අරුණි ශපීරෝ‍ වෙතින්

සෝවියට් දේශය බිහිවීම -කෙටියෙන්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 27, 2017

සමාජ සහ දේශපාලන විප්ලව ඇති වූයේ, පැවතියේ, සාර්ථක වූයේ සහ බංකොළොත් වූයේ කුමන හේතු නිසාදැයි ඒවා ගැන සටහන් තබන බහුතරය එකිනෙකා සමඟ එකඟ නොවෙති. මෙය ඔබේ පෞද්ගලික දැනුම සඳහා මම ලියන බ්ලොග් සටහනක් පමණකි. මේ කරුණු “කිසිදා මුලිනුපුටා දමන්නට නොහැකි බීජ පැල කරන” රජයේ විභාග සඳහා පිළිතුරු ලිවීමට යොදා නොගන්න!

කාර්මික විප්ලවයක් ඕපපාතිකව හටගෙන යුරෝපීය රටවල් ඉදිරියට යද්දී රුසියාව තවමත් පසුගාමී යැයි 1825 වෙද්දී රුසියානුවන්ට අවබෝධ වී තිබිණ. යුරෝපයේ හටගත් පුනරුදය සහ බුද්ධිමය විචාරමය යුගය ද ඔවුන්ට සහමුලින්ම මගහැරිණ. ප්‍රංශයෙන් බැලේ නර්තනය ගෙනැවිත් තිබුණ ද, මොස්කව් විශ්ව විද්‍යාලය පිහිටුවා ගත්ත ද, යුරෝපයට වඩා පසුගාමී යැයි දකිද්දී ඒ සඳහා කළ යුත්ත කුමක්දැයි කියා හරියාකාර අවබෝධයක් රුසියාවේ විද්වතුන්ට නොතිබිණ. බටහිර යුරෝපයේ සංචාරයට ගිය ලිබරල් අදහස් ඇති රදළයන් පිරිසකට ආඥාදායක රාජාණ්ඩුව වෙනස් කර ව්‍යවස්ථාදායක රාජණ්ඩුවක් හදාගන්නට උවමනා විය. පළමු නිකලස් රජ දවසේ ඇති වූ දෙසැම්බර් කැරැල්ල එහි ප්‍රතිඵලයයි. නමුත් කැරැල්ල ඉතා පහසුවෙන් මර්ධනය කෙරිණ. චිරස්ථාපිත, ඒකාධිපති, සහ ජාතිකවාදී දැක්ම ජයගති.

අධිරාජ්‍යයන් හැදූ යුගයේ රුසියාවත් ඔටෝමාන් තුර්කිය, පෝලන්ත දේශය, යුක්රේන් සහ සයිබීරියාව යනාදීන් සමඟ සටන් වැදුණහ. පළමු නිකලස් විසින් මිලියන 60-70 ගණනකින් යුතු විසල් හමුදාවක් නඩත්තු කරන ලදි. රෝමය කඩා වැටුනේ එක දවසෙන් නොවූවා සේ ම, රුසියාව ද බංකොළොත් මාර්ගයේ ගමන ඒ වෙද්දී පටන් ගෙන තිබුණි. පියා ගිය ගමන වෙනස් කරන්නට තුන්වැනි ඇලෙක්සැන්ඩර් නව ට්සාර් හැටියට බටහිර යුරෝපයේ බලපෑම් වලින් අයින් වී ඉන්නට තීරණය කළේය. නිදහස් ප්‍රකාශනය, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථා සහ පාර්ලිමේන්තු ක්‍රමය යනාදියට ඉඩ නොදෙමින් විප්ලවකරුවන් මර්ධනය කර අධිරාජ්‍යය පුරා ඔහු රුසියානුකරණ ප්‍රතිපත්තියක් ගෙන ගියේය.

පියවරු සහ පුතුන් නමින් 1862 දී නවකතාවක් ලියූ ඉවාන් ටර්ගෙනෙව් වෙතින් නාස්තිකවාදයක් රුසියාවේ පැතිරෙන්නට පටන් ගති. මිනිසා හැදූ ආයතන සහ නීති කෘතීම සහ දූෂිත යැයි කියා ඒවා විනාශය නාස්තිකවාදීන්ගේ දැක්ම විය. සාම්ප්‍රදායික රදළයන්ව නම්වා ගන්නට ඔවුනට නොහැකි විණ. එහෙත් ඉඩම් හිමි ප්‍රභූන් සහ සාමාන්‍ය ජනතාව නම්වා ගත් ඔවුන් ජනප්‍රිය ව්‍යාපාරයක් විය.

ඇලෙක්සැන්ඩර්ට පසු ඔහුගේ පුත් දෙවැනි නිකලස් ට්සාර් විය.

ඒ අස්සේ කවුරුත් නොදැන හටගෙන තිබුණු කාර්මික විප්ලවය රුසියාවේ ද වෙනසක් ඇති කරමින් තිබුණි. 1898 දී මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටි රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයක් RSDLP බිහිවිය. 1901 දී ගම්බද වැසියන්ට ඔවුන් වෙහෙසෙන ඉඩම් අයිති විය යුතු යැයි කියන සමාජවාදී-විප්ලවීය පක්ෂයක් Esers බිහිවිය. කාර්මික දියුණුව ගෙනෙන ලද ලිබරල් අදහස් වලට නැඹුරු වූ ධනවාදී කර්මාන්තකරුවන් ප්‍රමුඛත්වයෙන් සාමකාමී සමාජ ප්‍රතිසංස්කරණ සඳහා ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය Kadets 1905 දී පිහිටුවන ලදි.

1903 වෙද්දී RSDLP කොටස් දෙකකට බෙදී තිබිණ. එක පැත්තක් ව්ලැඩමියර් ලෙනින් මෙහෙය වූ රැඩිකල් බොල්ෂෙවික්ස් ය. අනෙක් පැත්ත යූලි මාටොව් මෙහෙය වූ මෙන්ෂෙවික්ස් ය. රුසියන් සමාජවාදය සාමකාමීව ක්‍රමයෙන් වර්ධනය වී ට්සාර්ගේ රෙජිමය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකට හැරවිය යුතු යැයි මෙන්ෂෙවික්ස් විශ්වාස කළහ. බොල්ෂෙවික්ස් කියා සිටියේ වෘත්තීය විප්ලවකරුවන් වෙතින් හැදුණු, පක්ෂයේ ශික්ෂණයට දැඩි සේ ලක්වූ, වැඩ කරන ජනතාවගේ නායකයන් වූ කුඩා එලීට් කල්ලියක විසින් බලහත්කාරයෙන් රටේ පාලන බලය අල්ලා ගත යුතු බවයි.

රුසියන් සත්‍යලබ්ධික පල්ලියේ පූජකවරයෙක් ට්සාර් වෙතට ජනතාවගේ පෙත්සමක් බාරදෙන්නට මහා පෙළපාලියකින් යද්දී කොසැක්වරු වෙඩි තැබීම නිසා රුසියාවේ ලේ හැලුණු ඉරිදා නමින් පටන් ජනවාරියේ පටන් ගත්ත පසුව 1905 රුසියන් විප්ලවය බවට පත්විය. 1905 ඔක්තෝබර් මාසයේ දී ට්සාර් නිකලස් ජාතික ව්‍යවස්ථාදයකය -ඩූමා නිර්මාණයට එකඟ වූයේය. චන්ද අයිතිය වැඩිවීමත් ඩූමා වෙතින් සම්මත නොවන නීති ක්‍රියාත්මක නොවීමත් මෙහි ප්‍රතිඵලය විය. වැඩවසම් ක්‍රමයෙන් වෙනස් මගක් අරඹන සාමකාමී ප්‍රවේශය සමාජවාදීන් ප්‍රතික්ෂේප කළහ.

පළමු ලෝක යුද්ධය 1914 දී පටන් ගනිමින් සර්බියාවේ ආරක්ෂාවට ගිය දෙවැනි නිකලස් ට්සාර් ජර්මනියට සහ ඔස්ට්‍රියා-හංගේරියාවට දෙකටම පහර දුන්නේය. විසල් මෙහෙයුමක් පටන් ගත්ත ද රටේ ඇතුලත වියවුල් තිබි රුසියාවට යුද්ධය සංවිධානය කරගැනීමට නොහැකි විය. ජාත්‍යානුරාගයෙන් යුතු රුසියන් සොල්දාදුවන් අවි ආයුධ පවා නැතිව ගියේ සටන් බිමේ දී අහුල ගන්නා ආයුධ වලින් යුද වැදීමටයි. දෙවැනි නිකලස් ඩූමා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නවතා ග්‍රිගෝරි රස්පූටින් වැනි මුග්ධයන්ට සවන් දුන්නේය.

වැඩවසම් යුගයේ රදළ ඉඩම්හිමියන්ටත්, රාජාණ්ඩු ක්‍රමයේ කෲරත්වයත් අත්විඳිමින් සියවසක කාලයක් පුරා කෙමෙන් කෙමෙන් හටගත් කැරලි කෝලාහල සියල්ලේ මුදුන් පැමිණීම අද සෙන්ට් පීටර්ස්බර්ග් නමින් හැඳින්වෙන, එදා පෙට්‍රොගෑඩය ලෙස හැඳින්වූ නගරයේ සිද්ධ විය. පුරා දවස් අටක් පමණ පැවති එම රුසියන් විප්ලවය උද්ඝෝෂණයේ යෙදී සිටි මහජනයා, රුසියන් රජ පරම්පරාව, රාජකීය බලඇණි, සිවිල් නායකයන් සහ පොලීසිය සමඟ අවි ආයුධ සන්නද්ධව සිද්ධ වූ මහා කළකෝලාහලයකි. රුසියන් යුද හමුදාව විප්ලවකරුවන්ගේ පැත්ත ගත්හ. රොමනොව් රජ පෙළපත අවසන් විය.

ග්‍රෙගරි ලුවොව් කුමරා යටතේ තාවකාලික ආණ්ඩුවක් පිහිටවා ගනු ලැබීය. එහෙත් සැබෑ නායකත්වයක් හෝ පරිපාලන ක්‍රමයක් නොතිබූ බැවින් තැනින් තැන කැරලි ගණනාවක් හටගති. පළමු ලෝක යුද්ධයෙන් පසු ගම්මාන වලට යවා තිබූ රස්සා නොමැති වූ සොල්දාදුවන්, දරුණු හිම වරුසාවක් නිසා දුම්රිය මාර්ග ඇණහිටීම හේතුවෙන් පාන් නැතිව උරණ වූ නගරයේ ගෘහණියන්, අනිවාර්යෙන්ම එන සමාජවාදයෙන් පංති සටන නැතිවෙනවා යැයි පත්‍රිකා කියැවූ කම්හල් සේවකයන් යනාදී සියල්ලන්ම නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය සොයා පාරට බැස්සහ.

පෙබරවාරි විප්ලවයෙන් 1,300 කට වඩා ජනතාවක් මිය ගියහ.

පළමු ලෝක යුද්ධය නිසාත්, පාලන වියවුල් නිසාත්, නියඟ නිසා හටගත් සාගත පැතිර තිබූ නිසාත්, බුද්ධි විචාරමය යුගයක් අහිමි වී සිටි බහුතර රුසියන් පුරවැසියන් කළ යුත්තේ කුමක්දැයි නොදැන සිටි සමයකි ඒ.

බ්‍රිතාන්‍යයට, ප්‍රංශයට, කැනඩාවට සහ යුද්ධයට ළඟ දී එකතු වන්නට යන ඇමෙරිකාවට පරදින බව දකිද්දී, ජර්මන් කයිසර්ගේ ජනරාල්වරු ළඟ හතුරා වූ රුසියාව මර්ධනයට අවියක් එවන ලදි.

“විස්මිත ප්‍රබෝධයකින් ඔවුන් රුසියාව වෙත ඉතාම රෞද්‍ර වූ අවිය හරවන ලදි. සීල් තබන ලද දුම්රිය පෙට්ටියක බැසිලස් වසංගතය මෙන් දමා ඔවුන් ලෙනින්ව ස්විට්ස්සර්ලන්තයේ සිට රුසියාව වෙතට ප්‍රවාහනය කළහ.” -වින්සන්ට් චර්චිල්

“It was with a sense of awe that they turned upon Russia the most grisly of all weapons. They transported Lenin in a sealed truck like a plague bacillus from Switzerland to Russia.” -Winston Churchill

සෝවියට් දේශය බිහිවූයේ ලෙනින් ප්‍රමුඛ 1917 ඔක්තෝබර් විප්ලවය නිසා යැයි බොහෝ අය සිතාගෙන සිටිති. වෙනස් මාර්ගයකට පිවිසීම සඳහා විප්ලව ගණනාවකින් පසුව මුළු රුසියන් ඉතිහාසයේම අහිංසක රුසියන් ජනතාව මිලියන ගණනින් මිය යන්නට පටන් ගත් දිනය එදා යැයි කීම වැඩියෙන් නිවැරදියි.

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: