අරුණි ශපීරෝ‍ වෙතින්

පූර්ණ ධනවාදයක් කුමට ද, බදු අඩුවේ නම්!

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 28, 2017

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතින් ඇමෙරිකාවේ වැඩ කරන ජනතාවට අගනා බදු සංශෝධන ලැබෙද්දී හාමතෙන් පෙළෙන වෙනිසියුලාවේ තෙල් නැව් රුසියාව අල්ලා ගනියි!

රටේ නායකයා කවුරු වූවත්, රටේ පාර්ලිමේන්තුව පිරි ඇත්තේ කුමන අයවළුන්ගෙන් වුවත්, ලාබය සොයන පෞද්ගලික දේපල අයිතිය රටේ නීති වලින් ආරක්ෂා වෙන්නේ නම් එතැන පවතින්නේ ධනවාදයයි. ලෝකයේ දියුණු රටවල, සමාජවාදී ප්‍රතිපත්ති වලින් ආර්ථිකය බංකොළොත් බවට යද්දී ධනවාදය යාන්තමින් හෝ ආරක්ෂා කරන ප්‍රතිපත්ති ගෙනෙන අය ඒවායේ ආර්ථික බේරාගත්හ.

ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇති බදු ප්‍රතිසංස්කරණ ඇමෙරිකාවේ කප්පාදු වෙමින් පවතින පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂා කරන ප්‍රතිපත්ති යළි ස්ථාපිත කරන්නට ගන්නා උත්සාහයකි. ධනවාදයේ ප්‍රතිපත්ති ඉඳහිට හෝ ක්‍රියාත්මක කරන නිසා දියුණු රටවල් බංකොළොත් නොවී ගැලවෙති.

මෙතෙක් ලොව පැවති කිසිම සමාජවාදී මෙහෙයුමකින් වැඩකරන ජනතාවගේ සුබ සිද්ධිය සාක්ෂාත් නොවීය. සමාජවාදී රටවල ආර්ථිකය සාර්ථක නොවූයේ නායකත්වයේ ගැටළු, නැතහොත් අසම්පූර්ණ ලෙසින් සමාජවාදයට පිවිසීම නිසා යැයි කියන අය සිටිති. මේ අය සමාජවාදය යනු සැමදා අසාර්ථක වෙන්නක් බව දකින්නට අපොහොසත්, දැක්කත් පිළිගන්නට නොහැකි අයයි.

සමාජවාදය ප්‍රිය කරන බහුතරය සමාජවාදය සහ ධනවාදය අතර වෙනස කුමක්දැයි කියන්නට නොදනිති.

ධනවාදය – සියළු දේපල පෞද්ගලික අයිතියෙන් යුතු ලාබයක් සොයන ආර්ථික සහ දේශපාලන ක්‍රමයයි. ලොව කිසිම තැනෙක පරිපූර්ණ ලෙසින් නැතැයි කීම එහි අගය දැකීමට හෝ එයම ඉල්ලා නොසිටීමට හේතුවක් නොවේ. සිරස්තලය කියවා මගේ ස්ථාවරය වෙනස් වී ඇතැයි නොසිතන්න!

සමාජවාදය – වැඩකරන ජනතාව වෙනුවෙන් රජය දේපල අයිතියේ බාරකාරත්වයෙන් යුතු ආර්ථික සහ දේශපාලන ක්‍රමයයි. කාල් මාක්ස්ගේ න්‍යායට අනුව මෙය ධනවාදය පෙරළා දැමූ පසු කොමියුනිස්ට්වාදයේ පැවැත්ම ඇතිවීමට පෙර ඇති සංක්‍රාන්තික තත්වයයි. යටත්විජිත ක්‍රමයෙන් ගැලවෙන ලංකාව එතැන් පටන් හිටියේ මේ තත්වයේය.

කොමියුනිස්ට්වාදය – පංති සටන මාර්ගයෙන් සියළු දේපල සමාජයේ අයිතියට සතුවන, සෑම පුද්ගලයෙකුට ඔහුගේ හැකියාව සහ අවශ්‍යතාවය අනුව ‘වේතන’ ගෙවන දේශපාලන න්‍යායයකි. කවුරු කුමන ක්‍රමවේදයකින් ද එම ‘වේතනය’ තීරණය කරන්නේ යන්න විමසා බැලීම අනෙකා සතු වස්තුව ගැන ඊර්ෂ්‍යාවෙන් සිටින කොමියුනිස්ට්වාදයට රුචි වූවන්ට අමතක වෙන්නකි.

සමාජවාදයේ -සහ කොමියුනිස්ට්වාදයේ-  ඉතාමත් පැහැදිලිව දැකිය හැකි වූ ගැටළුව පටන් ගන්නේ ඉන්සෙන්ටිව්ස් නොහොත් ප්‍රතිලාභ කියන තැනින්. පුද්ගලයා යම් දැයක් කරන්නට ප්‍රේරණයක් ලබන ‘බලය’ කුමක්දැයි කියා ධනවාදය අනිවාර්යෙන්ම පිළිගෙන ඇත. මෙය උත්සාහයක් ගැනීම, වෙහෙසීම නිසා ලැබෙන ප්‍රතිලාභයයි.

සමාජවාදීන් මේ ප්‍රතිලාභ සහමුලින් නොසලකා හරිති. සමාජයීය හැඟීමක් නිසා වෙහෙසන්නට ඉන්සෙන්ටිව් එකක් සෑම පුද්ගලයෙක් තුලම ජනිත කරවන්නට නොහැකියි. මන්ද, එය මිනිස් ස්වභාවයක් නොවෙන නිසයි. විරුද්ධ මතධාරීන් මිලියන ගණනින් මරා දැමූව ද අවසානයේ එවැනි රටවල ආර්ථිකය කඩා වැටුනේ මිනිස්සු ජීවිත බේරාගන්නට සිය මිනිස් ස්වභාවය එළියට නොපෙන්වා සිටි නිසයි. කෙටියෙන් කිව්වොත් අනුන්ගේ ජීවිත සහකාරියකට හා දරුවෙක්ට කන්න දෙන්න හැකි පමණින් වෙහෙසෙන්නට කිසිම පුද්ගලයෙක් කැමති නැත.

“සමාජයේ ඉලක්කය කොමියුනිස්ට්වාදයයි,” යැයි ලෙනින් කීය. ඒත් සෑම කොමියුනිස්ට් අයෙක්ම සමාජවාදියෙක් වුවත් සෑම සමාජවාදියෙක්ම තමා කොමියුනිස්ට් යැයි කියා ගන්නේ නැත!

ඒකීයපුද්ගලයාට ඇති දේපල අයිතිය ප්‍රතික්ෂේප කිරීම සමාජවාදයේ ප්‍රධාන ලක්ෂණයයි. දේපල අයිතියක් නැතිව මිනිසාට පැවැත්මක් නැත. භෞතික භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ ඒකීයපුද්ගලයන්ගේ මොළය සහ උත්සාහය යෙදවීමෙන් පමණකි. කිසිදා රස්සාවක් නොකළ කාල් මාක්ස් හෝ වී. අයි. ලෙනින් මේ ගැන නොදැන සිටීම පුදුමයක් නොවේ. මිනිසාට ජීවිතය පවත්වා ගැනීම සඳහා භෞතික භාණ්ඩ අවශ්‍ය වේ. රුසියන් නාස්තිකවාදයෙන් පන්නරය ලැබූ වර්තමාන තරුණ පිරිසක්, මිනිසා පිහිටුවන ලද ආයතන සහ නීති අත්හැර ගල් යුගය අගය කරති. ගිනිකූරෙන්, ලයිටරයෙන් සහ ගෑස් ලිපෙන් ගින්න ලබා ගන්නා,  මේ අය බහුතරය ඒවායේ සහාය නැතිව ගින්නක් පත්තු කරගන්නට පවා නොදන්නා ස්මාට් ෆෝන් භාවිතයේ යෙදෙන අයයි!

සමාජවාදය මහජනතාවගේ ව්‍යාපාරයක් නොවේ. ඉතිහාසය පිරික්සා බලද්දී එය විද්වතුන් කියාගත් සුලුතරයකගේ ව්‍යාපාරයක් පමණක්ම විය. සමාජවාදයේ මූලධර්ම, ප්‍රතිපත්ති සහ සමාජවාදී රටවල ප්‍රායෝගික ප්‍රතිඵල දිහා බලද්දී ඒවා සහ පුරාතනයේ පැවති පීඩක රාජ්‍යයන් අතර කිසි වෙනසක් නැත. සෑම අංශයකම බලය අල්ලා ගෙන, කෲර ලෙසින් ඉහළට නඟින්නට කැමති ඕනෑම මැරවරයෙකුට හෝ ඕනෑම අවස්ථාවාදියෙකුට ඉඩක් ලැබෙන ක්‍රමය සමාජවාදය යැයි අයින් රෑන්ඩ් හැඳින්විය.

සමාජවාදයෙන් ඉඩ විවෘත වන්නේ පැවරෙන බලය පරිහරණය කරන්නට ඉතාමත්ම නුසුදුසු වූවන්ට අල්ලා ගන්නට ලැබෙන දේශපාලන අවස්ථාවකි. දේපල සමාජය සතු වෙද්දී ඒවායේ පාලන බලය කවුරුන් සතුවේදැයි තීරණය කළ යුතු වේ. ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමෙන් බෙදන බලය අල්ලාගැනීම ප්‍රවර්ධනය වෙන්නේ සමාජවාදයෙනි. සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට කවුරු හෝ පුද්ගලයෙක් සෑම විටම බෙදන බලය අල්ලා ගන්නට පෙරමුණු ගනියි. එය මිනිස් ස්වභාවයයි. මේ මිනිස් ස්වභාවය නිසා මිලියන ගණනින් මිනිස් ජීවිත අහිමිකරන කෲර පුද්ගලයන් නායකයන් වෙති. න්‍යායෙන් දක්වන  සමාජවාදය කිසිදා ඇති නොවේ.  අද වෙනිසියුලාවේ නිකලස් මධූරෝ ගැන ලෝකයේ බහුතර මාධ්‍යය නිහඬව සිටින ලෙසින්ම එදා ලෙනින්, ස්ටාලින්, මාවෝ … චේ ගැන ද නිහඬව සිටියහ.

දේපල අයිතිය සහමුලින් මුලිනුපුටා දැමීම අසාර්ථක බව දැක අනතුරුව දේපල අයිතිය සීමිත වූ සමාජවාදි ලෝකයක් වෙනුවෙන් පෙනී සිටින අද රුසියාව පසුගිය දා වෙනිසියුලාව විසින් නොගෙවන ලද ඩොලර් මිලියන 30 ක නැව් ගාස්තු වෙනුවෙන් යැයි කියමින් කැරිබීයන් මුහුදේ දී වෙනිසියුලන් තෙල් නැවක් අල්ලා ගති. එපමණක් නොව රුසියන් සහ චීන රාජ්‍ය කොම්පැණි වලට සැපයිය යුතු වූ ඩොලර් මිලියන 750 ක පමණ බොර තෙල් ලබාදෙන්නට වෙනිසියුලාව විසින් අසමත් වී ඇත. ඒත් වසර 40 ක් තරම් මෑත අතීතයක දී ධනවත් රටක් වූ වෙනිසියුලාව, ඇමෙරිකාවේ දුප්පතුන්ට තෙල් පරිත්‍යාග කරන්න තරම් 2012 දී වහසි බස් දෙඩූ චෑවෙස්ගේ වෙනිසියුලාව අද තම සමාජවාදී සහෝදරයන් විසින්ම තෙල් නැව් උදුරාගන්නා තත්වයට පත්වී ඉන්නේ ඇයිදැයි කියා විමසන්නට බොහෝ අයට හැකියාවක් නැත.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Mohotti said, on මැයි 5, 2017 at 9:50 පෙ.ව.

    සමාජවාදය – වැඩකරන ජනතාව වෙනුවෙන් රජය දේපල අයිතියේ බාරකාරත්වයෙන් යුතු ආර්ථික සහ දේශපාලන ක්‍රමයයි. කාල් මාක්ස්ගේ න්‍යායට අනුව මෙය ධනවාදය පෙරළා දැමූ පසු කොමියුනිස්ට්වාදයේ පැවැත්ම ඇතිවීමට පෙර ඇති සංක්‍රාන්තික තත්වයයි’ මේක තමයි සමාජවාදය කියල ලංකාවේ වම අපිට උගන්වල තියෙන දෙය.මෙහෙ විතරක් නොවෙයි බලාගෙන ගියාම ලෝකෙම එහෙම තමයි කොමියුනිස්ට් පක්ෂ වලින් කියන්නෙ.මාක්ස් මෙහෙම දෙයක් කියලා නැහ.පසුකලෙක මාක්ස්වාදය සංවර්ධනය කරා කියපු ලෙනින් තමයි සමාජවාදය කියන දෙය හදුන්වා දුන්නෙ.කොමියුනිස්ට් ක්‍රමය නැමැති දනවාදයට විකල්ප සමාජ සංකල්පය දැනුවත්ව හෝ නොදැනුවත්ව විනාශය කරා ලගාකලේ ලෙනින්ගේ අත් හදාබැලීමයි.

    • arunishapiro said, on මැයි 5, 2017 at 4:31 ප.ව.

      Mohotti,

      සමාජවාදය 1621-22 කාලයේ දී ඇමෙරිකාවේ ප්ලිමත් වතුයායේ දී අත්හදා බලා අසාර්ථක වෙච්ච ක්‍රමයක්. ඒ කාල් මාක්ස් ඉපදෙන්නට වසර 197 කට පෙර. ඒත් අසාර්ථක පිළිවෙත් නැවත නැවතත් අත්හදා බැලීම සමාජවාදීන් අත්හැරලා නැහැ!! කැමැත්තෙන් එකතු වෙච්ච යුරෝපීය සංක්‍රමණිකයන් පටන්ගත් විවිධ සමාජවාදයන් අනුව හැදූ අසාර්ථක වෙච්ච ‘උතෝපීය ජනාවාස’ මුල් ඇමෙරිකාවේ දකින්න පුළුවන්.

      ඔබ සමහර විට දන්නවා ඇති යොහාන් ගෙට්ලීබ් ෆිෂ්ටේ ගැන 1800 දී ලියූ ජර්මන් සමාජවාදය. එයාගෙන් පසුව තමයි හෙගල්, ෆොයර්බාහ්, මාක්ස් සහ එන්ගල්ස්, ලෙනින් සහ ජියෝජි ලූකාට්ස් සමාජවාදය ගැන තව ලියන්නෙ.

      කාල් මාක්ස් එයාට කළින් තිබ්බ ‘උතෝපියන් සමාජවාදයන්’ සියල්ලම ප්‍රතික්ෂේප කළා. ඒවා ඔක්කොම අසාර්ථක වෙච්ච නිසා ප්‍රතික්ෂේප කරන්නෙ නැතිව ඉන්නෙ කොහොමද?!!! මාක්ස් ඉදිරිපත් කරන්නේ පසු කාලයක දී නොවැරදීම එන ‘සම්පූර්ණ කොමියුනිස්ට්වාදය’ සහිත ‘විද්‍යාත්මක සමාජවාදය’. දාස් කපිතාල් වලින් මේ ‘විද්‍යාවේ’ ‘ආර්ථික සංවර්ධන තුලින් සමාජයේ ආර්ථික ව්‍යුහයන් වෙනස් වෙලා ඵෛතිහාසික පරිනාමයක් තුලින් පෞද්ගලික දේපල අයිතිය නැතිවෙලා යන හැටි කියැවෙනව.

      ඊ ළඟට කාල් මාක්ස් ලියන ‘ජර්මන් අයිඩියලොජිය’ ලිපි තුලින් තමයි ‘වැඩකරන ජනතාවගේ ආඥාදායකත්වය යටතේ වූ’ සමාජවාදී රැකවරණය ලැබෙන කාල වකවාණුව ගෙවා දැම්මට පස්සෙ රාජ්‍ය නැත්නම් ආණ්ඩුව ඉබේම නැතිවෙලා ගිහින් නීතිය (law) කියන එක අවශ්‍ය නැතිවෙලා ගිහින්, සියල්ල පොදු අයිතියෙන් පවතින තත්වයක් ඇතිවෙනව කියන්නෙ. එතකොට ශ්‍රම විභජනයක් අවශ්‍ය නැහැ. හැම පුද්ගලයෙක්ටම ඔහුගේ අවශ්‍යතාවය අනුව ජීවත්වෙන හැටි මෙහෙම දක්වනවා, “උදේට දඩයමේ ගිහින්, දවල් කාලේ මාළු බාන්න ගිහින්, ගවයන් රැකබලා ගන්න එක හවස් කාලයේ කරල, රෑ කෑමට පස්සේ සාහිත්‍ය විවේචනයේ යෙදෙන්න’ සෑම පුද්ගලයෙකුටම හැකියාව ලැබෙනව.” මේක උතෝපියන් නැතිව ‘විද්‍යාත්මක’ යැයි කීම තමයි මාර විහිළුව. පෞද්ගලික දේපල නැතිව දඩයමේ යන්න, මාළු බාන්න, විනෝදෙට හරක් බලන්න සහ සාහිත්‍ය කියවන්න කවුද දන්නෑ ඒ අය වෙනුවෙන් තුවක්කුව සහ බිලී පිත්ත හදන්නෙ, කිරි දොවන්නෙ, සාහිත්‍ය පොත් ප්‍රකාශනය කරන්නේ එහෙම!!!

      ඒවා පැහැදිලි කරන්න යැයි ඒ කාලේ විචාරකයන් ඉල්ලුවාම, ඒවා අනාගතයේ විසඳිය යුතු ප්‍රශ්න කියල කාල් මාක්ස් විස්තර කිරීම පැත්තට දැම්ම. නීතියක් නැති, දේපල අයිතියක් නැති, ඒ නිසා නියෝග ලැබෙන ක්‍රියා පටිපාටියක් නැතිව ඒවා සමාජයේ සැමට ලැබෙන්න නම් කොහොම ද කරන්නෙ කියන එක වැදගත් නොවන්නේ කෙසේද?

      නීතියෙන් ලැබෙන ක්‍රමාන්විත බවේ වාසි සියල්ලම, නීතිය නැති තැනක තව දුරටත් පවතින්නේ කෙසේද?

      එතෙක් ලෝක ඉතිහාසයේ දේපල නිපැදවුනේ දේපල අයිතිය යන එකම පෙළඹවීම නිසා වෙද්දී, සියල්ලන්ම දේපල අයිතියකින් තොර නම් දේපල බිහිවෙන්නෙ කොහොම ද?

      රුසියන් මාක්ස්වාදී ව්‍යාපාරයත් ලෙනින් සැලසුම් හදන්න කළින් දශක දෙකක් තුල පැවතියක්. මේ ජර්මන් අයිඩියලොජි හි අඩංගු ලිපි ලෙනින් එංගලන්තයේ සහ යුරෝපයේ සිටිය දී කියෙව්ව. ඒවයෙන් තමයි ලෙනින් ජාත්‍යන්තරයට සහ බොල්ෂෙවික්ස් පක්ෂයට ප්‍රතිපත්ති හදන්නෙ.

      ලෙනින් සංවර්ධනය කරපු මාක්ස්වාදයක් නැහැ, කාල් මාක්ස් ලියූ දැක්මේ හිඩැස් ඒ විදියටම පැහැදිලි නොකර, ඒවා ක්‍රියාවට නැංවීම සඳහා චෙකා යුද හමුදාවේ බලහත්කාර බලය යොදා ගත්ත.

      අදත් මාක්ස්වාදීන් එහෙමම තමයි. ක්‍රියාත්මක කරන පිළිවෙත පැහැදිලි නොකර, පරමාර්ථ සහ ප්‍රතිඵල ගැන කියනව. මාක්ස්වාදයට හිතැති අය කරන්න බැරි තැන් පෙන්නුවාම කියන්නෙ, කරන්න බැරිවුනාට කමක් නෑ අපි ඒවයෙ අදහස් වලට කැමතියිනෙ කියල. ඒත් මාක්ස්වාදීන් ආගමටයි අබිං වගේ කියන්නෙ!!!!

      • Mohotti said, on මැයි 6, 2017 at 3:17 පෙ.ව.

        සමාජවාදය ගැන අරුණි කියන බොහොමයක් අදහස් වලට එකග වෙන්න පුලුවන්.ඒත් දනවාදය ගැන කියන දේට එහෙම බැහ.ඒත් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ දනවාදය ඇතුලෙයි.ඒකෙන් අදහස් වෙන්නෙ නැහ දිගටම මේ ක්‍රමය තුල ජීවත් වෙන්න ඕන කියන එක.
        සමාජවාදය පිලිබඳ අදහස් ඒ නමින්ම නොවුනත් මාක්ස්ට පෙරත් තිබුණ බව ඇත්තක්.1600 හෝ ඊට පෙර තෝමස් මුවර්ගේ හිරුගේ නගරය කාව්‍යයේ සඳහන් වන්නේත් සමාජවාදය පිලිබඳ මිනිස් සන්කල්පයන් තමයි.
        රොබට් ඕවන්,සෙන් සිමොන් වැනි ප්‍රායෝගික මනෝරාජික සමාජවාදීන් මාක්ස්ට ප්‍රතම හිටියා වගේම එංගල්ස් ඔවුන් ගැන ගවුරවයෙන් කතාකරතියෙනවා.ඒත් අපි දන්නා සමාජවාදය නම් ඉතාමත් විනාශ කාරි දෙයක් බව ඇත්තක්.
        දනවාදයට විකල්පය වියයුත්තෙ කොමියුනිස්ට් සංකල්පය මිස සමාජවාදය නොවෙයි.කොමියුනිස්ට් කියන්නෙත් උතෝපියන් එකක් තමයි.ඒක මොනවගේ එකක් වෙයිද කියලා කාටවත්ම කියන්න බැහ කියලා තමයි මට හිතෙන්නේ.මාක්ස් අරහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා බැහ.මාක්ස් අප්සෙට් නම් මාක්ස්ව අතහරින්න ඕන.නැත්නම් ඉතින් ආගමයි මාක්ස්වාදයයි අතර වෙනසක් නැහැනෙ

        • arunishapiro said, on මැයි 6, 2017 at 7:51 පෙ.ව.

          Mohotti,

          මා සමාජවාදය ගැන සොයා බලා ඇති තරමින් ඔබ ධනවාදය ගැන සොයා බලා නැති බව පෙනේ.

          මිනිස් ස්වභාවය වෙනස් නොවන්නකි. ඒ නිසා ධනවාදය නොවන වෙනත් ආර්ථික ක්‍රමයක දී මිනිසාට සිද්ධ වෙන්නේ දුක්ඛිත තත්වයන්ට මුහුණ දී මිය යෑමටයි. ඔබ විනාශකාරී නොවන සමාජවාදයක් සොයමින් ඉන්නා කාලය සැබෑ ආචාර ධාර්මික වූ ආර්ථික ක්‍රමය සපයන ධනවාදය කුමක්දැයි සත්‍යය උවමනාවකින් සොයා බලන්නට යොදාගන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: