අරුණි ශපීරෝ‍ වෙතින්

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලියූ හුණුවටයේ කතාව

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 16, 2017

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් රචිත ‘ද කොකේසියන් සර්කල්’ හෙවත් සිංහලෙන් ලියා, හෙන්රි ජයසේන දායද කරනු ලැබූ ‘හුණුවටයේ කතාව’ නමින් හඳුනන නාට්‍යය ගැනයි මේ සටහන.

නාට්‍යයේ ප්‍රස්තාවනාව ඉඩම් අයිතිය ගැන සංවාදයකි.

බ්‍රෙෂ්ට් නාට්‍යය ලියන්නේ ඇමෙරිකාවේ සිටිය දී ය. 1944 දී ලියන එය ඉංග්‍රීසියට පරිවර්තනය වී මුලින්ම ශිෂ්‍ය නිෂ්පාදනයක් හැටියට රඟ දැක්වෙන්නේ මිනෙසෝටා ප්‍රාන්තයේ කාල්ටන් කොලෙජ් හි ය. නමුත් 1965 ගණන් තෙක් ප්‍රස්තාවනාව ඇමෙරිකාවේ පෙන්වූ නාට්‍යයන්ට එකතු නොවීය.

පාසැල් සමයේ මා ලංකාවේ දී නැරඹූ ජයසේනයන්ගේ නිර්මාණයේ මේ ප්‍රස්තානාව රඟ දැක්වීම සිද්ධ වූවේ නැතැයි යන්න මගේ මතකයයි. එය වැරදි විය හැකියි.

නාට්‍යයේ වැදගත් කොටසක් වන මෙම ප්‍රස්තාවනාව හැමවිටම සෑම මුද්‍රිත ප්‍රකාශනයකම දකින්නට ලැබේ. නාට්‍යය ප්‍රථම වතාවට බටහිර ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ ප්‍රදර්ශනය වූ පසු ද මාධ්‍ය විසින් ප්‍රස්තාවනාව රහිතව එය නැවත පෙන්වන්න යැයි ඒකමතිකව යෝජනා කරන ලදි.

ප්‍රස්තාවනාවෙන් දැක්වෙන්නේ සෝවියට් ජෝර්ජියාවේ මිටියාවතක ඉඩම් කුට්ටියක් සඳහා කොල්චොසස් ගම්වැසි දෙපිරිසක් අයිතිය කීමයි. මිටියාවතේ දේපල අයිතිය එක සාමූහික පිරිසක් සතු වී තිබිණ. එහෙත් දැන් අනෙක් ගොවිතැන් කටයුතු කරන සාමූහිකය කියා සිටිනුයේ ඔවුන් එහි වාරිමාර්ග කටයුතු දියුණු කර වඩා හොඳින් වගා කරන්නට දන්නා බැවින්, එනම් එයින් වැඩි ප්‍රයෝජනයක් ගත හැකියාව ඇති නිසා ඔවුන්ගේ සාමූහිකත්වයට මිටියාවත අයිති විය යුතු බවයි.

හිට්ලර්ගේ හමුදා මඟ එන බව අසා, එළුවන් ඇතිදැඩි කරන ගම්වැසියන් රජයේ නීතියකින් එම මිටියාවතෙන් ඉවත් කරනු ලැබීය. නාට්සීන්ව පළවා හැරිය පසු ඒ ගම්වැසියන් ආපහු එම මිටියාවතට එන්නට පටන් ගනිති. තමන්ගේ ගම්බිම් වූවා සේ ම, එළුවන් ඒ මිටියාවතේ තණකොළ වැඩියෙන් ප්‍රිය කරනවා යැයි ඔවුන් කියා සිටිති.

පළතුරු වවන අනෙත් ගම්වැසියන් කියා සිටින්නේ කඳුකරයෙන් ගරිල්ලා සටන්කරුවන් පළවා හැරියේ ඔවුන් බවයි. හතුරා නවත්වන්නට සටන් කරද්දී තම නිවාසවලට හානි පමුණුවන්නට සිද්ධ වූ බවයි. නැවත ගෙවල් දොරවල් ඉදිකරන ආදායම් උපයාගන්නට නම් පළතුරු වතුයායන්ට වතුර සපයන්නට වාර්මාර්ග කටයුතු සඳහා මිටියාවත ද යොදාගන්නට අවශ්‍ය බවයි.

ඉඩමක් යනු ඵලදායී වූවක් නිෂ්පාදනයට යොදාගත වූවක් යැයි නගරයෙන් පැමිණ ඉඩම් පළහිලව්වට මැදිහත්වන විශේෂඥයන් කියා සිටිති. ඉඩමෙන් වැඩි ප්‍රයෝජනයක් ලබාගන්නට හැකියාව ඇතැයි කියන පළතුරු වවන ගම්වැසියන්ට ඒ සඳහා අවශ්‍ය වාරිමාර්ග සඳහා මිටියාවත පාවිච්චියට ඉඩ දීමෙන්, සහ එළුවන් ඇතිදැඩි කළ අයට අශ්වයන් ඇතිදැඩි කරනු සඳහා රජයේ සහනාධාර ලබාදෙන්නට තීන්දු කිරීමෙන් ඉඩම් නඩුව විසඳේ.

මේ නිවැරදි තීන්දුව ගැන ප්‍රීතියට පත්වන ජනතාව සිය සංවාදය දැක්වෙන සුප්‍රසිද්ධ කතාන්දරය වූ හුණු වටය රඟ දක්වන්නට තීරණය කරති. ප්‍රස්තාවනාව එතැනින් අවසන් වෙයි.

ඒත් ප්‍රස්තාවනාව ගැන නොදන්නා අයට දකින්නට ලැබෙන්නේ “අප්පා උඹේ හොර දෙටුවා අම්මා හරිම කුණකටුවා” වූ නිසා කැරැල්ල හටගත් විට කලබලයේ නොසලකා හැර දමා ගිය දරුවා රැකගන්නට ගෘෂා නම් මෙහෙකාරිය විසින් ගන්නා අප්‍රතිහත ධෛර්යයි. ගෘෂා මුහුණ දෙන අවදානම් සහ ඇය සිය අනාගතය ද කැප කිරීමයි.

අස්ඩක්ගේ චරිතය ගොඩනඟන්නට බ්‍රෙෂ්ට් විසින් සම්පූර්ණ ජවනිකාවක් යොදා ගනු ලබයි. එය නාට්‍යය ඇතුලේ දිගහැරෙන තවත් නාට්‍යයක් වැනිය. අස්ඩක් එසේ මෙසේ විනිසුරුවෙක් නොවේ. සම්මත නීති විපර්යාස කරන්නට යුහුසුළු බව පෙන්වන අස්ඩක් නීති පොත උඩ හිඳගන්නෙකි. හොරදෙටුවක් වුවත් එක බල ලෝභී පාලකයෙක්ගේ උවමනාවට දුප්පතුන්ගේ විනිසුරුවා ලෙසින් පෙනී සිටිමින් පිස්සු නටන අස්ඩක් තරබාරු කුමාරයාගේ ගෙල ගසා දමන තීන්දුව දී නරඹන සියල්ලන්ගේම ප්‍රසාදය දිනාගන්නට සමත් වෙයි.

නීතිය විපර්යාස කරන ලද කළ, හොර දෙටුවක්ට ද නඩුකාරයෙක් විය හැකියි. හොර දෙටුවා වූ නඩුකාරයා ලවා නීතිය තවත් විපර්යාස කළ හැකියි.

බ්‍රෙෂ්ට් පාදක කරගන්නා චීන ප්‍රවාදයේ දරුවා යළි ලැබෙන්නේ වැදූ මවටයි. ඇයට ඉහළ සමාජ තත්වයක් ද තිබිණ. නමුත් ඒ සාම්ප්‍රදායික කොටස වෙනස් කරන්නට බ්‍රෙෂ්ට් සමත්වෙන්නේ ප්‍රස්තාවනාවෙන් ඉදිරිපත් කරන තේමාව අනුවයි. එනම් අලුත් ආකාරයක සත්‍යයක් ගෙන ඒමෙනි.

If he went in golden shoes
He would cruel be;
Evil then would be his life.
He could laugh at me.
Too heavy is a heart of stone
For human breast to bear!
Bad and powerful to be
Is too great a care.
Hunger he will have to fear,
But no hungry one!
Darkness he will have to fear,
But not the sun!

ඇතිමුත් මිණි මුතු අබරණ
දිනුමුත් සම්පත් අපමණ
උව හොත් රජ නපුරු ලෙස
රුදු වග වලසුන් විලසේ
උඹ මිනිහෙක් වෙයන් පුතේ
කුසිගිනි වෙයි එකම සතුරු
අඳුරට බිය වෙයන් පුතේ
හිරු එළියට බිය නොමවී

දරුවාගේ වගකීම බාරගත්තා පමණක් නොව දරුවාට ආදරය දක්වනවා යැයි පෙන්වන්නට ද සමත් වූ මෙහෙකාරියට -ගෘෂාට දරුවා දීමට ගන්නා තීන්දුව ඒ නිසා සියල්ලන්ගේම ප්‍රසාදයට ලක්වේ.

ප්‍රේක්ෂකයන් අතර වාඩිගෙන සිටින මව්වරු සියල්ලන් මෙහි දී තමන්ව සමාන කරගන්නේ ගෘෂාටයි. දරුවා කාට අයිතිවේදැයි කියා විශේෂඥයෙක්ට/විනිසුරුවෙක්ට කැමති ආකාරයකට තීන්දු කරන්නට බලය පවරා දුන්නා නේදැයි ඒ අම්මලාගේ සිහියට එන්නේ නැත.

සමාජයට වැඩියෙන් අගයක් එකතු කරන්නට හැකි වෙන්නා යැයි විශේෂඥයෙක්/විනිසුරුවෙක් විසින් තීන්දු කරන අයට -වැඩියෙන් සුදුස්සාට අයිතිය හිමිවේ. හොඳ රියැදුරාට අශ්ව රථය, හොඳින් බලාගන්නට දන්නා අයට දරුවා, එසේම ගම් බිම් අයිති විය යුත්තේ ද වැඩියෙන් ඵලදාව ගෙනෙන්නට දන්නා ගොවියාටයි.

බ්‍රෙෂ්ට් විසින් 1956 වෙද්දී The Dispute Over the Valley නමින් නාට්‍යයේ නම වෙනස් කරමින් බර්ලින් ප්‍රේක්ෂකයන්ට එය ඉදිරිපත් කරයි. එහි ආරම්භයේ දී ගැලින්ස්ක් හි කාන්තාවක් “නීතියෙන් අපිට මිටියාවතේ අයිතිය ලැබී තියෙනවා,” යැයි ප්‍රකාශ කර සිටියි. එවිට රෝසා ලක්සම්බර්ග් හි අයෙක්, “හැම නඩුවක දී ම, නීතිය පිරික්සා කරලා බලන්න ඕන ඒ නීති තාමත් ගැලපෙනවා ද කියලා,” යැයි පිළිතුරු දෙයි.

යුද වාතාවරණයක් හේතුවෙන් රජය විසින් වෙනතක යවන ලද යම් ඉඩම් අයිතිකරුවන් කොට්ඨාශයක්, යළිත් තමන්ට හිමි ඉඩකඩම් වලට එද්දී, “නීතිමය” ආකාරයකින් එම ඉඩම් හිමිවිය යුතු අයිතිකරුවන් කවුදැයි තීන්දු කරන්නට පොටක් පාදාගත් සමාජවාදය කොතරම් අපූරු ද?

ඉඩම් අයිතිය අලුත් විග්‍රහයකින් ජන හදවත් වලට රිංගවන්නට සමත් වූ මාක්ස්වාදී බ්‍රෙෂ්ට් නාට්‍යකරුවාට ස්තූති කරන්නට වර්තමානයේ දී බලලෝභී පාලකයන්/විශේෂඥයන්/විනිසුරුවන් කොතරම් සංඛ්‍යාවක් ලොව හැම තැනකින්ම එකතු වී ඇත්දැයි කියා ඔබ සිතනවා ද?

හුණුවටය සිංහල නාට්‍යයේ ගායනා ගත්තේ නූර්ති සහ වේදිකා නාට්‍ය ගී සටහන් තබන මෙතැනින්.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on අප්‍රේල් 18, 2017 at 1:47 පෙ.ව.

    පසුගිය සියවස ෙලාව ෙබාෙහා් කලා කෘති වලට සමාජවාදී සංකල්ප බලපාපු බවක් ෙප්වනව. ඒ්වාෙය් රසය සහ නිර්මාණ ශිලි බව විතරක් ගැනීම විතරයි කරන්න තිෙයන්ෙන කියලයි මම හිතන්ෙන.

    • arunishapiro said, on අප්‍රේල් 18, 2017 at 8:13 පෙ.ව.

      krishramanayaka71,

      සමාජවාදී සංකල්ප කොතරම් මිනිස් හදවත් තුලට කිඳා බැහැල ද කිව්වොත් ඒවා ගැන හිතල බලන්න මිනිස්සුන්ට උවමනාවක් නැහැ. ඒත් එයාලා මනෝරාජ්‍යයන් වල, සිහින මාලිගා වල ජීවත්වෙනවා කියන්නෙ අනික් අයට.

      ජෝර්ජ් ඕවෙල් සමාජවාදියෙක්, එයා ලියන “එක් දහස් නමසිය අසූ හතර” පොත වැඩියෙන් අගයන්නෙ ලිබටේරියන් අදහස් ඇති අයයි. ඒත් පොතෙන් කියැවෙන තත්වයන් සත්‍ය ලෝකයේ දකින්නට ලැබෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති හදන්න යද්දී දකින්න ලැබෙන ඵලවිපාක ගැන බවයි කියල ලෝකේ බොහෝ දෙනෙක් අමතක කරනව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: