අරුණි ශපීරෝ‍ වෙතින්

උමං හැදීම, ඒවා පුපුරා දැමීම, අපොයි මගෙ බදු සල්ලි!

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 14, 2017

ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප් චන්දය ඉල්ලා සිටිය දී ජනතාවට කියා සිටියේ පිටරට යුද්ධ වලට නොයන බවයි. ඒත් පුටුව රත් කරන්නට පටන් ගෙන වැඩි කල් නොගිහින් ඔහු ද නොබෙල් සාම තෑග්ග දිනූ බරක් ඔබාමාගේ අඩි පාරේම ගමන් කරන්නට පටන් ගෙන තිබේ.

ඇමෙරිකන් ජනතාවගෙන් උදුරාගත් බදු මුදල් වලින් ඇෆගනිස්තානයේ තැනූ උමග, ඇමෙරිකන් ජනතාවගෙන් උදුරාගත් බදු මුදල් වලින්ම හෙලූ බෝම්බයකින් නොබෝදා සුණු විසුණු කර දමන ලදි.

පහුගිය වසරේ උපයන ලද ආදායම් සඳහා රජය කියා සිටින ප්‍රමාණය සාමාන්‍යයෙන් මේ වසරේ අප්‍රේල් 15 වැනිදා හෙවත් බදු දිනය ලෙසින් හැඳින්වෙන දවසට කළින් ගෙවිය යුතු වූවකි.

බොහෝ අයගේ පඩි පැකට් එකෙන් සෑම පඩි වාරයක දී ම බදු අහක් කරගත් පසු ඉතිරිය අතට ලැබේ. ඉතින් ඒ නිසා මේ දිනයට කළින් ඔවුන් කළ යුත්තේ පෝරම පුරවා ලැබුණු ගණන් ඇත්ත යැයි අත්සන් කර දන්වා යැවීම පමණකි. ඔබාමා රජයෙන් සම්මත වූ සෞඛ්‍ය පනත අනුව දැන් සෞඛ්‍ය රක්ෂණයක් නැති සෑම අයෙක්ම මේ පෝරමය පුරවද්දී රජයට දඩයක් ද ගෙවිය යුතුයි.

පඩියෙන් ඍජුවම කැපෙන්නේ නැති ආදායම් උපයන්නට සමත් ව්‍යාපාරිකයන්, ආයෝජකයන් හා සමාගම් බදු ගෙවන අය හැකි තරම් අඩුවෙන් බදු ගෙවමින් උපයා ගත් ධනය ළඟ තබාගන්නට හැකි අනේක ක්‍රම සොයන්නේ නම් මේ කාලයේ දී පමණක් නොවේ.

ඒත් රටේ ජනාධිපතිවරයා කොතරම් බදු ගෙව්වාදැයි කියා දැනගන්නට ද ලැබෙන්නේ ද මේ කාලයේ දී ය. ඒ සාමාන්‍ය සිරිතක් මිසෙක රටේ නීතියෙන් ඉල්ලා සිටින්නක් නොවේ. ජනාධිපති පමණක් නොව උප ජනාධිපති අපේක්ෂකයන් පවා තමන් ගෙවන ලද බදු තොරතුරු ජනතාව හමුවේ තැබීම සිරිතක් වූවත්, සියළු තොරතුරු ඉදිරිපත් නොකළ අවස්ථා බොහොමයකි. ජෙරල්ඩ් ෆෝඩ් තමන් ගෙවූ බදු ගැන සංක්ෂේපයන් පමණක් ජනතාව හමුවේ තැබීය. ජෝර්ජ් බුෂ් පුතා ද ඉදිරිපත් කරන ලද්දේ සාරංශයක් පමණි. ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් ජනාධිපතිව සිටිය දී බදු වාර්තා ඉදිරිපත් නොකළේය. ඒත් පසු කාලයක දී ඒවා ඔහුගේ ජනාධිපති පුස්තකාලයට දෙන ලදි. ජනාධිපති ට්‍රම්ප් සිය බදු තොරතුරු ඉදිරිපත් නොකරන බව කියා සිටියි.

සාමාන්‍යයෙන් බදු දිනය සෑම වසරකම අප්‍රේල් 15 වැනිදා යැයි තීරණය වූවත්, 2017 වසරේ බදු දිනය අප්‍රේල් 18 වැනිදා යැයි අභ්‍යන්තර ආදායම් සේවාව (IRS) තීරණය කර ඇත. ඒ, පිටදේශයන්ට බෝම්බ හෙලද්දී රටේ ජනතාවට මෙය තමන්ට සපයන සේවාවක් දැයි අහන්නට හිතෙන නිසා නම් නොවේ. සෙනසුරාදා, ඉරිදා හෝ නීතීමය නිවාඩු දවසක් බදු දිනය විය නොයුතු බව IRS විසින් තීරණය කරන ලද්දකි.

වහල් සේවය අහෝසි කළ 1862 පනත සම්මත වූ දිනය සැමරෙන්නේ අප්‍රේල් මස 16 වෙනිදා ය. ඒ දිනය සෙනසුරාදා දිනයකට වැටුනහොත් එය සිකුරාදා සැමරීමත්, එය ඉරිදා දිනයකට වැටුනහොත් එය සඳුදා සැමරීමත් සාමාන්‍ය සිරිතයි. මෙවර එය ඉරිදාට වැටීම නිසා සඳුදා දී සැමරෙන නිසා, 2017 වසරේ බදු දිනය අප්‍රේල් 18 වී ඇත.

මේ වෙද්දී බොහෝ අඩු ආදායම් උපයන මාස් පඩිකාරයන්ගේ පඩි පැකට් වලින් බදු කපාගෙන ඇති නිසා, දිනය කල් ගියා කියා සිද්ධ වෙන වැඩි යහපතක් නැත. බදු පෝරම පුරවා යැවූ අයට නම් දැනටමත් වැඩියෙන් කපාගත් සල්ලි ආපසු ලැබී ඇත.

මිනිසාගේ වෙහෙසෙන් උපයන ආදායමෙන් කොටසක් උදුරා ගනිමින් එය ඔහුගේම යහපත පිණිස වැය කරන්නට දන්නවා කියාගත් පාලකයන් වෙනස් වුවද ඔවුන්ගේ ක්‍රියා කලාපය වෙනස් වී නැත. ධනවාදය කඩා වැටී ඇතැයි කියන්නට හදන අයට අමතක වෙන්නට පෙර මතක් කරදිය යුත්තක් ඇත. වෙහෙසෙන මිනිසා උපයන ආදායමෙන් කොටසක් උදුරාගන්නට හැකි නීතියක් සම්මත කරගැනීම ධනවාදය නොවේ. තම වෙහෙසේ ඵලදාව තමන් කැමති ආකාරයකින් භුක්ති විඳින්නට නොහැකි වෙද්දී ඊට ධනවාදය යැයි කියන්නට නොහැකියි.

අනිත් රටවල් වලට බෝම්බ දමද්දී ඒ ජනාධිපතිවරයාට නම් බලය ඇතැයි ලෝකයාට පෙන්වන්නට පුළුවන්. බදු මුදල් උදුරාගෙන වරෙක උමං හදමින් ද, වරෙක ඒවා පුපරුවා හරිමින් ද එසේ පාලකයන් ඔවුන් සතු බලය පෙන්වද්දී, වෙහෙසන ජනතාව සුසුම් හෙළමින් හෙටත් නැඟිට වෙහෙස වී ඒ ආදායමෙන් කොටසක් රජයට යැවිය යුතුයි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on අප්‍රේල් 14, 2017 at 9:57 ප.ව.

    මෙහෙයි එහෙයි වැඩි වෙනසක් නෑ වගේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: