අරුණි ශපීරෝ‍ වෙතින්

සාධාරණ හුවමාරුවට ඉඩදෙන්නේ රජය නොවේ

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 8, 2017

“බල්ලෙක් සාධාරණව සහ උවමනාවෙන්ම තව බල්ලෙක් එක්ක තමන්ගෙ මස් කටුව වෙනුවට වෙන මස් කටුවක් හුවමාරු කරගන්නවා කිසිවෙක් කවදාවත් දැකලා නැහැ,” ඇඩම් ස්මිත්, ජාතීන්ගේ ධනය

තම වර්ගයා අතර, තමන් නොදන්න සාමාජිකයන් සමඟ පවා උවමනාවකින් හුවමාරු කරගත හැකියාව පිහිටා ඇත්තේ මිනිසාට පමණයි. මිනිසා ස්වභාවයෙන්ම මී මැස්සො විදියට වැඩ කරන්නෙ නැතිවා වගේම බල්ලො විදියට වැඩ කරන්නෙත් නැහැ! බලාත්කාරයෙන් ස්වභාවික තත්වයන් විකෘති කළාම මංකොල්ලය එළිබහිනව. එතකොට බලයේ සිටින පක්ෂයේ අය තමයි පාන් ගෙඩිය කාට ද බෙදන්නෙ කියල තීරණය කරන්නේ. හරියට අද වෙනිසියුලාව වගේ. වෙළඳපොල සහ වෙළඳපොලක් නොමැති තත්වයක දී මිනිස් හුවමාරු සබඳතා ගැන අවධානයක් යොමු කිරීමෙන් අපට බොහෝ දේවල් ඉගෙන ගත හැකියි.

දියුණු කාර්මික සමාජයක් පදනම් වෙලා තියන සන්නිවේදන ක්‍රමය කුමන ආකාරයකින් වැඩකරනවා දැයි වටහාගන්නට අපි දැන් තමයි පටන්ගෙන තියෙන්නේ -අපි වෙළඳපොල යැයි හඳුන්වන සන්නිවේදන ක්‍රමය, කිසිම මිනිසෙක් උවමනාවෙන්ම තොරුතරු බෙදා හරින්නට නිර්මාණය කරන ලද කිසිදු යාන්ත්‍රණයකට වඩා වැඩියෙන් කාර්යක්ෂමයි. ෆ්‍රෙඩරික් ඒ. හයෙක්, නොබෙල් ත්‍යාග දේශනය, 1974

නූතන වෙළඳපොල ආර්ථිකය කොතරම් සංකීර්ණත්වයකින් යුතු වූවත් අපිට එහි ඉතා බහුල හා එකිනෙකාට යහපත ලැබෙන හුවමාරු සිද්ධ වෙන ආකාරය දකින්නට පුළුවන්. හුවමාරුව තුලින් නව මිතුරන් ද ඇතිවෙන හැටි දකින්නට පුළුවන්. මේ ප්‍රපංචය හඳුන්වන්න පුළුවන් ග්‍රීක වචනයක් වූ katallattein වලින් එන catallaxy යන ඉංග්‍රීසි වචනයෙන්. වෙළඳපොල ක්‍රමයේ දකින කැටැලැක්සි අධ්‍යයනය කරන විද්‍යාවේ අංශය නම් වෙන්නේ කැටලැක්ටික්ස් නමින්.

වෙළඳපොල තුලින් මතුවෙන හුවමාරු සබඳතා ගැන, හුවමාරු ක්‍රියාවලිය තුල දකින්නට ලැබෙන කේවල් කිරීම් ආකාර, සහ හුවමාරුව සිද්ධ වෙන ආයතන ගැනත් අවධානය මේ අංශයේ දී යොමු කරනව. කඩදාසියක ඇඳලා තියෙන ඉල්ලුම් චක්‍රය සහ සැපයුම් චක්‍රය දක්වන රූප සටහනකින් දකින්නට ලැබෙන්නේ හුවමාරුවෙන් ලැබෙන ඵලය. ඒත් ඒ දිහා බලනවට වඩා මේ හුවමාරුව සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා බැලීමෙන්, මිල ගණන් ක්‍රමය සහ වෙළඳපොල ආර්ථිකය වැඩියෙන්ම හොඳින් අවබෝධ කරගන්නට ලැබෙනවා කියලයි මේ අංශය අධ්‍යයනය කරන අය පෙන්වා දෙන්නෙ.

සමාජ විද්‍යාවල දී මිනිස්සු විශ්වාස කරන දේ සහ ඔවුන් හිතන දේ “පරිසිද්ධි” හැටියට අධ්‍යයනයට ඇතුලත් වෙනව. භෞතික විද්‍යාඥයන් අලුත් දැනුම එකතු කරගන්නේ විශ්වය වැඩ කරන ආකාරය ගවේෂණයෙන්. හඳ හෝ හිරු වැනි අචේතනික වස්තූන් වල සැලසුම් හෝ අරමුණු අනුව දැනගන්නට උත්සාහ කිරීමෙන් නොවේ. ඒත් භෞතික විද්‍යාවන් ගෙන් වෙනස් විදියකටයි මිනිසා ගැන හදාරන විද්‍යාව පටන්ගන්නෙම. ඒකීයපුද්ගලයන්ගේ සැලසුම් සහ අරමුණු සලකා බැලීම තුලින් තමයි අධ්‍යයනය ආරම්භ වෙන්නෙ.

මිනිස්සු යම් භෞතික දේවල් ගැන, හැදියාවන් ගැන, ස්ථාන ගැන, සහ අනෙකුත් අය ගැන හිතන ආකාරයෙන් ඔවුන් තෝරාගැනීම් කරන්නේ කෙසේද යන්න පදනම් වෙනව. මේ දැනුම යම් ප්‍රමාණයකට ලබාගත හැකිවෙන්නෙත් අපි මිනිස්සු නිසාමයි. අපි ඉගෙන ගන්න දේවල් වලින් තමයි අපි හැදෙන්නෙ. අනෙක් මිනිසුන්ගේ සැලසුම් සහ අරමුණු ගැන අවබෝධයක් ලබාගන්න අපිට හැකි අපිත් එවැනි සැලසුම් හදන සහ අරමුණු තියන මිනිස්සු නිසයි.

සතියේ දිනයක උදේ 8-9 ත් අතර දී කොළඹ කොටුවේ දුම්රිය නැවතුම්පොළට පිටසක්වල වැසියෙක් ආවොත්, කුමක් දකීවි ද? උදේ වැඩට එන මිනිස්සු යැයි නොදන්නා අයෙකුට ඒ දකින තොරතුරු විද්‍යාත්මකව වටහා ගැනීමට හැකියාවක් නැහැ.

සෑම ආර්ථික ප්‍රපංචයක්ම මිනිස් මනස තුලින් පෙරහන් වී ලැබෙන්නක්.

භාණ්ඩයක අගය පුද්ගල නිශ්‍රිත යැයි 1870 ගණන් සිට අර්ථ ශාස්ත්‍රඥයන් එකඟ වී සිටියහ. ඇල්ෆ්‍රඩ් මාෂල් නම් බ්‍රිතාන්‍ය අර්ථ ශාස්ත්‍රඥයා පෙන්වා දුන් පසු භාණ්ඩයක විෂය න්‍රිශිත පැත්තෙන් ද මිල තීරණය වේ යන්න සලකා බලන්නට පටන් ගැනිණ. කඩදාසියක් කපන්නට කතුරක දෙපැත්තම අවශ්‍ය ආකාරයෙන් මිල ගණන් තීරණයට පුද්ගල න්‍රිශිත අගය සහ විෂය න්‍රිශිත වැය යන දෙකම ගැන සලකා බැලිය යුතු යැයි සැලකිණ. එහෙත්, අගයන් සේ ම, වියදම් යනු ද පුද්ගල නිශ්‍රිත වූවන් බව දකින්නට මාෂල් අපොහොසත් වූයේය.

හිඟ සම්පත්වල විකල්ප භාවිතයන් සඳහා ඒකීයපුද්ගලයන් විසින් තීන්දු කරන ලද අගයන් වලින් තමයි මිල ගණන් තීරණය වෙන්නේ. කතුරක දෙපැත්තම කපන්න සහාය වෙන බව හැබෑව. ඒත්, ඉල්ලුමේ පැත්ත, සහ සැපයුමේ පැත්ත, යන දෙකම තීරණය කරන ලද්දේ ඒකීයපුද්ගලයන්ගේ පුද්ගල නිශ්‍රිත වූ අගැයුම් වලින්.

පුද්ගලයා යම් ක්‍රියාවක නියැළෙන්නට තීරණයක් ගනිද්දී විකල්ප මාර්ග ගණනාවක් අත්හැර දමනු ලබයි. මේ විකල්ප දිහා බැලීම අර්ථ ශාස්ත්‍රයේ දී, ආවස්ථික පිරිවැය නමින් හැඳින්වේ. ඕනෑම ක්‍රියාවක් සඳහා යන වියදම යනු ඒ ක්‍රියාවෙහි නියැළීම සඳහා අත්හැර දැමීමට සිද්ධවෙන අනෙක් ඉහළම අගයෙන් යුතු විකල්පයේ අගයයි. අත්හැර දැමූ ක්‍රියාව යනු නොකරන්නට තීරණය කරන ලද්දයි. අයෙක් තෝරාගැනීමක දී වාසි අවාසි මැන බලන්නේ ඒ කරන්නට තෝරාගත්ත එකේ වාසි අවාසි සහ අත්හරින විකල්ප වලින් ලැබෙන වාසි අවාසි අතරයි.

වෙළඳපොලක හුවමාරුවේ පද වහර මිල ගණන් වලින් සාරාංශයක් හැටියට ඉදිරිපත් කරන්නකි. වෙළඳපොලට සහභාගී වෙන්නාගේ සැලසුමට සහාය වෙන (අනිත් අයගේ ආවස්ථික පිරිවැය සහ පුද්ගල නිශ්‍රිත අගැයුම් ද ඇතුළුව) අදාල තොරතුරු අඟවන්නේ මිල ගණන් ක්‍රමයයි.

මිල ගණන් ක්‍රමයෙන් මිලියන ගණනක ස්වාධීන ජනතාවකට “තමන්ගේ සැලසුම් අනිත් අයගේ සැලසුම් හා සම්බන්ධ කරගන්නට” ඉඩ පාදා දෙයි. එයට කිසිත් ප්‍රධාන සම්බන්ධීකරණ අධිකාරියක් හෝ බලාත්කාරයක් අවශ්‍ය නොවේ. මෙය හයෙක් විසින් ඔහුගේ “සමාජයක දැනුම භාවිතය” නම් රචනාවෙන් පහදා දෙනු ලැබීය.

මිල ගණන් වලට මේ කාර්යය ඉටු කළ හැකි නිසා, ඒ යාන්ත්‍රණයෙන්, (කවුරුත් හැදුව එකක් නොව, සියල්ලන් විසින් කරන ගණුදෙනු වලින් එන ඵලය) හුවමාරුව තුලින් දෙපැත්තටම වාසි ලබාගන්නට සහාය දෙයි.

හයෙක් මෙය පැහැදිලි කළ උදාහරණය සුප්‍රසිද්ධ වූවකි. ටින් වල මිල ඉහළ ගිහින් යැයි මිනිස්සු දකිද්දී, ඔවුන්ට ඊට හේතුව ඉල්ලුම වැඩිවෙලාද නැත්නම් සැපයුම අඩුවෙලාදැයි කියා දැනගැනීමේ අවශ්‍යතාවයක් නැත. ටින් මිල ඉහළ යෑම නිසා පාරිභෝගිකයන්ට දැන් අරපිරිමැස්මෙන් කටයුතු කරන්නටත්, විකල්ප සොයා යන්නටත්, පාරිභෝගිකයන්ගේ කැමැත්ත තෘප්තිමත් කරන ඊට වඩා අඩු වැයෙන් යුතු ක්‍රම සොයා යන්නටත් සිද්ධ වේ.

මිල ගණන් හැදෙන කොන්දේසි වෙනස් වීම නිසා වෙළඳපොල මිල ගණන් ඉතා ඉක්මණින් වෙනස් වේ, එයින් මිනිසුන් ද ඊට ඉක්මණින් හැඩගැසෙන්නට ද යොමු වෙති.

මිල ගණන් ක්‍රමයට ඉඩ නොදුන් විට කුමක් සිද්ධ වේ ද? ඉක්මණින් හැඩගැසෙන්නට හැකියාවක් ලැබෙන තොරතුරු නොලැබීම නිසා බඩු හිඟයක් පැතිර යයි.

මිල ගණන් ක්‍රමය මැද්දට පැමිණ සහතික මිල පනවද්දී කුමක් සිද්ධ වේ ද? කෘතීම අඩු මිල ගණන් ‘නැවතෙනු’ වැනි සංඥාවක් නිෂ්පාදකයන්ට දන්වන නිසා එවිට ද බඩු හිඟයක් ඇතිවේ. කෘතීම අඩු මිල අඩුපාරිභෝගිකයන්ට යවන්නේ ‘යනු’ කියන සංඥාවයි. එයින් දිරිගැන්වීමක් ලැබෙන නිසා ඔවුන් වැඩියෙන් භාණ්ඩය පරිභෝජනය කරති. බඩු හිඟය වැඩිවේ. දිගින් දිගට එහෙම ගියාම හැම භාණ්ඩයකම හිඟයක් හට ගනී. හරියට අද වෙනිසියුලාව වගේ!!! ඡායාරූප ගූගල් නිව්ස් වලින්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: