අරුණි ශපීරෝ‍ වෙතින්

ජෝන් සටර් සහ නීත්‍යානුකූල දේපල අයිතිය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 6, 2017

ආණ්ඩුවක් ක්‍රියාවක් කරන්නෙ නැහැ. සමාගමක් ද ක්‍රියාවක් කරන්නේ නැහැ. ඒකීයපුද්ගලයෙක්ට පමණයි ක්‍රියාවක නියැළෙන්නට හැකි. “ඇමෙරිකාව යුද්ධයට ගියා”, නැත්නම් “කොංග්‍රසය මානව හිමිකම් පනත සම්මත කළා,” වගේම “ස්ටාර්බක්ස් කොම්පැණිය රණවිරුවන්ට රැකියා දෙති,” යැයි කියද්දී ‘ක්‍රියාවක්’ කරන ලද්දේ ඒ ඒ ඒකීයපුද්ගලයන් විසින්.

ක්‍රියාවක නියැළෙන ඒකීයපුද්ගලයා ප්‍රතිචාර දක්වන්නේ දිරිගැන්වීමේ දීමනා වලට. හැම අවස්ථාවක දී ම සෑම පුද්ගලයෙක්ම කොහොම හැසිරෙනවා ද කියන එක කළින් කියන්න හැකියාවක් අපට නැහැ. ඒත් තෝරාගැනීම තුලින් කරන මිනිස් ක්‍රියාවක් කියල, නිතර දකින්න ලැබෙන සමහර රටාවන් තියෙනව මිනිස් ස්වභාවය තුල. උදාහරණයක් හැටියට සාමාන්‍යයෙන් මිනිස් ස්වභාවයේ රටාව තමයි සතුට සොයා යෑම. වේදනාව මඟ හරින්න උත්සාහ කිරීම.

ක්‍රියාවක් කරන ඒකීයපුද්ගලයා, තෝරාගැනීම් ඉදිරියේ දී, ඒවායෙන් තමන්ට ලැබෙන වටිනාකම් මැනලා බලලා, සමහර දේ අතහැරලා, එකක් තෝරාගන්නව.

සමාජයකට ගොඩක් වාසි ලැබෙන ශ්‍රම විභජනය ආරම්භ වූයේ, එයින් ලැබෙන සශ්‍රීකත්වය කල් තියා දුටු මිනිස් නුවණක් තුලින් නෙමෙයි. ඒක ගණුදෙනුවට, හුවමාරුවට, එක දෙයක් දීලා තව දෙයක් ගන්න අවශ්‍ය වූ නැඹුරුව නම් මිනිස් ස්වභාවය නිසා පටන් ගෙන, ඉතා හෙමින් දීර්ඝ කාලයක් තිස්සේ සහ ක්‍රමයෙන් ඇතිවෙච්ච ඵලවිපාකයක්. -ඇඩම් ස්මිත්, ජාතීන්ගේ ධනය

දිරිගැන්වීමේ දීමනා සහ තෝරාගැනීම් ගැන සරල අදහස් වලින් අපිට මිනිස් හැදියාව ගැන ගොඩක් පැහැදිලි කරන්න අවස්ථාවක් ලැබෙනව. උදාහරණයක් තමයි නැව් කප්පිත්තන්ට ගෙවන විදිය වෙනස් කිරීම; 1793 දී බ්‍රිතාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට සිරකරුවන් ප්‍රවාහනය කරද්දී, නැවට පටවන සිරකරුවන් ගණනට නැතිව, ඔස්ට්‍රේලියාවට ගිහින් බස්සන සිරකරුවන් ගණනට ගෙවන්න ක්‍රමය වෙනස් කිරීම. මරණ දණ්ඩනයක් නොව සිරබන්ධනයක් නිසා.

ස්වභාවික අයිතීන් සඳහා පෙනී සිටින, ස්මිත් අනුව යමින් සිතන අය, දේපල අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් හැටියට සලකනව. දේපල අයිතිය ගැන සරල, පැහැදිලි නීති පවතින පරිසරයක අපිට සාමකාමීව ජීවත්වෙන්නට, බුද්ධිමත් විදියට අපේ සම්පත් ප්‍රයෝජනයට ගන්න, ඒ වගේම සාර්ථකව අනාගතය සැලසුම් කරගන්නත් ලැබෙනව.

ඇඩම් ස්මිත් දේපල අයිතියේ අගය ලොවට කියන්නේ 1776 ගණන් වල දී. ඒ කියන්නේ දේපල වලට අයිතියක් කියන්න සාමාන්‍ය මිනිස්සුන්ට ලෝකයේ ප්‍රථම වතාවට අවස්ථාව පෑදෙන්න පටන් ගත්ත කාලයේ දී. දේපල අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් යැයි අවබෝධයෙන් දේපල පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති හැදෙන්න පටන් ගන්නේ ඉන් අනතුරුව. රජුට අයිති ඉඩම් පුද්ගලයෙකුට ප්‍රදානය කරන ක්‍රමයෙන් වෙනස්ව, තමන්ට අයිති ඉඩමක් තමන් කැමති කෙනෙකුට විකුණන අවසරය ලැබෙන ලෝකයකට මිනිස්සු පිවිසෙනව. ඒක ඇරඹෙන්නේ ස්මිත් අනුව යමින් අවබෝධයක් ලබන ඒකීයපුද්ගලයන්ගේ ක්‍රියා තුලින්.

ඩවුන්ටන් ඇබී ටෙලිනාට්‍ය නරඹා ඇත්නම්, රදළ ක්‍රෝලි පවුලට ඒ මන්දිරය සහ එයට ඇඳී ඇති ඉඩම්වල බාරකාරත්වය පමණක් තිබීම, ස්වාමි පුරස්කාරයෙන් අයිතිය පරම්පරාවෙන් පරම්පරාවට යෑම ගැන අර්ල්වරයා කියූ හැටි මතක ඇති. සාමාන්‍ය පුද්ගලයන්ටත් ඉඩම් අයිතියට නීතියෙන් ඉඩ පෑදෙන්න මුලින්ම පටන් ගත් කාලය ගැන කියැවෙන ටෙලිනාට්‍යයක්.

ඕනෑම ඒකීයපුද්ගලයෙකුට අයිතිය කියත හැකි දේපල ගැන රාජ්‍ය නීති හැදෙන්න පටන් ගනිද්දී නීති සම්පාදනයේ සිටි සමහර ඒකීයපුද්ගලයන් ඇඩම් ස්මිත් සහ ජෝන් ලොක් යනාදීන්ගේ අදහස් අනුව සරල පැහැදිලි නීති හැදුව. ඒත් ලෝකේ හැමෝම එහෙම කළේ නැහැ.

වාසිතය බ්ලොග් සටහනේ මේ ගැන පැහැදිලි කරන්න හොඳ උදාහරණයක් තියෙනව: මිහිපිට විශාලතම ධන ආකරයේ නීත්‍යානුකූල අයිතිය තිබියදී අතේ සතයක්වත් නැතිව මියගිය අසරණයා. දැන් ඒක කියවල, ඉතිහාසය සහ නීති ගැන වැඩිය හොයල නොබලන අයට පුළුවන් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම් සහ දේපල අයිතීන් වලට හිනා වෙන්න.

ජෝන් සටර් ස්විට්ස්සර්ලන්තයෙන් හොරෙන් පැනලා එන්නෙ. භාර්යාවගේ දෑවැද්ද යට කරලා ව්‍යාපාර කරන්න ගිහින් වෙච්ච මහා ණය ප්‍රමාණය ගෙවා ගන්න බැරිකමට. දරුවන් සහ භාර්යාව ණයගැතියන් කරල පැනල ඇවිත් ඒත් තව දුරටත් මිනිස්සු රවට්ටල සල්ලි ඉල්ලගන්න හැදියාව සටර් නවත්වන්නේ නැහැ. බර්නි මෑඩෝෆ් ගණයේ හොරෙක්, වංචාකරුවෙක් සහ බොරුකාරයෙක්.

1841 දී සටර් පය ගහන කැලිෆෝර්නියාව අයිති මෙක්සිකෝවට. ඇමෙරිකා එක්සත් ජනපදයට නෙමෙයි. වරක් ඔහු ප්‍රංශ විප්ලවයෙන් පළා යන්නට සිද්ධ වූ ස්විස් නිලධාරියෙක් හැටියට රඟපාද්දී ස්විස් සොල්දාදු නිල ඇඳුම දන්න කෙනෙක් බොරුව අල්ලගන්නව. ඒත් සටර් සමත්වෙනව එවක මෙක්සිකෝව පත් කළ කැලිෆෝර්නියා ආණ්ඩුකාරයා වූ හුවාන් බවුටිස්ටා ඇල්වරාඩෝ රවට්ටන්න. ඇමෙරිකන් අයට අල්ල ගන්න බැරිවෙන්න මෙක්සිකන් කැලිෆෝර්නියාව ආරක්ෂා කරන්නම් කියල මෙක්සිකෝ රජයෙන් ඇල්වරාඩෝ ලවා සටර් තමන්ට ලියවා ගන්නවා, ඒ කාලයේ පෞද්ගලික රාන්චෝ එකකට තියාගන්න හැකි වැඩිම ඉඩකඩම් ප්‍රමාණය. ඒ කියන්නේ අක්කර 48,400 ක්. ඉඩම් කුට්ටියයි මෙක්සිකන් පුරවැසිකමයි ලබාගන්නේ කුසලතාවයෙන් නෙමෙයි, දේශපාලන ගුණ්ඩුවකින්.

නව ස්විට්ස්සර්ලන්තය කියල සටර් මේ භූමිය නම් කරනව. එහි සියළු නීති හදන අධිකාරිය, එහි දේශපාලන නියෝජිතයා වීමට, ඇමෙරිකාවෙන් සහ ස්වදේශීන් භූමිය අල්ලාගන්නට ඒමෙන් වළක්වන ඕනෑම පියවරක් ගන්නට ඇල්වරාඩෝ ආණ්ඩුකාරයා නීතිමය බලයක් සටර්ට පවරනව.

ඒත් ආණ්ඩුකාරයාට වෙච්ච පොරොන්දුව සටර් කඩකරනව. ඇමෙරිකන් අයට නවාතැන් දෙනව සල්ලි වලට. ඉඩම් විකුණනව. ඒ අයගෙනුත් සල්ලි ණයට ගන්නව. හවුල් ව්‍යාපාර ආයෝජන කරන පොරොන්දු වලට ඉඩම් උගස් තියනව. ස්වදේශීන් හොරෙන් පැහැරගෙන ගිහින්, ආහාර නොදී, වහල්කමට යොදාගන්නව විතරක් නෙමෙයි වහල් වෙළඳාමේ ද යෙදෙනව. මෙක්සිකන් කැලිෆෝර්නියා-ඇමෙරිකන් යුද්ධයේ දී දිනන පැත්තට හිමිහිට මාරුවෙනව.

John Sutter, A Life on the North American Frontier (1946) ලියල තියෙන්නේ Albert Hurtado.

වැඩි දියුණුවක් කරන දැනුම තිබුනත් නැතත් පෞද්ගලික දේපල අයිතිකරුවා ඒ දේපලේ අගය වැඩි කරගන්නට උත්සාහ කිරීම මිනිස් ස්වභාවයයි. සරල සහ පැහැදිලි නීති පවතින පරිසරයක ඉඩකඩම් වැඩි දියුණු කරන දැනුම ඇති අයට ඒවා ගිහින් සම්පත් විනාශ කරන අයගෙන් ඒවා අයින් වෙනව.

අයෙක් අතමාරුවට සල්ලි අරන් ඉඩම් ලියල දීලා නම්, ඒවා ගැන ඔප්පු තිරප්පු ගින්නට විනාශ වුණා කියනව නම්, විශේෂයෙන්ම පුද්ගලයාගේ මුළු ඉතිහාසයම බොරුවෙන් හා වංචාවෙන් ජීවත් වෙච්ච අයෙක් හැටියට සාක්ෂි එමට තියෙද්දී, නඩු තීන්දුවක් හනිකට දෙන්න බැහැ. “මිහිපිට විශාලතම ධන ආකාරයේ නීත්‍යානුකූල අයිතිය” ඇතැයි පුද්ගලයෙකුට කියන්න පුළුවන්දැයි සාක්ෂි සහිතව සොයා බලන්න ඕන.

දේපල අයිතිය කාට ලැබෙනවා දැයි කියල රජු පත්කරපු ආණ්ඩුකාරයෙක් තීරණය කරද්දී මිනිසා හැසිරෙන ස්වභාවය කෙසේදැයි කියල දැනගන්න අපිට බ්‍රිතාන්‍ය ලංකා ඉතිහාසය දිහාත් බලන්න පුළුවන්. ඒ හා සසඳා බලන්න ඕන තවත් ඇමෙරිකන් පුරෝගාමී දේශයක් වූ ටෙක්සාස් ප්‍රාන්තයේ පෞද්ගලික දේපල හැටියට ඉඩම් විකුණපු ආකාරය. නැතිව 1949 ජීනීවා ප්‍රඥප්තිය අරගෙන නෙමෙයි 1840 ගණන් වල ආක්‍රමණික යුද්ධ වලින් දේපල අයිතීන් ප්‍රදානය වූ හැටි ගැන කතා කරන්නෙ.

ස්විට්ස්සර්ලන්තය, ජර්මනිය, ඇමෙරිකාව, ප්‍රංශය, මෙක්සිකෝ කැලිෆෝර්නියාව යනාදී රටවල් සියල්ලේ දී ම හමුවන අයට, තම අසල්වැසියන්ට හා හිත මිතුරන්ට හොර බොරු වංචා කළ ජෝන් සටර්ට දේපල අහිමිවීම ගැන අනුකම්පාවක් දක්වන අය ප්‍රංශ විප්ලවයේ දී බුරුතු පිටින් ගිලටනයට ප්‍රභූ රදළයන් යවා ඔවුන්ගේ දේපල පැහැර ගැනීම ගැන ඇත්තේ මොන අනුකම්පාවක් ද? සෝවියට් රුසියාව 1922 දී සියළු ඉඩම් ජනසතු කිරීම වරදක් හැටියට දකීවි ද? ලංකාව 1973 දී අක්කර පනහක් සීමා කරමින් ඉතිරි සියල්ල රජයට පවරා ගැනීම වරදක් යැයි දකින පිරිසක් ද?

ඉතින් නැවතත්, හුවමාරුවට නැඹුරැවක් දැක්වීම මිනිස් ස්වභාවයක්.

ගණුදෙනුව සඳහා පහසු, පැහැදිලි නීති පවතින පරිසරයක් සැකසීමෙන් තමයි පෞද්ගලික දේපල අයිතියේ ආරක්ෂාව සඳහා ඉඩක් පෑදෙන්නේ. ඒ වගේම සම්පත් නිසි පරිභෝජනයෙන් පරිසරය ආරක්ෂා වෙන්නෙ. නැත්නම් වෙන්නෙ රජයේ ඉඩම් රිසි සේ පවරා දෙන්නට, ආයෝජනයට සහ භාවිතයට, බලයට එන ඕනෑම දේශපාලකයෙක්ට හැකියාව ලැබෙන එක. ඒ දේශපාලකයන් එක්ක එකතුවෙන හොර බොරු වංචාකාරයන් ගජ මිතුරු හවුල් හදා ගැනීම.

හුවමාරුවට පහසු පැහැදිලි නීති නැති පරිසරයක දී, ඒ කියන්නේ නීතිය විපර්යාස වෙද්දී දකින්න ලැබෙන්නෙ මැරවර ප්‍රචණ්ඩත්වයයි. මෑත කාලයේ දේපල අයිතියේ නීති විපර්යාස වෙලා දැන් යළිත් ඒවා වෙනස් වෙන හැටි ගැන කළින් දවසක ලියූ මෙතැනින් කියවන්න පුළුවන්.

ව්‍යවස්ථාවක් තිබුණට අයිතීන් ආරක්ෂා වෙන්නේ නැහැ. බලයේ ඉන්න දේශපාලකයන් ව්‍යවස්ථානුකූලව කටයුතු නොකරද්දී ඔවුන් බලයෙන් පහකර නීතිය විපර්යාස නොකරන අයව, සරල පැහැදිලි නීති සඳහා ඉදිරිපත් වෙන අයව, පත් කරගත යුතුයි. මානව හිමිකම් උල්ලංඝණය කරද්දී ඒ ක්‍රියා වලට වගකිව යුතු ඒකීයපුද්ගලයන් කවුදැයි පෙන්වන්නට කිසිසේත්ම පසුබට නොවිය යුතුයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: