අරුණි ශපීරෝ‍ වෙතින්

වානේ පන්නරය ලැබූ හැටි – සෝවියට් යථාර්ථවාදය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 26, 2017

1850 ගණන්වල ප්‍රංශයෙන් පටන් ගත් යථාර්ථවාදය (Realism) කලා ව්‍යාපාරයක් විය. 18 සියවසේ පැවති රොමැන්තිකවාදය ප්‍රතික්ෂේප කළ මේ කලාකරුවන් සිය නිර්මාණ තුලින් එවක සමාජයේ සත්‍ය වූ පිළිබිඹු ඉදිරිපත් කළහ. 1857 දී Jean-François Millet අඳින ලද The Gleaners නම් චිත්‍රය අස්වැන්න නෙළාගත් පසු එහි ඉතිරි ධාන්‍ය බිඳිති ඇහිඳින ගම්බද දුෂ්කර ජීවිත ගෙවන කාන්තාවන් නිරූපනය වේ. එය මෙම කලා ව්‍යාපාරයේ සුප්‍රසිද්ධ උදාහරණයකි.

යථාර්ථවාදී කලාකරුවන් අසරණයන්ගේ තත්වයන් ලොවට පෙන්වද්දී ප්‍රංශ ජාතික ෆෙඩරික් බැස්ටියාට් මිනිසා ඒ අසරණ තත්වයට පත්වන්නේ මන්දැයි පෙන්වා දුන්නේය. නමුත් චිත්‍ර දැකීමෙන් හා ප්‍රබන්ධ කියැවීමෙන් පන්නරයක් ලබන අය පෙනෙන දේ පමණක් මිසෙක නොපෙනෙන දේ ගැන විමසන්නට වෙහෙසක් නොගනිති. සමාජයක් සැබැවින්ම යහපත් වෙන්නේ කෙසේදැයි විමසීම සිත් වෙහෙසන්නකි. කිසිදා සාක්ෂාත් කළ නොහැකි උත්කෘෂ්ටයන්ට පෙම්බැඳීම විචාරයෙන් තොරව කළ හැකියි.

ප්‍රංශයෙන් හටගත්ත යථාර්ථවාදී කලා රැල්ල රුසියාවට රිංගන්නේ 1917 ඔක්තෝබරයේ දී බොල්ෂෙවික් කල්ලිය රටේ පාලන බලය අල්ලා ගැනීමත් සමඟයි. ට්සාර් විසින් දමා තිබූ නිසිබලධාරීන්ගේ කපා හැරීම් වෙනුවට වැඩිකල් නොයද්දී සෝවියට් වැසියන් කොමියුනිස්ට් පරමාදර්ශයේ ජයග්‍රහණයන් දක්වන ‘යථාර්ථවාදී’ කලා කෘතීන් පමණක් පරිහරණයට කොටු වූහ. වැඩකරන ජනතාවට වටහාගත හැකි කලා නිර්මාණ පමණක් ද, මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය නිරූපනය වෙන කලා නිර්මාණ පමණක් ද, ගොඩනඟන කොමියුනිස්ට් රාජ්‍යයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ අරමුණු වලට සහාය දෙන මතවාදය පමණක් ද, මේ සෝවියට් යථාර්ථවාදී නිර්මාණ වලින් පිළිබිඹු කළ යුතු යැයි තීන්දු විය.

“දරුවන්ට උගන්වන්න මට වසර හතරක් දෙන්න, ඔවුන් තුල මා රෝපණය කරන බීජය කිසිදා මුලිනුපුටා දමන්නට නොහැකිවනු ඇත,” -ව්ලැඩිමියර් ලෙනින්

යුරෝපීය කතන්දර රාජ්‍ය මැදිහත්වීමෙන් සෝවියට් යථාර්ථවාදයෙන් හැඩගැසී සමාජයට නිකුත් කෙරිණ. ලංකාවේ බහුතරයක් තවමත් ළමා කාලයේ දී කියවන්නේ මේවායි. ඒවා සිත් ආකර්ශනය කරගන්නා ලෙසින් ලියා ලස්සන රූප වලින් පිටු පුරවා ඇත. යටින් දිවෙන නොපෙනෙන පණිවිඩය ගැන හිතන්නට උත්සාහයක් ගන්නේ එහෙමත් අයෙකි.

මිනිස් සංහතිය වෙනුවෙන් සතුට සොයා අරගලයක යෙදුනු නව මිනිසාගේ උප්පත්තිය දිග හැරෙන ‘වානේ පන්නරය ලැබූ හැටි’ අදත් ලාංකික ජන හදවත් පිනවන ප්‍රබන්ධයකි. දුප්පත් පවුලූෂා දඩබ්බර කොලු ගැටයන් වෙතින් පීඩා විඳිමින් බාල වයසේ දී හිමිදිරියේ නැඟිට යන මුළුතැන්ගෙයි රස්සාව ගැන, තේ කෝප්පයක් තොල ගාමින් සුව පහසු පුටුවක් රත්කරමින් කියවන අයගේ සිත් කම්පා කරවයි. මෙහි කතා නායකයා වන පවෙල් කොර්චාගින්ගේ කතාව එහි කතුවරයා වන නිකලායි ඔස්ත්‍රොවෙස්කිගේ ජීවිත කතාව ද වෙයි. හිතවතුන් නොව, පවුලේ ඥාතීන් නොව, ඔහු ලෙඩ දුකින් පෙළෙද්දී වෙරළබඩ සනීපාරක්ෂක නිකේතනයකට යවන පක්ෂය සහ සෝවියට් බලඅධිකාරිය කොතරම් ආදර්ශාත්මක ලෙසින් කටයුතු කරනවා දැයි දකින කියවන්නා ඉතා සතුටු වෙයි. බලන්න වැඩකරන ජනතාව වෙනුවෙන් කැප වූ අනගි ලේඛකයා රෝගී බවෙන් සිටිය දී ද සිය මෙහෙයුම අත්නොහැරි හැටි. ඒ මිනිසා කොතරම් අගය කළ යුත්තෙක් ද?

සෝවියට් යථාර්ථවාදයේ චිත්‍ර කලා නිර්මාණ තුලින් අපි වැඩියෙන් දකින්නේ රෝස පැහැති මුහුණු ඇති, ශක්තිමත් බාහු ඇති කෘෂිකාර්මික හෝ ඉංජිනේරු මෙවලමක් උස්සා ගත් ගැහැණු සහ පිරිමි වෙති. සෝවියට් උත්කෘෂ්ටය වෙනුවෙන් වෙඩි තබා මරා දැමූ අයව හෝ සාගතයෙන් මිය ගිය මිලියන ගණනක සංඛ්‍යාව නිරූපනය වෙන චිත්‍ර කලා නිර්මාණ කිසිවක් දකින්නට නොලැබුණි. වර්තමාන වෙනිසියුලාව ගැන සමාජ සාධාරණත්වය කතා කරනවුන් කොතරම් නිහඬ දැයි කිව්වොත් එහි අසරණ ජනතාව ගැන කලා කෘති දකින්නට ලැබේවිදැයි කියාත් සැකයි.

වානේ පන්නරය ලැබූ හැටි චරිතපදානයක් නොව ප්‍රබන්ධයක් හැටියට ඉදිරිපත් කරන නිසා, නිකලායි ලෙනින්වාදී තරුණ කොමියුනිස්ට් එක්සත් වෘත්තීය සමිතිය (කොම්සොමොල්) සිටි බව පමණක් ලියැවෙයි. සැබෑ ජීවිතයේ දී රතු හමුදාවේ සේවය කළ කාලය ගැන නිහඬව සිටියි. මන්ද රතු හමුදාව යනු එවක දී මිලියන පහකින් යුතු භට හමුදාවකි. පා ගමන් කරමින් උත්කෘෂ්ටයන්ට එකඟ නොවූ අය අත්අඩංගුවට ගනිමින්, සිරගත කරමින්, දූෂණය කරමින්, රටෙන් පිටුවහල් කරමින් යනාදී ඔවුන් කළ මෙහෙයුම් වූහ. රතු හමුදාව රටේ ජනගහණයෙන් 30% ක් වෙඩි තබා මරා දමා ‘ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය’ මෙහෙය වූ අයයි.

1917 ජූලි කලබලයන්හි වීරයන් 1921 මාර්තු මාසයේ දී ක්‍රොන්ස්ටාඩ් නාවුක බේස් හි දී බොල්ෂෙවික් පාලකයන් සමඟ විරසක වූහ. බොල්ෂෙවික් කොමිස්සාර්වරුන් හිතුමතයේ කරන පාලනය හෙළා දුටුවහ. වැඩකරන ජනතාවට හා ගම්බද ජනතාවට බලයේ සිටිය හැකි සැබෑ සෝවියට් ජනරජයක් ඉල්ලා සිටියහ. එය සිද්ධ වූයේ 10 වැනි පක්ෂ සම්මේලනය පැවැත්වෙද්දී ය. රතු හමුදාවත් චෙකා බල ඇණියත් එය මර්ධනයට සම්මේලනය මැද දී පිටත්ව ගියහ. එය, ගුප්ත (mysterious) සුදු හමුදාවේ ජනරාල්වරයෙක් සහ සංක්‍රමණිකයන් (émigrés) විසින් මෙහෙයවූ කැරැල්ලක් (revolt) යැයි කටකතාවක් පතුරුවා හැරිණ. එහෙත් බොල්ෂෙවික් පක්ෂය සහ වැඩකරන ජනතාව සැබැවින්ම වෙන්වූයේ මෙහි දී ය. සෝවියට් පාලනය ප්‍රථම වතාවට සිය අරගලයට එක් වූ වැඩකරන ජනතාව වෙතම තුවක්කු එල්ල කළහ.

වානේ පන්නරය ලැබූ හැටි වෙතින් අපට ලැබෙන්නේ සෝවියට් යථාර්ථය වන පක්ෂයේ දෘශ්ටියයි. එකෝඩියන් එකක් වාදනය කරමින්
“ඒයි පුංචි ඇපල් ගෙඩිය
කොහාට ද ඔබ පෙරළෙන්නේ?
චෙකා අතින් චොප්ප වෙලා
එතැන තමයි ඔබ නවතින්නේ!”
යැයි පවෙල් කොර්චාගින් ජන ගීයක් වෙනස්කර ගයයි. මම සිංහල පරිවර්තනය කියවා නැත්තෙමි. ඒ නිසා දැදිගම වී. රුද්‍රිගූ මේ කවිය කෙසේ පරිවර්තනය කළාදැයි නොදනිමි.

ඒයි පුංචි ඇපල් ගෙඩිය කොහාට ද ඔබ පෙරළෙන්නේ? යන රුසියන් ජනකවිය එකතු කරමින් ‘අපි ජීවත්වන්නෝ’ නමින් සිය චරිතපදානය ප්‍රබන්ධයක් හැටියට ලියන ලද්දේ අයින් රෑන්ඩ් විසිනි. අනිත් පැත්ත දැනගන්නට කැමති නම් ඔබට ඒ ප්‍රබන්ධය මෙතැනින් සිංහලෙන් කියවන්න හැකියි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Transylvania said, on අප්‍රේල් 26, 2017 at 8:36 ප.ව.

    නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි පිලිබඳව මට එක ගැටලුවක් තිබේ. ඔහු ස්ටාලින්ගේ කුමන්ත්‍රණ දේශපාලනය හඳුනා ගැනීමට අපොහොසත් විය. ඔහු ස්ටාලින් හැඳින්වුයේ සමුර්ධිමත් යුගයකට අපව ගෙන යන සදාදරණීය නායකයා වශයෙනි . ඇතැම් විට ස්ටාලින්ගේ තත්‍ය ස්වභාවය දැකීමට ඔහුට නොහැකි වුවා විය හැක. එහෙත් 1936 දී ඔහුගේ මරණය සිදුවන විට විටත් ස්ටාලින් දස දහස් ගණනින් ජනයා ගුලර්ග් වහල් ශ්‍රම කඳවුරු වලට ගාල් කරමින් සිටියේය.

  2. Dayaratne said, on අප්‍රේල් 29, 2017 at 12:01 පෙ.ව.

    ඔස්ත්‍රොව්ස්කි ස්ටැලින් වාදී නිළධර පංතියේ එක් පුරුකක්. වානේ පන්නරය කෘතිය ඔහු විසින් ඔහුවම වීරත්වයට පත් කර ගැනීමේ ස්වයං ලිඛිත චරිතාපදානයක්. ඒත් පොතේ මුල් කොටසේ ළමා කම්කරුවෙකු මුහුණ දෙන ඇද්දැකීම් විචිත්‍ර ලෙස ඉදිරිපත් කර තිබුණා. ඒ කොටස ගෝර්කි ගේ පොතකට නෑකම් කියන ස්වභාවයක් තියනවා.
    ඔබ සටහන් කර ඇති ලෙසම “වානේ පන්නරය ලැබූ හැටි වෙතින් අපට ලැබෙන්නේ සෝවියට් යථාර්ථය වන පක්ෂයේ දෘශ්ටියයි”

    ඔබ විසින් පරිවර්තනය කරන ලද අයින් රෑන්ඩ් ගේ ගේ කෘතිය වඩාත් ප්‍රතිපක්ෂව සිටින්නේ ෂෝලහොව් ගේ පෙරළු නැවුම් පස කෘතිය සමගයි කියලා මට හිතනේනෙ. අයින් රෑන්ඩ්ගේ වික්ටර්, අන්ද්‍රෙ වගේ පක්ෂ සමාජිකයින් අපිට ෂෝලහොව් ගේ දවීදව් සහ මාකාර් සමග සසදන්න පුළුවන්. අයින් රෑන්ඩ් නාගරික කොමියුනිස් පාලනය විවර කරන විට ෂෝලහොව් ඈත ග්‍රාමීය කොමියුනිස්ට් කාරයින් වීරයන් කර ඉදිරිපත් කරනවා.
    දැදිගම වී රොද්‍රිගූ සෝවියට් ප්‍රචාරක වාදී කෘති සිංහලට පරිවර්තනය කරන අතරේම රුසියන් සාහිත්‍යයේ ඉතා අගනා කෘතීන්ද පරිවර්තනය කර තිබුණා. ටෝල්ස්ටෝයිගෙ “ඉවාන් ඉල්ලීච් ගේ මරණය”, ගාෂියන් ගේ “රතුමල”, පුෂ්කින් ගෙ “වෙඩි පහර” වගේම චොකොව් ගේ “අට්ටාලය සහිත ගෙය” අපි කියෙව්වේ ඔහු හරහා. මෑතකදී “අට්ටාලය සහිත ගෙය” කෙටිකතාව සමන් වික්‍රමාරච්ච් (මගේ මතකයේ හැටියට) පරිවර්තනය කරලා තිබුණා. ඒත් මට දැදිගම වී රොද්‍රිගූ ගේ පරිවර්තනය ඊට වඩා හොදයි කියලයි හිතෙන්නෙ.
    සෝවියට් පාලනය ගැන හොදම විවිරනය කල (සිංහලට පරිවර්තනය වූ) කෘතිය ලෙස ඔබ විසින් පරිවර්තනය කරන ලද අයින් රෑන්ඩ් ගේ කෘතිය ඉදිරියෙන් සිටින බව මාගේ හැගීමයි. එහි ගෞරවය ඔබට හිමියි.
    තවත් කාරණයක්. මෑතකදී මා ගෝර්කිගේ Great Steppes කෙටි කතාවේ ඉංග්‍රීසි පරිවර්තනයක් කියෙව්වා. මේ කෙටි කතාවම 1945 දී පමණ එදිරිවීර සරචන්ද්‍ර “මහ තණබිම” ලෙස සිංහලට පරිවර්තනය කරලා තිබුණා. සිංහල පරිවර්තනය ඉතා කදිම බව එතුමාට ගෞරවයක් ලෙස කියන්න ඕනා.

    • arunishapiro said, on අප්‍රේල් 29, 2017 at 7:34 පෙ.ව.

      Dayaratne,

      ඔස්ත්‍රොව්ස්කි බොල්ෂෙවික්ස් පාක්ෂිකයෙක්, එහි පාලක පංතියේ අයෙක්. මිනිස්සුන්ට කන්න ලැබෙන්නෙ කොහොමදැයි නොදැන බෙදන්න දන්නවා කියාගත් අයට එකතු වූ කෙනෙක්. පිඟන් කෝප්ප සෝදපු තරුණයෙකුට ආර්ථික දැනුමක් තියෙනවා කියල අපේක්ෂා කරන්නෙ නැති නිසා ඒ ගැන වරදක් කියන්න බැහැ. ඒත් රතු හමුදාවේ කුරිරු වැඩ නොලියන්න හේතුව රතු හමුදාවේ සේවය කළ අයෙක් හැටියට ඒවා දැනන් හිටිය නිසා. ඊ ළඟට මිලියන 5-10 ක් අතර ජනතාවක් මිය යද්දී ඒ ගැන නොදැක්කා වගේ හිටිය. ඒ ඔහු අන්ධ වූ නිසාම නොවේ. ස්ටාලින් බලයට එන්න කළින් මේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: