද්දී, පුදුම දක්ෂයන් වෙති.” -ඩීඩ්‍රා මැක්ලොස්කි

සෑම වසරක දී ම, මෙක්සිකෝවෙන් එක්ලක්ෂ හාර දහසක් පමණ මිනිස්සු ඇමෙරිකාවට ඇදී එනව. ඔවුන්ගේ ආදායම හතර ගුණයකින් වැඩිවෙන්න මායිමෙන් මෙහා වැඩි ඈතකට එන්න අවශ්‍ය නැහැ.

කොහොම ද මේ කාන්තාරය හරහා සිතියමක සලකුණු කරපු මායිම් ඉරක්, වේතනය හතර ගුණයකින් වැඩි කරන්න සමත් වෙන්නෙ?

උත්තරය පැහැදිලි කරන්න පුළුවන් ඵලදායිත්වයෙන්. ඇමෙරිකන් ශ්‍රමිකයෙක් මෙක්සිකෝවේ ශ්‍රමිකයෙක්ට වඩා හය ගුණයකින් අගයක් නිර්මාණයට සමත් වෙනව. මේ බ්ලොග් එක කියවන අය දැනටමත් දන්න කාරණයක් තමයි වෙහෙස කොච්චර වැය කළත් ඵලක් නැහැ අගයක් නිර්මාණය වෙන්නෙ නැත්නම්. තාප්පයක් බැඳලා, කඩා දාලා, ආයෙත් තාප්පය බැඳලා, ආයෙත් තාප්පය කඩා දාන ක්‍රමයෙන් රස්සාවල් බොහොමයක් බිහි කරනවා. ඒකට ශ්‍රමය කොතරම් වැය කළත් ඒකෙන් සමාජයට අගයක් එකතු වෙන්නෙ නැහැ. රටට දියුණුවක් ලැබෙන්නෙ නැහැ. ඒක ධනවාදය නෙමෙයි. ඒත් මහජනතාව රවටන්නේ ධනවාදය අසාර්ථකයි කියල.

ආයතන හැම විටම ඉදිරිපත් වෙන්නේ වැඩි ඵලදායිත්වයක් ගෙනෙන ශ්‍රමිකයන්ට ගෙවන්න. ඉතින් ඇමෙරිකාවේ ඉන්න ශ්‍රමිකයන් වැඩි ඵලදායිත්වයක් ලබා දෙන්නත්, මෙක්සිකෝවේ ඉන්න ශ්‍රමිකයන් අඩු ඵලදායිත්වයක් ලබා දෙන්නත් හේතුව මොකක් ද?

කාන්තාරේ මැද්දෙන් ඇවිදගෙන ඇවිත් මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට පැන්නම, අඩු ඵලදායීත්වය ලබාදෙන ශ්‍රමිකයා හිටිහැටියේම වැඩි ඵලදායීත්වයක් ලබාදෙන ශ්‍රමිකයෙක් වෙන්නට සමත්කම ලබාගන්නේ කෙසේද?

වයස, අධ්‍යාපනය, මෙච්චර කල් කරපු රස්සා මොනවා ද, පුහුණු, කුසලතා, වැඩ කරන හැදියාව, විවාහක අවිවාහක ද යන්න මායිම පැන්න හැටියෙ වෙනස් වෙන්නෙ නැහැනෙ.

ඒත් මායිම පැන්න ගමන්, සංක්‍රමණිකයාට දැන් මෙක්සිකෝවේ දි තිබ්බට වඩා වැඩි ප්‍රාග්ධනයකට ප්‍රවේශය පෑදෙනව, වැඩියෙන් වේගවත් පරිගණක, වැඩියෙන් හොඳ යන්ත්‍ර. ඒක යම් තරමකට ඵලදායිත්වයට බලපානව.

මේ කියන්නෙ සාමාන්‍ය මිනිස්සු ගැන!! භෞතික ප්‍රාග්ධනයට පිවිසීමේ හැකියාව ඒත් ඵලදායිත්වය වැඩි කරන සුළු සාධකයක් විතරයි.

මෙක්සිකෝවෙන් පිටවුනාම එයාට ලැබෙනවා එහෙ තිබ්බට වඩා වෙනස් උසාවි පද්ධතියක්, වෙනස් බදු හා වෙනස් රෙගුලාසි ක්‍රමයක්. විකල්ප හැදියාවන් සහිත වෙනස් සංස්කෘතියක්. හුවමාරුව හොඳයි කියල හිතන චින්තනය. ඒවා තමයි ශ්‍රමිකයාගේ ඵලදායිත්වය වැඩි කරන විශාල සාධක.

ඉතින් ඒ කියන්නෙ කාන්තාරයේ ඇවිදගෙන ඇවිත් දකින්නට බැරි ඉරක් පාස් කරද්දී ප්‍රවේශයට ලැබෙන භෞතික ප්‍රාග්ධනය විතරක් නෙමෙයි, ඊට වඩා විශාල වැදගත්කමක් තියෙන අල්ලන්න, දකින්න, මනින්න බැරි මහා ධනයකට අයිතිය කියන්නට හැකියාව එයාට පෑදෙනව.

ඇඩම් ස්මිත් පටන් ඊට පස්සේ ඒ සම්ප්‍රදායේ එන අර්ථ ශාස්ත්‍රඥයන් සටහනේ සිරස්තලයේ ප්‍රශ්නයට දෙන උත්තර පැහැදිලි කරමින් පීටර් බොත්කෙ, ස්ටෙෆනි හේෆෙලේ-බල්ච් සහ වර්ජිල් හෙන්රි ස්ටෝර් විසින් ලියන ලද Applied Mainline Economics, Six Nobel Lectures in the Tradition of Adam Smith (2017) පොත ඇසුරිනි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. krishna ramanayaka said, on අප්‍රේල් 5, 2017 at 11:52 ප.ව.

    කැඩනු ජෙන්ලය හදා හදා ඉන්නත් ඒකට සැලසුම් හදන්නත් අැර ෙවනත් ෙදයක් ඉෙගන ගන්න හැදියාව අැති කරන්න ෙම් ලිපියම වුවත් ප්‍රමාණවත්

    • arunishapiro said, on අප්‍රේල් 6, 2017 at 9:06 පෙ.ව.

      krishna ramanayaka,

      රට දක්කන් යන්න උගත් පාලකයෙක් ලැබෙන කම් බලාගෙන ඉන්න අයට හැමදාම මිනිස්සු තමන් වෙනුවෙන්ම සැලසුම් හදන හැටි, වරදින ඒවායෙන් අයින්වෙලා හරියන ඒවා වැඩියෙන් කරන හැටි පේන්නෙ නැහැනෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: