අරුණි ශපීරෝ‍ වෙතින්

ආර්මන් ඇල්චියන් -දේපල අයිතිය යනු කුමක් ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 7, 2017

විවිධාකාර ඒකීයපුද්ගලයන් වෙතින් හැදෙන සමාජයක් කියන්නේ සංකීර්ණ පද්ධතියකට. කේවල් කරමින් මිල දී ගන්නා අය සහ විකුණන අය වගේම, සමාජ ව්‍යවසායකයන්ගේ සැලසුම් වලින් ද සිද්ධ වෙන ගණනය කළ නොහැකි සංඛ්‍යාවකින් යුතු ක්ෂුද්‍ර-සබඳතා පවතින තැනකට. එවැනි තැනක වෙළඳපොලක් අනිවාර්යෙන්ම පැවතුනාට, බොහෝසේ නිදහස්ව කටයුතු කරන හැදියාවන්ට ඉඩක් ඇත්තේ නැහැ.

වෙළඳපොලක මේ ඒකීයපුද්ගලයන්ගේ ක්ෂුද්‍ර-හැදියාවන්ට ඉඩදෙනවා නම් එවිට යහපත් සාර්ව-ප්‍රතිඵල දකින්නට ලැබෙනව. ඇඩම් ස්මිත්ගෙ ජාතීන්ගේ ධනයේ ප්‍රධාන තේමාවක් වුනේ මේක. බේකරිකාරයාගේ හිත හොඳකම නිසා නෙමෙයි අපිට පාන් ලැබෙන්නෙ කියලා හඳුනාගැනීම.

ඔයා රීති මොනව ද කියල මට කියන්න, මම කියන්නම් ඔයාට අපේක්ෂා කළ හැකි ඵලවිපාක මොනවා දැයි කියල –ආර්මන් ඇල්චියන්, වෙළඳපොල ක්‍රමයේ පෞද්ගලික දේපල අයිතිය වෙනුවෙන් පෙනී සිටි අර්ථ ශාස්ත්‍රඥයෙක්.

පෞද්ගලික දේපල අයිතියක් කියන්නෙ මොකක් ද? ආණ්ඩුවේ අයිතිය යටතේ පවතිනවා ද නැත්නම් ඒකීයපුද්ගලයාට අයිති දැයි කියා නොව, සම්පතක් කෙසේ භාවිතා කරන්නේ දැයි තීරණය කරත හැකි සම්පූර්ණ අධිකාරියක් ඇත්නම් තමයි පෞද්ගලික දේපල අයිතිය කියන්න පුළුවන් කියල ඇල්චියන් පෙන්වල දෙනව. සම්පත් තියෙන භූමියකට නීතිමය අයිතියක් කියත හැකියාව නෙමෙයි වැදගත්. එම සම්පත් තමන් කැමති විදියකට භාවිතා කරන්න, ප්‍රයෝජනයට ගන්න නිදහස් ඉඩක් ලැබෙනවා ද යන්නයි වැදගත්.

පෞද්ගලික දේපල වලට අයිතිය කියන්න සරල පැහැදිලි නීති වලින් ලැබෙද්දී අපිට සාමකාමීව ජීවත්වෙන්න හැකියාව ලැබෙන බව ඇල්චියන් පෙන්වා දෙනව. තරඟය, ඒ කියන්නේ උවමනාවක් හැකි ඉක්මණින්ම සපුරාගන්නට ගන්නා උත්සාහය, සාමාකාමී තරඟයක් වෙන්නේ දේපල නීති සරල සහ පැහැදිලි වෙද්දී. එහෙම නොවෙද්දී තමයි තරඟයක් ප්‍රචණ්ඩ වෙන්නෙ. ජීවත්වෙන මිනිසාට තරඟයෙන් අයින් වෙන්න බැහැ. උවමනාවක් හැකි ඉක්මණින්ම සපුරාගන්නාට ගන්නා උත්සාහයක නියැළෙන්නෙ නැතිව මිනිසාට ජීවිතය පවත්වාගන්න බැරි නිසා.

ඉතින් අපි ඉල්ලා සිටිය යුත්තේ ප්‍රචණ්ඩත්වයෙන් තරඟයේ යෙදෙන්න ඉඩ දෙන්න කියල ද? නැත්නම් සාමකාමීව තරඟයේ යෙදෙන්න ඉඩ දෙන්න කියල ද?

සම්පත්වලට නීතිමය අයිතිය කියන්නට හැකියාව තිබූ පමණින්, ඒ සම්පත් වලින් ඵලදායීත්වයක් ගැනීමට හෝ ඒවා ආරක්ෂා කරගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සම්පත් තමන් කැමති විදියට භාවිතයට ගන්න අවසරයක් ඇත්නම් පමණයි ඵලදායීත්වයට සහ ආරක්ෂාවට මිනිසාට දිරිගැන්වීම් දීමනාවක් ඇතිවෙන්නේ. ඉතින් ඒ නිසා, සම්පත් තමන්ට රුචි සේ භාවිතයට ඇති අයිතිය තමයි පෞද්ගලික දේපල අයිතිය. ඒ හැරෙන්නට පෞද්ගලික දේපල අයිතියේ තවත් ලක්ෂණ දෙකක් තියෙන බව ඇල්චියන් පෙන්වනව: සම්පතෙන් ලැබෙන සේවා සඳහා අනන්‍ය අයිතිය, සහ අන්‍යෝන්‍ය කැමැත්තට අනුව එකඟත්වයකින් සම්පත් හුවමාරුවට ඇති අයිතිය.

පෞද්ගලික දේපල අයිතිකරුවන් තමන්ගේ දේපල සඳහා යන වැය දරන අය. ඒ වගේම ඒවායෙන් ලැබෙන යහපතත් භුක්ති විඳින අය. වැය සහ යහපත යන දෙකම ගැන තීරණ ගන්න අය නිසා ඔවුන්ට මිනිස් ස්වභාවයෙන්ම දායාද වූ දිරිගැන්වීමේ දීමනාව තමයි බුද්ධිමත්ව තම දේපල පරිහරණය කිරීම. තමන්ගෙ කියන ඉඩම් වැඩි දියුණු කරගන්න මිනිස්සු වෙහෙසෙන හැටි දැක්කම මේකෙ ඇත්ත නැත්ත පැහැදිලියි. පෞද්ගලික දේපල අයිතිය නිසියාකාරව පැහැදිලි වෙද්දී සම්පත් කාර්යක්ෂමව යොදාගෙන ඉහළ ජීවන මට්ටමක් සාධනය කරගන්නට මිනිසුන්ට ඉඩ ලැබෙනව.

නමුත් යම් සම්පතකට අනන්‍ය (exclusive) නැති අයිතියක් කියන්න ලැබෙද්දී, ඒක අල්ලාගන්න ලැබෙන හැමෝම ඒකෙන් ඕන ඕන විදියට ප්‍රයෝජන ගන්නව. ජාත්‍යන්තර මුහුදේ පමණ ඉක්මවා මාළු ඇල්ලීම විතරක් නෙමෙයි, පොදු මුල්‍ය සම්පතට අත පොවන්න හැකිවෙද්දී, ඕනෑම නගරයක, පළාතක, ආණ්ඩුවක ඇයවැය තුලින් පොදුබවේ ශෝකාන්තය හැම අවස්ථාවක දී ම අපිට දකින්නට ලැබෙන දෙයක්.

පෞද්ගලික දේපල අයිතීන්ට ආරක්ෂාව මඳ වෙද්දී, මිනිස්සු ආයෝජනය කරන්නෙත් අඩුවෙන්. තමන්ගෙ ආයෝජන වල ඵලදාව භුක්ති විඳින්නට කවදාවත් ඉඩ ලැබෙන්නෙ නැතැයි හිතෙනවා නම් මිනිස්සු ආයෝජනය කරන්නේ නැහැ. ඉතින් නිෂ්පාදනයට පණ පොවන ප්‍රාග්ධනය හිඟ වෙනව. ආර්ථිකයක් අඩපණව සිටිනව. ආණ්ඩුවකට දිගින් දිගටම සම්පත් භාවිතය ගැන තීරණ කිරීමේ බලය තියාගන, අපේ ආණ්ඩුව තමයි සම්පත් ආරක්ෂා කරන්නෙ යැයි කිය කියා ඉන්න පුළුවන්. ඒත් ඒකෙන් සම්පත් වලින් ඵලදායීත්වයක් ලැබෙන්නේ හෝ ඒවා ආරක්ෂා වෙන්නෙ නැහැ. අද වෙනිසියුලාවට සිද්ධ වී ඇත්තේ මෙයයි.

අනාරක්ෂිත සහ අසම්පූර්ණ පෞද්ගලික දේපල අයිතීන් නිසා අනාගතයට සැලසුම් හදන්න කිසිසේත්ම බැහැ. මේක තමයි ලුඩ්විග් වොන් මීසස් සිය “සමාජවාදී ආර්ථික ගණනය පිළිබඳ ගැටළුව” තුලින් පෙන්වා දුන්නෙ.

මෙතෙක් කාලයක් ගත් උත්සාහ වලින් සමාජවාදය හරි ගියෙ නැත්තේ මිනිස් චින්තනය වෙනස් කරන්න කළින් ඒවා මෙහෙය වූ නිසා යැයි සමහරු කියනව. තවත් අය පොදු චින්තනය පරාර්ථාකාමී කරවීම කිසිදාක මුදුන් පමුණුවා ගන්නට බැරි දෙයක් නිසා සමාජවාදය හරියන්නෙ නැත්තේ ඒ නිසා යැයි පෙන්නල දෙනව.

මීසස් පෙන්වා දුන්න තවත් සත්‍යයක්. මිනිස්සුන්ට තමන්ගේ ස්වාර්ථකාමය අඩු කරගන්නා හැකියාව යම් විදියකට පෑදුනත්, සම්පත් විකල්ප මාර්ග වලින් යොදා ගැනීමේ අගය යථාර්ථවාදීව ගණනය කරන්න කිසිසේත්ම හැකියාවක් ආර්ථික සැලසුම් හදන අයට නැතිකම නිසා සමාජවාදය අසාර්ථක වෙන බව. මේක තමයි සමාජවාදී ආර්ථික ගණනය පිළිබඳ ගැටළුව හැටියට හැඳින්වෙන්නේ.

නිෂ්පාදන උපකරණ සඳහා පෞද්ගලික අයිතියක් නැතිනම්, නිෂ්පාදන උපකරණ වලට වෙළඳපොලක් ලැබෙන්නෙ නැහැ.

උදැල්ලකට අයිති කියන්නට ඉඩක් නැති තැනක, ඕනම කෙනෙක්ට ඇවිත් ඒක ඕනම වෙලාවක අරන් යන්න පුළුවන් නම්, උදැල්ලක් හදන්න, විකුණන්න හෝ මිල දී ගන්නට කිසිවෙක් ඉදිරිපත් වෙයි ද?

වෙළඳපොලක් නැති තැනක, නිෂ්පාදන උපකරණවල මිල ගණන් දැනගන්නට හැකියාවක් ද නැහැ. මිල ගණන් නැත්නම්, එවිට නිෂ්පාදන උපකරණ සුලබ ද නැත්නම් හිඟ ද කියල දැනගන්න හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. නිෂ්පාදන උපකරණ වල සාපේක්ෂ හිඟ තත්වයන් දැනගන්නට ආර්ථික සැලසුම්කරුවන්ට අවස්ථාවක් නැතිවෙද්දී, නිෂ්පාදන උපකරණ වලින් ගත හැකි විකල්ප ප්‍රයෝජන ගැන යථාර්ථවාදී ගණනයක් කරන හැකියාවත් නැතිවෙනව.

ඒ කියන්නේ වෙළඳපොල මිල ගණන් වලින් දක්වන වැදගත් තොරතුරු නොලැබී යනව.

මීසස් තමයි මේක පැහැදිලි කරලා දීලා සෝවියට් දේශය පටන් ගනිද්දීම රටේ මුල්‍ය ක්‍රමය කඩා වැටෙන්න නොදී හැමෝම හාමතයෙන් මැරෙන්න යා නොදී, මිල ගණන් දැනගන්නෙ නැතිව සමාජයකට පවතින්න බැරි බව පෙන්වල දීලා රුසියන් ජනතාව බේරගත්තෙ.

ඒත්, සාමකාමීව තරඟයේ යෙදෙන්න ජනතාවට ඉඩදෙන්න ඔවුන් කැමති වුනේ නැහැ. ප්‍රචණ්ඩත්වයෙන් තරඟයේ යෙදෙන්නයි ඉඩ දුන්නේ. මුළු ලෝකයම කොමියුනිස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා ද කියල අහද්දී, ඔව් නවසීලන්තය හැරෙන්න අනිත් ඔක්කොම රටවල්, මොකද අපිට මිල ගණන් දැනගන්නත් තැනක් ඕනනේ කියල සෝවියට් විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකයා කිව්වලු!

මේ සිංහල අවුරුදු නිවාඩුව තුල හැකි පමණින් සටහන් කියවන්න යැයි පාසැල් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂයෙන් ඇරයුම් කර සිටිමි. ළඟක දී ම මෙම සටහන් කියවන අයට සහභාගී වෙන්නට ලැබෙන අනගි අවස්ථාවක් ගැන දන්වන්නට මට හැකිවේවි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. sisira karunarathna said, on අප්‍රේල් 11, 2017 at 1:28 පෙ.ව.

    Thank you very much aruni….

  2. krishramanayaka71 said, on අප්‍රේල් 18, 2017 at 1:02 පෙ.ව.

    දීර්ඝ අවුරුදු නිවාඩුව ඉවර කල විගසම වැඩ පටන් ගත්ෙත් ඔයාෙග බ්ෙලාග් ඒක කියවමින් සුබ නව වසරක් අක්ක ඔයාට වෙග්ම ඔයාෙග පවුෙල අයටත්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: