අරුණි ශපීරෝ‍ වෙතින්

ලෙනාඩ් වුල්ෆ්, පංති පහ සහ අනාගත් බ්‍රෙෂ්ට් දැක්ම

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 17, 2017

බ්‍රිතාන්‍ය ලංකාවේ සිවිල් සේවයට පැමිණි ලෙනාඩ් වුල්ෆ් ලියූ බැද්දේගම නවකතාව, ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රථම වරට යටත්විජිත වැසියෙකුගේ පැත්තෙන් කියැවෙන පරිදි ඉදිරිපත් වන්නයි. ඒ නිසා එය විශේෂ කීර්තියට පාත්‍ර විය. 19 වැනි සියවස මුල් කාලයේ දී බ්‍රිතාන්‍ය සිවිල් සේවය සැකසී තිබුණේ සමාජයේ යහපත සඳහා ආණ්ඩුව ප්‍රධාන භූමිකාවක් ගත යුතුයි කියන අදහස අනුවයි. එනම්, තවමත් ලංකාවේ පුරවැසියන් විශ්වාස කරන ආකාරයටමයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ 1908 සිට 1911 දක්වා සහාය ආණ්ඩුකාර ඒජන්තවරයා වූ වුල්ෆ්ට, අනෙක් එවක බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන්ට ලෙසින්ම දිනපොතක් ලියන්නට නියම වී තිබිණ. එය 1808 දී සර් තෝමස් මේට්ලන්ඩ් මහා ආණ්ඩුකාරයා විසින් පනවන ලද නියෝගයකි. 1941 දී මේ දිනපොත් සටහන් තැබීම නවතා දැමෙන තෙක්, රජයේ දෙපාර්තමේන්තුවල සේවය කළ, පළාත් ආණ්ඩුකාරයන්, සහායක ආණ්ඩුකාරයන් සහ අංශ ප්‍රධානී සියළු දෙනා විසින් දිනපතා සිය සේවය ගැන වාර්තා තැබිය යුතු විය. විටින් විට ඒවා කොළඹ ගෙනැවිත් රජයේ ලේකම් විසින් ද, සමහර විට ආණ්ඩුකාරයා විසින් ද, කියවා බලන ලදි. 1962 දී වුල්ෆ්ගේ හම්බන්තොට දිනපොත තව කෙටිකතා 3 කුත් සමඟ මුද්‍රණය විය.

එහි විස්තර අතර රාජ්‍ය සේවයේ යෙදෙන ඒකීයපුද්ගලයාගේ හැකියාවන් කෙසේ වුවත් ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉහළ වේතන ලැබීම ගැන කියැවේ. වේතන කොතරම් ඉහළ මට්ටමක වූවාදැයි කිවහොත් මුදල් ගැටළු නොමැතිව තම සම්පූර්ණ අවධානය රස්සාවට යොමු කරත හැකියාව සිවිල් සේවකයන්ට ලැබුණා යැයි එහි සඳහන් වේ. එසේම, ඒ පුද්ගලයාට ඔහු සතු සුදුසුකම් වලට අනුව බ්‍රිතාන්‍යයේ දී උපයා ගත නොහැකි තරම් ඉහළ ආදායමක්, විශ්‍රාම පඩියක්, හදිසියේ මිය ගියගොත් භාර්යාවට හා දරුවන්ට විශ්‍රාම වැටුප් ද සහිත විය.

ඉතින්, බ්‍රිතාන්‍ය ලංකාවේ සිවිල් සේවා තනතුරු සඳහා අයැදුම්කරුවන් තේරීමට තරඟ විභාග පැවතිණ. අනතුරුව බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල උපධිධාරීන්ට පමණක් ඒවාට ලියන වරම් ලැබිණ. 1854 ගණන් වල දී පුරප්පාඩු සඳහා නාම යෝජනා ගෙන එන බලය ආණ්ඩුකාරයා ද සතුව පැවතිණ. 1870 දී ආණ්ඩුකාරයාගේ නාම යෝජනා ලත් අයටත් තරඟ විභාගයන්ට මුහුණ දෙන්නට සිදු විණ. තවත් විදියකින් කිව්වොත් බ්‍රිතාන්‍ය ලංකාවේ සිවිල් සේවය ආණ්ඩුවේ හොඳ රස්සාවකි.

ඒත්, ඉහළ පඩි ලද, තරඟ විභාග දිනත හැකි අධ්‍යාපන සුදුසුකම් වලින් යුතු ආණ්ඩුවේ සිවිල් සේවකයන්ට ලංකාවේ තිරසාර ආර්ථික දියුණුවක් සලසන රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථාපිතයට නොහැකි වූයේ මන්ද?

ලංකාවේ සිවිල් සේවකයන් හැටියට සිංගප්පූරුවේ ස්ටැම්ෆෝර්ඩ් රැෆලස් වැන්නෙක් පැමිණියේ නැත. ජාතීන්ගේ ධනය වැඩිවෙන සත්‍ය ක්‍රමය දන්නා සිවිල් සේවකයන් වෙනුවට ලංකාවට ආවේ ලෙනාඩ් වුල්ෆ් වැනි අයයි.

ඇඩම් ස්මිත් කියා දුන් සහජීවන දෘශ්ටිය අපේ රාජ්‍ය ප්‍රතිපත්තියට දායාද නොවීය. එනම්, “කන්න බොන්න ඇඳුම් ලැබෙන්නේ මිනිසුන්ගේ හිත හොඳකම නිසා නොවේ, ඔවුන් ඔවුන්ගේ ස්වාර්ථය සොයා යන විටයි,” යන සත්‍යය බ්‍රිතාන්‍ය ලංකාවේ වැසියන්ට දායාද නොවීය. “සියළු බාධක වලින් වානිජ්‍ය නිදහස් කිරීමේ ප්‍රඥාව” වෙනුවට වුල්ෆ් වැනි තමන්ගේ රටේ උපයාගත හැකිවාටත් වඩා ඉහළ පඩි සහ ප්‍රතිලාභ භුක්ති විඳිමින් රට ආණ්ඩුකළ රාජ්‍ය සේවකයන් වෙතින් “එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික අරමුණු තහවුරු කරගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ අනපේක්ෂිත විනාශයන්ට මුහුණ දීමට ය,” යන විරුද්ධ මතය අපේ ආණ්ඩුක්‍රම ප්‍රතිපත්තියට දායාද විය.

1840 දී පිහිටුවන Crown Land Encroachment Ordinance බ්‍රිතාන්‍ය ලංකාවේ ගැමි ජීවිත වියවුල් කරන්නට සමත් වූ ආකාරය ගැමි ජීවිත පැත්තෙන් කියැවෙන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්න ලියූ දූල්වල අලංකාරේ නම් නූතන ප්‍රබන්ධයෙනි.

බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාව නරඹද්දී බ්‍රිතාන්‍ය ලංකාව අල්ලාගත් සුද්දා ඒ මුඩුබිම් පනත් වලින් තීන්දු කළේ ද අස්ඩක්ගේ කෛරාටික විනිශ්චය වැන්නක්ම බව, දූල්වල අලංකාරේ කියවද්දී කී දෙනෙකුට සිහිවූවා ද?

1802 සිට 1812 දක්වා යුරෝපීයයන්ට කෘෂිකාර්මික ඉඩම් සඳහා ලංකාවේ අයිතියක් කියන්නට නොහැකි විය. ඒ තහනම ඉවත් වූ පසු අක්කර හාර දහසක් දක්වා අයිතිය කියන්නට ඉඩ ලැබුණි. 1820 වෙද්දී රජයට කැමති පරිදි ඉඩම් ප්‍රදානය කරන්නට බලය ලැබිණ. 1833 වෙද්දී අක්කර පනස්දාහකට වඩා ඉඩම් පෞද්ගලික හිමියන් අතට පත් වී තිබිණ.

රජයේ බලය යොදාගෙන ඔවුන් කැමති අයට ඉඩම් අයිතිය තීන්දු කරදීම නිර්බාධ වෙළඳපොලක් යැයි පොට පටලවා ගන්න එපා. ඒත් එහෙම පටලවා ගත් අයෙක් විප්ලවයක් ඇරඹීය. 70 ගණන් වල දී පංති පහක් පවත්වමින් රටේ ආර්ථික අර්බූදයක් ගැන දේශන පැවැත්වූ රෝහණ විජේවීර සුද්දාගේ ඉඩම් පවරාගැනීම සිහිකළේය.

බැද්දේගම සිළිඳුලා, සහ දූල්වල අලංකාරේ දන්තුවාලාට වඩා තේ වතු වැවිලියායන් හදා, ඒවා ප්‍රවාහනයට රේල් මාර්ග හදා, භූමියෙන් වැඩි ඵලදාවක් නෙළාගන්නට බ්‍රිතාන්‍ය සුද්දන් දත් බැව් එවක දී ඔවුන් ඔප්පු කළා නේද? ඉතින් ගම් බිම් අයිති විය යුත්තේ ද වැඩියෙන් ඵලදාව ගෙනෙන්නට දන්නා ගොවියාට වීම වැරදි ඔවුන් සුද්දන් වූ නිසා ද?

ඉඩම් අයිතිය ගැන ස්වභාවික නීතිය පැත්තෙන් පිරිනැමෙන නීතියේ දර්ශනය, ලංකාවේ සිංහලෙන් කියවන අයට ලැබී ඇත්දැයි සැක සහිතයි. රටක භූමියේ අයිතිය සතු රජයට යැයි පිළිගනිද්දී තම දේපල දිහා පුරවැසියා බලන්නේ ඕනෑම අවස්ථාවක රජයට උදුරාගන්නට අයිතියක් ඇති යමක් හැටියටයි. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ වලින් ද 1975 ඉඩම් ප්‍රතිසංස්කරණ වලින් ද එසේ රජයට පෞද්ගලික දේපල අයිති කරගන්නට ඒ නිසා ඉඩ පෑදුණි. අද ලංකාවේ රජයේ දේපල කියාගන්නා ඉඩම් විදේශ රටවලට හෝ විදේශිකයන්ට විකුණන බලය ඇත්තේ පුරවැසියන් වෙනුවෙන් ආරක්ෂා කරනවා කියාගන්නා රාජ්‍ය නියෝජිතයන්ටයි. එයට ඉඩ පෑදුනේ බ්‍රෙෂ්ට් ගෙනෙන සමාජයට වැඩියෙන් අගයක් එකතු කරන්නට දන්නා අයව තෝරාගන්නා බලය ඇත්තේ විශේෂඥයන්ට, විනිසුරුවන්ට හා දේශපාලකයන්ට යැයි සිතන චින්තනයෙනි.

විශේෂඥයෙක්ට/විනිසුරුවෙක්ට/පාලකයෙක්ට නීතියක් වෙනස් කරත හැකි බලය පදනම් වනුයේ සමස්ත සමාජයේ යහපත කෙසේ වෙනවාදැයි ඔවුන් විග්‍රහ කරන ආකාරය මත යැයි සමාජවාදියා කියයි. ඉතින් එන එන ආණ්ඩුකාරයා, ඉදිරිපත් වෙන විශේෂඥයා, පත්වෙන දේශපාලනඥයා ගෙනෙන විග්‍රහයට අනුව කොතරම් කාලයක් රට දියුණු කරමින් සිටිනවා දැයි තීරණය වේ. අසාර්ථක වෙද්දී ඒ අස්ඩක්ව පළවා හැර වෙන අස්ඩක් කෙනෙක් පත්කර ගනිති.

රැෆල්ස් වෙනුවට වුල්ෆ් ලැබුණු ලංකාවට ඉඩම් අයිතිය ගැන පැහැදිලි කරන ආර්මන් ඇල්චියන් වැන්නෙක් ලැබෙන්නේ කවදා ද?

පාසැල් අධ්‍යාපනයේ දී වුල්ෆ්ගේ බැද්දේගම කියවනවා වෙනුවට ස්මිත්, රැෆල්ස්, ඇල්චියන් යනාදීන් ගැන කියවන්නට ලැබෙන්නේ කවදා ද එදාට “ආණ්ඩුවේ හොඳ රස්සාවක්” හොයන අය වෙනුවට රටේ තිරසාර දියුණුව සලසන්නට දන්නා පුරවැසියන් බිහිවේවි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on අප්‍රේල් 18, 2017 at 2:05 පෙ.ව.

    දිනෙපාත් මුද්‍රණය සහා අදත් මිලියන ගාණක් මහජන මුදල් රජෙය් ෙස්වකයන්ට ෙවන් කරනව ( ෙකා්ල්අප් ඩයරි ). හැබැයි වසර අවසාෙන් ඒ්ව කුනු කූෙජට දානව . අවුලක් නෑෙන කාෙගවත් සල්ලිෙන. ලංකාව යටත් විජිත යුගෙය වාණිජවාදය අදහස් වෙග්ම ස්මිත්ෙග අදහස් ද බලපාපු හැටි ඉෙගන ගන්න පුලුවන් කුමාරි ජයවර්ධන ෙග කෘති කියවීෙමන්. ඉඩම් අයිතිය පුද්ගලික අයට වෙග්ම අපනයන අානයන පුද්ගලික අංශයට ඉඩ ලැබුෙන ඒ් අනුව. ලංකාෙව ධෙන්ශ්වරයක් සුලුෙවන් හරි හැෙදන්න බලපෑෙව ස්මිත් ෙග අදහස් සුලුෙවන් හරි ක්‍රියාග්මක වුනු නිසා. නමුත් සුද්ද ඒලවපු අෙප් අය ස්මිත් ෙවනුවට ක්‍රමෙයන් සමාජවාද කරගැහුව.

    • arunishapiro said, on අප්‍රේල් 18, 2017 at 8:17 පෙ.ව.

      krishramanayaka71,

      මාත් කුමාරි ජයවර්ධන ලියූ ඔය Nobodies to Somebodies පොත හොයාගෙන කියවන්න ඕන. බ්‍රිතාන්‍ය ලංකාවේ පටන් වර්තමානය දක්වා කිසිත් විචාරයක් නැතිව එද්දලවාදය පවත්වාගෙන යන්න අරක්කු නිෂ්පාදන බලපත්‍ර බෙදලා දීපු ආකාරය ගැන එහෙම.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: