අරුණි ශපීරෝ‍ වෙතින්

අන්තිම මොහොතේ සමාජවාදයෙන් ගලවා ගැනෙන මීසස්ගේ ඔස්ට්‍රියාව

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 30, 2017

ඉංග්‍රිසීන් පැනවූ බදු වලට එරෙහිව සිංහලයා විරෝධය පෑ 1848 ලංකාවේ මාතලේ කැරැල්ල සිද්ධ වූ වර්ෂයයි. 1848 යුරෝපයේ විප්ලවීය වසන්තයක් පැතිර ගිය වර්ෂයයි. ඩෙන්මාර්කයේ පරම රාජාධිපත්‍ය අහෝසි විය. නෙදර්ලන්තය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දුනි. 1848 කාල් මාක්ස් ලොව අගාධයට යන පාරට හරවන කොමියුනිස්ට් ප්‍රකාශනය ඉදිරිපත් කළ වසරයි. 1848 දී ඔස්ට්‍රියන්-හංගේරියන් අධිරාජ්‍යය තුල ප්‍රවේණිදාස ක්‍රමය අහෝසි වූ වසරයි.

යුක්රේනය 1848 දී දේශපාලන නියෝජනය සහ ජාතික සේවෛරීත්වය ඉල්ලා සිටියහ. යටත්විජිත අධිරාජ්‍යවාදය සහ වැඩවසම් ක්‍රමය වෙනස් කරන උත්සාහ ලොව හැම පැත්තකින්ම පටන් ගෙන තිබුණු යුගයයි ඒ.

1914 පළමු ලෝක යුද්ධය පටන් ගනිද්දී රුසියාව යුක්රේනය අල්ලා ගති. යුක්රේනයේ පටන් ගත් සංස්කෘතික සහ දේශපාලන උත්සාහ සියල්ල යටපත් කරමින් ජන නායකයන්ව සයිබීරියාවට පිටමං කෙරිණ.

1915 වසන්තයේ දී යළිත් බටහිර යුක්රේනය අල්ලා ගන්නට ඔස්ට්‍රියානුවන් සමත් වූහ. ඔවුන් බොල්ෂෙවික්ස් අයව කියෙව් නගරයෙන් පළවා හැරියහ.

1917 මාර්තු විප්ලවයෙන් රුසියාවේ තාවකාලික ආණ්ඩුවේ ප්‍රධානියා වූ ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි යුක්රේන හැබ්ස්බර්ග් රාජාණ්ඩුවට සහාය පළ කළේය. සංස්කෘතික, දේශපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් හඳුන්වා දුනි. දේශපාලන හේතු නිසා පිටමං කරන ලද යුක්රේන වැසියන්ට ආපහු එන්නට අවසර ලැබුණි. 1917 අප්‍රේල් මාසයේ දී යුක්රේනයට ස්වයං පාලනයට අවසර ලැබිණ.

1917 අගෝස්තුවේ දී ආපහු රුසියාවට එවන ලද ලෙනින් 1917 සිට 1918 දක්වා වූ රුසියන් ජනරජයේ ප්‍රධානියා ලෙස පත්විය. 1917 සැප්තැම්බරයේ දී “අධිරාජ්‍යවාදය, ධනවාදයේ ඉහළම අවධිය,” නමින් ලෙනින් පොතක් ලිවීය. එහෙත් වැඩිකල් යන්නට පෙර ඔහු ගෙනෙන සෝවියට් ක්‍රමය ලෝකයේ වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගන්නට සමත් වූවයි.

ධනවාදය ගැන කාල් මාක්ස් වෙතින් ඉගෙන ගන්නා අය, ඇඩම් ස්මිත් අධිරාජ්‍යවාදයට එරෙහි වූයේ 1776 වසරේ දී යැයි නොදනිති. ඒ ස්කොට්ලන්ත බුද්ධිමතා, ඇමෙරිකා මහාද්වීපය තුල අධිරාජ්‍යවාදයේ නඩත්තුවට ස්පාඤ්ඤ, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් එකිනෙකා හා සටන් වැදෙමින් සිය පුරවැසියන්ට බදු බර පැටවීමෙන් ලබාගන්නා යහපතක් නැතැයි පෙන්වා දුන්නෙකි.

ඇඩම් ස්මිත් හදාරන ලද්දෙක් වූ ලුඩ්විග් වොන් මීසස් එවක ඔස්ට්‍රියන් ආණ්ඩුවේ සුළු සේවකයෙකි. ජර්මන්-ඔස්ට්‍රියන් අධිරාජ්‍යයට යුක්රේනයේ වගාබිම් උවමනා වෙද්දී, එම උවමනා සපුරාගැනීම දේශපාලන පාලනයකින් තොරව කිරීම වඩා යහපත් යැයි මීසස් “වෙළඳ ප්‍රතිපත්තියක ඉලක්කය” නමින් ලියූ ලිපියකින් පෙන්වීය. යුක්රේනයේ මිලිටරි අධිවාසයකින් තොරව වෙළඳ ගණුදෙනු කිරීම මීසස් යෝජනා කළේය.

ඒත් මීසස්ට සවන් දුන් අයෙක් සිටියේ නැත. 1918 මාර්තුවේ දී යුක්රේනයේ පාලනය, ලෙනින්ගේ බොල්ෂෙවික්ස් ආණ්ඩුව සමඟ අත්සන් තැබූ සාම ගිවිසුමකින් අත් කරගන්නට ඔස්ට්‍රියන්-හංගේරියන් අධිරාජ්‍යය සමත් විය.

යුක්රේනයේ අධිවාසයෙන් එහි වස්තු සම්පත් වලට අයිතිය කියත හැකියාව ඔස්ට්‍රියාවේ පාලක පංතියේ ස්වල්පයකට උදාවිය. ඔස්ට්සින්ඩිකාට් Ostsyndikat නම් කාර්තෙල් විසල් කර්මාන්තකරුවන්, බැංකුකරුවන්, ආණ්ඩුවේ පාලකයන් සමඟ හවුල් වී යුක්රේනයේ සම්පත්වලට අයිතිය කියූහ.

1918 දී බර්ලින් නගරයේ රැස්වීමක දී මේ යුක්රේන සම්පත් බෙදාගන්නට කැමති වෙළඳ කණ්ඩායම්වල රැස්වීමක් පැවතිණ. යුක්රේන බැංකු සහ ණය ආයතන සියල්ල ඔස්ට්‍රියන් ව්‍යාපාරයන්හි ශාඛා වූහ. එසේම ඒවායේ ව්‍යාපාරිකයන් වූයේ යුක්රේනයේ සුළු ජනවාර්ගික අයයි. යුක්රේනයේ අනාගත මුදල් ව්‍යවස්ථාව ගැන කුමක් කළ යුතු ද යන්න මේ රැස්වීමේ දී තීරණයක් නොවීය. යුද්ධ නිසා හටගත් උද්ධමනයෙන් ඔස්ට්‍රියන් ක්‍රෝන මුදල් නෝට්ටු සෑහෙන ප්‍රමාණයක් යුක්රේනයට පිවිස තිබුණි. යුක්රේන මුදල් ගැන ගන්නා තීරණ වලින් ඔස්ට්‍රියන් ක්‍රෝන නෝට්ටු වල ඇණැවුම් හුවමාරු අනුපාතිකය ද තීරණය විය.

පළමු ලෝක යුද්ධය නිසා ඔස්ට්‍රියාවේ මුදල් දැඩි උද්ධමනයකට හසු වී තිබිණ. එය නිරාකරණයට හැකියාව ලැබෙන්නේ තව අමතර ක්‍රෝන නෝට්ටු නිර්මාණ කිරීමෙන් වැළකී සිටීමෙන් යැයි මීසස් පෙන්වා දුනි. 1918 ජූනි මාසයේ දී යුනියන් බැංකුවේ අධ්‍යක්ෂක ඔටෝ කාට්ස් යුක්රේනයේ මුදල් ගැටළුව විසඳීම මීසස්ට බාර කළේය. ඒත් මීසස් දුන් යෝජනා කිසිවක් යොදා ගත්තේ නැත. ඔස්ට්‍රියන්-හංගේරියන් අධිරාජ්‍යය කඩා වැටිණ.

එවක ගෙනගිය සමාජවාදී යුරෝපීය ප්‍රතිපත්ති නිසා ඔස්ට්‍රියන් ව්‍යවසායකයන්ට ණය බර පැටවෙන හැටි බව මීසස් පැහැදිලි කළේය. එහෙත් ඔහු කියූ කිසිවක් පාලකයන් ගණනකට ගත්තේ නැත. වියානාවේ පිහිටි රජය අන්තිමේ දී සල්ලි අච්චු ගහන මුද්‍රණාලය හැරෙන්නට වෙනත් කිසිම වස්තු සම්පත් නැති තැනට පත්විය.

1919 දෙසැම්බර් 2 වැනි දා ඔස්ට්‍රියන් ආර්ථික සංගමයේ දේශනයක් පවත්වමින් මීසස් ඔස්ට්‍රියාවේ අස්වැන්න ඔස්ට්‍රියාවේ ජනතාවට ආහාර සැපයීම සඳහා ප්‍රමාණවත් නැතැයි පෙන්වා දුනි. “අපේ රටේ මුදල් බංකොළොත් බවට පත්වෙන්නට ඉතා ආසන්න තත්වයකට අපි පැමිණ සිටිනවා,” යැයි හේ ප්‍රසිද්ධියේ කීය.

1912 දී මීසස් ලියූ “මුදල් සහ ණය පිළිබඳ න්‍යාය” (Theory of Money and Credit) පොත අනුව ඒ දක්වා ආණ්ඩුව කටයුතු කර තිබුනේ සියළු මහජන මුදල් සිද්ධාන්ත වලට පටහැණි ලෙසිනි. ඔහුගේ අදහස්වලට සවන් දුන්නේ වියානාවේ උගතුන් සුළු පිරිසකි. නීතීඥයන්ට සහ ව්‍යාපාරිකයන්ට ඔහු විශේෂ දේශන පැවැත්වීය. ඒවාට දේශපාලකයන් සහභාගී කර ගැනීමෙන් හේ වැළකී සිටියේය. මිල පාලනය නිසා කළුකඩ බිහි වී දේශීය මිල තත්වයන්ට පාඩු සිද්ධ වෙන හැටි ඔහු පෙන්වා දුනි.

වැඩ වර්ජන රට පුරා දියත් කළ සමාජවාදී ශ්‍රමිකයන් නිසා රටේ නිෂ්පාදිත භාණ්ඩ අඩු වෙද්දී ඔස්ට්‍රියාව බටහිර රටවල් වලින් ආහාර සහ ණය ආධාර ලබාගති. බටහිර රටවල් හැමදාම ණය සපයනු ඇතැයි කියා රැවටෙන්නට එපා යැයි මීසස් කියා සිටියේය. මුළු යුරෝපයම සමාජවාදී වූ ඒ කාලයේ දී මීසස් නම් ඒ අසහාය පුද්ගලයා සම්භව්‍ය-ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් නොබියව පෙනී සිටියේය.

1919 සිසිරයේ දී ඔස්ට්‍රියාව ඉතා දුක්ඛිත විය. වියානා නගරයේ එය වඩාත් දැඩි විය. ආහාර හිඟයක් පැතිර යාමෙන් සහ කාමර උණුසුම් කරන්නට ඉන්ධන නොමැති වීමෙන් ජනතාව සීතලේ ගැහුණහ.

සමාජවාදී සමාජයක ආර්ථික ගණනයක් වෙළඳපොල ආර්ථිකය දී මෙන් කරත නොහැකි බව හේ “සමාජවාදී සමූහාණ්ඩුවේ ආර්ථික ගණනය,” යන ලිපියෙන් පෙන්වා දුනි. ව්‍යවසායකයාගේ ගණනයන් පදනම් වන්නේ නිෂ්පාදන සාධක වලට යන මුදල් මිල ගණන් මත. සමාජවාදී සමාජයක එවැනි මිල ගණන් දකින්නට නොහැකියි. මන්ද, එවැනි මිල ගණන් ඇති වන්නේ හුවමාරුවට ඉඩ ඇති වෙළඳපොලක පමණි. හුවමාරුවක් කරන්නට නම් අඩු ගණනේ අයිතිකරුවන් දෙදෙනෙක් හෝ සිටිය යුතුයි. සමාජවාදී ක්‍රමයේ නිෂ්පාදන සාධක පාලනය වෙද්දී එවැනි මිල ගණන් දැන ගැනීමේ හැකියාව නොමැති වේ. ඉතින් ආර්ථික ගණනයන් හදන්නට වෙනත් ක්‍රමයක් නොමැති නිසා සමාජවාදී ක්‍රමය නෛසර්ගික වශයෙන් අවිචාර යැයි ඔහු පෙන්වා දුන්නේය.

දිනපතා පුවත්පත් වලට සැපයූ ලිපි, මහජන දේශන හා විශ්ව විද්‍යාල මට්ටමේ විවාදයන්ට සහභාගී වූ මීසස් පොත් කිහිපයක් මුද්‍රණයට ද සමත් විය. මුදල් හා ණය පිළිබඳ න්‍යාය (The Theory of Money and Credit) 1912; ජාතිය, රාජ්‍යය සහ ආර්ථිකය (Nation, State, and Economy) 1919; සමාජවාදී සමූහාණ්ඩුවේ ආර්ථික ගණනය (Economic Calculation in the Socialist Commonwealth) 1920; සමාජවාදය: ආර්ථික හා සමාජයීය විශ්ලේෂණයක් (Socialism: An Economic and Sociological Analysis (1922) යනාදී ග්‍රන්ථ සමාජවාදයෙන් බැට කන යුරෝපීය රටවල් ගලවා ගැනෙන ප්‍රතිපත්ති සම්පාදනයට සමත් විය.

බංකොළොත් තත්වයෙන් ගැලවෙන්නට ඔස්ට්‍රියන්-හංගේරියන් බැංකුවේ ආණ්ඩුකාරයා වූ ඇලෙක්සැන්ඩර් ස්පිට්ස්මුලර් විසින් ගෙනෙන ලද යෝජනා සියල්ල මීසස් ප්‍රතික්ෂේප කළේය. 1922 සිසිරයේ දී මීසස්ගේ යෝජනාවක් මුදල් ප්‍රතිසංස්කරණය සඳහා යොදා ගැණුනි. අනතුරුව ස්පිට්ස්මුලර් විසින් ඔස්ට්‍රියන් මුදල් ප්‍රතිපත්තිය හදන ලද වැදගත්ම දේශපාලනඥයා හැටියට මීසස්ට ගෞරව නාම පුද කළේය. එහෙත් මීසස්, තමන් දේශපාලනඥයෙකු නොවන බවත් මහජන දේශකයෙක් හා ආර්ථික විද්‍යා ගත්කතුවරයෙක් ලෙසින් පමණක් බලපෑම් කරන්නට සමත් වූ අයෙක් පමණක් යැයි තරයේ කියා සිටියේය. 1922 මුදල් ස්ථායිකරණය පමණක් ඔස්ට්‍රියාවේ නිල ප්‍රතිපත්තියක් හැටියට මීසස් එකඟ වූ එකම ප්‍රතිපත්තිය විය.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on මැයි 2, 2017 at 2:31 පෙ.ව.

    සමාජවාදය බිිදවැෙටන ෙහ්තු ෙකාපමණ තිබුුනත් . සම්පත් විකල්ප මාර්ග ඔස්ෙස්් කාර්යක්ෂමව භාවිත කරන්න අවශ්‍ය ගනනය කිරීම ෙනාමැතිකම තමා වැදගත්ම අර්ථසාාස්ත්‍රිිය ෙහ්තුව. – ඒකතැන පල්ෙවන සමාජවාදය අසාර්තකමූලිිකමෙද් ඒ්ක. මීසස්ෙග වටිිනාකම මට ඒ්කම අැති


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: