අරුණි ශපීරෝ‍ වෙතින්

ලෙනින් අතිරික්ත ආහාර බෙදන්න ගිය හැටි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 29, 2017

ජීවිතය පවත්වා ගැනීම ඉක්මවා යමින් ජීවිතයෙන් යම් වින්ඳනයක් ලබාගැනීම සඳහා තම ශ්‍රමය කෙසේ යොදාගන්නේ ද, එයින් ලැබෙන ඵලදාව කෙසේ භුක්ති විඳින්නේ ද යනාදී තීරණ ගන්නට කාර්මික විප්ලවයෙන් ලෝකයේ ප්‍රථම වතාවට මිනිසාට ඉඩක් ලැබෙද්දී, අලුත් දේශපාලකයන් වර්ගයක් ලොව බිහිවූහ. ආර්ථිකයෙන් ආණ්ඩුව ඉවත් වී සිටියාම, නිර්බාධ වෙළඳාමට ඉඩ ලැබුණාම මිනිසාට ඔහු කැමති සතුට සොයා යන්නට උවමනා නම් ඊට හැකියාව පෑදෙනවා යැයි ඇඩම් ස්මිත් ලියූ ජාතීන්ගේ ධනය කියැවූ ඔවුන් ලොව බිහි වූ අලුත් වර්ගයේ දේශපාලකයන් වූහ.

අනෙක් අය ලොව එතෙක් සිටි බලතණ්හාධිකයන් වෙතින් වෙනස් නොවූහ. කාල් මාක්ස්ගේ දේශපාලන ආර්ථික න්‍යාය යොදාගෙන 1902 දී ‘කුමක් කළ යුතුද?’ What Is To Be Done සිරස්තලයෙන් ලෙනින් ලිපියක් ලිවීය. කොමියුනිස්ට් විප්ලවය තුලින් ගෙනෙන වැඩකරන ජනතාවගේ ආඥාදායකත්වයෙන් ලෝකයේ දරීද්‍රතාවය තුරන්වී, සූරා කෑම නැවතී, ආර්ථික ගිජු බව අත්හැරී, යුද්ධ නැවතේවි යැයි එයින් කියැවිණ.

ඒවා සාක්ෂාත් කිරීම සඳහා කළ යුත්තේ කුමක් ද? “ඕනෑම අයෙකුට ඔහුගේ හැකියාවට අනුව, ඔහුගේ උවමනාවට අනුව,” සම්පත් බෙදන මාක්ස්වාදී දේශපාලන ආර්ථික ක්‍රමයයි. රටවැසියන් සියල්ලන් සඳහා බලහත්කාර බලය යෙදවීමෙන් මෙය ඉටුකරත හැකි යැයි ලෙනින් කීවේය. මෙම දැක්ම නොමිලේ බෙදන ලද බීජයකින් රෝපණය කරන ලදි. වෙනත් දැක්මක් විමර්ශනයට ඉඩක් නොලැබිණ.

1919 දී ‘ද ඇමෙරිකන් මැගසින්’ සම-නිර්මාතෘ ලින්කන් ස්ටෙෆ්න්ස් අලුතින් පිහිටුවන ලද සෝවියට් දේශයේ සංචාරයකින් පසුව “මම අනාගතය දැක්කා, එය වැඩ කරනවා,” යන සුප්‍රසිද්ධ ප්‍රකාශය කළේය. ‘එය’ නම් කොමියුනිස්ට්වාදයයි. ඒත්, 1919 ගණන් වල දී ‘එය’ වැඩ කළ ආකාරය ගැන තවමත් ලොව බහුතරයක් නොදනිති.

රතු හමුදාව යටතේ වූ නව සෝවියට් දේශයේ ඉඩම් අණසිටුවක් නිකුත් කෙරිණ. ඉඩම් අයිතියක් කියන්නට කිසිදා වරම් නොලද ගම්වැසියන්ට ‘ඔහුගේ හැකියාවට අනුව, ඔහුගේ උවමනාවට අනුව’ කැමති පරිදි ඉඩම් අයිති කරගන්නට අවසර ලැබිණ. ආහාර නිෂ්පාදනය සිදුවූ වගාබිම් ගම්වැසියන් අයිති කරගත්හ. දේපල උදුරාගන්නට එන අයට වෙඩි තැබීම නිසා රුසියාව පුරා වියවුල් වාතාවරණයක් පැතිරිණ.

ඕනෑම කෙනෙකුට ඵලදාව අල්ලාගත හැකි ඉඩමක ආහාර වගාකරන්නට වෙහෙසෙන්නේ මොන මෝඩයෙක්දැයි කිසිවෙක් විමසුවේ නැත. ආහාර හිඟය රුසියාව පුරා පැතිරිණ.

බෙදන පාලන ක්‍රමයේ බලය සතු වූ රටේ එකම දේශපාලන පක්ෂය වූ බොල්ෂෙවික්ස්, ගම්වැසියන් ලවා ධාන්‍ය එකතු කරවන මෙහෙයුම් පටන් ගත්හ. ධාන්‍ය නිපදවන කුඩා දිස්ත්‍රික්කයන් හි නිල බලය ඇති අයට ගම්වැසියන් ‘අමතර’ ධාන්‍ය දේශයට දෙන්නේ නැත්නම් එහි සිටින ‘ධනවත්’ අය විසිපහක් තිහක් තෝරා ඔවුන්ව මරා දමන බලය ඔවුන්ට ලැබිණ.

කෘෂිකර්මය නොදත් වැඩකරන ජනතාවගේ ආඥාදායකයන් නමින් හැඳින්වුණු නිලධාරීන් දස දහස් ගණනින් නගර වලින් වගාබිම් වලට යැව්වේ ගම්වැසියන්ගේ ‘අමතර’ ධාන්‍ය එකතු කරගන්නටයි. ඔවුන් ‘අමතර’ ධාන්‍ය පමණක් නොව ගම්වැසියන්ගේ ආහාර සඳහා වූ ධාන්‍ය මෙන්ම බීජ ධාන්‍යය ද එකතු කර යැවූහ.

‘බලාගෙන යද්දි, අපි ඔක්කොම අතිරික්ත ධාන්‍ය අරගෙන තිබුණ -සමහර විට අතිරික්ත නොවූව ද, ගම්වැසියාට ඔහුගේ ආහාරය සඳහා වූ ධාන්‍යය ද අරගෙන තිබුණ,” යැයි ලෙනින් පසු කාලයක දී කියා ඇත.

1920 වෙද්දී, ‘කොමියුනිස්ට් යුද්ධය’ සඳහා ගම්වැසියන් නිපදවන ආහාර වලින් 30% ක් රට වෙනුවෙන් ජනතා සතුකෙරිණ. ඒ දැක්මට එරෙහි වූ රටවැසියන්ට වෙඩි තැබූ රතු හමුදාව නඩත්තු කිරීමට සිද්ධ වූ නිසා අරමුදල් ඉතා හිඟ විය. පක්ෂය කළේ අලුත් නීති ගෙන ඒමයි. ගම්වැසියන්ගේ නිෂ්පාදන සඳහා අඩු මිලක් තීන්දු කරන ලදි. පෞද්ගලික වෙළඳාම තහනම් විය. සලාක ක්‍රමයක් පටන් ගති.

1913 අස්වැන්නට වඩා 1921 අස්වැන්න 40% කින් අඩුවිය. ඉඩෝරයක් පැතිර ගියේය. වෙනදා ඉඩෝරයක දී, පරිභෝජනයෙන් ඉවර නොකර ඉතිරි කරගත් ධාන්‍ය ගබඩා වලින් යැපෙන්නට හැකියාව ලැබුණු ගම්වැසියන්ට දැන් බුදින්නට හෝ වගා කරන්නට අමතර ධාන්‍ය නොතිබිණ. මිලියන 30 ක ජනගහණයන් සාගතයට මුහුණ දුන්හ.

ජාත්‍යන්තර ආධාර එන්නේ, ඔව්, ධනවාදීන් වෙතින්. ඇමෙරිකන් සිනමා ප්‍රේක්ෂකයන් අරමුදල් එකතු කරන්නට චිත්‍රපටි නරඹා එකට එකක් තෑගි කළ මුදල් සමඟ රජය උදුරා ගත් බදු මුදල් ද ඇමෙරිකන් පාලකයන් American Relief Administration (ARA) හරහා ලෙනින්ගේ සෝවියට් දේශයට ධාන්‍ය පටවා යැවූහ. නමුත් මේ රුසියන් ඉතිහාසයේ නොවූ විරූ නස්පැත්තිය හමුවේ ලෙනින් තම අහිංසක රටවැසියන් ගැන දුක් වූවා යැයි ඔබ සිතන්නේ නම් ඔබ වැරදියි.

1921 අගෝස්තුවේ දී රුසියාවට ආහාර යවන්නට නියම වී තිබුණ යුක්රේනයේ සාගතය දැඩි සේ පැතිර පැවතිණ. ලෙනින් ඔවුන්ට ආහාර ආධාර යැවීම ප්‍රතික්ෂේප කළේය. යුක්රේනයේ ජාතිකවාදයක් හට ගනිමින් තිබි නිසා, ආහාර නොයවා එය මර්ධනය කිරීමට ලෙනින් කටයුතු කළේය.

එපමණක් නොව 1922 ගිම්හානයේ දී, රටේ ජනගහණයෙන් කොටසක් හාමතෙන් තබමින් සෝවියට් දේශය ධාන්‍ය මහා පරිමාණ වශයෙන් අපනයනය කරන ලදි. ඒ කර්මාන්ත ක්ෂේත්‍රයේ බර උපකරණ සඳහා ප්‍රාග්ධනය සොයා ගන්නටයි. ඔඩෙසා වරායේ එක පැත්තකින් SS Manitowac නැවෙන් ARA එවූ ඇමෙරිකන් ආහාර ආධාර බාද්දී, අනෙක් පැත්තෙන් යුක්රේන වැසියන් වෙතින් උදුරාගත් ධාන්‍ය විකිණීම සඳහා හැම්බර්ග් බලා යන SS Vladimir නැවට පැටවුණි.

බොල්ෂෙවික්ස් විසින් බලය අල්ලා ගැනීමත් සමඟ, දේපල අයිතිය අත්හරින්නට අකමැති වූවන් අතර ඇති වූ සිවිල් යුද්ධය නිසා කෘෂිකාර්මික අර්බූදයක් ඇතිවිය. හාමතෙන් සිටීමත් සහ පෝෂණයක් නොලැබීමත් නිසා හටගන්නා අනෙක් අතුරු රෝගාබාධ වලට ගොදුරු වී මිය ගිය රටේ ජනගහණයෙන් මිලියන 5 ක් පමණ සංඛ්‍යාව ගැන වගකිව යුත්තේ ධාන්‍ය එකතු කරන අණසිටු ගෙනෙන ලද ලෙනින් සහ ඔහුගේ බොල්ෂෙවික්ස් පක්ෂයයි.

ධනවාදී ඇමෙරිකාවෙන් ලැබුණ ඩොලර් මිලියන 45 ක ආහාර ආධාර ARA විසින් යැව්වේ නැත්නම් ඒ ලෙනින්ගේ අලුත් සෝවියට් දේශය බිහිවෙද්දී තවත් රටවැසියන් මිලියන 10 කගේ ජීවිත අහිමි වෙන්නට ඉඩ තිබිණ.

ඒ ලෙනින්. ස්ටාලින් බලය අල්ලා ගන්න කළින්. ඊට පස්සේ රුසියන් ඉතිහාසය තව රෞද්‍ර වෙනව.

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )