අරුණි ශපීරෝ‍ වෙතින්

යුනයිටඩ් අවනඩුව සහ පාරිභෝගික ආරක්ෂණ පනත

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 24, 2017

පාරිභෝගික ආරක්ෂණ පනතක් තුලින් පාරිභෝගිකයාට සැබෑ ආරක්ෂාවක් ලැබෙනවා ද? නැත්නම් එයින් ආරක්ෂාවක් ලැබෙනවා යැයි රැවටීමකට පාරිභෝගිකයා හසුවෙනවා ද?

චිකාගෝ නගරයෙන් ලුවිවිල් කෙන්ටකි බලා ගිය යුනයිටඩ් එයාලයින් ගුවන්යානයෙන් මගියෙක්ව බලහත්කාරයෙන් පිටමං කිරීම පසුගියදා සමාජ මාධ්‍ය ජාලා තුලින් ක්ෂණයෙන් ලොව වටා බෙදා හැරිණ.

පෞද්ගලික සමාගමක් වූ යුනයිටඩ් ගුවන් සේවය කොටස් වෙළඳපොලේ ඩොලර් මිලියන 750 ක පාඩුවකට මුහුණ දුන්හ.

ඇමෙරිකාවේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා 2009 දී ගෙනෙන සංශෝධන වලින් කියා සිටියේ ‘අද අපි හඳුන්වා දෙන මේ අමතර මගීන් ආරක්ෂාවන් වලින් ගුවන් මගීන්ට ලැබිය යුතු ගෞරවය අනුව ඔවුන්ට සැලකේවි,” කියායි.

ගුවන් යානයේ ඇති ආසන වලට වැඩියෙන් ටිකට් විකුණා ඇත්නම්, ඒ යානයේ ඔබ මිලක් ගෙවූ ආසනය ඔබට අහිමි විය හැකි බව ටිකට් ගනිද්දී ඔබට දැනුම් දෙන කොන්දේසියකි. ඊට එකඟ නොවී ටිකට් පතක් මිල දී ගැනීමට හැකියාවක් කිසිවෙකුට නැත. එකඟත්වය පළ කරද්දී සියළු කොන්දේසි නොකියවන බොහෝ අය තමන් ඊට එකඟ වූ බව පවා නොදනිති. ඉහත 2009 රෙගුලාසියෙන් ගුවන් යානයෙන් ගමන යා නොහැකි ලෙසින් ඉවත් කරන මගීන්ට දිය යුතු වන්දි මුදල් දෙගුණයක් යැයි නියම කෙරිණ.

යුනයිටඩ් 3411 යානයේ ගමන් කරන්නට එදා මගීන් 80 ක් පමණ සිටි අතර ආසන වලට වඩා වැඩියෙන් ටිකට් පත් විකුණා තිබිණ. ඔවුන් කිසිවෙක් සිය ආසන අත්හැර ඒ වෙනුවට ටිකට්පතේ මිල දෙගුණයකින් ගෙවන වන්දි මුදල් බාරගන්නට ඉදිරිපත් නොවූහ. එහි දී ගුවන් සේවාව නීතිය අනුව කළ යුත්තේ කුමන අයව යානාවෙන් අයින් කරනවා ද යන්න ඔවුන් විසින් තීරණය කිරීමයි. ඔවුන් එසේ තීරණය කළහ.

අයින් විය යුතු අය හතරදෙනෙකුගේ නම් නිවේදනය වෙද්දී තිදෙනෙක් යානයෙන් ඉවත් වූහ. හතරවැන්නා ඔවුන් පිට වී යද්දී නිහඬව සිටියේය. එසේ පිට වී ගිය තිදෙනා වෙනුවෙන් ගුවන් සේවාවට විරෝධය පාන්නට ඔහු හෝ එහි සිටි වෙන කිසිවෙක් ඉදිරිපත් නොවූහ. කිහිප වතාවක් සේවකයන් කිහිප දෙනෙක් පැමිණ අනෙක් අයට ගමන යන්නට හැකි පරිදි යානයෙන් ඉවත් වෙන්නට යැයි හතරවැන්නා වූ වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටිය ද, වෛද්‍යවරයා යානයෙන් ඉවත් නොවීය. බලහත්කාරයෙන් වෛද්‍යවරයාව ගුවන් යානයෙන් එළියට ඇදගෙන යද්දී ඡායාරූප හා විඩියෝ කළ කිසිවෙකු හෝ තම ආසනය ඔහු වෙනුවෙන් ලබාදෙන්නට ඉදිරිපත් වූයේ ද නැත.

පොලිස් නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක සේවකයන්ට බලාත්කාරයට බලය පවරන්නේ කුමන අරමුණක් අරබයා ද යන්න සිතා බැලීම අමතක කර දමන අයම ඒ අය බලාත්කාර බලය යොදා ගනිද්දී ඒ ගැන කම්පා වෙති.

ටිකට් ගනිද්දී තමන් එකඟ වූ කොන්දේසියට අනුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළ තැනැත්තාට වාසිවෙන ආකාරයෙන්, එදා අසුන්ගෙන සිටි මගීන් අතරින් සාමකාමීව හැසිරෙන ලද වෙනත් අයෙක් තෝරා එයාව ගුවන් යානයෙන් පිටට දැම්මා නම්, ගුවන් සේවාව ආරම්භ කරන පෙරගියාව කුමක් දැයි සිතා බලන්නට ද බොහෝ දෙනෙක් අසමත් වෙති.

නීතිය ක්‍රියාත්මක කරන්නට බලාත්කාරය බලය පැවරූ අයට විරෝධය දක්වමින්, තමන් එකඟ වී සිටි නීතියට ද විරෝධය පාන අයට වෙනස් විදියකටත්, නිහඬව හා සාමකාමීව නීතිය අනුගමනය කරන අයට වෙනස් විදියකටත් සැලකීම අනුමත කරන්නේ කවුද?

එකඟතාවය කඩකරමින් කැමැත්තෙන් සාමකාමීව අයින් වෙන්නට ඉදිරිපත් නොවූ අයෙක්ව බලහත්කාරයෙන් ඉවත් නොකර, ඉතිරි මගීන් අසූවටම ගමන යා නොහැකිවන සේ එදා එම යානයේ ගුවන්ගමන අවලංගු කිරීම අනුමත කරන්නේ කවුද?

නීතියෙන් නියම වූ දෙගුණයකට වඩා වැඩියෙන් වන්දි මුදලක් ඒ අවස්ථාවේ ඉදිරිපත් කිරීම ගුවන් සේවාවට කළ හැකි වූවකි. එහෙත් නීතියෙන් දෙගුණයක් වන්දි ගෙවන්නට නියම වී තිබිය දී එවැන්නක් කළහොත්, එය පෙරගියාවක් වීමෙන්, සීමාවක් නැති වන්දි මුදලක් සඳහා කේවල් කිරීම පූර්ව කොන්දේසියක් බවට පත්වේ. සැබෑ නිර්බාධ වෙළඳපොල එයයි. එහෙත් එවැන්නකට ඉඩදෙන්නට ද සමාජ සාධාරණත්වය හොයන අය අකමැති වෙති. වන්දි මුදල් මෙපමණක් පමණක් ලැබිය යුතු යැයි නීර්ණය කරන්නට දන්නා දැනුමැත්තන් සිටිති යැයි සැලසුම් හදනවුන් විශ්වාස කරති.

ගුවන් සේවාවට කළ හැකි වූ තවත් දෙයක් තිබිණ. එනම් ගමන කොපමණ පරක්කු වුනත් ගෙන යන මගීන් කවුරුන්දැයි තීරණය කරන තෙක් කිසිවෙකුට යානයේ අසුන් ගන්නට ඉඩ නොදීමයි. මෙය ඉදිරියේ දී අත්විඳින්නට ලැබෙන ගමන කල් යන කරදරයක් වෙනු ඇත.

මාස හයකට කළින් ආසනයක් මිල දී ගෙන තිබුණ ද, එම සේවය නොලැබී වෙනත් යානයකින් වෙනත් නගර හරහා ගමනාන්තයට ගිහින් ඇත්තෙමි. ඉකොනොමි පංතියේ ආසන පිරී ඇති අවස්ථාවක, දිගු ගමනක ආරම්භයේ දී හෝ අවසානයේ දී පළමු පංතියේ ආසනයක් හිමි වූ අවස්ථා භුක්ති විඳ ඇත්තෙමි. සුහද සේවක සේවිකාවන් මෙන්ම සේවය යන වචනයේ අර්ථය නොදන්නා ලෙස හැසිරෙන අය ද අත්විඳ ඇත්තෙමි. ඒ සාමාන්‍යයෙන් ගුවන් ගමන් හි නිතර යෙදෙන සියල්ලන්ගේම අත්දැකීම් වෙති.

රෙගුලාසිකරණයෙන් මිනිස් සත්වයන් සියල්ලන්වම නීති අනුගමනය කරන, සුහද සාමකාමී සහ බුද්ධිමත් පුද්ගලයන් කරත නොහැකියි.

බලාත්කාර බලය ලැබූ අය ශාරීරික හානි නොමැතිව නීතිය ක්‍රියාත්මක කරාවි යැයි රෙගුලාසිකරණයෙන් බලාපොරොත්තු විය නොහැකියි.

ගුවන් මගියෙක් වේවා, වෙනත් භාණ්ඩයක් මිල දී ගන්නා පාරිභෝගිකයෙක් වේවා, පාරිභෝගිකයාට ලැබිය යුතු නිසි ගෞරවය අනුව ඔවුන්ට ලැබිය යුතු සැලකිල්ල ලැබෙන්නේ, සියල්ලන්ගේම අයිතිය කුමක්දැයි වටහා ගන්නට තරම් බුද්ධියක් ඇති අයගෙන් පමණකි. අනිත් සියල්ලන්ම අනුගමනය කළ යුතු වුවද ඒ නීතිය තමනට පමණක් බලපාන්නේ නැතැයි සිතන අයගෙන් නීති අනුගමනයක් (රෙගුලාසිකරණය පිළිපැදීමක්) හෝ යහපත් හැදියාවක් බලාපොරොත්තු විය නොහැකියි.

එහෙත් රෙගුලාසිකරණයෙන් කරන්නට නොහැකි වූවක් ඉටුකරන්නට වර්තමානයේ තාක්ෂණය සමත් වී ඇත. විඩියෝ හා ඡායාරූප පැතිර යාමත් සමඟ එදා යුනයිටඩ් සේවයේ ගිය මගීන් සියල්ලන්ටම සිය ටිකට්පත් මුදල් ආපහු ලැබිණ. ඉන්පසු සිද්ධ වූ ඇමෙරිකන් එයාර් ලයින් සේවයේ ස්ට්‍රෝලර් සිද්ධියේ විඩියෝ දර්ශනය පැතිර යාමත් සමඟ ඒ අයගේ සේවය තහනම ද, පාරිභෝගික පවුලටම ඒ ජාත්‍යන්තර ගුවන් ගමනේ ඉතිරි කොටස පළමු පංතියේ ගමන් කරන්නට ද හනිකට පිළියම් යෙදිණ.

බඩු මිල වැඩිවෙන, පාරිභෝගිකයා රවටන ආරක්ෂණ නීති වැඩිකරනවා ද නැත්නම් සමාගම් වගකිව යුත්තන් කරන්නට තමන් වැඩි අවධානයෙන් කටයුතු කරනවා ද?

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අප්‍රේල් 24, 2017 at 10:36 ප.ව.

    ඉතා ගැලපෙන කාලීන උදාහරණයක් යොදා ගැනීම කදිමයි

  2. තිස්ස දොඩන්ගොඩ said, on අප්‍රේල් 25, 2017 at 3:15 පෙ.ව.

    ඇයි ‘first come first serve’ විදිහට කරන්න බැරි වුණේ ?
    පසුවී පැමිණි මගියා මුලින් ආ මගියාට වඩා වැදගත් වූයේ කුමන සාධකයක් නිසාද?

    • arunishapiro said, on අප්‍රේල් 25, 2017 at 7:52 පෙ.ව.

      තිස්ස දොඩන්ගොඩ,

      පළමුවෙන් ටිකට් පතක් මිල දී ගන්නා අය නෙමෙයි පළමුවෙන් ‘ගේට්’ එකට එන්නෙ. අර දරුවන් එක්ක යන අයටයි, රණවිරුවන්ටයි, පළමු පංති, බිස්නස් පංති, ඒ සේවාවේ වැඩියෙන් යන අය වගේ කළින් ඉඩ දෙන ‘ගේම්’ ගොඩයිනෙ. ඕවා අපි හැමෝම දකින ඒවා. හොයන්න ඕනෙ අපි දකින්නෙ නැති පැත්ත.

      අහන්න ඕන ප්‍රශ්නය: හතරදෙනෙක් ඉවත් කර පසුවී එකතු කරන හතරදෙනා වැදගත් වුනේ ඇයි? ඒ හතරදෙනා යුනයිටඩ් සේවකයන්. මේ සේවාව එදින රාත්‍රියේ චිකාගෝ වලින් පිටත්වෙන අවසන් යානය. මොකක් හරි පටලැවිල්ලක් නිසා ගුවන් සේවය මුහුණ දීපු ප්‍රශ්නය තමයි ඒ සේවකයන් හතරදෙනාව එදා රාත්‍රියේ ලුවිවිල් වෙත යැව්වෙ නැත්නම් ඊ ළඟ දවසේ උදේ ෆ්ලයිට් එකක වැඩ කරන්න සේවකයන් නොසිටීම නිසා එම සේවාව සැපයීමට නොහැකිවීම.

      වැඩ කරන සේවකයන් මදියි කියල කැන්සල් වෙච්ච ෆ්ලයිට්ස් දැකල අපිට තරහ ගිය අවස්ථා ඕන තරම්. ඒ වගේම ප්ලේන් එකේ ඇත්තටම සීට් නැහැයි කියල: දවසක් අපි දෙන්නගෙ සීට් නොම්මර 17 සහ 18. මාස ගාණකට කළින් ගත්තු ටිකට්. මෙන්න අපේ ගේට්ටු දෙකක් විතර තියෙන, එක එයාර් ලයින් එකක් විතරක් වැඩ කරන, පුංචි එයාර්පෝට් එකේ එදා උදේ තිබ්බේ සීට් 16 ක් පමණක් ඇති යානයක්. අපි දෙන්නව තියලා අනික් අය අරන් ගියා! ඊට පස්සෙ ප්ලේන් එකකට අපිව දැම්ම, වෙන නගර හරහා ඒත් අපේ ගමනාන්තයට රජය පාස් කරපු පාරිභෝගික ආරක්ෂණ පනත අනුව නිර්දේශ වූ අමතර පැය ගණන ඇතුලත දී යවන්න සමත් වූ නිසා කිසි වන්දියක් ගෙවන්න ඔවුන්ට සිද්ධ වුනෙත් නැහැ. දැන් අපි ඒ එයාර්පෝට් එකෙන් යනවා නම් අංක 12 ට කළින් නොම්මරයක් ඇති ආසනයක් ලැබුනෙ නැත්නම් ටිකට් එක ගන්නෙ නැහැ!

      අපි ටිකට් පතක් මිල දී ගන්නකොට වැඩිය කියවන්නෙ නැති නීති කියවල බලද්දී, ඔවුනට පාඩුවක් සිද්ධ වේ නම් සේවය සැපයීමෙන් අයින්විය හැකි යැයි ගුවන් සේවය කියලා තියෙන බව හොයාගන්න පුළුවන්. නිතර යන එන අය දන්න කාරණයක් තමයි මෙහෙ රෑට යන ගුවන් ගමන් (මෙහෙ ගොඩක් අඩුයි 8-9 වෙද්දී එයාර්පෝට් හිස්) බොහෝ විට කැන්සල් වෙන බව. හේතුව ලාබයක් හොයන්න තරම් මගීන් සංඛ්‍යාවක් නැතිවීම. හැබැයි මෙතන දී වුනේ මගීන් හතරදෙනෙක් ඉවත්කර අර සේවකයන් හතරදෙනා එම යානයෙන් ලුවිවිල් වලට ප්‍රවාහනය නොකළහොත් ඊ ළඟ උදෑසන මගීන් 80 ක් යළි චිකාගෝ වෙතට ගෙන එන සේවාව ඇණහිටීම නිසා සේවාවට පාඩු සිද්ධ වීම. අර උදේ ලුවිවිල් වලින් චිකාගේ එන්න බලාගෙන ඉන්න මගීන්ටත් ගමන යන්න ලැබෙන්නෙ නැහැ.

      ඉතින් ටිකට් පතක් ගනිද්දී එකඟවෙන නීතිවල rule 21 හි I සහ J කියන්නෙ එහෙම හේතුවක් නිසා මගියෙක්ව ගෙන නොයන්නත්, එහෙම කරන නිසා සිද්ධ වෙන අතුරු හානියක දී ඩැමෙජස් ගෙවීමෙන් පවා වැළකී සිටින්නටත් හැකියාව ඇති බව සේවාව මිල දී ගත් මගීන් සියල්ලන්ටම එක ලෙසින් බලපානවා කියල. ඒ නිසා හතරදෙනෙක් අයින් කරන්න රැන්ඩම් ක්‍රමයක් යොදාගන්න සිද්ධ වෙනව. එහෙම අවස්ථා බහුල නැති වුනත් දකින්න ලැබෙනව. උදේ කාලයක දී නම් මිනිස්සු දන්නෙත් නෑ එයාලව වෙන ෆ්ලයිට්ස්වල දාලා යවද්දී.

      කොටින්ම කිව්වොත් අපිට ඇති අහවල් අයිතියක් නැහැ ගෙවලා ගියත් අනුන්ගෙ ප්ලේන් වල යද්දී!!!

  3. එල ද බ්‍රා මෙන්ඩ said, on අප්‍රේල් 25, 2017 at 7:32 ප.ව.

    ඔය වෙලාවට තමයි ප්ලේන් එකක් ගන්න හිතෙන්නේ

  4. krishramanayaka71 said, on අප්‍රේල් 26, 2017 at 12:06 පෙ.ව.

    මෙ නිවුස් එකට මූනුපොතේ අපේ යාලුවෙක් දනවාදයට පලු යන්න බැනල තිබ්බ මතකයි

    • arunishapiro said, on අප්‍රේල් 26, 2017 at 7:40 පෙ.ව.

      krishramanayaka71,

      😀

      ප්‍රයිවට් සෙක්ටර් එකේ සල්ලි වලින්, ප්‍රයිවට් සෙක්ටර් එක ලව්වා, ප්‍රයිවට් සෙක්ටර් එකට පාරවල් හදලා දෙන්න රජය මැදිහත්විය යුතුයි කියන අයගෙ පටු චින්තනය පටු අදහස් වල හිරවෙලා තියෙනවා කියල ආයෙ කියන්න ඕනද!!!

  5. balasooriya lansakara said, on මැයි 30, 2017 at 11:55 පෙ.ව.

    වෑදගත් ලිපියක්. ස්තුතියි අරුනි දෑනුවත් කලාට. මටනම් තාම එහෙම අවස්තාවක් ඈවිත් නෑ. ඒත් හදිස්සියේවත් ඒ වගේ සිදුවීමක් වුනොත් ප්‍රස්න දාගන්නේ නෑතිව අයින් වෙන්න පුලුවන්. වෑඩියෙ කතාවට නොගිහින්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: